Saturday 20th of July 2019

English Tamil


රාජපක්ෂලා කඩපු ලතීෆ්ගේ කොන්ද..!


2019-02-10 6142

ලතීෆ්ට මොනරාගලින් එන්න වුණේ ඇයි..!

ඉන්දියාවට කරගන්න බැරි වුණ දේ..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

“අපි යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා කප්පම්කාරයෝයි, පාතාලයයි නැති කළා. දැන් අවාසනාවකට අයෙත් පාතාලය, කුඩුකාරයෝ, කප්පම්කාරයෝ මතු වෙලා...”

මේ පසුගිය අවුරුද්දේ හරියටම මාර්තු මාසයේ ගෝඨාභය රාජපක්ෂ රටටම ඇහෙන්න ආඩම්බරයෙන් කි කතාවය.

පාතාලය ආපහු වැඩ පටන් අරන්..

ගෝඨා හිටියනම් පාතාලයක් නැහැ..

ගෝඨා කුඩු නැති කළා..

ගෝඨා තමයි රටේ නිතිය, විනය  හැදුවේ...

මේ ඒ කාලයේ මහින්දවාදි මාධ්‍ය, මහින්දවාදී හාමුදුරුවරු ,ඒකාබද්ධ විපක්ෂය කි කතාවය. හැබැයි කොළඹට පමණක් සිමා වූ කුඩු ජාලය රටේ ගම් නියම් ගම්වලට ගියේ මහින්ද ජනාධිපති වී ගෝඨාභය ආරක්ෂක ලේකම් ධූරය දරද්දිය. හොදම නිදසුන කොටකෙතන ඝාතන රැල්ලය. කොටකෙතන කාන්තාවන් ඝාතනය කරන්නේ කුඩු ජාවාරම්කාරයන් බව හෙළි වුයේ දිගු කාලයකට පසුවය. එතෙක් කොටකෙතන ඝාතනකයන් සොයා ගන්න ගෝඨාභයගේ පොලිසියට, හමුදාවට නොහැකි විය. හේතුව රත්නපුරේ ඇමැතිගේ ලේකම්වරු මේ කුඩු ජාවාරමට සම්බන්ධ වී සිටි නිසාය.

එපමණක් නොව 2014 ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයාව සිටියදී දකුණේ මහ දවල් පාතාල යුද්ධයක් ඇති විය. යුද්ධය දින ගණනක් පැවතුණි. දකුණේ පාතාලය එළියට ආවේ ඉන් පසුවය. මාකදුරේ  මධුෂ්ලා වැඩ පටන් ගත්තේ ඒ කාලයේය. ඒ පාතාල යුද්ධයත් ගම් නියම්ගම්වල කුඩු ජාවාරමත් පිළිබඳ ප්‍රවුති රටම දැන ගනිද්දී ගෝඨාභය අපූරු ප්‍රකාශයක් කළේය. එනම් එල්.ටී.ටී. ඊ. යට එරෙහි යුද්ධය වගේ පාතාලය කුඩු මර්දනය කරන්න යුද්ධයක් පටන්ගන්නවා කියාය.

මේ 2014 නොවැම්බරයේ පමණය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න කියා තිබියදීය. යුද්ධය අවසන් වුයේ 2009 මැයි මාසයේය. පාතාලය නැති කරන්න කුඩු නැති කරන්න වසර පහකටත් වැඩි කාලයක් තිබිණි. දකුණේ පාතාලය ඔලුව ඉස්සුවේ ගම්වලට කුඩු ව්‍යාප්ත  වුයේ මේ වසර පහ තුලය.

මේ ගම්වල කුඩු ජාවාරම නැති කරන්න ඌව ප්‍රදේශයේ මෙහෙයුමක් පටන් ගත්තේ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ය. ඔහු මොණරාගලට ගියේ වැල්ලවාය විශේෂ කාර්යය සාධක බලකායට අනුයුක්ත කර සිටි නිලධාරියෙක් අභිරහස්  ලෙස ඝාතනය කිරීම ගැන සොයන්නටය. ඔහුව ඝාතනය කළේ ගංජා, කුඩු වටලන්න ගිහින්ය. එම ඝාතනය සොයන්න ගිය ලතිෆ් මොණරාගල මහ මෙහෙයුමක් දියත් කළේය. පළාතේ මැති ඇමැතිවරුන්ගේ  විරෝධය මධ්‍යයේ ඔහුට කොළඹ එන්න සිදුවිණි.

