Saturday 14th of December 2019

English Tamil
Advertiesment


ඔබම තීරණය කරන්න විඳීම ද විඳවීමද..?


2019-10-02 1439

දියවැඩියා රෝගය සහ ලිංගික දුබලතා..!

 

දියවැඩියාව අද ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් පවතින බලවත් සෞඛ්‍යමය ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මියයන ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට අමතරව දියවැඩියාව හේතුවෙන් නිර්මාණය වන තවත් රෝගාබාධ සහ සෞඛ්‍යමය ගැටලූ නිසා කෝටි සංඛ්‍යාත පිරිසක් පීඩාවටත් අසහනයටත් පත්වන බවයි සෞඛ්‍ය අංශ වාර්තාවල සඳහන් වන්නේ.

මේ අතර දියවැඩියාව සහ ලිංගික දුබලතා අතර ඍජු සම්බන්ධයක් තිබෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ඒත් නිසි පරිදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම සමාජගත නොවන සහ නවීන විද්‍යාත්මක දැනුම පිළිගැනීමට මැලිකමක් දක්වන ලංකාවේ මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එම නිසා දියවැඩියා රෝගීන් කායිකව හා මානසිකව දැඩි පීඩාවටත් අසහනයටත් පත්ව සිටින අතර ඔවුන්ගේ සහකාරියන් ද මෙකී රෝගාබාධ හෝ ඒ ආශ‍්‍රිත ගැටලූ නිසා දැඩි පීඩාවටත් අසහනයටත් පත්ව සිටිනවා.

මේ තත්ත්වය තුළ ‘දියවැඩියා රෝගීන්ට ඇතිවන ලිංගික දුබලතා’ ගැන ඔබට වඩාත් විධිමත් හා විද්‍යානුකූල දැනුමක් ලබාදීමට අප අපේක්ෂා කරනවා.

‘විශේෂඥ වෛද්‍ය තරංග සමරසේකර මහතා බදුල්ල මහ රෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරන අතර දියවැඩියා රෝගීන් සමග දීර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා ඔවුන් මුහුණ දෙන කායික හා මානසික ගැටලූ ගැනත් පුළුල් අවබෝධයක් ඇතිව සිටිනවා.

විශේෂඥ වෛද්‍ය තරංග සමරසේකර කියන්නේ ‘දියවැඩියාව හා ලිංගික ගැටලූ’ ගැන වෙන ම සාකච්ඡ කරන්න තරම් පුළුල් හා සංකීර්ණ තත්ත්වයක් මේ වන විට වර්ධනය වී තිබෙන බවයි.

‘නමුත් ප‍්‍රශ්නය වෙන්නේ දියවැඩියාව සහ ලිංගික ගැටලූ එකිනෙක හා බැඳුණු තත්ත්වයක් බව පැහැදිලිව හඳුනාගෙන තිබුණත් අපි ඒ ගැන කතා කරන්නට යොමුවන අවස්ථාවන් ඉතාමත් ම විරලයි. ඊට හේතුව වශයෙන් මම දකින්නේ දියවැඩියාව සමග බැඳුණු ලිංගික ගැටලූවලින් පීඩා විඳින බොහෝ දෙනෙක් සිටින බව අපි අවබෝධ කර නොගැනීමයි. ඒ වගේම ඔවුන් ද (දියවැඩියා රෝගීන්ද) මේ ගැන එතරම් සංවේදීභාවයක් දක්වන බවක් දැකිය නොහැකියි’ වෛද්‍ය සමරසේකර අද සමාජය හමුවේ පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරමින් කියනවා.

වෛද්‍ය සමරසේකරට අනුව වර්තමානය වන විට දියවැඩියා රෝගය හා බැඳුණු ලිංගික ගැටලූ බහුලව හඳුනා ගත හැකි අතර වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 50ක්, එනම් සෑම වැඩිහිටි පිරිමින් දෙදෙනකුගෙන් එක් අයෙක් මෙම ගැටලූවට මුහුණ දෙනවා.

