Monday 9th of December 2019

English Tamil
Advertiesment


මහා බි‍්‍රතාන්‍ය මෙතැනින් කොතැනටද..?


2019-09-27 1353

(තුෂාල් විතානගේ) 

පසුගිය වසරේ ඔක්තෝබර් මස අවසාන සතියේ ලංකාවේ සිදු වූ ‘මෛත‍්‍රී - මහින්ද දුශ්සන්ධානයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණය ලත්තැනම ලොප් වුණේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වූ කතානායකවරයා ප‍්‍රමුඛ ආණ්ඩු පක්ෂයත්, එකී කුමන්ත‍්‍රණයට කොන්දේසි විරහිතව විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජනතා සන්ධානයත් නිසයි. ඒ සමග සිවිල් සමාජය සහ සමාජ මාධ්‍ය මේ කුමන්ත‍්‍රණයේදී තීරණාත්මකව නැගී සිටියා.

මෙහිදී ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය පදවියට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු බහුතරය සොයා ගත නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක‍්‍රියාකළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තමාට එකී බලතල නොමැති බව දැන දැනත් ජනාධිපති සිරිසේන මේ පියවර ගත්තේ එජාපය ප‍්‍රමුඛ බලවේගවලට එයට අභියෝග කළ නොහැකි යැයි සිතූ නිසාට වඩා තම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුතමත කරනු ඇතැයි විශ්වාස කළ නිසා බව පැහැදිලියි.

ඒත් මෛත‍්‍රී - මහින්ද නොසිතූ ආකාරයට එජාපය ප‍්‍රමුඛ බලවේග තීරණාත්මක ලෙස නැගී සිටියා පමණක් නොව එයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගියා. එහිදී සිරිසේන ජනපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාවට එරෙහිව ඓතිහාසික තීන්දුවක් ලැබුණා පමණක් නොව තටුකපා ඇති විධායක ජනාධිපතිවරයාගේ සැබෑ බලය ගැන පැහැදිලි විග‍්‍රහයක් ද ලැබුණා.

 
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම

මහා බි‍්‍රතාන්‍යයෙන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉගෙන ගත් ගෝලයා මීට මාස කිහිපයකට පෙර ඉගෙන ගත් ‘පාර්ලිමේන්තුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ පාඩම ඊයේ (24) මහා බි‍්‍රතාන්‍යයේ බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් ද ඉගෙන ගත්තා. ඒ ඕනෑම රටක පාලකයින්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව (මහා බි‍්‍රතාන්‍යයේ ඇත්තේ අලිඛිත (ලියා නැති) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක. සම්ප‍්‍රදායන්, රීති සහ නඩු තීන්දු මගින් එය නිර්මිතවේ) ‘කෙළිබඩුවක්’ කරගත නොහැකි බව, අවස්ථාවාදී ලෙස එය අපයෝජනය කළ නොහැකි බව ඊයේ මහා බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ඒ ‘ඓතිහාසික’ තීන්දුව මගින් යළි සනාථ කළා. අගමැති බොරිස් ජොන්සන් විසින් පසුගිය 10 වැනිදා සති පහකට පාර්ලිමේන්තුව අත් හිටුවමින් ගත් ඒ අවස්ථාවාදී / බලහත්කාරී මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තීන්දුව ‘නීතියට පටහැනි’ බව ප‍්‍රකාශ කරමින් බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දුන්නා.

මේ ඓතිහාසික තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරුවරිය වන ‘ලේඩි හේල් ආර්යාව’ විසින්. ඇය 11 දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය වචන කිහිපයකට ගොනු කරමින් මෙසේ ප‍්‍රකාශ කළා.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මවලට සිදුවන බලපෑම අති විශාලයි’

මෙහිදී වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විග‍්‍රහ කළ ලේඞ් හේල් අවධාරණය කළේ, ඔක්තෝබර් 31 වැනි දින බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සිය රාජකාරී ඉටු කිරීම වළක්වාලීම වරදක් ’ බවයි.

ඇය තව දුරටත් තත්ත්වය සමාලෝචනය කරමින් මෙසේ ද සඳහන් කළා.

‘මේ තීරණාත්මක නඩුව විගාභයට ගත් 11 දෙනෙකුගෙන් යුත් මහා බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය වන්නේ පාර්ලිමේන්තුව අත්හිටුවීමක් (පසුගිය 10 වැනිදා) සිදුවී නොමැති බව වන අතර එසේ අත්හිටුවීමට ගත් තීරණය ද බල රහිත වන බවයි’

මෙහිදී ඉදිරි පියවර ගැන සඳහන් කළ ලේඩි හේල් කියා සිටියේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසු කළ යුතු දේ, එනම් මින් ඉදිරියට කළ යුතු දේ කුමක්ද යන්න ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සහ සාම මන්ත‍්‍රී මණ්ඩලය විසින් තීරණය කළ යුතු බව’යි.

