Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


වැඩකරන ජනතාවගේ ශාපය..!


2019-10-04 2127

(භාතිය බරුකන්ද)

සේවය අතහැර ගියාසේ සලකා මීට පෙර අවස්ථාවකදිත් දුම්රිය සේවකයින්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්‍රකාශ තුළින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති අවධාරණය කරනවා.පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කරන්නේ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබුණු පසුව බවද මේ නිසා බලධාරීන් මුලින්ම සිදුකළ යුතු වන්නේ ගැටලුවලට විසඳුම් ලබාදීම බවද එම සංගම් සඳහන් කරනවා.

වැටුප් විෂමතා ඉවත් කරන තුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබියදී දීමනාවක් ලබාදී තව තවත් වැටුප් ගැටලු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා බදාදා (02) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන්කළේය.දීමනා ලැබිය යුතු පුද්ගලයින්ට දීමනා ලබාදිය යුතු බවත්, එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ වැටුප් විෂමතාවයක් බවත් එය විසඳීමට කටයුතු නොකර දීමනාවක් ලබාදීම අල්ලසක් බවට  පත්වන බවද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.මේ නිසා ගැටළුව විසඳා ගැනීමට ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට බ්‍රහස්පතින්දා  (03) දින සංගමයේ විධායක සභාව රැස්වන බවද ඒ මහතා කියා සිටියේය.

පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව පීඩාවටත් අගතියටත් පත් කළ දුම්රිය වැඩවර්ජනය සහ බ්‍රහස්පතින්දා (04) දා ආරම්භ කිරීමට සූදානම්ව තිබු  බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සමිති නායකයෝ යැයි කියා ගන්නා ඊනියා දේශපාලන ගැත්තන් කල්ලියක් විසින් මාධ්‍ය හමුවේ කළ ‘පම්පෝරි’ කතා දෙකක් ඉහත සඳහන් වෙනවා. අවාසනාවට වාගේ මේ ‘කාලකණ්නි’ වැඩවර්ජන නිසා අගතියටත්, අලාභයටත් මුහුණ දෙන ‘වැඩකරන’ ජනතාව වැඩවර්ජකයින්ගේ ‘අම්මා මුත්තා’ මතක් කරමින් තබන දෙස් දෙවොල් රට හමුවට ගෙන යන්න ‘පුරවැසි මාධ්‍ය කලාවක් ’ තවමත් නිසි පරිදි සංවිධානය වී නැහැ. ඒත් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විවිධාකාරයේ ‘පෝස්ට්’ හරහා මේ ඊනියා දේශපාලන ගැත්තන්ට තමන් කොතරම් ශාපයකට/ උදහසකට ලක්ව සිටින්නේ ද යන්න දැකබලා ගත හැකියි.

මේ ලියුම්කරුට ලිිපිය ලිවීම ආරම්භයේ දීම මේ වැඩවර්ජන රැල්ල ගැන ඇතිවන්නේ කෝපය සහ පිළිකුළ මුසු වූ මානසිකත්වයක්. ඊට හේතු එකක් නොව පහ හයක් තිබෙනවා. ඒ අතර ප‍්‍රධාන වෙන්නේ මේ කාලකණ්නි වැඩවර්ජනය නිසා අහිමි වන ‘අපේ කාලය’ ගැනයි. වෙනදා කොළඹ කාර්යාලයට පැමිණීම සඳහා උදෑසන 6.10ට නිවසින් පිටත් වන ලියුම්කරු පසුගිය දින කිහිපයේම නිවසින් පිටත් වුණේ 5.45ට. වෙනදා උදෑසන ආහාරය ගෙන නිවසින් පිටත් වුණත් මේ දිනවල ඒකත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කාර්යාලයෙන් උදෑසන හා දිවා ආහාරයට ගැනීමට යන අමතර වියදම ද දැරිය යුතුව තිබෙනවා. ලියුම්කරු පිරිමියෙක් වශයෙන් මුහුණ දෙන මේ අසීරු තත්ත්වයට වඩා සිය දහස් වාරයක් අසීරු තත්ත්වයට කොළඹින් බොහෝ දුර බැහැර කාර්යාලයීය සේවිකාවන් මුහුණ දෙනවා. ඔවුන් කියන්නේ ‘මේ කාලකණ්නි වැඩවර්ජනය’ නිසා තමන්ට අමතර පැයක් වේලාසනින් අවධිවීමට සිදුවන බවයි. වෙනදා පෙරවරු 4.30ට පමණ අවධි වී ගෙදර උදවියට ආහාර පිය නිම කරන ඔවුන්ට දැන් පෙරවරු 3.30ට පමණ අවධිවීමට සිද්ධ වෙලා. වැඩකරන ජනතාවගේ මේ වටිනා කාලය කන්නේ ‘කුමන පාපයකට’ දැයි ඔවුන් ප‍්‍රශ්න කරනවා.

