Monday 14th of October 2019

English Tamil
Advertiesment


අශික්ෂිත වර්ජන..!


2019-10-04 1125

ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන උදාහරණ ඕනෑතරම් දීමට පුළුවන. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම සිදු කරන්නේ දේශපාලනයකි. ඔවුන්ගේ වර්ජන බොහොමයක අරමුණ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමය. ආණ්ඩුවෙන් රෝහල්වලට ලබාදෙන ඖෂධ පෞද්ගලික ප්‍රතිකාරවලදී රෝගීන්ට දෙන වෛද්‍යවරු රටේ නැද්ද කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇසිය යුතුය. රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහල්වලට නොයන විශේෂඥ වෛද්‍යවරු නොමැති බවට එම සංගමය සහතික වන්නේද? වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා අතර තම සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මේ වෘත්තිය සමිති කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත.

ජනපතිවරණය සඳහා දින නියම වී තිබිය දී මැතිවරණ උණුසුම ද යටපත් කරමින් වැඩ වර්ජන රැල්ලක් රට පුරා දියත් වෙමින් තිබේ. රාජ්‍ය සේවයේ වැටුප් විසමතා මුල්කර ගනිමින් ආරම්භ කර තිබෙන මෙම වැඩවර්ජනයට රාජ්‍ය සේවයේ ඉහළම සේවකයාගේ සිට පහළම සේවකයා දක්වා වූ පිරිසක් සහභාගි වී සිටිති. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩු විසින් වරින් වර විවිධ ශ්‍රේණිවල වැටුප් ඉහළ දැමීම හේතුවෙන් සමාන්තර ශ්‍රේණිවල බරපතළ වැටුප් විසමතා නිර්මාණය වී තිබෙන බවත් ඒවා කඩිනමින් නිවැරදි කිරීමට රජය ක්‍රියාකළ යුතු බවත් වර්ජකයෝ පවසති. මෙම ගැටලුවට මුල් වූ ආසන්නතම හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය කාලයේ දී සිදුකළ වැටුප් වැඩි කිරීම්ය.

මේවන විට නඩු ලක්ෂ හතහමාරක පමණ සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන අතර ඒවා කඩිනමින් අවසන් කිරීම පිණිස රජයේ නීතිවේදීන්ගෙන් අමතර සේවාවක් අපේක්ෂාවෙන් ඔවුන්ට අමතර වැටුප් වැඩි කිරීමක් සිදු කළ ද ඔවුන්ගෙන් අපේක්ෂා කළ සේවය ඉටු නොවුණු බව රජයේ ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම ප්‍රකාශය පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ වැටුප් වැඩි කිරීම පිණිස රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බවය. මෙය දඩමීමා කර ගනිමින් ක්‍රියාත්මක වර්ජන රැල්ල තුළ දේශපාලනයක් ක්‍රියාත්මක බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉදිරි ජනපතිවරණය ඉල්ලක්ක කරගත් වර්ජන රැල්ලක් ලෙස මෙය හැඳින්විය හැකි වන්නේ ඒ නිසාය.

රජයේ අධිනීතීඥවරයකු සියලු දීමනා සහිතව රුපියල් තුන්ලක්ෂ අසූදහසක පමණ වැටුපක් ලබන අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු වන්නේ නම් ඊට තවත් අමතරව රුපියල් පනස් දහසක් පමණ එකතු වෙයි. වෛද්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍යවරයකු සියලු දීමනා සහිතව දෙලක්ෂ පනස් දහසක පමණ වැටුපක් ලබා ගනී. වෛද්‍ය නිලධාරී (පළමු ශ්‍රේණිය) නියෝජනය කරන වෛද්‍යවරයකුට රුපියල් දෙලක්ෂ විසිපන් දහසක වැටුපක් ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයකුට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක පමණ වැටුපක් ද හිමි වෙයි.

