Monday 14th of October 2019

English Tamil
Advertiesment


ව්‍යාජ දේශප්‍රේමය..!


2019-10-03 1142

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය.

ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් සිය කුඩා මිනිබිරියට කියා සිටියේය. එය වෘකයන් දෙදෙනෙක් අතර සටනකි. එකෙක් රාක්ෂයකි. ඔහු වෛරය, ක්‍රෝධය, නො ඉවසීම, මමත්වය, කෑදරකම, අනවබෝධය, මුග්ධභාවය. ආගමික අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය නියෝජනය කරයි. අනෙකා ඉතා යහපත්ය. හෙතෙම විමුක්තිය සතුට, සාමය, ආදරය, ඉවසීම, අවබෝධය, මනුෂ්‍යත්වය, අනුවේදනය, සංවේදිබව සහ සහකම්පනය නියෝජනය කරයි. මේ වෘකයෝ දෙදෙනා ඔබේ ශරීරය තුළ ද සටන් කරති. අන් හැමගේ ම සිරුර අභ්‍යන්තරයේ ද සටන් වදින්නේයැ යි මහල්ලා කුඩා දැරියට පැහැදිලි කළේය.

‘’මේ දෙදෙනාගෙන් කවරෙක් ජයග්‍රහණය කරන්නේ දැ?’’ යි කුඩා දියණිය මහල්ලාගෙන් විමසුවාය. ‘’ඔබ කවා පොවා ඇතිදැඩි කරන වෘකයා අවසානයේ ජයග්‍රහණය කරන්නේ යැයි’’ මහල්ලා ඉතා සරළ ව පැවසුවේය. පරම්පරා ගණනාවක් තුළ අප විසින් කවා පොවා නඩත්තු කළ නපුරු වෘකයා ප්‍රචණ්ඩකාරී ව සහ උමතු ලෙස ආපසු හැරී සමස්ත සමාජය විකා දෑමීමට සැරසෙයි. ‘’දරුව... දැන් නුඹ කුමක් කළ යුතු ද? නපුරු වෘකයාගේ ස්වරූපය හා ස්වභාවය කෙබඳු දැ’’ යි මහල්ලා කුඩා දියණියට පහදා දුන්නේය.

ඒ කෙසේද යත්... ‘’දරුව...අප විසින් කවා පොවා ඇතිදැඩි කළ නපුරු වෘකයා පරපෝෂිත­‍ෙයකි. වෘත්තීය ආහාර බුදින්නෙකි. නොතිත් ආශාවන් නිසා ලද දෙයින් තෘප්තිමත් නොවූවෙකි. මහත් තණ්හාවෙන් කිසිදා නිම නොවන කොන්ක්‍රීට් මන්දිර ගොඩනැගූවෙකි. කිසිවක් අතහැරීමට නොදත් කුම්භකරණයෙකි. අනෙකාගේ වෙනසට හා සංස්කෘතියට ගරු නො කරන ෆැසිස්ට්වාදියෙකි. අප සතු සියලු වස්තුව දරුවන්, ස්ත්‍රීන්, බවබෝග හා ධනය වරදානයක් සේ මංකොල්ල කා අපට ම දෙස් දොවොල් තැබූ වසලයෙකි. දැන් මේ පරපුටු වෘකයා ඉහඳ පණුවකු මෙන් සියල්ල කා දමා දැවැන්තයකු ලෙස වෘක රාජ්‍ය වරප්‍රසාද යටතේ නැ‍ඟී සිට අනුභවය සඳහා ඔබේ මංශය ඉල්ලයි. දරුව..දැන් නුඹ කුමක් කළ යුතු ද?’’