මේ සමග ලියුම්කරු සමග තවත් පැත්තක් ගැන කතා කළේ ලියුම්කරුගේ කාර්යාලීය මිතුරියක්. දුම්රිය වැඩවර්ජනය නිසා ඇය මේ දින කිහිපයේම රැකියාවට පැමිණ ඇත්තේ යතුරුපැදියේ. ‘පසුගිය ටිකේම උදේටයි හවසටයි හොඳට වැස්ස. ඒත් වැඩට එන්න ඕනෑ නිසා අනෝරා වැස්සේම තෙමී ගෙන ආවා. මට දැන් හොඳටම අසනීපයි. තෙමිලා නිසා. ඊයෙත් නිවාඩු දැම්මා’ ඇය වේදනාවෙන් යුතුව කියනවා.

‘අපි සීසන් එකෙන් තමයි පසුගිය අවුරුදු ගාණම ආවේ ගියේ. මොකද බස් එකේ කොළඹට එන්න ගියොත් රුපියල් 350ක් විතර යනවා. ඒත් මේ කාලකණ්ණින්ගේ වැඩවර්ජනය නිසා පහුගිය දවස් ටිකේම ආවේ බස් එකේ. මාසේ පඩිය නෙමෙයි ළමයින්ට කන්න බොන්න දෙන්න තියෙන සල්ලි ටික දැන් ඉවරයි. ඉතුරු දවස් ටික ගෙවන්න වෙන්නේ ණයට අරං. මුන් මුන්ගේ පඩිය වැඩිකර ගන්න ගිහින් අපේ ළමයින්ගේ බත්පතට වින කරනවා...’ ඔහු අවසානයට කිව්ව වචනය ලියන්න බැරි නිසා හිස් තැනක් තියනවා.

දුම්රිය වැඩවර්ජනය ගැන ලක්ෂ 3කට අධික දෛනිකව දුම්රියෙන් ම ගමන් ගන්නා වැඩකරන ජනතාවගේ මේ වේදනාව, ඔවුන් තමන්ට සිදුව ඇති අගතිය ගැන සිතා හෙළ සුසුම් මේ ඊනියා වැඩවර්ජක දේශපාලන බැලයින්ට නොතේරෙන බව හෝ ‘අදාළ’ නැති බව ඇත්ත. ඒත් මේ ඊනියා වැඩවර්ජන පසුපස සිටින ඊනියා දේශපේ‍්‍රමීන්ට සහ ‘විනයගරුක’ යැයි කියන ‘පොල්පොට් පන්නයේ’ආණ්ඩුවක් හදන්න දතකට කන දේශපාලකයින්ට තවත් සති කිහිපයකින් ‘මේ සියලූ පාපයන්ට’ වන්දි ගෙවීමට සිදුවන බව නම් පැහැදිලියි.