‘ඒත් ප‍්‍රශ්නය වන්නේ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ වැඩිහිටි පිරිමි පුද්ගලයින් පමණක් නොවීමයි. වැඩිහිටි කාන්තාවන් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය ඒයාකාරයෙන්ම බලපානවා. සංඛ්‍යාත්මකව පැහැදිලි කළහොත් වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 40ක් දියැවැඩියාව හේතුවෙන් හටගත් ලිංගික ගැටලූවලින් පීඩා විඳිනවා.

විදීමට නොව විඳවීමට හේතුව හඳුනා ගනිමු

වෛද්‍ය සමරසේකර කියන්නේ මේ තත්ත්වය නිර්මාණය වීමට බලපා ඇති ප‍්‍රධානතම හේතුව දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම බවයි.

‘දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම හේතුවෙන් රුධිරවාහිනීවලට හානි වීමෙන් රුධිර ගමන අඩාල වෙනවා. එය තමයි ප‍්‍රධාන ගැටලූව වන්නේ. මෙසේ රුධිරවාහිනීවලට හානි වීම නිසා සිරුරේ අනිකුත් ඉන්ද්‍රියන්වලට රුධිර සැපයුම අඩාල වෙනවා. එසේම රුධිරයේ සීනි මට්ටම වැඩි වීම නිසා ස්නායු පද්ධතියට ද හානි සිද්ධ වෙනවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන් අඩපණ වීමයි’ දියවැඩියාව නිසා ලිංගික ගැටලූ ඇතිවන පදනම වෛද්‍ය සමරසේකර ඒ ආකාරයෙන් පැහැදිලි කරනවා.

ඒත් වෛද්‍ය සමරසේකර කියන්නේ දියවැඩියාව පමණක් නොව තවත් හේතු /රෝග කිහිපයක් ලිංගික දුබලතා සඳහා උත්තේජනයක් ලබා දෙන බවයි.

හෘද රෝග

අධි රුධිර පීඩනය

මානසික ආතතිය

වෙනත් රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග

මත්පැන් හා දුම්වැටි

මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික දුබලතා සඳහා තවත් ප‍්‍රධාන සාධක වශයෙන් දක්වන වෛද්‍ය සමරසේකර ස්ථූලතාව, ව්‍යායාම මදකම, වැරදි ආහාර මෙන්ම ජීවන රටාවේ ගැටලූ ද ලිංගික දුබලතාව සඳහා හේතු වන බව පෙන්වා දෙනවා.දියවැඩියාව, ලිංගික දුබලතාව හා පුරුෂයින්ට බලපාන බහුල ගැටලූ කිහිපයක් ගැන විශේෂඥ වෛද්‍ය තරංග සමරසේකර මහතා පැහැදිලි කිරීමක් කළා.

‘මේ අතර ප‍්‍රමුඛම ගැටලූව වන්නේ පුරුෂ ලිංගය ප‍්‍රාණවත් නොවීම හෙවත් ලිංගික බෙලහීනතාවයයි. මේ සඳහා බලපාන්නේ රුධිර ගමනය අඩුවීම සහ ස්නායු දුබලතාවයි. මේ සඳහා දියවැඩියාව මෙන්ම දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය වගේම ඇතැම් ඖෂධ භාවිතය ද හේතු වෙනවා. ඒ වගේම ඉතාම කලාතුරකින් වෙනත් රෝගී තත්ත්ව, හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ ගැටලූ සහ මානවසික ගැටලූත් ලිංගික බෙලහීනතාවට බලපානවා’ වෛද්‍ය සමරසේකර කියනවා.

මුත‍්‍රා මාර්ගයේ ආසාදන

මෙහිදී වෛද්‍ය සමරසේකර කියන්නේ මුත‍්‍රා මාර්ගයේ ආසාදන ද පිරිමින් අතර බහුලව පවතින බවයි.

