Saturday 14th of December 2019

English Tamil
Advertiesment


අධිකාරි වාදයට එරෙහිව සියලු බලවේග එකට එක් විය යුතුය..!


2019-09-27 1708

තැල්ල බඳින්න බෙල්ල රැක ගත යුතුය..!

 

පොදු හතුරාට එරෙහිව එකට එක මිටියට ආ යුතුය..!

 

 

 

 
(භාතිය බරුකන්ද)

"අප සමග සිටින කුඩා පක්ෂ ඔක්තෝබරයේ අපි තනිකළා නම් සියල්ල අවසන් වෙන්න තිබුණා. මුදලට නොවිකිණී එදා අප ආරක්ෂා කළ ඔවුන්ගේ කැමැත්ත හෙට දවසටත් අපේ කැමැත්ත විය යුතුයි"

"කෙසේ වෙතත් ජනතාව දැනටමත් සහයෝගය දැක්විය යුත්තේ කාටදැයි හඬ නැගීමට පටන් ගෙන ඇති අතර ජනතාවගේ අභිමතයට එරෙහිව අපට තීරණය කළ නොහැකියි. ජනතාවගේ තීරණයට අප අවනත විය යුතුයි. මෙහි දී වැදගත් වන්නේ පරාජය කළ යුතු පුද්ගලයා ඕනෑම වියදමකින් පරාජය කළ යුතු වීමයි"

දේශපාලන වශයෙන් අතිශයින් කාලීන ප‍්‍රකාශ දෙකක් ඉහත සඳහන් වෙනවා. සභාග දේශපාලනය ගැන වඩාත් ධනාත්මක ප‍්‍රවේශයක් ඇති පළමු ප‍්‍රකාශය කළේ සභාග දේශපාලනයෙන් හොඳ හැටි තෙම්පරාදු වූ දේශපාලනඥයෙක් නම් නොවෙයි. තරුණ මන්ත‍්‍රීවරියක වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි. දෙවැනි ප‍්‍රකාශය කළේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජී. ශ‍්‍රීනේෂන් මහතායි.

ගෞරවය සුළුපක්ෂවලට

හිරුණිකාගේ ප‍්‍රකාශයේ අරුත ඉතාම පැහැදිලියි. පසුගිය ඔක්තෝබර් කුමන්ත‍්‍රණය සාර්ථක වුණා නම් අද ලංකාවේ දේශපාලන සිතියම කුමක් වනු ඇත්ද..? නැහැ, එසේ නම් මේ පවතින සාමකාමී, අනෙකා ඉවසන දේශපාලනය වෙනුවට යළිත් 1994-2015 දක්වා කාලයේ පැවැති 62 ලක්ෂයක් ජනතාව විසින් 2015 ජනවාරි 08 වැනිදා තීරණාත්මක ලෙස පරාජයට පත් කළ ඒ භීෂණකාරී, විරුද්ධවාදියාට කිසිදු නිදහසක් හා අවස්ථාවක් ලබා නොදෙන අතිශය මර්ධනකාරී පූර්ව මැතිවරණ සමයක් මේ වන විට උදාවී තිබෙන බව නිසැකයි.

ජාතියේම වාසනාවට එදා රට තල්ලූ වීමට නියමිතව තිබූ අභාග්‍ය සම්පන්න ඉරණමට රට මුහුණ දුන්නේ නැහැ. එය ආපසු හැරවීමට කතානායකවරයා ප‍්‍රමුඛ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වගේම ලක්ෂ සංඛ්‍යාත පොදුජනතාව පෙළ ගැසුණා. කතානායකවරයා ප‍්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුව රැක ගත්තා සේම පොදු ජනතාව රොද බැඳගෙන විත් අරලිගහ මන්දිරය රැක ගත්තා. පාර්ලිමේන්තුව හෝ අරලියගහ මැඳුර කුමන්ත‍්‍රණකරුවන් අතට පත් වුණා නම් ඔක්තෝබර් කුමන්ත‍්‍රණය සාර්ථක වීම අනිවාර්ය කරුණක් වුණා. හිරුණිකාගේ ප‍්‍රකාශය, නැතිනම් ගණන් බැලීම වඩාත් නිවැරදි හා අර්ථවත් වන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය යළි ආපසු හැරවීම ඉතාම පහසුවෙන්, මීට පෙර බොහෝ අවස්ථාවලදී අත්දැක ඇති ආකාරයට අතිෂයින් සූක්ෂම ලෙස සිදුවනු ඇතැයි බොහො දෙනෙක් බියට පත්ව සිටි නිසයි. ඒත් දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වරට එජාපය සමග කොන්දේසි විරහිතව මේ සියලූ සුළු පක්ෂ සිට ගත්තා. හිරුණිකා කියන ආකාරයටම කිසිවෙක් සල්ලිවලට හෝ වෙනත් බලපෑම්වලට අඩියක් පසුපසට ගත්තේ නැහැ. ඒ නිසා තීරණාත්මක අවස්ථාවක මෙරට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීමේ ගෞරවය එදා කතානායක සමග සිටගත් මේ සුළුපක්ෂ නායකයින්ට හිමිවිය යුතුයි.