ලක්ෂ තුනක් වන්දිගෙවන්නේ 2500කට

රාජ්‍ය අංශය තුළ සිදු වෙන වැඩවර්ජන අතරින් වඩාත්ම ආර්ථික සහ සමාජයීය හානියක් සිදුකරන්නේ ප‍්‍රවාහන හා බලශක්ති ක්ෂේත‍්‍රයට සම්බන්ධ වැඩවර්ජන බවයි ආර්ථික හා සමාජ විද්‍යාඥයෝ කියන්නේ. උදාහරණයක් ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ (දුම්රිය හා ලංගම) සිදුවන වැඩවර්ජනයක දී් වැඩකරන ජනතාවට තම සේවා ස්ථානවලට ඒවට නොහැකි වීමෙන් සමස්ත ආර්ථික හ සමාජයීය ක‍්‍රියාවලියම අඩපණ වන බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් ‘විධායක නොවන’ රැකියා කරන සියලූ දෙනාම පාහේ පොදු ප‍්‍රවාහන සේවා මගින් තම අවශ්‍යතා සපුරා ගැනීම තුළ ‘සමස්තයක්’ ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ (විශේෂයෙන් රාජ්‍ය)සේවා කටයුතු අඩපණ වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය අපට වඩාත් පහසුවෙන් අවබෝධකර ගැනීමට වත්මන් දුම්රිය වැඩවර්ජනයම යොදාගත හැකියි.

‘දුම්රිය දෙපාර්තමේන්තුවේ 2500කගේ වැටුප් විසමතාව නිසා මගීන් ලක්ෂ ගණනක් දැඩි දුෂ්කරතාවයට පත්වී ඇත. දුම්රිය ස්ථානාධිපතිවරු දාහක් පමණද, දුම්රිය රියදුරන් පන්සියයක් පමණද, නියාමකවරුන් පන්සියයක් පමණද,පාලකවරුන් හා ෆෝමන් වරු පන්සියයක් පමණ පිරිසක් කාලයක් තිස්සේ විටින්විට පවත්වාගෙන යන වැටුප් ප්‍රශ්නය  ඇතැයිද එහි ජේෂඨ නිලධාරීයකු පැවසුවේය.

මොවුන් ගේ මෙම ක්‍රියා  කලාපය නිසා අහිංක කාර්යාල බලා ගමන්ගන්නා මගීන්ද, වෙනත් රාජකාරී සදහා ගමන් ගන්නා මගීන්ද දැඩි අපහසුතාවයකට පත්වී තිබේග මාසික වාර ප්‍රවේශ පත්‍රය  ලබාගෙන දුම්රියේ ගමන් කරනා අය ආර්ථික අපහසුතාවයකට පත්ව තිබේ. තවත් සමහරු දුම්රියෙන් එක් එක් පලාත්වල තම අවශ්‍යතා  සදහා ගමන් කිරීමට දුම්රිය ආසන වෙන්කරවාගෙන ඇත.

අද ඔවුන්ගේ කාර්යයන් අවුල් වී ‍ගොස් තිබේ.  සුළු පිරිසකගේ වර්ජනයක් හේතුවෙන් අහිංසක ජනතාව විශාල වශයන් දැඩි පීඩාවන්ට පත්ව ඇතැයි ජනතාව මැසිවිලි නගති - (දිනමිණ 2019 ඔක්තෝබර් 03)  දිනමිණ පුවත්පත දුම්රිය වැඩවර්ජනය මගින් සමස්ත වැඩකරන ජනතාවම මුහුණ දෙන අපහසුතාව හා අගතිය මනාව පැහැදිලි කරනවා. 2500කට ආසන්න ‘සීමිත’ පිරිසකට දෛනිකව තම රැකියාවට යාමට ඇති අවස්ථාවට අවහිර කිරීම සහ ඔවුන්ට අමතර වියදමක් දැරීමට සිදුවන තත්ත්වයක් ‘හිතමතාම’ නිර්මාණය කිරීම කිසිවෙකුට එකඟවිය හැකි හෝ සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක් නොවෙයි.

යළිත් අවධාරණය කරන්නේ නම් නම් දුම්රිය වැඩවර්ජනයෙන් බැට කන්නේ, වැඩිපුර කීයක් හෝ වැයවන්නේ ‘නිර්ධන පන්තියේ’ මිනිසුන්ට මිස තම පුද්ගලික වාහන හෝ කාර්යාලයීය වාහනවලින් සේවයට වාර්තා කරන කළමනාකරණ හෝ විධායක ශ්‍රේණියේ නිලධාරින්ට නොවෙයි. මීට ඉහතින් සඳහන් කළ සියලූ උදාහරණ අයත් වන්නේ මේ තත්ත්වයටයි.

