Friday 13th of December 2019

English Tamil
Advertiesment


සජිත්ගේ ජනපතිවරණ ව්‍යාපාරයේ නියමුවන් ලෙස තිස්ස-සුදත්-ඉමිටියාස් පත් කෙරේ..!


2019-09-25 187712

තිස්ස අත්තනායකට සජිත් ප්‍රේමදාසගෙන් ගෞරවාන්විත ස්ථානයක්..!

 

සුදත් චන්ද්‍රසේකර මෙහෙයුම් අරඹයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක  සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සභාපති ධුරයට එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පත් කරනු ලැබ සිටියි.

එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු  පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේක මහතා පත් කරනු ලැබ සිටින අතර උප සභාපති ධුරය සඳහා  හිටපු ජන මාධ්‍ය අමාත්‍ය ඉමිටියාස් බාකිර් මාකර් මහතා පත්ව සිටියි.

මේ අතර සිය නායකත්වය සහ පාලනය යටතේ එක්සත් ජාතික පක්ෂයේ වගේම ආණ්ඩුවේ  ඉහළම ස්ථානයක් ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස  මහතා එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත සහතික වී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අංග සම්පුර්ණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ වෝක්ෂෝල් විදියේ පිහිටුවා ඇති අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස තිස්ස අත්තනායක මහතා සිය මෙහෙයුම් කටයුතු එම කාර්යාලයේ සිට මේ වන විටත් ආරම්භ කර ඇත. 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් තිස්ස අත්තනායක,සුදත් චන්ද්‍රසේකර සහ ඉමිටියාස් බාකිර් මාකර් යන මහත්වරුන් ඔහු සමග එකට ඒකරාශී වී ඇත්තේ සියලු පාර්ශවයන් වෙත සාමයේ සහ සමගියේ දෑත දිගු කරමින් සජිත් ප්‍රේමදාස මහතා කළ විවෘත ආරාධනයට අනුවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අඟහරුවාදා (24) සවස රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව ඒකමතිකව තීන්දු කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (26) රැස් වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීන්දුව අනුමත කරමින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

Advertiesment