මහා බි‍්‍රතාන්‍යයේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයීය ප‍්‍රකාශකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ගැන ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රකාරව කටයුතු කරමින් සිටිනවා’ යන්න පමණයි.

අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් සිටින බව ප‍්‍රකාශ කරද්්දී විපක්ෂය වන ලේබර් පක්ෂය සහ බොරිස් විරෝධී සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කියන්නේ ‘බොරිස් ගෙදර යා යුතු අතර වහාම පාර්ලිමේන්තුව රැස් කළ යුතු’ බවයි.

 
බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවට නින්දා කරලා

පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව දැඩි මතයක සිටි කතානායක ‘ජෝන් බර්කොච් (එම  ක්‍රියා මාර්ගයට එරෙහිව තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව කථානායක ජොන් බර්කොව් නිවේදනය කළ බව මතක තබා ගන්න) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු වහාම ප‍්‍රකාශයක් නිකුත් කළඅතර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට සිය ප‍්‍රසාදය පළ කරමින් කියා සිටියේ වත්මන් තත්ත්වය ‘හදිසි අවශ්‍යතාවක්’ සේ සකලා පක්ෂ නායකයින්ගේ අදහස් විමසන බවයි.

‘ඔව්, පාර්ලිමේන්තුව කිසිඳු ප‍්‍රමාදයකින් තොරව කැඳවිය යුතුයි. එය හෙට (25) යළි කැඳවීමට මම පියවර ගන්නවා’ බර්කොච් කියා සිටියා.

මේ සමග ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙස වඩාත් අවධානයෙන් බලාසිටි පුද්ගලයා වන විපක්ෂ නායක / ලේබර් පක්ෂ නායක ‘ජෙරමි කෝබින්’ වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ අතර ඔහු අවධාරණාත්මකව කියා සිටියේ, ‘අගමැතිවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ‘නින්දා කර’ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් මොනවට පැහැදිලි වන බවයි.

 
මෙතැනින් කොතැනටද.. ?

අගමැති බොරිස් ජොන්සන්ගේ බලාපොරොත්තු සහ සියලූ සැලසුම් බිඳ දමමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමග බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අද (2) පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව හිමි වෙනවා. එහෙත් තව දුරටත් මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක‍්‍රියාවලිය හෙවත් ‘බ්‍රෙක්සිට්’ අර්බුදයකට ලක්ව තිබෙන අතර ඒ සමග සමස්ත බි‍්‍රතාන්‍ය ආර්ථික - දේශපාලන හා සමාජයීය ව්‍යුහයම දැඩි කම්පනයකට ලක්ව තිබෙනවා.

මහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් නියමිත පරිදි ඔක්තෝබර් 31 වැනිදා එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීම

:නවතන නීතියක් සම්මත කරගෙන අදාළ දිනය වන විට බි‍්‍රතාන්‍ය හා යුරෝපා සංගමය අතර එකඟතාවක් ඇති නොවන්නේ නම් සහ එසේ එකඟතාවයෙන් තොරව ඉවත්ව යාමට පක්ෂව මන්ත‍්‍රීවරුන්ගේ සහාය (ඡන්දය) නොලැබෙන්නේ නම්, වෙන්ව යාම තව දුරටත් පවා කිරීම සඳහා යුරෝපා සංගමයෙන් විමසීමට මහා බි‍්‍රතාන්‍ය අගමැතිවරයා නීතියෙන් බැඳී දිටිනවා. ඒ අනුව උද්ගත විය හැකි තත්ත්වයන් තුනක් හා එහි දිගු කිරීම් කෙරෙහි මේ වන විට බි‍්‍රතාන්‍ය තුළ සාකච්ඡ වෙමින් තිබෙනවා. ‘එකඟතාවක් නොමැති වීමට එරෙහි නීතිය’ තුළ ජොන්සන්ගේ ආණ්ඩුවට ඇති විකල්ප තුන වන්නේ,

1. අනුගතවීම (යුරෝපා සංගමයෙන් ප‍්‍රමාද කිරීමට ඉල්ලීම, යුරෝපා සංගමය එකඟ වේ නම් මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ප‍්‍රමාද වීම හෝ යුරෝපා සංගමය එකඟ නොවේ නම්, එකඟතාව නැතිව ඉවත්වීම, එකඟතාව ඇතිව ඉවත් වීම හෝ ආණ්ඩුවට එරෙහි විශ්වංසභංගය)

2. නොසලකා හැරීම: එය පැහැදිලිව ‘නෛතික අභියෝගයක්’

3. අගමැතිට එරෙහි විශ්වාසභංගය.