මේ සමග පැණ නගින ප‍්‍රශ්නය වන්නේ මෙතරම් සීමිත සහ පැහැදිලි දේශපාලන න්‍යාය පත‍්‍රමත ක‍්‍රියාත්මක වන පටු අවස්ථාවාදීන් පිරිසකට සමස්ත සමාජ - ආර්ථික යාන්ත‍්‍රණයම කඩාකප්පල් කිරීමට තව දුරටත් අවස්ථාව ලබාදිය යුතුද ? යන ප‍්‍රශ්නයි. මන්ද දේශපාලන න්‍යාය පත‍්‍ර මත මේ වැඩවර්ජන සිදුවන බව පැහැදිලිව ප‍්‍රදර්ශනය වන තත්ත්වයක් තුළ සිදුවන මේ සියලූ වැඩවර්ජන ‘අවස්ථාවාදී’ ඒවා මිස වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමට ගත යුතු ‘අවසන් අවිය’ ලෙස ක‍්‍රියාත්මක නොවන නිසයි.

පරාජය කළ යුතුම දේ හඳුනා ගැනීම

දුම්රිය වේවා, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වේවා, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වේවා පසුගිය වසර කිහිපය තුළ අඛණ්ඩව දියත් වුණ වැඩවර්ජන පිටුපස ‘වෘත්තීය අවශ්‍යතාවලට’ කිසිසේත් අදාළ නොවන දේශපාලන ව්‍යාපෘති හා න්‍යාය පත‍්‍ර තිබුණ බව පැහැදිලි කරුණක්. උදාහරණක් ලෙස ගතහොත් පැහැදිලි දේශපාලන න්‍යාය පත‍්‍රයක් මත ක‍්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලය තුළ සිදුකළ සියලූම වැඩවර්ජනවලට එකම හේතුව වුණේ ‘ආණ්ඩු විරෝධය’ පමණයි. ඒ බව ශ‍්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් තැබීමට නියමිත තිබූ ‘එට්කා’ ගිවිසුමේ සිට ‘සයිටම්’ ආයතනය දක්වා විහිදී තිබුණා. මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් තිබෙන දුම්රිය වැඩවර්ජනය සේම හෙට සිදු කරන බවට තර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයත් අයත් වන්නේ මේ ‘දේශපාලන හස්තයන් විසින්’ මෙහෙයවන වැඩවර්ජනවලටයි.

මේක පසුගිය කාලය පුරාම සිදු වුණ තත්ත්වයක් වශයෙනුයි අපට සැලකිය හැකි වන්නේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු නොවූ ආකාරයේ වැඩවර්ජන සහ උද්ඝෝෂණ රැල්ලක් වත්මන් ආණ්ඩු සමයේ සිදු වෙනවා. මේ සඳහා වන හොඳම උදාහරණය තමයි පසුගිය දා ආබාධිත සොල්දාදුවන් විසින් කළ උද්ඝෝෂණය. මේ උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටි සියලූම දේවල් මහින්ද රාජපක්ෂ - ගෝඨාභය රාජපක්ෂ යුගයේ දී කිසිම අවස්ථාවක සංවාදයට ලක් නොවුණ දේවල්. එදා මේ කිසිම අබාධිත සොල්දාදුවෙකුට මෙවැනි අවශ්‍යතායක් තිබුණේ නැහැ. ඒත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන රූකඩ බවට පත් වෙමින් පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවකදී පාරට බැස්සා. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්ච ගන්න වගේම ‘වත්මන් ආණ්ඩුව රණවිරුවන්ට සලකන්නේ නැහැ’ කියන රාජපක්ෂ ප‍්‍රවාදය යළි යළිත් තහවුරු කිරීමයි. මොකද රාජපක්ෂ බල ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් වෙන්නේ මේ රණවිරු මානසිකත්වය කේන්ද්‍ර කරගෙනයි. ඒත් මොනයම් හේතුවක් නිසාදෝ මේ වැඬේ පිටිපස්සේ රාජපක්ෂවරු ඉන්න බව ඉතාම නිර්ලජ්ජිත විදිහට පසුගිය දා හෙළි වුණා.