දෙමළ සන්ධාන මන්ත‍්‍රී ජී. ශ‍්‍රීනේෂන් කරන දෙවැනි ප‍්‍රකාශයත් මේ ආකාරයෙන්ම අතිෂය දේශපාලනිකයි. ඔහු කියන්නේ ‘පරාජය කළ යුතු පුද්ගලයා ඕනෑම වියදමක් දරා පරාජය කළ යුතු බව’යි.

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම

මේ වන විට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කර හමාරයි. බොහෝ දෙනෙක් කියන්නේ මෙවර ජනාධිපතිවරණය 2015ටත් වඩා තීරණාත්මක එකක් බවයි. ‘අධිකාරිවාදී පාලනයක් ද..?’ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ද..?’ මෙවර තෝරා ගැනීම 2015දී මෙන් සංකීර්ණ නොවන බවයි ඔවුන් කියන්නේ. ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන කවුරුන් හෝ වේවා ඉන් පසු සියල්ල අත්පත්කර ගන්නා නිසා, ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු බලය, පළාත් සභා මැතිවරණයෙන් පළාත් බලය සහ ප‍්‍රාදේශීය සභා ආදි වශයෙන් සම්පූර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණයම අත්පත්කර ගන්නා නිසා මේ මැතිවරණයේදී ‘එක් ඡන්දයක්’ වුවත් තීරණාත්මක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

‘මේ තත්ත්වය තුළ ප‍්‍රධාන ප‍්‍රතිවාදීන් දෙදෙනාටම සිදු වෙනවා තම පක්ෂවලට අයත් ස්ථාවර ඡුන්ද පදනමට වඩා බොහෝ දුර යන්න. මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයකට සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 30ක ස්ථාවර ඡන්ද පදනමක් නැහැ. එසේ නම් පැහැදිලිව ඉතිරි සියයට 20 හෝ ඊට වැඩි ප‍්‍රතිශය සොයා ගත යුතු වන්නේ ‘සුළු පක්ෂවලින්. මෙතැන සුළුජන පක්ෂ සහ සුළු පක්ෂ කියලා දෙකක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ආදිය අයත් වන්නේ සුළු පක්ෂ යන කාණ්ඩයට. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, රිෂාඞ් බදුර්දීන්ගේ, මනෝ ගණේෂන්ගේ පක්ෂ වගේම දෙමළ ජාතික සන්ධානය පවා අයත් වන්නේ සුළුජන පක්ෂවලට. ඒ අනුව පොදු කුලකයක් විදිහට ‘සුළුපක්ෂ’ ලෙස හඳුන්වන මේ පක්ෂ විසින් දේශපාලනයේදී කරන බලපෑම සුළුපටු නැහැ’

හිරුණිකාගේ ප‍්‍රකාශයේ දේශපාලන වටිනාකම ගැන අදහසක් ගැනීමට උපකාර කරමින් ප‍්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් කියනවා.

‘සුළු පක්ෂ විසින් ගෙන එන ඔවුන් සතු ඡන්ද ප‍්‍රමාණය වාගේම ඔවුන් සන්ධාන ගතවීම සමග පාවෙන ඡන්දවලටත් ප‍්‍රබල බලපෑමක් ඔවුන් විසින් කරනවා. එය ‘දේශපාලන සුජාතභාවයක් ලබාදීම’ ලෙස හැඳින්විය හැකියි. උදාහරණයක් ලෙස ජාතික හෙළ උරුමය යම් කිසි අපේක්ෂකයෙකුට සහයෝගය දක්වන විට ජාතික හෙළ උරුමයේ ඡන්ද පමණක් නොවෙයි ඔහුට ලැබෙන්නේ. ජාතික හෙළ උරුමය විසින් පොදුවේ ඡන්ද දායකයින්ට කරන මතවාදී බලපෑම හරහා පාවෙන ඡන්දදායකයින්ට ද බලපෑමක් නෙවා. ඒ අනුව ඔවුන් මැතිවරණයකදී ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බලපෑමක් ද කරනවා. අපි ඒ බව වටහා ගත යුතුයි. මම හිතන ආකාරයට දකුණේදී නම් ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධ කාරණයේදී ඉදිරියෙන්ම සිටිනවා. ඒ නිසා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කරන ප‍්‍රකාශය නිවැරදියි’ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