ඉහත විකල්ප තත්ත්වයන් තුළ අගමැති බොරිස් ජොන්සන් කියා සිටින්නේ, ‘අලූත් එකඟතාවක් සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡුා කිරීමට තමන් උත්සාහ කරන බවත් එය සාර්ථක වුවහොත් (එය එසේ වේ නම්) ඒ සඳහා මන්ත‍්‍රීවරුන්ගේ සහාය ලැබේ නම් ‘තවත් දිගුවක්’ අවශ්‍ය නොවන බවයි.

අගමැතිවරයාගේ මේ ස්ථාවර බී.බී.සී හි දේශපාලන විචාරකයින් දකින ආකාරයට, ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ හදිසි ආරක්ෂක පියවරකට එසේ නැතිනම් පසු නැවතුම ඉවත් කෙරුණු එකඟතාවක් බව පැහැදිලියි. එමගින් ඉලක්ක කරන්නේ උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජන රජය අතර දේශසීමාරක්ෂක ස්ථාන හා පරීක්ෂා කිරීම්වලට ඇති කවර ආකාරයක හෝ ඉඩකඩ වළක්වා ගැනීමයි. මෙම තීන්දුව මගින් ඇත්ත වශයෙන්ම බොරිස් පාලනය අපේක්ෂා කරන්නේ අයිරිෂ් මුහුදේ දේශ සීමාවක් බිහිවීමයි. මෙය කිසිසේත් බි‍්‍රතාන්‍යට පිළිගත හැකි දෙයක් නොවෙයි. හිටපු අගමැතිනී තෙරේසා මේ පවා මේ ගැන අවධාරණය කර තිබේ’ එකඟතාවෙන් තොරව ඉවත්ව යාම

මෙය ද බහුල වශයෙන් සාකච්ඡ වන තත්ත්වයකි. ‘එකඟතාවයෙන් තොර බ්‍රෙක්සිට්’ හෙවත් ‘වැළකීමේ නීතිය මගහැරීමට තැත් කිරීම මගින් නෛතික ගැටුමක් උද්ගත විය හැකිව තිබෙන බවයි බි‍්‍රතාන්‍ය දේශපාලන විචාරකයින් කියන්නේ. මේ අතර අගමැතිවරයා ‘නීතියේ සිඳුරක් සොයමින්’ සිටින බවට ද බි‍්‍රතාන්‍ය දේශපාලනය තුළ සාකච්ඡවක් තිබේ. ‘කාල දිගුවක් ඉල්ලා නොසිටීමට අගමැතිවරයා වෙනත් ක‍්‍රමයක් (ඔහුගේ සැබෑ ස්වභාවය අනුව) භාවිත කරනු ඇතැයි’ ඒ රාවයයි.

එහිදී ඔවුහු උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ, මහා බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමය තුළ රැදී සිටීමට ‘තවත් දිගුවක්’ ඉල්ලා සිටින අතර මරය නොසලකා හරින ලෙස යුරෝපා සංගමට දන්වා සිටීමයි. ‘එය වීමට බොහෝ දුරට ඉඩ ඇත’ යන්න දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.

 
හදිසි මහ මැතිවරණයක්

මෙය පසුගිය පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයේදී ලංකාවේද සිදුවීමට ගිය දෙයකි. මේ ගැන අද මහා බි‍්‍රතාන්‍යයේද පුළුල්ව විමසා බලමින් තිබේ. එහෙත් අභාග්‍ය වන්නේ එය සිදුවිය හැකිව තිබෙන්නේ ඔක්තෝබර් 31 වැනිදා, අශ්වයා පැන ගියාට පසුවයි. ඊට නෛතික හේතු මෙන්ම ප‍්‍රායෝගික හේතු ද කිිහිපයක් තිබෙනවා. ඒ අතර ඡන්ද ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවම වශයෙන් ‘වැඩකරන දින’ 25ක කාලයක් අවශ්‍ය වීම මෙන්ම හදිසි මහ මැතිවරණයක් සඳහා යාමට පාර්ලිමේන්තුවේ 3/2ක ඡන්දයක් අවශ්‍ය වීමත් ඒ සඳහා මේ දක්වා පාර්ලිමේන්තුව සූදානම් නොවීමත් ප‍්‍රධාන හේතු වෙනවා. මේ අතර 3/2 ඡුන්දයට පිටුපා යා හැකි ක‍්‍රමයක් ගැන ද නීතිවේදීන් පෙන්වා දෙනවා. ඒ නිසි කලට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ දිනය පැහැදිලි කෙරෙන ‘කෙටි’ ‘අලූත්’ නීති සම්පාදනය කිරීම වන අතර එය සරල බහුතර ඡුන්දයෙන් සම්මත කරගත හැකි ‘පහසු’ විකල්ප පියවරක්.