‘’දරුව... බලය නමැති මායාවෙන් සමස්ත සමාජය ආයාශයෙන් වෙළා ගත් හෙයින් මෙම පරපුටු වෘකයා තෝරාගැනීමක් නැති සමාජය විසින් සුරුවමක් ලෙස ඉහළට ඔසවා ඇත. මාංශ පිපාසයෙන් පෙළෙන මේ වෘකයා කොන්ක්‍රීට් පුරවරයෙන් එළි බැස ගම් නියම් ගම් සැරිසරමින් අනෙක් මානවයන්ට එරෙහි ව ප්‍රචණ්ඩත්වය වපුරයි.

වහසි බස් දොඩවයි. යටත් වැසියන් මායාවෙන් උමතු කොට වෘක අනුගාමිකයන් බවට පරිවර්තනය කරයි. උමතු රෝගයෙන් ඔත්පළ වූ කය මිස මස්තිෂ්කය නැති අවමාණුෂික වෘක බැතිමතුන් ළිං මැඩියන් සේ විකල් මනසින් ශිෂ්ටාචාරයේ වධක භූමියේ අයාලේ සැරිසරයි. අන්ධ අනුකාරකයාගේ මොළය කා දැමීම සඳහා උන් විසින් ම සාදා ගත් සිර කුටි තුළ ගාල් කොට ඔවුන්ට කිසිවක් ප්‍රශ්න නො කළ හැකි සේ මුඛවාඩම් දමා නිද්‍රාගත වට්ටෝරු වපුරයි. සියල්ලෝ ම විකල් මනසින් වෘකයාට දණ්ඩ නමස්කාර කොට වහල්භාවය වැලඳගනිති. යටත්වැසියා ගතානුගතික වහල්භාවයෙන් මිදීමට අන් සරණක් නොමැති ව තම දරු මුනුබුරන් ද පරම්පරාවෙන් පරම්පරාවට වහල්භාවයේ ම ගිල්වා දමයි.’’

ජාතිකවාදි උන්මාදය

බොහෝ ගම්, නියම්ගම්, පුරවර පුරා බල දේශපාලන සහ ආගමික දේශප්‍රේමය උතුරා වාන් දමයි. එහි අනෙකාට එරෙහි වහසිබස් මුසු වෛරයක් මිස ප්‍රේමයක් නම් නො වෙයි. සමස්තය අත්පත් කරගැනීමේ කෑදරකම මුසු මුග්ධභාවය සහ අවමානුෂික ප්‍රචණ්ඩත්වයක් ප්‍රදර්ශනය වෙයි. තමා දෙපා රඳවා සිටින බිම්කඩකට ප්‍රේම කරයි. අන්සියල්ල පිළිකුල් කරයි. දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදයේ පීතෘභූමිය (දේශප්‍රේමය) නැතිනම් ආර්ය සංකල්පයට එරෙහි ව ජර්මන් නාට්‍යකරු ‘බර්ටෝලට් බ්‍රෙච්ට්’ ලියූ කෙටි සටහනක මෙම උමතුව උත්ප්‍රාසයෙන් මෙලෙස අනාවරණය කරයි. කේ මහතා නිෂ්චිත රාජ්‍යයක ජීවත්වීම අවශ්‍ය යැයි නො සිතයි. ‘’මම සෑම තැනක ම සංචාරය කිරීමට උනන්දුවෙන් සිටිමි’’ යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

එක් දවසක සතුරන් විසින් අත්පත් කර ගත් ඔහු ජීවත් වූ රාජ්‍යයේ නගරයකට හෙතෙම පිටත් ව ගියේය. සතුරු පාර්ශ්වයේ එක් නිලධරයකු ඔහු වෙතට පැමිණ පදිකවේදිකාවෙන් ඉවත්වන ලෙස අණ කළේය. පදික වේදිකාවෙන් ඉවත් වූ හෙතෙම ඒ මිනිසා ගැන පමණක් නොව ඔහු පැමිණි රටට ද ශාප කරන වග අවබෝධ කර ගත්තේය. එය පෘථිවිය මතුපිටින් ඉවත් කළ යුතු යැයි ඔහු තීරණය කළේය. ඔහු තමාගෙන් මෙලෙස විමසුවේය. ‘’මම මේ මොහොතේ ජාතිකවාදියෙක් (දේශප්‍රේමියෙක්) වුව හොත් ? අනෙක් ජාතිකවාදියාට ප්‍රතිප්‍රහාර එල්ල කරමි. ඒ හෙයින් උමතුව ඉවත් කර ගත යුතුය. හැමකෙනෙක් ම ප්‍රතිප්‍රහාර දක්වන්නේ (දේශප්‍රේමී) උමතුවෙනි.’’ සැබවින් ම 21 වන සියවසේ දේශප්‍රේමය සහ ජාතිකවාදය යනු උමතුවකි.