වැටුප් ප්‍රශ්න

හිටිහැටියේ මගීන් අතරමං කර දුම්රියෙන් බැස යන දුම්රිය රියැදුරකු සියලු දීමනා සහිතව ලක්ෂ දෙකහමාරක පමණ වැටුපක් ලබා ගන්නා අතර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරයකුගේ වැටුප දීමනා සමඟ 341,000 කි. කථිකාචාර්යවරයකු ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයට රුපියල් 62,000 ක මූලික වැටුපක් යටතේ එකතු වන අයකුට සියලු දීමනා සමඟ ලැබෙන වැටුප 176,000 කි. විශ්වවිද්‍යාල කම්කරුවකු සියලු දීමනා සමඟ රුපියල් 58,000 කට ආසන්න වැටුපක් හිමිකර ගනී. රාජ්‍ය සේවකයින් වැටුප් විසමතා ඉවත් කරන ලෙස බලකරමින් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට ආණ්ඩුවට අමතරව රුපියල් බිලියන 115 ක මුදලක් අවශ්‍යය. මෙම මුදල මෙරට ආර්ථිකයට කිසිසේත් දැරීමට නොහැකි බව දන්නා ආර්ථික විශේෂඥයින් ද වර්ජනයට එක් වෙමින් වැඩි වැටුප් ඉල්ලා සිටිති.

සමාන්තර ශ්‍රේණි අතර බරපතළ වැටුප් විසමතා නිර්මාණය වීම එක් එක් වෘත්තිකයින් අතර අසමානතා නිර්මාණය වීමට හේතුවෙයි. වැටුප් වැඩිකිරීමට ජාතික ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම බරපතළ අඩුපාඩුවකි. ඒ ඒ අවස්ථාවල මතුවන ගැටලු සමනය කිරීම පිණිස බලයේ සිටි ආණ්ඩු පැලැස්තර ඇලවීමේ ප්‍රතිඵල වත්මන් ආණ්ඩුවට විඳින්නට සිදුව තිබේ. මේවා නිවැරදි කිරීමට මේ ආණ්ඩුවට ද පැහැදිලි වුවමනාවක් නොතිබිණි. මෙම අඩුපාඩු දැන් මැතිවරණයක් ආසන්න අවස්ථාවක විපක්ෂය ප්‍රයෝජනයට ගන්නා අයුරු වර්ජනය තුළ පෙනෙන්නට තිබේ. මෙම ගැටලුව මේ ආකාරයෙන් ඉදිරියට ඇදී යාමට සැලැස්වීම විපක්ෂයේ අරමුණ බව ආණ්ඩුව තාමත් තේරුම් නොගැනීම අවාසනාවකි.

වර්ජනය අවසන් වන තැනට විසඳුම් ඉදිරිපත් කිරීම හෝ සාමාන්‍ය ජනතාව පත්ව සිටින පීඩනය නිම කිරීම පිණිස ආණ්ඩුව දැඩි තීන්දු ගත යුතුව තිබේ. ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කල් ගැනීම මගින් සිදු වන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කළකිරීමක් ගොඩනැගීමය. ආණ්ඩු මාරුවක් සඳහා උනන්දු වන පෞද්ගලික මාධ්‍යය වර්ජනයෙන් පීඩා විඳින ජනතාවගේ අදහස් පෙළ ගස්වමින් එම කටයුත්ත අපූරුවට කරමින් සිටියි. වර්ජකයින්ට ජනතාව දක්වන අයහපත් ප්‍රතිචාර නොපෙන්වා ඉන්නට තරම් මේ මාධ්‍ය ආයතන සූක්ෂ්මය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් සෙසු සමාන්තර සේවාවන්ගේ වැටුපට වඩා සැලකිය යුතු අගයකින් ඉහළ දැමීම නිසා හටගත් ගැටලුව විසදීම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ඉහළ දැමූ වැටුප් පහත හෙළීම කිසිසේත් කළ නොහැකිය. වර්ජනවල නිරත පිරිස සතුටු කර වර්ජන අවසන් කිරීම සඳහා ඔවුන් ඉල්ලන වැටුප් ලබා දීමට තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැත. මෙම පසුබිම තුළ ආණ්ඩුව පත්ව සිටින්නේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයකටය.

