Monday 14th of October 2019

English Tamil
Advertiesment


රටට හැමදාමත් ආදර්ශම දෙන කතානායක සිය උපන් දිනයේදී දුන් ආදර්ශය මෙන්න..!


2019-10-02 53278

මාදුළුවාවේ සෝභිත හිමි වෙනුවෙන් සුපිරි සාදයක් පවත්වලා..!

 

අසරණ දරු දැරියන් වෙනුවෙන් කද මලු බැදගෙන ඇලපත්ගම ගිහින්..!

 

මාදුළුවාවේ සෝභිත නා හිමි යනු අපේ යුගයේ සඟ සසුන ශෝභමාන කළ මහා වාධිභසිංහයාණෝය. සුපේශල ශික්ෂාකාමී ධර්මධර, විනයධර මහ තෙරනමක් ලෙසත්, ව්‍යක්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙසත්, ගිහි පැවති සමාජයේ අතිශයින් සම්භාවනාවට පත් උන් වහන්සේ තවත් විටෙක මහා සමාජ ප්‍රතිසංස්කාරකයෙකුගේ භූමිකාවට පණ දුන් බව නොරහසකි.

ස්වකීය හෘද සාක්ෂයට අනුව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අභිතව පෙනී සිටි උන් වහන්සේගේ ස්වරය අතිශයින් තියුණුය. සටන්කාමීය. එය මෙරට දේශපාලනය ගිනියම් කළේය. නව දේශපාලන ප්‍රවාහයන් නිර්මාණය කළේය. නමුත් මාදුළුවාවේ සෝභිත නාහිමියන් යනු පක්ෂ දේශපාලනයෙන් කිලිටි නොවු පටු දේශපා‍ලන පවුරු පදනම් අතික්‍රමණය කළ යුග පුරුෂයෙකි.

උන් වහන්සේගේ ප්‍රතාපවත් චරිතාපදානය පිළිබඳව ලියැවෙද්දී එය ඉතිහාසයේ පරමාදර්ශී ස්වර්ණමය සටහනක් වනු ඇත. එම උත්තම චරිත කතාවෙහි පිටු කිහිපයක ලියැවෙන අපූර්ව සංවේදි පරිඡේදයක් තිබේ. එය උන් වහන්සේ පුබුදු කළ දැවැන්ත ජාතික අභිලාෂයන් තරම් ප්‍රකට නොවු අහිංසක කතාවකි.

එහි අක්මුල් සොයා යා යුත්තේ රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චියටය. මහවිලච්චිය කුඩා තම්මැන්නාවේ ඇලපත්ගම යනු යුධ සමයේ මහා වනගහනයෙන් වැසී ගිය හුදකලා ගම්මානයකි. නියං රකුසාගේ දරුණු ප්‍රහාරයෙන් බැට කෑ ඇලපත්ගමට තව පැත්තකින් නිරතුරුවම කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ලවිය.

ඉරි තලන මහ පොළවත්, ගිනි ගහන අව් කූඨකයත් සමඟ පොර බඳිමින් ගැමියන් වගා කළ බවභෝග වන අලි විනාශ කර දැමූහ. කෙතරම් කටුක පරිසරයක් තුළ වුවද ඇලපත්ගම ගම්වාසීහු සිය ගමට ගම්මානයට පෙම් බඳිමින් එහි රැදී සිටිමට පෙළඹ වු රහස නම් ඔවුන් සතු අපුර්ව පුරාවෘත්තයක අභිමානයයි. ඒ තුළ කියැවෙන්නේ වසර දහස් ගණනක උරුමයයි. ඔවුන්ගේ විශ්වාසයට අනුව කුඩා තම්මැන්නාවේ, ඇලපත්ගම පාරම්පරිකව පැවත එන ගැමියෝ කුවේණියගේ පරපුරට අයත් වෙති.

