Monday 14th of October 2019

English Tamil
Advertiesment


එදා බොඳ වුණු ජනතා සිහින එජාප ආණ්ඩුවකින් සැබෑ කරනවා..!


2019-10-04 104468

"ජනපතිවරණ ජයග්‍රහණයක් එක්ක එජාප ආණ්ඩු බලය අවුරුදු විස්සකට තහවුරු කරනවා"

 

"එකමුතු වුණොත් ජය-බෙදුනොත් පරාජය" 

"2015.01.08 අපි ජයග්‍රහණයක් කළා. ඒ ජයග්‍රහණය සැබෑ ලෙස භුක්ති විදින්න අපට හැකිවුණේ නැහැ. එක කොටසක් පමණයි ඒක භුක්ති වින්දේ. නමුත් අපි එක්ක කළා. යහපාලනය කියලා ගෙනාවට මේක එක්සත් ජාතික පක්ෂය නම් විෂ පාලනයක් ඇති වුණේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපට හැකිවුණා. 2015 පෙර කළුවර වැටීගෙන එද්දි ගෙදරකට කවුරු හරි ඇවිත් දොරට තට්ටු කළොත්, අපි බය වෙනවා අපේ අවසන් ගමන් යන්න සුදු වෑන් ඇවිත් කියලා. මෙන්න මේවා නැති කරන්න තමයි එදා ඔබතුමාලා අපට වරමක් දුන්නේ. මේ වරම තුළින් එක්සත් ජාතික පක්ෂයේ අය හිතුවා අපි සැබෑ ජයග්‍රහණයක් ලැබුවා කියලා. නමුත් වැඩිකල් යන්න මත්තෙන් අපි දැක්කා ඒක සැබෑ ජයක් නොවෙයි කියලා. එදා තරුණ අය දේශපාලන වැඩකළේ රැකියාවක් ලබාගන්න. නමුත් ඒවා සිහින පමණක් වුණා. නොවැම්බර් 16 වනදායින් පසුව බිහිවන අපේම ආණ්ඩුවක් තුළින් එදා බොදවුණ ජනතා සිහින සැබෑකරන්න අපට හැකිවේවි" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින්, බ්‍රහස්පතින්දා (03) පෙරවරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති ජාතික සම්මේලනයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,

"අද මෙම විශේෂ සම්මේලනය කැදෙව්වේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේ අපේක්ෂකයා නිල වශයෙන් හදුන්වා දෙන්නයි. අපට වඩා අපේ ප්‍රතිවිරුද්ධ අය තමයි බලන් උන්නේ අපේ අපේක්ෂකයා කවුද කියලා. ඔවුන්ට ඒ ප්‍රමාදය එය ගැටළු රාශියක් වුණා. මේ සියල්ලම පැත්තකට දාලා අපට හැකි වුණා පක්ෂයේ එකමුතු භාවය පෙන්වන්න. වසර 72 ක් වන එ.ජා.ප.යට ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කරලා, පවුල් වාදය නැති කරලා ජ්‍යෙෂ්ටත්වය පෙන්වන්න අපට හැකිවුණා. එකමුතුව වැඩකිරීම තුළින් ඒකමතිකව ජනධිපතිවරණයට අපේක්ෂකයෙක්ක පත්කරන්න හැකිවුණා.

එ.ජා.ප.ය කියන්නේ සුළුපටු පක්ෂයක් නොවෙයි. පාක්ෂිකයින්, පක්ෂය වගේම සහෝදරත්වය ආරක්ෂා කරමින් එකම පවුලක් වගේ එකමුතුකමින් වැඩ කරනවා. මේක තමයි අපේ පක්ෂයේ විශිෂ්ටභාවය. මේ තත්ත්වය තළින් තමයි වසර 72 ක් රටේ සංවර්ධනයට උර දුන්නේ. එකමුතුව වැඩ කළොත් ජයග්‍රහණය. බෙදුනොත් පරාජය. දැන් අපි ඉදිරියට ගමන්කල යුතුයි. ඡන්දයට තව ඇත්තේ පැය 1000යි. දවස් 44 යි. ඒ නිසා අපි කතාව නවත්තලා, ගෙයින්ගෙට, හදවතින් හදවතට කතා කළයුතුයි. ලක්ෂ 162 ක් ඡන්දයට ලියාපදිංචි වී සිටිනවා. අපට අඩුගානේ ලක්ෂ 65 ක් ඡන්ද ලබාගත යුතුයි. මේ ආකාරයෙන් එකමුතුව, එක්සිත්ව, එක්සත්ව වැඩකිරීමෙන් අපට හැකිවේවි ලක්ෂ 70 කට වඩා ඡන්ද ලබාගන්න කටයුතු කරන්න.