‘රණවිරුවන් පවු’ යැයි කියමින් සිිටි බහුතරයක් ජනතාව පසුගිය දා ‘අනේ අපොයි’ කියන තත්ත්වයට පත්වූ ඒ හාස්‍යජනක රංගනයෙන් පසුව වැඩවර්ජනය හා උද්ඝෝෂණ දෙස මැදිහත් සිතින් බැලූ ජනතාව පවා දැන් සිටින්නේ ‘මේවා දේශපලන ගේම්’ කියන මානසිකත්වයෙන් බව පැහැදිලිව පෙනී යනවා.

‘ඇත්තමයි අපි හිතාගෙන හිටියේ මේ ආබාධිත සොල්දාදුවෝ උපවාස කළේ ඔවුන්ගේ ඇත්ත ඉල්ලීම් දිනා ගන්න කියලා. ඒත් සජිත් පේ‍්‍රමදාස මහත්තයා ඇවිත් කතා කළාම සජිත්ට ‘පස්ස හරවපු’ උපවාසකරුවෝ මහින්ද රාජපක්ෂ මහත්තයාව ‘කරට ගත්ත හැටි’ දැක්කාම අපිට ඇත්තටම ඇති වුණේ අවුලක්. අපි මෙතෙක් දවස් හිතාගෙන හිටිය දේවල් ඒ දවසෙන් පස්සේ නැත්තටම නැති වුණා. අපි දැන් දන්නවා මේවා විජේරාම මාවතේ පිටපත් කියලා’

අබාධිත සොල්දාදුවන්ගේ උපවාසයට පක්ෂව දැඩිව කතා කළ සහ මුහුණපොත හරහා ඒ පිළිබඳ ‘පෝස්ට්’ රැසක් සමාජගත කළ කොළඹ රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් මේ ලියුම්කරු සමග කිව්වා.

මේ සිදුවීම සම්බන්ධයෙන් වගේම පසුගිය කාලය පුරාම සිදු වූ මෙවැනි සිදුවීම් සියල්ල දෙසම මධ්‍යස්ථව බලන සාමාන්‍ය ජනතාව අද කියන්නේ ‘නැති අවුල් ඇති කළේ ’ මේ දේශපාලන හස්තයන් විසින් බවයි. ‘සාමාන්‍ය ජනතාව විදිහට අපිට ලොකු දෙයක් කරන්න බැහැ. ඒත් අපිට තීරණාත්මක මොහොතක අසීමිත බලයක් එනවා. ඒ ඡන්දයේදී. අපි බොහෝ දෙනෙක් 2015දී දැඩි තීරණයක් ගත්තා. ඒ මේ ගමන නතර කරන්න ඕනෑ කියලා. ඒ තීන්දුවේ අපි තවමත් ඉන්නවා’ තැපැල් ඡන්දය භාවිත කිරීමේ හිමිකම ඇත්තියක කිව්වා.

රට අවුල් නොකළ නම් අපි ගොඩ

මේ වැඩවර්ජන රැල්ලෙන් පමණක් නොව රජය විසින් ගත් බොහෝ සාධනීය ප‍්‍රවේශයන් කඩාකප්පල් කරනු දැකීමෙන් කම්පනයට පත් ජනතාව විසින් කරන ප‍්‍රකාශයක්. ඔවුන් කියන්නේ රජය විසින් දියත් කළ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ බාධා රහිතව කිරීමට අවකාශයට ලැබුණේ නම් රටේ තත්ත්වය මීටත් වඩා යහපත් වීමට වැඩි ඉඩක් තිබුණ බවයි. ඒ සඳහා ඔවුන් රාජ්‍ය සේවකයින්ට වැඩිකළ වැටුප සේම ඍජුව පුද්ගලික අංශයට සහ ස්වයං රැකියාවල නිරත වන්නන්ට ප‍්‍රතිලාභ හිමිවන ‘ව්‍යවසාය ශ‍්‍රී ලංකා ’ වැඩසටහන උදාහරණ වශයෙන් දක්වනවා. ‘අපි රාජ්‍ය අංශයේ සේවකයෝ නෙමෙයි. ඒ නිසා රාජ්‍ය අංශයට සුවිශේෂ වරප‍්‍රසාදයක් වෙලා තිබුණ අඩු පොළී නිවාස ණය අපිට හීනයක් වෙලා තිබුණේ.