ඉපැරණි යක්ෂ ගෝත්‍රික හටන් ක්‍රම හා වෙදකම වසර දෙදහසක් පමණ රැකගනිමින් හෙළයට දායාද කළෝ ඔවුන්ගේ මුතුන් මිත්තෝය. කෙතරම් පෝෂණ ඌණතා තිබුණද, පුළුල් උරහිස් සහිත බාහු බලයෙන් අනූන ඇලපත්ගම තරුණයෝ අද ද මෙම අභිමානවත් ජාන උරුමයට සාක්ෂි සපයනු පෙනේ.

මාදුළුවාවේ සෝභිත නාහිමියන් ඇලපත්ගම ජනතාව සොයා වැඩම කළේ යුද්ධයේ දරුණුම අවස්ථාවේදීය. උන් වහන්සේ එහි වැඩම කරන විට එගම වැසියන්ගේ ධෛර්ය අන්තයටම සිදි ගොස් තිබුණි. සෝභිත හිමියෝ ඔවුන්ගේ මිලිනව යමින් තිබුණු බලාපොරෝත්තු සිතුම් පැතුම් යළි අවදි කළහ.

“ නුඹලාගේ පාරම්පරික උරුමය දාලා යන්න එපා. ඔය පැල්පත් ටික වෙනුවට මම හොඳ ගෙවල් හදලා දෙන්නම්. කෝට්ටේ නාග විහාරයට ලැබෙන අඩුවැඩියත් මම අරගෙන එන්නම්. දරු පැටවුන්ව හොඳින් පෝෂණය කරපල්ලා.එවුන් තමයි මේ ගමෙත් රටේත් අනාගතය. මං උඹලා පිටිපස්සෙන් ඉන්නවා.”

පොපියන දෑසින් යුතුව ප්‍රතාපවත් නාහිමි දෙස බලාසිටි ගම්මු ඒ හඬින් යළිපිබිදුනහ. එතැන් සිට කොතරම් දැවැන්ත ජාතික මෙහෙවරකට උරදී සිටියද, සෝභිත හිමියෝ මසකට වරක් නොකඩවාම ඇලපත්ගමට වැඩියහ.

අල්පේච්ඡ දිවියක් ගෙවු උන් වහන්සේ කෝට්ටේ නාග විහාරයට ලැබුණු බොහෝ දෑ ඇලපත්ගම අසරණ මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප ‍කළහ.

ගමේම දරුවෙකු ඇලපත්ගම රේවත නමින් පැවිදි කරවා නාග විහාරයට ගෙනවිත් ශිල්ප ප්‍රගුණ කරවුයේ තමාගේ ඇවෑමෙන් එහි ජනතාවට මඟ පෙන්වීමටය. මාදුළුවාවේ සෝභිත හිමියෝ මසකට වරක් තමන් වෙත වඩින තුරු ගමේ ලොකු කුඩා කවුරුත් දෑස් දල්වා බලා සිටියහ. ඒ උන් වහන්සේ ගෙන ආ භෞතික දෑ නිසා පමණක් නොව හිමියන්ගේ සෑම වචනයකින්ම ඔවුනට මහා ආත්ම ශක්තියක් ‍‍ධෛර්යයක් කාන්දු වු නිසාය.

එහෙත් සෝභිත හිමියන් ජාතියෙන් සමුගැනීම යුක්තිය සාධාරණත්වය පිරුණු සමාජයක් අපේක්ෂා කළ සමස්ථ ලාංකිකයන්ගේ බලාපොරොත්තු අවතැන් කළා පමණක් නොව ඇලපත්ගම වැසියන්ගේ ධෛර්ය ද සිඳ බිඳ දැමුහ.

සෝභිත හිමි වඩින තුරු මඟ බලාසිටි ගැමියන් සොයා පැමිණි උන් වහන්සේ, යළි වැඩියේ නැත. අහස දෙස බලමින් වැහි පොදකට හූල්ලන මිනිසුන් සොයා පැමිණි උණුසුම් පඬුවන් පැහැයෙන් යුත් දූවිලි වළා පමණි.