ඔහුගේ මාරුව ගැන එකල මෙරට ජාතික යැයි කියා ගන්නා  මාධ්‍ය කතා කළේ නැත. කතා කළේ විකල්ප මාධ්‍යය.

මහින්දලා, ගෝඨාභයලා කොන්කර තිබූ කුඩු නසන පාතාලය නසන මෙහෙයුම භාර දුන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවය. ඔහුගේ ඉලක්කය වුයේ හාල් මැස්සන් නොව තෝරු , මෝරුය. ඔහු ඉලක්ක කළේ කුඩු රජා, පාතාල රජා ලෙස කිරුළ පැළඳ සිටි මාකඳුරේ මධුෂ් ය.

ඔහු සැගව  සිටියේ ඩුබායිවල ය. ඉන්දියාවේ පාතාල රජා සහ සහ කුඩු රජා ලෙස කිරුළ දරා සිටින ඊබ්‍රාහිම් ඩාවුඩ්  සැඟව සිටින්නේත් ඩුබායිවලය. ඔහු ඉන්දියාවේ නළු නිළියන්, ගායක ගායිකාවන්, දේශපාලඥනයන් සමග සබදතා පවත්වන අයෙකි. ඉන්දියාවේ ප්‍රකට නිළි ශ්‍රී දේවි ඩුබායිහි ඝාතනය වූ විට මහින්දගේ යාළුවා සුබ්‍රමනියම් ස්වාමි කිවේ ශ්‍රී දේවි සහ ඊබ්‍රාහිම ඩාවුඩ් අතර අනියම් සම්බන්ධයක් ඇති බවත්, ශ්‍රී දේවි සේම හින්දි නිළියන් විශාල සංඛ්‍යාවක් සමග ඔහුගේ සම්බන්ධතා පවතින බවය.

ඔහුත් මධුෂ් වගේම ඉන්දියාවෙන් නළු නිළියන්, ගායක් ගායිකාවන් ඩුබායිවලට ගෙන්වා ගෙන පාටි දමන අයෙකි. ඉන්දියාවේ ඔත්තු සේවා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ආසියාවේ නොම්බර එකේ ආරක්ෂක ජාලයේ කොටස්කරුවන්ය. එත් තවමත් ඔවුන්ට ඊබ්‍රාහිම් කොටුකර ගත නොහැකි වී ඇත.

එත් මේ පුංචි ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ට මධුෂ්ව කොටුකර ගත හැකි විය. එයට හේතුව ඔහුගේ මෙහෙයුම්වලට මෛත්‍රීවත්, රනිල්වත් ඇඟිලි ගැහුවේ නැති නිසාය. මධුෂ්ට දකුණේ දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණත් ඒ කිසිම දේශපාලඥයෙක්ට ලතිෆ්ට කතා කරන්නට බැරි විය. හේතුව ඔහුට කොන්දක් තිබිණි. ඒ කොන්ද ඔහුට දුන්නේ මෛත්‍රී සහ රනිල්ය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ආ පසු ඔහුගේ කොන්ද අලුත් වුවා නොවේ. ඔහුට හැමදාම ඒ කොන්ද තිබිණි. මහින්දලා කළේ ඒ කොන්ද කඩා දැමීමය.

ඒ කාලයේ මධුෂ්ලා වැඩ පෙන්නුවේ ඒකය. නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ව මොනරාගලින් මාරු කරන විට මහින්ද හිතවාදී ජ්‍යෙෂ්ඨ දේශපාලන ලියුම්කරුවකු ලිපියක් ලීවේය. ඔහු ලිවේ ලතිෆ්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දෙන්න කියාය. එම ලිපිය 2013 පෙබරවාරි 16 කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ විය.

“ ලතිෆ්ට පාඩුවේ වැඩ කරන්න ඉඩ දෙන්න”

මේ ඔහුගේ ලිපියේ හෙඩිමය. මේ 2019 පෙබරවාරි 06ය. ලතිෆ් කුඩු රජා, පාතාල රජා අල්ලන මෙහෙයුමක් දියත් කළේය. ඔහු මෙහෙයුම ජය ගත්තේය. ඒ රාජපක්ෂලා ජනාධිපති හෝ අගමැති පුටුවේ හිටියේ නැති නිසාය. මහින්දවාදීන්ට තිත්ත වුණත් ඇත්ත ඒකය.        

-ගුරුදා විග්‍රහය-