දේශපාලනය

ඡන්දයක් අත ළඟ බැවින් ඡන්ද ගැන සිතා ආණ්ඩු මෙවැනි අවස්ථාවල තීන්දු ගන්නා බව වර්ජකයෝ දනිති. ආණ්ඩුවේ ගෙල සිරකරන තත්ත්වයට වර්ජකයෝ දඩබ්බර වී තිබෙන්නේ ඒ නිසාය. අනාගතයේ ආණ්ඩු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන කිසිවකුත් මේ වර්ජනයේ අසාධාරණ පැති පිළිබඳ කිසිවක් කතා නොකරන්නේ දේශපාලන වශයෙන් අවාසියක් සිදුවේ යැයි බියෙනි. මහින්ද ප්‍රමුඛ කණ්ඩායම දැන් කරමින් සිටින්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවයේ එතෙක් පැවැති වැටුප දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙම වර්ජනය දියත් කරමින් සිටින්නේ ලබන වසරේ අවමය රුපියල් 3000 සිට උපරිමය රුපියල් 24000 ක් දක්වා වූ වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවයට ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබියදීය. වර්ජන හා උද්ඝෝෂණවල පවත්නා සෑබෑ අරමුණ කුමක්ද යන්න තේරුම් ගැනීමට ආබාධිත රණවිරුවන් කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ උපවාසය හොඳටම ප්‍රමාණවත්ය. රට ආරක්ෂා කර ගැනීම පිණිස ඔවුන් දිවි හිමියෙන් කැපවූ බවට තර්කයක් නැත. යුද්ධය අවසන් වූයේ රාජපක්ෂ පාලන සමයේදීය. මෙම හමුදා සෙබළුන් ආබාධිත වූයේ ද එම කාලයේදී ය. ජනපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වන විට යුද්ධය නිම වී වසර හයක් ගතව තිබිණි. එම කාලයේ දී ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවට විසඳුම් ලබා නොදුන් මහින්ද රාජපක්ෂ මහතා උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවන්ට තැඹිලි පොවා ගෝඨාභය මහතා ජනපති වූ පසු ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව කීවේය.

මහින්ද මහතාට පෙර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඔවුන් හා සාකච්ඡා කළේය. මහින්ද මහතා පැමිණි පසු සජිත් මහතා ද විවේචනය කරමින් කතා කළ ආබාධිත රණවිරුවෝ මහින්දගේ ආණ්ඩුවක් යටතේ ප්‍රශ්නය විසඳෙන බව සහතික නිසා උපවාසය අත්හරින බව ප්‍රකාශ කළහ. මොවුන්ගේ උපවාසය හා ගෝඨාභය මහතා ජනපති කරවීම අතර සම්බන්ධයක් තිබෙන බව පෙන්වීමට මෙයට වඩා සාක්කි අවශ්‍ය නැත. රටේ වර්ජන ඇති කරවන තත්ත්වට මහින්ද පාර්ශ්වය බලවත් වූයේ කෙසේද යන කාරණය ආණ්ඩුව ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය.