නාහිමි ගොඩ නගන ලද ජාතික ව්‍යාපාරයේ සමීපතම ගමන් සඟයා වු වත්මන් කථානායක කරු ජයසුරිය මහතා උන් වහන්සේ ජාතියෙන් සමුගෙන තෙමසකට පසු සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයේ සමාජිකයන්ද කැටුව මහවිලච්චියේ මෙම හුදකලා ගම්මානය සොයාගෙන යන්නේ එවන් පසුබිමකය.

“ඔබ ගැන, මේ ගම ගැන අපේ හාමුදුරුවෝ දැකපු හැම හීනයක්ම හැබෑ කරන්න මම කැප වෙනවා. හැම කෙනෙක්ටම පැල්පත වෙනුවට හොද නිවසක් හදමු. වේලිලා තියෙන කුඩා තම්මැන්නාව වැව අමුණ හදලා ආයිත් පුරවමු. ගමට එන පාර හදමු. ඔබේ නිෂ්පාදන විකුණගන්න ආර්ථික මධ්‍යස්ථානයක් පන්සලට නුදුරෙන් හදන්නයි මගේ කල්පනාව. සෝභිත නාහිමියන්ට ඕන වුනේ ඔබව ශක්තිමත් මිනිසුන් හැටියට ගොඩනගන්න. ඒ සදහා ඔබ මනසින් නැගිටින්න ඕනි. ගමේ තරුණයන් ඊට නායකත්වය ගන්න ඕනි.” ගැමියන් වට කරගෙන කරු ජයසුරිය මහතා පැවසීය. ඒ සියල්ල වෙනුවෙන් ර‍ජයේ මුදල් ඉල්ලා සිටිනු වෙනුවට සිය රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඔස්සේ ඉන්දියානු මුල්‍ය ප්‍රදානයක් ලබාගැනීමටද කථානායකවරයා සමත් වීම සුවිශේෂි කරුණකි.

අද වන විට ඇලපත්ගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කවුරුත් දන්නේ මාදුළුවාවේ සෝභිත හිමි ගම්මානය ලෙසය. සුන්දර නව නිවාස 153ක් ඉදිවෙමින් පවතී. මේ දිනවල ඇද හැලෙන ධාරාණිපාත වැස්සට කුඩා තම්මැන්නාව වැව පිරෙමින් තිබේ. සෝභිත හිමි ගමේ දරුවෝ යළිත් වැව් දියේ දියබුං ගසන්නට නොඉවසිල්ලෙන් බලා සිටිති. ගම කෙළවරටම කාපට් පාර හැදී අවසන්ය. විසල් ආර්ථික මධ්‍යස්ථානයක් මාදුළුවාවේ ශ්‍රි සෝභිත නාහිමි විහාරයට නුදුරින් ඉදිවෙමින් පවතී. මාදුළුවාවේ සො‍්භිත නා හිමි විහාරය යනු කුඩා කුටියක්ව තිබු ගමේ පන්සලය. එය හෙට දවසේ සියලු විහාරාංගවලින් සමන්විත සුන්දර පුදබිමකි. කුඩා සාමනේර හිමිවරු දොළොස් නමක් දැන් එහි වැඩ වසති. මේ වසරේ සාමාන්‍යපෙළ විභාගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ගමේ දරුවෝ ගණනාවක්ම සමත් වුහ.

ඉඩ ලැබෙන සෑම මොහොතකම සෝභිත හිමිගේ සිහිනය සැබෑ වන ආකාරය දැකීමට විලච්චිය බලා යාම කථානායකවරයාගේ සිරිතය. “ අලුත් වාරෙට දරුවන්ට පොත්පත් ටික ගන්න ඕනි. ඉස්කෝලේ දාන්න සපත්තු ගන්න ඕනි. තරුණ ගොවියන්ට වගා ළිං ටිකක් හදලා දෙන්න ඕනි.” ඒ ජාතික දේශපාලනයේත් පාර්ලිමේත්තුවෙත් දැවැන්ත භූමිකාවකට පණ දෙන අතරතුර කථානායකවරයා කරු ජයසුරිය මහතාට හැගෙන දේය.