පිළුණු වදන්

බල දේශපාලනය විසින් පටු සීමාවක් මත දිගේලි කළ දේශප්‍රේමය, භූමිපුත්‍ර, මාතෘභූමිය, පිතෘභූමිය වැනි සංකල්ප කල්ඉකුත් ව පිළුණු වු වදන් ලෙස 21 සියවසේ දී අභාවයෙන් අභාවයට ගමන් කරයි.දේශගුණික විපර්යාසය ගෝලීය උණුසුම සහ සමස්ත පෘථිවියේ පාරිසරික බිඳවැටීම හමුවේ සියලු මානව මානවිකාවන්ගේ මාතෘභූමිය යනු සමස්ත ග්‍රහලෝකයයි. පෘථිවිය යනු සියලු ජීවීන්ගේ නිවහනයි. ඉන් කුඩා කොටසක් රාජ්‍යයක් ලෙස රැකගැනීමට වෙරදෑරීම අනුවණකමකි.එමෙන් ම මංකොල්ලකාරී වෙළෙඳ පොළ ආර්ථිකය සමස්ත පෘථිවිය ම අමුද්‍රව්‍යයක් ලෙස නව ලිබරල්වාදී කෝව තුළ හැඩගැසූ විට එකීය රටක් ගැන දෙඩවීම මරාණාසන්න රෝගියකුගේ කෙඳිරිල්ලට සමානය. ස්වාධිපත්‍යය යනු පැරණි ශබ්දකෝෂයක අරුත්සුන් වදනකි.

භූ දේශපාලනික යුගයේ විදේශ ආක්‍රමණ යන වදන බලවතුන්ගේ විදේශ ප්‍රතිපත්ති නමැති න්‍යායපත්‍රයේ ආශ්‍රයෙන් ඈත් කළ සුවපත් කළ නො හැකි වසංගත රෝගියකි. එහෙත් ඉතා ලාභදායී දේශපාලන කර්මාන්තය (political industry) සිය මංකොල්ලකාරී පැවැත්ම සඳහා දේශප්‍රේමය නමැති වදන වංචනික ව යොදා ගනියි. දේශප්‍රේමය ගැන දොඩන කිසිවෙක් මහපොළවට ආදරය නොකරයි. ලද සෑම අවසරයක දී ම සොබා සම්පත් කොල්ලකෑම ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි. එහෙයින් දේශප්‍රේමය යනු නිදැල්ලේ මංකොල්ල කෑම සඳහා යොදාගන්නා ඉන්ද්‍රජාලික උපාය මාර්ගයකි.