‘මුත‍්‍රා මාර්ගයේ ආසාදන සඳහා බලපාන මූලිකම හේතුවක් වන්නේ රුධිරයේ සීනි පාලනය නොකිරීමයි. නිසිලෙස පාලනය නොකළ දියවැඩියාව රුධිරයේ සීනි මට්ටම ඉහළ දැමීමට හේතුවක් වන අතර ‘සීනි’ විෂබීජ සඳහා හොඳ පෝෂණ මාධ්‍යයක් ලෙස ද ක‍්‍රියා කරනවා. මේ හේතුව නිසා පුද්ගලයෙකුගේ ප‍්‍රතිශක්තිකරණය අඩුවීමක් සිදුවන අතර එමගින් විවිධ විෂබීජ සමග සටන් කිරීමේ හැකියාව ද පහළ යනවා’

ශිෂ්ණයේ පෙර සම ආශ‍්‍රිතව ඇතිවන ආසාදන

මුත‍්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන මෙන්ම ශිෂ්ණයේ පෙර සම ආශ‍්‍රිත ඇතිවන ආසාදන ද දියවැඩියාව නිසා සිදුවන බවයි වෛද්‍ය සමරසේකර කියන්නේ.

‘ශිෂ්ණයේ පෙර සම ආශ‍්‍රිතව ඇතිවන ආසාදන ද මුත‍්‍රා මාර්ගයේ ආසාදන අතරට ගැනෙනවා. අපි දකින ලෙස දියවැඩියාව නිසි ලෙස පාලනය කර නොගත් පිරිමින් අතර මේ තත්ත්වය බහුලව දැකිය හැකියි’ වෛද්‍ය සමරසේකර කියන්නේ මේ තත්ත්වය කාන්තාවන් අතර ද බහුලව දැකිය හැකි බවයි.

‘දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරන කාන්තාවන් ද මුත‍්‍රා මාර්ගයේ ආසාදනවලට බහුලව ලක්වෙනවා. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තමයි බොහෝ කාන්තාවන් (වැඩිහිටි* තමන්ට දියවැඩියාව ඇතැයි හඳුනා ගන්නේ ද මුත‍්‍රා මාර්ගයේ ආසාදනවලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේදීයි. ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශ අවට අතිවන දිලීර ආසාදන දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් අතර බහුලව දැකිය හැකියි. විශේෂයෙන් මේ ප‍්‍රදේශයේ ඇතිවන කැසීම, සුදු පැහැති දියරයක් පිටවීම වැනි ලක්ෂණ දිලීර ආසාදනයකදී දැකිය හැකියි. මීට අමතරව යෝනි මාර්ගයේ වියළීම නිසා කාන්තාවන්ට ලිංගික ක‍්‍රියාවලියේ දී වේදනාකාරී බවක් ඇතිවිය හැකියි. මේ නිසා ලිංගික ක‍්‍රියාවන් සඳහා ඇතිවන කැමැත්ත කාන්තාවන් කෙරෙන් ගිලිහී යා හැකියි.

දියවැඩියාව හා තවත් රෝග

මෙහිදී විශේෂඥ වෛද්‍ය තරංග සමරසේකර මහතා පෙන්වා දෙන්නේ අවුරුදු 40 ඉක්මව යාමත් සමග අත්වැල් බැඳගෙන පැමිණෙන රෝග දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම සමග තවත් සංකීර්ණ වන බවයි. ‘අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම, ක‍්‍රියාශීලී බව අඩුවීම නිසා ඇති වන ස්ථූලතාවය ආදිය මේ සමග එකිනෙක බැඳී තිබෙන සුලභ ගැටලූ බවට පත්ව තිබෙනවා. අද අපේ සමාජයේ බොහෝ වැඩිහිටියන් මේ රෝග සමග ජීවත් වෙනවා’ වෛද්‍ය සමරසේකර කියනවා.

පාලනය කළ හැක්කේ කෙසේද..?