මෙම විකල්පවලට වඩා සුදුසුම ඒත් ‘හාස්‍යජනක’ විකල්පයක් ගැන ද අද බි‍්‍රතාන්‍යයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අගමැතිවරයා විසින්ම ‘අගමැතිවරයාට’ විශ්වාංසභංග යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමයි. මෙවැනි පියවරක් ගැන අගමැති ජොන්සන්ගේ අවධානය යොමුව තිබූ බවට ද වාර්තා පළ වෙමින් තිබෙනවා.

 

අවසන් තීන්දුව

ඔව්, විකල්ප මේ සියල්ල අවසන් වූ ගත හැකි නීරසම තීන්දුවක් තිබෙනවා. ඒ බ්‍රෙක්සිට් අවලංගු කිරීමයි. මෙම ගිවිසුමේ 50 වැනි වගන්තිය යටතේ ඒ සඳහා වන නෛතික ප‍්‍රතිපාදන ඇති නිසා එය කිසිසේත් අර්බුදකාරී හෝ අනීතික තීන්දුවක් නොවෙයි.එහෙත් බි‍්‍රතාන්‍ය දේශපාලන විචාරකයින් අතර පවතින පොදු අදහස වන්නේ බ්‍රෙක්සිට් පක්ෂපාතී ජනවරමක් ඇති වත්මන් ආණ්ඩුවට එය කිසිසේත් කළ නොහැකි බවයි. ‘එය කළ හැකි වන්නේ ආණ්ඩු වෙනසකින් ම පමණයි. ඒ පිළිබඳව ලේබර් පක්ෂය දැනටමත් ප‍්‍රතිඥා දී තිබෙනවා.

‘අපිට මහ මැතිවරණයකින් පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් නිසැකවම 50 වැනි වගන්තිය අවලංගු කරනවා. ඒ කියන්නේ බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය අවලංගු කරනවා’ ලේබර් පක්ෂ නායක ජෙරමි අවධාරණාත්මකව කියනවා.

මේ වන විට මහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යළි රැස්ව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‘ව්‍යවස්ථාව කඩන්නෙකු ’ බවට පත්ව සිටින බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව තුළදී දැඩි පීඩනයකට ලක්වීමට නියමිත අතර ලේබර් පක්ෂය ජීවය ලබමින් සිටිනවා. ඒ අනුව මහා බි‍්‍රතාන්‍යයේ දේශපාලනය ක‍්‍රමිකව ව්‍යාකූලත්වයට පත් වෙමින් තිබෙන අතර ආර්ථිකය ද තිගැස්මකට ලක්ව තිබෙනවා.

මේ සියලූ ව්‍යාධි සිද්ධ වුණේ අවස්ථාවාදී හා අන්තවාදී බලවේග ලබාගත් නොසිතූ විරූ ජයග‍්‍රහණය, එනම් මහා බි‍්‍රතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය’ යන ජනමත විචාරණය ඔවුන් විසින් ජය ගැනීම බවයි දේශපාලන විචාරකයින් කියන්නේ.

‘ඇත්තටම එය සිද්ධ නොවිය යුතුව තිබූ දෙයක්. ඒත් අපේ ඇස් පනාපිටම එය සිදු වුණා. අන්තවාදය, ව්‍යාජය හා අවස්ථාවාදය ජයග‍්‍රහණය කළේ කෙසේද ? යන්න ගැන අපටත් පැහැදිලි අවබෝධයක් නැහැ’ කම්පනයට පත්ව සිටින දේශපාලන විචාරකයින් නොවන සාමාන්‍ය ජනතාව පවා කියනවා.

ලෝකයට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියා දුන් මහා බි‍්‍රතාන්‍යයේ මෙහෙම වන විට ලංකාව වැනි කොදෙව්වක ‘කොහොම වුණාම’ මොකද කියලා අපිට නොහිතෙනවා නෙමෙයි’

 

Advertiesment