ඇත්ත ඇති සැටියෙන් දැකීම

දේශපාලනයේදී ‘ඇත්ත තිත්ත වුණත්’ ඇත්ත ඇති සැටියෙන් දැකීම දේශපාලන ශරීර සෞඛ්‍යයට නම් ගුණදායකයි. ඒ නිසා ‘මට තනියෙන් පුළුවන්’ වැනි අති උද්දච්ඡ ප‍්‍රකාශ දේශපාලනයේදී කිසිසේත් වැදගත් නැහැ. ඓහිහාසික වශයෙන් ලංකාවේ දේශපාලන සිතියම අධ්‍යයනය කළත් ඒ තත්ත්වය පහසුවෙන් හඳුනා ගත හැකියි. උදාහරණයක් ලෙස ඞී.එස්. සේනානායකගේ නායකත්යෙන් 1947 දී ආණ්ඩු බලය දිනාගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වුණත් ‘ලංකා ජාතික සංගමයේ’ දේශපාලන වර්ණවත්භාවය ලබා සිටියා. 1956 දී එස්. ඩබ්ලිව්.ආර්. ඞී. බණ්ඩාරනායක වගේම 1965දී ඩඞ්ලි සේනානායකත්, 1970දී සිරිමාවෝ බණ්ඩාරනායකත් ආණ්ඩු පිහිටුවන්නේ මේ සුළුපක්ෂවල පූර්ණ සහාය සහ දේශපාලන සුජාතභාවය දිනාගත් නිසයි.

‘සුළුපක්ෂ සමග ආණ්ඩු කරන කොට ප‍්‍රධාන පක්ෂයට යම් අතෘප්තිකරභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එය දරාගත යුතුයි. මොකද සුළුපක්ෂත් විශාල කැපකිරීමක් කරලයි ඒ මේ තත්ත්වය දරා ගන්නේ. ආණ්ඩුවට කැප කිරීමක් කරන්න බැරි නම් 1977දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව වුණ දේම තමයි වෙන්නේ. සුළුපක්ෂ නෙතකා හැරීමේ පාපය තමයි 77 දී එජාපයට 6/5ක් වශයෙන් බලය හිමිවෙන්නේ. 1994 දී බිහි වූ ශ‍්‍රීලනිපය නායකත්වය දුන් ආණ්ඩු සියල්ල වාගේ මේ නීරස අත්දැකීමට මුහුණ දුන්නා. පසුගිය දීර්ඝ කාලය තුළ මේ නීරසභාවයට මුහුණ නොදුන්නේ වත්මන් ආණ්ඩුව පමණයි. සුළු පක්ෂ ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් අසීරුම දේශපාලන තත්ත්වයන් හමුවේ, ඇතැම් විට කිසිදු කොන්දේසියකින් තොරව ආණ්ඩුව ආරක්ෂා කළා. අගමැතිවරයාට එරෙහිව එල්ල වූ විශ්වාසංභංග යෝජනාවලදී වාගේම ඔක්තෝබර් සිදුවීමෙනුත් මේ බව පැහැදිලියි. එදා ඔවුන් බලාපොරොත්තු වුණේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම ම පමණයි. අගමැතිවරයාගෙන් ආණ්ඩු බලය ගිලිහුණා නම් සිදුවන ව්‍යසනය ගැන ඔවුන්ට මනා තක්සේරුවක් තිබුණා. ඒ නිසා හිරුණිකා කියන ආකාරයට ‘ඔවුන්ගේ කැමැත්ත අපෙත් කැමැත්ත’ විය යුතුයි. මහ පක්ෂයක් ලෙස අභිමානයක් තිබුණත් කළ යුතු දෙයක් නැහැ. ඔවුන් තමයි අදත් හෙටත් තීරණාත්මක’ මේ විශ්ලේෂණය කළේ ඔක්තෝබර් අර්බුදය හමුවේ ආණ්ඩුව රැුක ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම්වලට සම්බන්ධ වූ ප‍්‍රකට සිවිල් සමාජ නායකයෙක්.