‘අඹුසැමියන් අතර මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට ලිංගික ජීවිතය අතිෂයින් වැදගත්. එහිදී ඇතිවන යම් යම් ගැටලූ පවුල් ජීවිතය නීරස කිරිමට පමණක් නොව එය කඩාකප්පල් කිරීමට ද බලපානවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක දෙදෙනාම බුද්ධිමත්ව, ඉවසිලිවන්තව හා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි’

වෛද්‍ය සමරසේකර අවධාරණය කරන්නේ සැමියා හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ මේ ආශ‍්‍රිත ගැටලූවක් ඇති බව අවබෝධ කරගත් විට එයින් සැඟවී සිටීමට උත්සාහ දැරීම අතිෂයින් අනුවණ ක‍්‍රියාවක් බවයි.

‘මෙවැනි තත්ත්ව බොහෝ විට පාලනය කළ හැකියි. මූලිකව තමන්ට යම් ගැටලූවක් ඇතිබව හඳුනා ගැනීම හා අනතුරුව තම සමීපතම තැනැත්තා හෝ තැනැත්තිය සමග ඒ පිළිබඳව සාකච්ඡුා කිරීම ඉතාම වැදගත්. ලැජ්ඡුාව හෝ වෙනත් යම් හේතුවක් නිසා තමන්ට ඇති ගැටලූව සිරකර සඟවා ගෙන නොසිටිය යුතුයි. ඊට හේතුව වන්නේ ගැටලූව තිබෙන්නේ එක් අයෙකුට වුවත් එය සැමියා බිරිඳ යන දෙදෙනාටම එක ලෙස බලපෑම් කිරීමයි. එය අතිෂය හානිකර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි නිසයි. ඒ අනුව අනෝන්‍ය සහයෝගයෙන් සහ අවබෝධයෙන් මේ පිළිබඳව පිළිගත් වෛද්‍යවරයෙක් සමග සාකච්ඡුා කළ යුතුයි’

සීනි පාලනය කර ගැනීම

‘මේ ගැන මොන තරම් සාකච්ඡුා කළත් පළක් නැති තත්ත්වයක් තිබෙනවා. ඒ සීනි පාලනයට අවශ්‍ය විධිමත් හා ප‍්‍රායෝගික පියවර නොගැනීමයි. ඒ නිසා ප‍්‍රථමයෙන්ම සීනි පාලනයට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ සමග වෛද්‍ය නිර්දේශ මත ආහාර පාලනය කිරීම, ජීවන රටාව නිසි ලෙස පවත්වා ගෙන යාම, ව්‍යායාම කිරීම, මෙන්ම ඇතැම් ඖෂධ මගින් මේ තත්ත්වය ක‍්‍රමිකව පාලනය කළ හැකියි’ මෙහිදී විශේෂඥ වෛද්‍ය සමරසේකර අවධාරණය කරන්නේ ඉහත සඳහන් පියවරවලට අමතරව දුම්පානය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය අත්හැරීම, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය පියවර ගැනීම, මෙන්ම තමා ගන්නා ඖෂධ ගැන ද වෛද්‍යවරයා සමග සාකච්ඡුා කිරීම අත්‍යවශ්‍ය බවයි.

‘එහිදී ඔබ ගන්නා ඖෂධ පිළිබඳ තත්ත්වය මෙන්ම ගන්නා ඖෂධ පිළිබඳව ද වෛද්‍යවරයා සමග සාකච්ඡුා කර එම ඖෂධ ඔබට ගැළපෙන්නේ ද, යම් යම් අපහසුතා ඇති වන්නේ ද යන්න ආදිය පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාගත යුතුයි. ඒ වගේම තමයි ඔබගේ හෝමෝන ආශ‍්‍රිතව යම් ගැටලූවක් හෝ රෝගී තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳව ද වෛද්‍යවරයා සමග සාකච්ඡුා කළ යුතුමයි. ඒ මගින් අදාළ තත්ත්වයන්ට විධිමත් ප‍්‍රතිකාර කළ යුතුයි’

මෙහිදී මානසික ආතතිය, රැකියාවේ ගැටලූ, දෙදෙනා අතර ඇතිවන ගැටලූ ආදිය ද ලිංගික බෙලහීනතාවයට බලපාන බව අවබෝධකර ගත යුතුයි. එම නිසා මෙම ගැටලූ ද විසඳා ගැනීමට පියවර ගැනීම අතිෂයින් වැදගත්’ වෛද්‍ය සමරසේකර වැඩි දුරටත් පැහැදිලි කරනවා.