ජන පීඩාව

වැටුප් වැඩිකර ගැනීමට ඇති එකම මඟ උද්ඝෝෂණ, වර්ජන මගින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම බවට මතයක් දැන් රටේ ගොඩනැගී තිබේ. එයට හේතුව වර්ජනය කරන්නෝ තමන්ගේ ඉල්ලීම් දිනා ගනිමින් වර්ජන අවසන් කළ අවස්ථා පසුගිය දශක දෙක තුන තුළ නිතර දක්නට ලැබීමය. වර්තමානයේ පවත්නා වර්ජනවල දක්නට ලැබෙන අමානුෂික ස්වරූපය දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි කර ගැනීමට පුළුවන. දුම්රියෙන් සේවයට යන පුද්ගලයා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බව දැන ගන්නේ සවස දුම්රියෙන් නිවස බලා යාමට දුම්රිය පොළට පැමිණි පසුය.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කෙලින්ම වර්ජනයට එළඹීම තුළ ඇත්තේ ඍජුවම මහජනතාව පීඩාවට පත් කිරීම මිස වෙනත් කාරණයක් නොවේ. මේ වර්ජන මෙහෙයවන නායකයින්ගේ අරමුණ ආණ්ඩු මාරු තුළින් තනතුරු ලබා ගනිමින් වැටුප ඉහළ දමා ගැනීමය. බොහෝ වෘත්තිය සමිති නායකයින් අද මෙවැනි තත්ත්වයකට පත්ව සිටීම කණගාටුවට කරුණකි. මෙම නායකයින් තමන්ගේ වෘත්තිය සමිති සාමාජිකයින් පාවිච්චි කරන්නේ තමන්ගේ අරමුණ වෙත ගමන් කිරීමට ඇති ඉණිමගක් ලෙසිනි. මේ බව වෘත්තිය සමිතිවල සාමාජිකයින් තේරුම් ගැනීම වැදගත්ය. මෙරට රාජ්‍ය ආයතන බොහොමයක කඩා වැටීමට බලපා තිබෙන එක් ප්‍රධාන කාරණයක් වන්නේ වෘත්තිය සමිති නායකයින්ගෙ වැටුප් අසීමිත ලෙස ඉහළ දමා ගැනීමය.

ආර්ථික ප්‍රශ්න

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස උද්ඝෝෂණ වැඩ වර්ජන කළ යුතුය. ඒවා කළ යුත්තේ සේවකයින්ගේ සුබ සාධනය පිණිස මිස දේශපාලන පක්ෂවල අවශ්‍යතාව මත නොවේ. අද සිදු කෙරෙන බොහෝ වර්ජන පසුපස ඇත්තේ දේශපාලනයකි. වර්ජනයට එක්ව සිටින ඇතැම් පිරිස් මේ වර්ජනය දියත්කර තිබෙන්නේ කුමන කාරණයක් මුල්කර ගෙනද යන කාරණය පවා නොදැන වර්ජනයට එක්ව සිටිති. වැඩි වැටුප් ඉල්ලන ගුරුවරු අතරින් තමන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ගුරුවරු සිටින්නේ කීයෙන් කීදෙනාද යන්න ප්‍රශ්නයකි. අද බොහෝ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුව තිබෙන්නේ පෞද්ගලික පන්තිවලිනි.

පාසල් ගුරුවරු අතරින් කී දෙනකු පෞද්ගලික පන්ති පවත්වමින් මුදල් හම්බකරන්නේද?.ඇතැම් ගුරුවරු පාසලේ තමන්ගේ පන්තියේ දරුවන්ටම අමතර පන්ති පවත්වා මුදල් හම්බකරති. ජනප්‍රිය යැයි සම්මත පාසල්වල උසස් පෙළ පන්තිවලට විභාගය ආසන්න කාලසීමාවේදී සිසුන් නොපැමිණෙන බව ප්‍රසිද්ධ රහසකි. ළමයින් පෞද්ගලික පන්තිවලට යොමු කරන්නේ ද පාසල් ගුරුවරුය. තමන්ගේ රාජකාරිය හරිහැටි කර වැටුප් ඉල්ලන්නේ නම් එය සාධාරණය. එසේ වුවත් අද රාජ්‍ය සේවය තුළ වැඩ කිරීමට ඇති පැය අටෙන් සේවය කරනු ලබන්නේ පැය තුනකටත් අඩු කාලයකි. රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාවට ඇත්තේ කලකිරීමකි. වැඩි වැටුප් ඉල්ලීමට පෙර මේවා නිවැරදි කරගත යුතුය.