‘සුළු පක්ෂවල කැමැත්ත නිතරම මහ පක්ෂවල වුවමනාවන් ඉක්මවා යනවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, බලය බෙදීම, සුළුජන අයිතිවාසිකම් ගැන මහ පක්ෂවලට වඩා උන්නදු වෙනවා. ඔවුන්ගේ පදනම රැඳී තිබෙන්නේ මේ වටිනාකම් මතයි. එනිසා ආර්ථිකමය ක්ෂේත‍්‍රය තුළ මතවාදී ආධිපත්‍ය මහ පක්ෂවලට හිමි වෙද්දී දේශපාලනමය ක්ෂේත‍්‍රය තුළ මතවාදී ආධිපත්‍ය හසුරුවන්නේ මේ සුුළුපක්ෂ. ඒ නිසා ඔවුන් දෙස සැකයෙන් හෝ අව තක්සේරුවකින් නොබැලිය යුතුයි. ඔවුන් තමයි ඕනෑම මැතිවරණයකදී පාක්ෂිකයින් නොවන පුද්ගලයින්ගේ ඡන්දය මත වර්ණවත්ම බලපෑම කරන්නේ. කවුරු හරි කියනවා නම් සුළුපක්ෂ නොකතා හැර තමාගේ දේශපාලන පෞරුෂය හමුවේ ජාතික මැතිවරණයක් ජයග‍්‍රහණය කරා ගෙන යා හැකියි කියලා ඒක අධි තක්සේරුවක්. අධි තක්සේරුව නිතරම හානිකරයි’ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

‘මේ තත්ත්වය අගමැතිවරයා මනාව තේරුම් ගෙන තිබෙනවා. ඔහු දිගින් දිගටම එජාපය නායකත්වය දෙන පුළුල් සන්ධානයක් ගැන කතා කරන්නේ, ඒ වෙනුවෙන් කැප වෙන්නේ ඒ නිසයි. මේ මොහොතේ දේශපාලන කරළිය තුළ මුදුනට පැමිණ සිටින කිසිම අපේක්ෂකයෙකුට ‘තනිමව බෑ’ කියලා තමයි අපේ නිරීක්ෂණය වෙන්නේ. ඔහු අවසාන වශයෙන් තම මතය සංෂිප්ත කරමින් කිව්වා. අගමැතිගේ නිවැරදි ස්ථාවරය

වර්තමානය වන විට ලංකාව, ඇතැම් විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ වඩාත් කෘතහස්ත, අත්දැකීම් බහුල දේශපාලන නායකයා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විය හැකියි. 1977 සිට 1994 දක්වා ප‍්‍රබල අමාත්‍ය තනතුරු දරමින්, ජේ.ආර්, ලලිත්, ගාමිණි, පේ‍්‍රමදාස වැනි කෘතහස්ත ප‍්‍රවීන දේශපාලනඥයින් ඇසුරේ සිටිමින්, 1994 සිට (2002 දෙසැම්බර් 05- 2004 අගෝස්තු හැර* දැවැන්ත රාජ්‍ය බලයක් සහ අත්තනෝමතිකත්වය ගුරුකොට ගත් ආණ්ඩු බලයට මුහුණ දුන් විපක්ෂ නායකවරයෙක් ලෙස ඔහු ලබාගත් අත්දැකීම් කිසිවෙකුට ලඝු කොට සැලකිය නොහැකියි. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයාට එජාපයේ ශක්තිය ගැන සේම එහි නොහැකියාවන්, දුර්වලතා ගැන ද මනා අවබෝධයක් තිබෙන බව නිසැකයි.

"එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනම මත පමණක් මෙම ජනපතිවරණය ජයග්‍රහණය කිරීම අසීරු බව පැහැදිලියි. ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය කරුණක් වෙලා තිබෙනවා. ඒ නිසා එම පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී  සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියා. ඔවුන් විසින් ඉදිරිපත් කරන ඒ සියලු කරණා සලකා බලා කෘත්යානධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට බලාපොරොත්තු වෙනවා"

අගමැතිවරයා පසුගිය 15 වැනිදා අරලියගහ මැදුරට පැමිණි සිවිල් සමාජ නායකයින් හමුවේ අවධාරණය කරමින් කිව්වා.