මේ අවස්ථාවේදී ඔබට වැදගත් අවවාදයක් ලබාදීමට ද විශේෂඥ වෛද්‍ය සමරසේකර කැමැත්තක් දක්වනවා.

‘මෙවැනි ගැටලූ අවම කර ගැනීම සඳහා පුද්ගලයෙකු හැම විටම තම නිරෝගීකම හා ශාරීරික යෝග්‍යතාවය ඉහළ තැනක තබාගත යුතුයි. ඒ සඳහා නිසි ආහාර පාන, නිසි ව්‍යායාම, බර පාලනය අතිෂයින් වැදගත් බව සිහිතබා ගත යුතුයි’ වෛද්‍ය සමරසේකර අවධාරණයෙන් පවසනවා.

වෛද්‍ය සමරසේකර මෙහිදී යළි සිහිපත් කරන්නේ ‘වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

‘මෙවන් තත්ත්ව පාලනයට යම් ඖෂධ තිබෙනවා. ඒ නිසා අදාළ ගැටලූව සැලකිල්ලට ගනිමින් වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය වන්නේ නම් ඖෂධ භාවිතා කිරීම සිදු කළ හැකියි’ මෙවැනි ඖෂධ භාවිතයේදී ‘වයස’ බාධාවක් විය හැකිද යන්න බොහෝ දෙනෙකු විමසන බවයි වෛද්‍ය සමරසේකර කියන්නේ.

‘නැහැ, මෙවැනි ගැටලූවක් හැමවිටම ‘වයස’ නිසාව හට ගන්නා එකක් ලෙස සරලව සලකා ඉවත දැමිය යුතු නැහැ. වියපත් වීමත් සමග යම් යම් ගැටලූ ඇතිවීමේ ප‍්‍රවණතාවක් පවතිනවා වුවත් එය ‘එකම සාධකය’ ලෙස සලකා ඉවත දැමිය යුතු නැහැ. එය අර්බුදයකට මග පාදනවා සේම අවාසනාවන්ත තත්ත්ව රැසක් නිර්මාණය කිරීමට ද ප‍්‍රබල හේතුවක් විය හැකියි’

මෙහිදී වෛද්‍ය සමරසේකර යළි අවවාද කරන්නේ, ලැජ්ඡව, වයස හෝ වෙනත් සාධක මුල් කර ගනිමින් මෙවන් ගැටලූවක් මග හැරීමට බුද්ධිමත් වීම වැදගත් බවයි.

‘මානව පැවැත්මේ අතිෂය වැදගත් කරුණක් වගේම පවුලක එකමුතුකම, බැඳීම තීරණය කරන අතිෂය ප‍්‍රබල සාධකයක් ලෙස ක‍්‍රියාත්මක වන ‘අඹුසැමි ලිංගික ජීවිතය’ ලිංගික දුබලතාවකට ගොදුරු කර විඳවීම අනවශ්‍ය දෙයක්. එබැවින් ජීවිතයේ සතුට, සැහැල්ලූව එකසේ රඳවා ගන්නට නම් එහි ප‍්‍රබලතම හේතු සාධකයක් වන ‘නීරෝගිකම’ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම ඔබගේ මූලික වගකීමක් මෙන්ම යුතුකමක් ද වෙනවා. ඊට හේතුව වන්නේ මෙවැනි අවස්ථාවකදී ‘විඳවන්නේ ’ ඔබ පමණක් නොවීමයි. ඔබ මෙන්ම ඔබේ සමීපතමයා ද මෙවැනි තත්ත්යකදී දැඩි සේ විඳවනවා’ විශේෂඥ වෛද්‍ය සමරසේකර අවසන් වශයෙන් පවසනවා.

දැන් ඔබම තීරණය කරන්න.... විඳීම ද..? විඳවීමද..?

 

සටහන - තුෂාධවි
Advertiesment