තාගෝර් මතය

යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දියාව නිදහස් අරගලය සඳහා ඉතා සුදුසු භාෂාවක් සොයමින් සිටින මෙහොතේ දී ‘රබීන්ද්‍රනාත් තාගෝර්’ ගෝලීය ඒකීයත්වය හා මානවයා ලෝකයේ ප්‍රගමනයට තමා විසින්ම විවෘත විය යුතුය යන මතවාදය ඉදිරිපත් කළේය. මෙම විශ්වීය මතවාදය සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම නිසා ‘තාගෝර් විශ්ව කාව්‍යක්කාරයා’ universal poet යැයි හඳුන්වනු ලැබීය. මෙම දාර්ශනික පදනම ඉන්දියානුවාගේ ලෝක දැක්ම වෙනස් කළේය. නිදහස් අරගලය තුළ මානවයාගේ විශ්වීය දැක්ම නිවැරදිව අවබෝධ කර දෙමින් එහි ගමන් මඟ සකස් කළේය. එහෙත් පටු පක්ෂ දේශපාලනය, ගතානුගතික ආගමික නියෝජිතයෝ සහ වංචනික ප්‍රභූ පංතිය මෙම මතවාදය දැඩි ලෙස පිළිකුල් කළහ. ඔවූන්ගේ අවස්ථාවාදී බල දේශපාලනය විසින් පොදු ජනයා සර්වාංග ශික්ෂණ මතවාදය හා විශ්ව මානවියත්වය වෙත ලඟාවීමට තිබූ සියලු මාර්ග අසුරා බාධක පැමිණ වීය. ඒ සඳහා ඔවූහු දේශප්‍රේමය සහ ජාතිකවාදය නමැති මෙවලම භාවිත කළහ.

තාගෝර් මතවාදය දැඩි ලෙස විවේචනය කරන කණ්ඩායම් සමාජ විප්ලවය ඉතා ක්ෂණිකව අත්පත් කර ගත හැකි සරල ක්‍රියාවකැයි කල්පනා කළහ. එහෙත් ප්‍රගතිශීලී හා නිර්මාණශීලී ශික්ෂණවේදයකින් තොරව සමාජය වෙනස් කිරීම හිතළුවක් සහ මානසික උන්මාදයකි. සමාජ ගිලානත්වය දේශපාලන රෝග ලක්ෂණයකි. බලය අත්පත් කර ගැනීම නමැති අන්ධ විප්ලවය පටු විකෘති ක්‍රියාදාමයකි. ගෝලීය අරමුණක් සහිත මනුෂ්‍යත්වය පිරිපුන් අධ්‍යාපනය වෙනසක පෙරගමන්කරුවාය. තාගෝර් ව්‍යාජ ජාතිකවාදයට එරෙහි විය. දේශපාලන, ආගමික හා වාණිජ සංවිධානවලට යෙදිය හැකි අනෙක් නාමය ජාතිකත්ව යැයි තාගොර් අවධාරණය කළේය. ජන ජීවිතය ඒකාබද්ධ කළ හැකි ශක්තිමත් වෙළුම ජාතිකත්ව යැයි කෑදර බල දේශපාලනය විශ්වාස කරයි. සැබවින්ම එය මනුෂ්‍යයත්වයේ විකෘතියකි. සමාජ සංහිඳියාව කෙලෙසා දමන භයානක වසංගතයකි. පාදඩ පංතියේ බලය අත්පත් කරගැනීමේ කූඨ දේශපාලන අභිලාෂය දේශප්‍රේමය නමැති රසකාරකය ආලේප කළ මත්ද්‍රව්‍යයකි.

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක් ම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය. සැබවින් ම මොවුන් උභය ජීවියා මෙන් ම පරිනාමයේ විකෘතියකි. එහෙයින් මංකොල්ලකරුවන්ගෙන් රාජ්‍ය මුදා ගැනීම කූඨ මැතිවරණ මගින් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම හිතළුවකි. එය නිර්දේශපාලනයේ මුග්ධභාවය යි.

‘’ඔබ රාජ්‍ය බලය පාදඩ කණ්ඩායම්වලින් ඉවතට ගැනීමට වෙර දරයි. නමුත් මෙම ක්‍රමය පාදඩ කණ්ඩායම්වලින් පිටතට ගැනීම ඉතා දුෂ්කරය. මක්නිසාදයත් යුද්ධය කිසි දිනක පරහිතකාමිත්වය සඳහා සටන් නො වදියි. එය බල ආධිපත්‍යය උදෙසා සටන් කරයි. වාණිජ වුවමනාවන් සඳහා පෙනී සිටියි. එළඹෙන සෑම දිනක ම කෑදරකම හා ප්‍රචණ්ඩත්වය අප අතරින් ඉහළට එසවෙයි. එය ශිෂ්ටාචාරයේ අර්බුද යයි. මෙම ව්‍යසනය අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා අපි වෙර දරන්නෙමු. එය වහල්භාව ය’’ යි.