අපේ මිතුරන් වන රජයේ සේවයෝ සියයට හතරට පහට නිවාස ණය අරන් ගෙවල් හදන තාලේ බලල බලා අපි දුක් වුණා. මොකද අපිට නිවාස ණයක් ගන්න තිබුණේ සියයට 16 වාගේ පොළියකට. ඒත් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය යටතේ මට අඩුම පොළියකට නිවාස ණයක් ගන්න පුළුවන් වුණා. මගේ පඩියට ගන්න පුළුවන්කම තිබුණට වඩා වැඩි ගාණක් මේ නිසා ගන්න පුළුවන් වුණා. මගේ යාළුවෝ කීප දෙනෙක්ම මේ ණය අරන් ගෙවල් හදනවා’ මේ ලියුම්කරු සමග අදහස් දක්මින් දෙල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් කිව්වා.

මේ සියලූ දෙනාම කියන පොදු කරුණ වන්නේ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල සහ සුබසාධන වැඩසටහන්වල ඍජු ප‍්‍රතිඵල තමන්ට ලබා ගන්න අවස්ථාව නොලැබුණේ ‘දැනුවත්භාවය’ අඩු වූ නිසා බවයි.

‘අපි ආණ්ඩුව කළ බොහෝ දේවල්වල තොරතුරු දැන ගන්නේ නැහැ. අපි බලන නාළිකාවල ඒ කිසිම දෙයක් ගියේ නැහැ. පස්සෙන් පහුතමයි ගොඩක් දේවල් දැන ගත්තේ. විශේෂයෙන් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ගැන අපි ඇත්තටම දැනගෙන සිටියේ නැහැ. දැන් බලාගෙන ගියාම මේකෙන් පළක් අරං නැත්තේ අපි විතරයි’

ලියුම්කරුගේ කාර්යාලයීය සේවිකාවක් පශ්චාත්තාප වෙමින් කිව්වා.

ඇත්ත සැඟවූයේ ඇයි ?

මේක බොහෝ දෙනෙක් බොහෝ විට අහන ප‍්‍රශ්නයක්. ඉහතින් සඳහන් කළ ආකාරයට අපි බොහෝ දෙනෙක් ආණ්ඩුව විසින් කළ කිසිම ධනාත්මක දෙයක් ගැන නිසි පරිදි දැනුවත් වෙලා තිබුණේ නැහැ. ගොබෙල්ස් මාධ්‍ය භාවිතය අනුව මෙහෙයවනු ලැබූ රෙජිම මාධ්‍ය පසුගිය වසර පහ පුරාම කළ දැවැන්ත මෙහෙයුම වුණේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ, බලවත් පාලකයෙක් ඕනෑ’ කියන මන්ත‍්‍රය මැතිරීම පමණයි. ඒත් ලලිත්-කුගන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවට ප‍්‍රකාශයක් ගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයට මහාධිකරණයට කැඳවපු අවස්ථාවේ ‘ආරක්ෂාව ප‍්‍රමාණවත් නැහැ’ යැයි කියමින් යාපනයට යාම ප‍්‍රතිෂේප කළ කතාව මේ කිසිම රෙජිම මාධ්‍යකට පුවතක් වුණේ නැහැ. ඒ වෙනුවට ප‍්‍රකාශයට පත් වුණේ තම දේශපාලන න්‍යාය පත‍්‍රයට අදාළ පුවතක් පමණක්.

‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිද්ධ වුණේ නැත්නම් අද බොහෝ දෙනකුට යන එන මං නැහැ’ මේ දේශපාලන ප‍්‍රහසන දෙස බලාසිටින බොහෝ දෙනෙක් කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගෙනයි. ඒ නිසා අවසාන වශයෙන් කිව යුතු වන්නේ වර්ජන තර්ජන, ඊනියා උද්ඝෝෂණ සහ උපවාස මගින් සේම ගොබෙස්වාදී ප‍්‍රචාර මගින් ඉහළට ඔසවා තැබූ පිළිම තවත් සති කිහිපයකින් සදාකාලිකව බිමට සමතලා වන බව පමණයි. ඒ සඳහා ‘වැඩකරන ජනතාව’ අන්තපීඩාවට පත්කරන වැඩවර්ජන පිටුපස සිටීම ම හොඳටම ප‍්‍රමාණවත්.

 

 

Advertiesment