පසුගිය සැප්තැම්බර් මස 29 වනදාට යෙදුණු සිය උපන්දිනය සැමරීමටද කරු ජයසුරිය මහතා තෝරා ගත්තේ ඇලපත්ගමය. සිය උපන්දිනයට ඔහු එහි දරුවන්ට ගෙන ගිය තෑගිභෝග රැසකි. පාසල් යන්නට පාපැදි, පාසල් උපකරණ, ආහාරපාන ආදිය මෙන්ම උපන්දින කේක් ගෙඩියද, එහි ගෙන ගොස් දරුවන් සමග බෙදාහදා ගැනීමට ඔහු කටයුතු කළේය. එය තරුපහේ හෝටලයක පැවැත්වු සාදයක් නොවු බව සැබෑවකි. මිල අධික යුරෝපීය රසමසවුළු නොතිබුණද, බඹන මතින් සුභ පතන සුමිතුරන් නොසිටියද, ඇලපත්ගම දරුවන්ගේ පිවිතුරු සිනහ හඩ මැද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරුපහේ උපන්දින සැමරුමකට කථානායකවරයාට වාසනාව ලැබී තිබිණි.

කථානායකවරයා වැඩිහිටියන් අතර බෙදා දුන් සෑම තෑගි පාර්සලයකම මෙවැනි සටහනක්ද යොදා තිබුණි.

නිදහස් සාධාරණ ධාර්මික දේශයක් වෙනුවෙන් අප මාතෘ භූමියට මඟ පෙන්වූ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයාණන්ට ඔබ වෙනුවෙන් සිහිනයක් තිබිණි.

උන් වහන්සේගේ නාමයෙන් අප එය හඹා යමින් සිටිමු.

නිසැකවම ඔබේ සොදුරු නිවහන නොබෝ දිනෙකින් තැනෙණු ඇත. එය පිරිසිදු, පිළිවෙල නිවසක් කරන ලෙස මම ඔබෙන් ඉල්ලමි.

එම නිවස තුළ ආදරය, ප්‍රශංසාව, අගය කිරිම පිරුණු දෙබසක් ගොඩනගන ලෙසද මම ඔබෙන් ඉල්ලමි. එවිට පවුලේ සැමට නිරවුල් සුබවාදී මනසක් හිමිවනු ඇත.

එම නිරවුල් මනසට නැවුම් බලාපොරොත්තු සහ සුභ සිහින පුරවන්නැ’යි මම ඔබට කියමි.

එවිට අප මාර්ගෝපදේශකයාණන් වූ සෝභිත නාහිමියන් දුටු සිහිනය යථාර්ථයක් බවට පත්වනු ඇත.

ඔබ එම යථාර්ථයට සමීප වනතුරු මම ඔබ පසුපස සිටිමි.

අද වැනි දිනෙක ඔබ අතර ගෙවෙන හෝරා කිහිපයට ඔබේ දරුවන්ගේ පිවිතුරු සිනහ හඬට මම බෙහෙවින් ප්‍රිය කරමි.

ඔබේ පුංචි දරු පැටවුන්ගේ දීප්තිමත් දෙනෙතෙහි කැටි වූණු විසල් ලෝකයක් මට පෙනේ. එය ගොඩනගන්නට ධෛර්ය සම්පන්නව කැප වන ලෙස මම ඔබට ආයාචනා කරමි.

එවිට ඔවුන් ඔබ මුහුණ දුන් බාධක, කම්කටොළු, කටුක අත්දැකීම්වලින් බැදුණු සියළු පවුරු සුනුවිසුණු කර මහා මිනිසුන් ලෙස නැගී සිටිනු ඇත.

 

Advertiesment