අපට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මුලින්ම කරන්න තියෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. අප්‍රේල් මාසයේ 21 දා ත්‍රස්තවාදීන් ආගමක් මුල්කරගෙන සමගිය නැති කරන්න හැදුවා. පැය 24 ක් යන්න කලින් අපි ඒ තත්ත්වය නැතිකරලා නැවතත් රටට සහජීවනය ලබාගන්න හැකිවුණා. සෑම ජාතියකටම මගේ රට කියලා ජීවත්වෙන්න හැකි තත්ත්වයක් අපි ඇතිකරන්න ඕන. ඒ ඒකමතිකභාවය තුළින්, එකම රටක්, එකම නීතියක් න්‍යාය යටතේ රටේ තිබෙන විෂමතා නැති කරලා, රටේ සංවර්ධන ගමන වේගවත් කරන්න හැකිවේවි. ජාතික ආර්ථිකය අතිවිශිෂ්ටයි. 2015 අපට දුන්නේ දණගස්වපු ආර්ථිකයක්. ණය බරින් පිරුණ ආර්ථිකයක්. වැටුණ ආර්ථිකයක්. නමුත් මූල්‍ය පාලනයක් තුළින් අපට මෙම තත්ත්වය සමතුලිත කරන්න හැකිවුණා. එදා රටේ එක් තැනකට සීමා වූ සංවර්ධනය අපේ නායකතුමාගේ නායකත්වය සහ මෙහෙයවීම මත අපට හැකිවුණා රටේ සෑම කොනකටම ඒ සංවර්ධනය එකසේ ව්‍යාප්ත කරන්න.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට නිවාස සංකල්පයත් රටේ සැම කොනකටම ව්‍යාප්ත කරන්න හැකිවුණා. එතුමාගේ ජයග්‍රහණයට එය විශාල ශක්තියක්. ඒ වගේම සෑම වසරකම වර්ධනය වන විරැකියාවට අප විසදුම් සොයන්නේ කොහොමද. ඒ වගේම අපනයන සංවර්ධනයට විසදුම් සොයන්නේ කොහොමද‍ සහජ හැකියා ඇති අයට ස්වයං රැකියාවන්ට අතහිත දෙන්නේ කොහොමද. මේ දේවල් වලට අපි විසදුම් සෙවිය යුතුයි. 2015 දී මම මුදල් ඇමති වූ අවදියේදී අපට හැකිවුණා පඩි වැඩි කරන්න. විශ්‍රාම වැටුප්, සමෘද්ධිය වැඩි කරන්න. අපට බැරිවුණේ ක්ෂණිකව රැකියා දෙන්න පමණයි. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනපති විමෙන් අනතුරුව, අගමැතිතුමාත් සමගින් ඇතිකරන ආණ්ඩුවෙන් ප්‍රථමයෙන්ම වැඩකළ හැකි රජයේ සේවයක් ඇතිකළ යුතුයි. අද චක්‍රලෙඛ වලට යටවෙලා යන මේ අසාර්ථක රජයේ සේවයේ ගමන්මග අප වෙනස් කල යුතුයි. ඒ වගේම තරැණයන්ට මුල්තැන දී කටයුතු කරන යුගයක් ඇතිකළ යුතුයි.

එකමුතුව වැඩකරමු. ඒ තුළින් තමයි ඉදිරියට යන්න හැකි වෙන්නේ. අපි මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම තුළින් තවත් වසර 20ක් ඉදිරියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තහවුරු වෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට යන එකම පවුලක් වැනි ගමනේ රවී කරුණානායකත් සිටිනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි යැයි පැවසීය.

 

Advertiesment