Monday 14th of October 2019

English Tamil
Advertiesment


ජනරාල් මහේෂ් සේනානායකත් ජනපති සටනට..!


2019-09-30 66424

ජනරාල් මහේෂ් සේනානායක 2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව 'ජාතික ජනතා ව්‍යාපාරය' විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.'ජාතික ජනතා ව්‍යාපාරය' රට පුරා විසිරුණු විවිධ ක්‍ෂේත්‍රයන් ආවරණය කරනු ලබන සිවිල් සංවිධාන විස්සක(20) සම පාර්ශ්වකාරීත්වයෙන් නිර්මාණය කරන ලද සංවිධානයකි.

ජෙනරල් මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරන ලද්දේ , ඉරිදා(සැප්තැම්බර් 29)කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති සමුළුවකදීය.

'දේශෝදය ව්‍යාපාරය' සහ 'ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය' යන සංවිධාන දෙක සමාරම්භක සාමාජිකයන් වූ 'ජාතික ජනතා ව්‍යාපාරය' හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ වැනි ක්‍රියාධරයන් නියෝජනය කරන සංවිධානයක් ලෙස පසුගිය කාලසීමාව තුළ දේශපාලන කරළියට පැමිණෙමින් තිබුණි.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන දෙදෙනාගෙන් එක් අයකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මුලදී ප්‍රකාශ කළත්, පසුගිය අගෝස්තු මාසයේ යුද හමුදාපති ධුරයෙන් සමුගත් ජනරාල් මහේෂ් සේනානායක ඒ සඳහා ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනාගේත් සහයෝගය ඇතිව 'ජාතික ජනතා ව්‍යාපාරය' පසුව තීරණය කරන ලද බවත් ප්‍රකාශ විය.

ඒ අනුව අද ඉරිදා (29)(සිදු කරන ලද්දේ එම තීරණය මහජනතාව ඉදිරියේ ප්‍රකාශයට පත් කරනු ලැබීමය.

"මේක සාමූහික තීරණයක්"

නීතියේ ආධිපත්‍යය සහතික කිරීම, නාස්තිය සහ දූෂණය පිටුදැකීම සහ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණුවලට මූලිකත්වය ලබා දෙමින් රට දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමු කිරීම ජාතික ජනතා ව්‍යපාරයේ බලාපොරොත්තුව බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

රට තුළ ඇති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කිරීමේ අරමුණින් "ජාතියේ ජනාධිපති අපේක්ෂකයා" ලෙස ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත්කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ නායකයෝ සමුළුව අමතමින් කියා සිටියහ.

"මෙතැන දේශපාලකයන් නැහැ. මෙතැන ඉන්නේ ස්වේච්ඡාවෙන් මේ රට වෙනස් කරන්න එක්වුන පිරිසක්. මේක මගේ තීරණයක් නෙවෙයි. සාමුහික තීරණයක්." ජනරාල් මහේෂ් සේනානායක සමුළුව අමතමින් කියා සිටියේය.

"මේ රට වැටී තිබෙන සහ වැටෙන්නට යන අගාධයෙන් බේරගන්න ගොඩනගපු සංවිධාන සමූහයක්, කුඩා කුඩා විකල්ප කණ්ඩායම් එක තැනකට ගේන්න මම ඉදිරිපත් වෙනවා - ඔබලාගේ ස්වාධීන අපේක්ෂයා ලෙස" ජනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

"මෙය මේ රට රැකගන්න තියෙන අවසන් අවස්ථාව. මාත් සමග මෙතැන කිසිම හොරෙක් නැහැ- වංචනිකයෙක් නැහැ - යල් පැනපු ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන. ඒ සඳහා දැනටමත් පිඹුරුපත් සකසා තිබෙනවා. එක රටක් තුළ එක නීතියක් ගේන්න මේ කණ්ඩායම කටයුතු කරනවා." ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු 2017 ජුනි 27 සිට 2019 අගෝස්තු 18 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවැනි (22) හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් මහේෂ් සේනානායක, ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට මූලිකත්වය ගත් අයකු හැටියටය.

මහින්ද රාජපක්ෂ රජය 2010 වසරේ දී ඔහු යුද හමුදාවෙන් ඉවත් කරන ලද අතර, 2015 බලයට පත් රජය විසින් ඔහු යළි යුද හමුදාවට කැඳවනු ලැබුණි.

එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයන් ලෙස නම් කරනු ලැබ ඇති අතර, අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වදින බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඊට අමතරව රොහාන් පල්ලෙවත්ත සහ නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණයට තරග වදින බව දැනටමත් ප්‍රකාශ කර ඇති සෙසු පුද්ගලයන් අතර වෙති.

 

(BBC සිංහල සේවය)

 

Advertiesment