බොස්නියාව

උක්ත සන්දර්භය තුළ සෑම රට වැසියෙක් ම සිරකරුවෙකි. ව්‍යාජ දේශප්‍රේමී මංකොල්ලකරුවාගේ ග්‍රහණයට නතු වූ ප්‍රාණ ඇපකරුවෙකි. දේශප්‍රේමය යනු සොබාදහමේ න්‍යායන්ට අනුව හැසිරෙන යාන්ත්‍රණයක් නො වෙයි. එය කෑදර මංකොල්ලකාර පංතියක් විසින් බලහත්කාරයෙන් අටවාගත් පීඩන යන්ත්‍රයකි. ව්‍යාජ දේශප්‍රේමය යනු අහිංසක ජනයාගේ ඉහමොළ විකා දමන ඉහඳ පණුවෙකි.

අද්‍යකාලීන ලෝක සිතියම මත අර්බුදකාරී රාජ්‍යයන් පමණක් නොව දියුණු රාජ්‍යයන් තුළ පවා බල දේශපාලන ආධිපත්‍ය උසුලන්නේ පාදඩ ධනේශ්වරයයි. මෙම පංති ව්‍යුහය හොර ජාවාරම්කරුවන්, කූඨ බුද්ධිමතුන්, පාතාල නියෝජිතයන් හා අත්වැල් බැඳගත් ඉහළ පෙළේ හමුදා නිලදරුවන්ගෙන් සමන්විත පොදු සම්පත් මංකොල්ලකරුවන්ගේ සංවිධානයකි.

බිඳී ගිය යුගෝස්ලාවියාවෙන් අගනා උදාහරණයක් උපුටා ගත හැකිය.

‘’යුද සමයේ බොස්නියාවේ විවිධ දේශපාලන කණ්ඩායම් ටයි කෝට් පැලඳ සිටිය ද ඔවුහූ හුදෙක් ම පාතාල නියෝජිතයෝය. ජගත් ප්‍රජාව මෙය හොඳින් ම දැන සිටියේය. නමුත් මුරටොවික් ඇතුළු බොස්නියන් රාජ්‍ය නිලධරයෝ යුරෝපයේ සාප්පු සවාරි ගොස් එක්සත් ජාතීන් ගැන විශ්වාසය රඳවති. එහෙත් බොස්නියාව තුළ එම එක්සත් ජාතීන්ට නිගරු කොට රටින් පිටමංකරන බවට තර්ජනය කරති’’. ජනපති ‘රදොවාන් කරාඩිෂෙක්’ පුහුණු මානසික වෛද්‍යවරයෙකි. උප ජනපති ‘නිකෝලා කොල්ෂෙවික්’ ෂෙක්ස්පියර් නාට්‍ය පිළිබඳ මහාචාර්වරයෙකි. පසු ජනපතිවරයා ජීව විද්‍යා මහාචාර්යවරයෙකි. සැමකෙක් ම උසස් අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝය. බටහිර අධ්‍යාපනය ලැබුවෝය. සැබවින් ම ඔවුහූ මානසික රෝගීන් නොවූහ. එහෙත් අවාසනාවට ඔවුහූ කූඨ යුද්ධයේ වීරයෝ වුහ.

‘’යුද්ධය මිනිසා සංවේ දී මානවයකු නො කරයි. එය මිනිසා තිරිසනකු බවට පරිවර්තනය කරයි”.‍

ව්‍යාජ දේශප්‍රේමය ඒ සඳහා ඉතා හොඳ තොතැන්නකි.

 

 
(දිනමිණ)

 

 

Advertiesment