අගමැතිවරයාගේ මේ ප‍්‍රකාශයට දේශපාලනඥයින්ටත් වඩා විවිධ තලවලට අයත් පොදු ජනතාව, වෘත්තිකයින් ඇතුළු පුළුල් ප‍්‍රජාවක් සමග කටයුතු කරන සිවිල් සමාජ නායකයින් එකඟත්වය දැක්වූ බව නිසැකයි.

"අගමැතිවරයාගේ අදහස සහ ගණන් බැලීම නිවැරදියි. තනි ඡන්ද පදනමක් මත සිට ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කළ නොහැකියි. ජනපතිවරණයකදී ලැබෙන හැම ඡන්දයකටම වටිනාකමක් තිබෙනවා. ඒ මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් වන නිසා. මහ මැතිවරණයකදී මෙවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා දකුණේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඡන්ද දිනාගත යුතුයි. කිසිදු ඡන්දයක් මගහැරීමට අවස්ථාවක් නැහැ. හොඳට මතක තියා ගන්න. ලංකාවම එකම ඡන්ද කොට්ඨාශයක්. ජයග‍්‍රහණයට අවශ්‍ය කරන්නේ සියයට 50ක් සහ එකම එක ඡන්දයක් පමණයි.

2005දී රනිල් වික‍්‍රමසිංහ මහතාට (උතුරේ දෙමළ ඡන්ද වර්ජනයට කොටි සංවිධානය කළ බලපෑම) සිදු වුණ දේ 2019 දී සිදු නොවිය යුතුයි. 2015දී හංසයා සමග සිටගත් සියලූම බලවේග 2019දී එකට සිටිය යුතුයි. අපි එදා මහින්ද රාජපක්ෂ පරාජය කළේ වර්ණවත් දේදුනු විප්ලවයකින් බව අමතක කරන්න එපා. එජාපයට ලොකුම කොටස ලබා දුන්නට මහින්ද රාජපක්ෂ මහතාට වටා වැඩි ඡන්ද හාර ලක්ෂය ආවේ මේ දේදුනු සන්ධානයෙන්. ඒ නිසා ජවිපෙ සිට සියලූ බලවේග යළි එක්විය යුතුයි. අසම්පූර්ණ කළ, හිතාමතා කඩාකප්පල් කළ නව ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම සම්බන්ධ කාරණා තීරණාත්මක අවසානයක් කරා ගෙන යා හැකි වන්නේ යළිත් දේදුණු සන්ධානයක් නිර්මාණය කිරීමෙන්ම පමණයි. එයින් තොර ජයග‍්‍රාහී මාවතක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට නැහැ" ඔහු තත්ත්වය පැහැදිලි කරමින් කිව්වා.

පුළුල් සන්ධානයක බර

අගමැතිවරයා තම ගණන් බැලීම හුදු ප‍්‍රකාශයකට පමණක් සීමා නොකර මේ වන විට එජාපය විසින් නායකත්වය දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව අගමැතිවරයා පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග ද සාකච්ඡා  කළා. අර්ධ බලය සහිත සුළුතර ආණ්ඩුවක් යටතේ තමාට කළ හැකි උපරිමය ජාතික ප‍්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ගත් බව අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි කළා සේම ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ද සමත් වුණා.

ලිපිය ආරම්භයේදී සදහන් කළ ජී. ශ‍්‍රීනේෂන් මන්ත‍්‍රීවරයාගේ අවධාරණය වගේම හිරුණිකාගේ ප‍්‍රකාශයත් අපට වැදගත් වන්නේ මේ නිසා.

‘එදා අප සමග සිටි සුළුපක්ෂවල කැමැත්ත හෙට දිනයේද අපේ කැමැත්ත විය යුතුයි’ අගමැතිවරයා ද මේ වෙනත් වචනවලින් කියන්නේ සුළඟ හමන අත පිළිබඳ ඇති පැහැදිලි හා නිරවුල් අවබෝධය නිසා බව පැහැදිලියි.