රජයේ ඉහළ නිලධාරීන් විදේශගතවන අවස්ථා එමටය. ආපදා කළමනාකරණය, ගෝලීය උෂ්ණත්වය සම්බන්ධ ජත්‍යන්තර සමුළුවලට ඔවුන් සහභාගි වෙන්නේ ජනතාවගේ බදු මුදල් ද වැය කරමිනි. ඇත්ත තත්ත්වය නම් මේ සමුළු බොහොමයක් රාජ්‍ය නිලධාරීන්ගේ විනෝද චාරිකා බවට පත්වීමය. ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන උදාහරණ ඕනෑතරම් දීමට පුළුවන.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම සිදු කරන්නේ දේශපාලනයකි. ඔවුන්ගේ වර්ජන බොහොමයක අරමුණ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමය. ආණ්ඩුවෙන් රෝහල්වලට ලබාදෙන ඖෂධ පෞද්ගලික ප්‍රතිකාරවලදී රෝගීන්ට දෙන වෛද්‍යවරු රටේ නැද්ද කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇසිය යුතුය. රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහල්වලට නොයන විශේෂඥ වෛද්‍යවරු නොමැති බවට එම සංගමය සහතික වන්නේද? වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා අතර තම සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මේ වෘත්තිය සමිති කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත.

වෘත්තිය සමිතියක් වර්ජනයකට එළඹිය යුත්තේ පියවර ගණනාවක් පසු කිරීමෙන් අනතුරුවය. බාලතම්පෝ වැනි වෘත්තිය සමිති නායකයින් සෑම විටම වර්ජන කළේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා වන පරිදිය.සාමුහික ගිවිසුම් ඔස්සේ සාකච්ඡා මගින් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඔවුන් නිතර උත්සාහ කළේය. අද වර්ජන දියත් වන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය.

අද රට තිබෙන්නේ ණය උගුලක පැටලීය. මෙතෙක් ආණ්ඩු කළ සැවොම ඊට අඩුවැඩි වශයෙන් වගකිව යුතුව ඇත. ණය අර්බුදයක රට තිබියදී ලබාදිය නොහැකි ආකාරයේ වැටුප් වැඩිවීම් ඉල්ලීමෙන් සිදු වන්නේ රට තවත් අර්බුදයක් වෙත තල්ලු වී යාමය. මේ ආකාර වැටුප් වැඩිවීමක් කර තමන්ට ආණ්ඩු කළ නොහැකි බව දැන දැනත් විපක්ෂය මෙම වර්ජන අනුමත කරමින් සිදු කරන්නේ බොර දියේ මාළු බෑමය. වර්ජනයක් හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව ගැන අපි සැවොම කතා කරන්නෙමු.

මෙම වර්ජන හේතුවෙන් දෛනිකව රටට මූල්‍යමය වශයෙන් සිදුවන අලාභය සම්බන්ධව සමාජයේ වැඩි අවධානයක් නොමැත. දුම්රිය ධාවනය නොකිරීමෙන් දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ ගණනක මුදලක් අහිමි වේ. සමස්ත දුම්රිය සේවාව පාඩු පිට පවත්වාගෙන යන පසුබිමකය. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නතර වීමෙන්ද එවැනිම පාඩුවක් රජයට සිදුවෙයි. මේ ආකාර වර්ජන දියත්කර යළි සේවාව ආරම්භ කරන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය. මළ මිනියකට පණ දීමට බලයේ සිටින හෝ බලයට පත්වන කිසිම පාලකයකුට නොහැකි බව මේ වර්ජකයෝ තේරුම් ගත යුතු ය.

 

 

(දිනමිණ)

 
-ගාමිණි ජයවීර-
මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා වූ කමිටුවේ අධ්‍යක්ෂක,එක්සත් වැවිලි සේවා සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්

 

Advertiesment