මේ තත්ත්වය තුළ එජාපයට යළිත් පුළුල් දේශපාලන සන්ධානයක බර කරට ගැනීමට සිදුවන බව පැහැදිලියි. ඒත් එජාපය විසින් පසුගිය කාලය පුරා නඩත්තු කළ මේ පුළුල් දේශපාලන සන්ධානය ‘ආඬි’ වැඩක් නොවන බව අපි කවුරුත් දන්නවා. සුළු පක්ෂවලින් ආණ්ඩුවට එක් වූ සියලූම මැති ඇමැතිවරුන් පසුගිය කාලය තුළ ‘වර්ණවත්’ වැඩ කොටසක් ඉටුකළ බව දැකිය හැකියි. ඇමැති චම්පික රණවක නූතන රාජ්‍යයක් බිහි කිරීමට දක්වන කැපවීම සමග ඇමැති රාජිත, අර්ජුන, තම තමන්ගේ අමාත්‍යාංශ තුළ වගේම සමස්ත දේශපාලන ව්‍යුහය තුළ මතවාදීව ඉටුකළ කාර්යභාරය ඉතාම වර්ණවත් වගේම අගය කිරීමට ලක්ව තිබෙනවා. සුළුජන පක්ෂ ලෙස ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, රිෂාඞ් බදුර්දීන්, පලනි දිගම්බරම් ඇතුළු නායකයින් ද ඔවුන්ගේ ප‍්‍රජාවන් තුළ වඩාත් ධනාත්මක ප‍්‍රවේශයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම පසුගිය පස් වසර පුරාම දෙමළ ජාතික සන්ධානය කිසිදු බලපෑමකින් හෝ කේවල් කිරීමකින් තොරව ආණ්ඩුවට දැක්වූ සහාය සුළුජන පක්ෂවලින් බොහෝ විට අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක්.

‘ඔවුන් කටයුතු කරන්නේ වගකීමක් වගේම වගවීමක් ඇතිව. 2015 දී මේ වර්ණවත් සන්ධානය බිහිවන විට එදා ආණ්ඩුව කියපු සියලූ කතා මේ වන විට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා බොරු වී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ඉතාම කෘතහස්ත ලෙසත් ප‍්‍රඥාවන්ත ලෙසත් ආණ්ඩුව සමග ගනුදෙනු කරනවා. ඔවුන් දෙමළ ජනතාව අතර දකුණේ ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් ඇති කළා පමණක් නොව ඔවුන්ව රාජපක්ෂ කඳවුර වෙත ගෙන යාමට ගත් සියලූ ප‍්‍රයත්නයන් අකර්මන්‍ය කර තිබෙනවා. බෙදුම්වාදය, ඩයස්පෝරා න්‍යාය පත‍්‍රය ඒ කිසිවක් පසුගිය කාලය තුළ කිසිම ආකාරයකින් ආණ්ඩුවට බලපෑමක් කරන තත්ත්වයට පත් වුණේ නැහැ. ඒ නිසා හෙටත් දෙමළ ජාතික සන්ධානයේ සහාය ආණ්ඩුවට තීරණාත්මකයි. ඔවුන් සමග වගකීමකින් වගේම වගවීමකින් වැඩ කල යුතුව තිබෙනවා’ සිවිල් සංවිධාන නායකයා තම දීර්ඝ කාලීන අත්දැකීම් මත වත්මන් තත්ත්වය විග‍්‍රහ කළා.

සුභ පැතුම් සමග

ඉහත සඳහන් සියලූම තත්ත්වයන් සමග 2015 ජනවාරි ‘දේදුණු විප්ලවයට’ විවිධාකාරයෙන් දායක වූ සියලූ බලවේග එකම වේදිකාවට ගෙන ඒමට දැන් පහසු අවකාශයක් මෙන්ම මතවාදයක් ද නිර්මාණය වී තිබෙනවා. යම් කනගාටුවකට තිබෙන්නේ 2015 දී වර්ණවත්ම භූමිකාව ඉටුකළ ජනතා විමුක්ති පෙරමුණ නව සන්ධානය තුළට මේ දක්වා ප‍්‍රවේශ වන බවක් දැකිය නොහැකි වීමයි. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු ඔවුන්ගේ අනන්‍ය ඉල්ලීම් යළිත් කූඨ ප‍්‍රාප්ත වන පරිසරයක් නිර්මාණය වන තත්ත්වයක් තුළ ‘අධිකාරිවාදයට’ එරෙහි සියලූ බලවේග යළි පොදු වේදිකාවක් මත මුණ ගැසෙනු ඇති බව සහතිකයි. ජාතක කතාවල සඳහන් බුද්ධිමත් වටු කුරුල්ලන් සේම දේශපාලන කරළියේදී සියලු බලවේග පොදු සතුරාට එරෙහිව  එක්ව එක මිටියට’ ආ යුතුය.ධනාත්මක දේශපාලන ප‍්‍රවණතාවලට සුභ පැතුම් සමග යළිත්, ‘තැල්ල බඳින්න බෙල්ල රැක ගත යුතුයි’

 

 

 

Advertiesment