Monday 14th of October 2019

English Tamil
Advertiesment


සමාජ වෙළෙදපොළ ආර්ථිකය..!


2019-09-22 1134

(දේශප්‍රිය නානායක්කාර) 

සමාජ වෙළෙදපොළ ආර්ථිකය යනු වෙළෙදපොළ ඇතුළත සාධාරණ තරඟයක් මෙන්ම සුභසාධක අවශ්‍යතා පිළිබද උනන්දුව ඇති සමාජ ප්‍රතිපත්තිවලට අමතරව පෞද්ගලික ව්‍යවසායකයන්ට සහයෝගය දෙන සහ නිදහස් වෙළෙදපොළ ධනවාදී ලක්ෂණ සහිත ආර්ථික ක්‍රියා පද්ධතියකි .

අන්ත ධනවාදයෙන් මෙන්ම අන්ත සමාජවාදයෙන් ද බැහැර වී ඇති “තෙවන මඟThe third way” ලෙස මෙම සමාජ වෙළෙදපොළ ආර්ථිකය පිළිගැනීමට ලක් වී ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති මගින් පොදු ජනයා ආර්ථික වශයෙන් උසස් තත්ත්වයට පත් කිරීමට අවශ්‍යය තීරණ ක්‍රියාත්මක කරන අතරේම පරිසරය සුරක්ෂණයට අවශ්‍යය ක්‍රියා මාර්ග සහ පොදුවේ නව්‍ය නෛතික උපකරණ ස්ථාපිත කරමින් සෑම ක්ෂේත්‍රයක්ම තිරසරව කලමනාකරණය කරමින් ක්‍රියාත්මක වන නිදහස් ආර්ථිකය සමාජ වෙළෙද පොළ ආර්ථිකය The socialist market economy (SME) වශයෙන් නිර්වචනය වී අර්ථ ගැන්වී ඇත. සමහර අවස්ථාවලදී සමකාලින වෙළෙද ආර්ථිකයක් ලෙසද වර්ගීකරණයට ලක් වී ඇත. අද්‍යතන ලෝකයේ සමාජ වෙළෙද පොළ ආර්ථිකය ක්‍රියාත්මක වන රටවල පොදු ජනයාට සාධාරණ ලෙස ධනය ඉපයීම්,අදායම් බෙදීයන ප්‍රධානව ආර්ථික යුක්තිය (Economic Justice) ක්‍රියාත්මක ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයන් බිහි වී ඇත.

සමාජ වෙළෙද පොළ ආර්ථිකයේ සාම්ප්‍රදායික ප්‍රතිපලය වී ඇත්තේ වෙළෙඳපොළ ඇතුළත සාධාරණත්වය ඉහළින්ම ක්‍රියාත්මකවීමත් සහ ඒ සමගම සමාජ සාධාරණත්වය ක්‍රියාශීලීවීමට අවශ්‍යය කටයුතු ද සක්‍රිය කිරීමයි. සමාජ සාධාරණත්වය ස්ථාපිත කර වෙළෙදපොළ, ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාහැරීමේ කටයුත්ත සදහා රාජ්‍ය මැදිහත්වීම සිදුවේ.

උක්ත ආර්ථික දර්ශනය ක්‍රි.පු යුගයේ ඇරිස්ටෝටල් පඬිවරයාගේ සිට 18 වන සියවසේ හාවඩ් විද්‍යාර්ථින් දක්වා සාකච්ඡාවට ලක් වී ඇත. ජර්මන් ජාතික ආර්ථික විද්‍යාඥයෙක් සහ දේශපාලනඥයෙක් සහ ඇමරිකාවේ මන්ස්ටර් The University of Münster සහ කොලොන් The University of Cologne විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්යාව පිළිබද මහාචාර්ය ඇල්ෆ්රෙඩ් මුලර් ආර්මේක් Alfred Müller-Armack සමාජ වෙළෙඳ පොළ පිළිබඳ අදහස ඉදිරිපත් කළ ප්‍රථමයාය. ඔහුට අනුව උක්ත ආර්ථික ක්‍රමය වෙළෙඳපොළ ඇතුළත ඇති නිදහස සහ සමාජ ආරක්ෂණය අතර සංයෝගයකි .මෙම සංකල්පය ට අනුව ආර්ථික ක්‍රියාවලියේ සාර්ථකත්වයට වඩාත්ම දායක වන්නේ ජිව විද්‍යාත්මක ක්‍රියාවලියන් නොව යාන්ත්‍රික භෞතික විද්‍යාත්මක ක්‍රියාවලියන්ය.

රාජ්‍ය ප්‍රතිපත්ති විසින් නිදහස් වෙළෙදපොළ සාධරණ ලෙස හසුරුවමින් නොයෙක් විධ සම්පත් ඇසුරෙන් නිෂ්පාදන කටයුතු කර එම නිෂ්පාදනයන් බහුතර ජනයාගේ සුභ සිද්ධිය තකා සාධාරණව වෙළෙදපොළ වෙත නැවත බෙදාහැරීම කරනු ලබයි. රාජ්‍ය ප්‍රතිපත්තිය නිරන්තරයෙන් සුලු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා සහන ලබාදීම,විවිධාකාර ක්ෂේත්‍ර කළමනාකරණය සඳහා සේවක සහභාගීත්වය ලබාගැනීම,දෝලනය වන ආර්ථිකය ට අනුව වරින්වර මිල ඉහළ පහළ දැමීම වැනි කටයුතු සහ රැකියාවල සුරක්‍ෂිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් රාජ්‍ය මැදිහත්වීම කරනු ලැබීම වැඩිමනත්ව පිළිගැනීමට ලක් වී ඇත .

ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය දේශපාලනඥ ඇල්ෆ්රෙඩ් මුලර් ආර්මේක්ගේ උක්ත සමාජ වෙළෙදපොළ ආර්ථිකය 19 වන සියවසේ ජිවත් වූ ජෝන් ස්ටුවට් මිල් John Stuart Mill ගේ අදහස් හා සමාන විය . නිෂ්පාදනය සහ සම්පත් බෙදාහැරීම සඳහා එකිනෙකට වෙනස් නීති රීති ක්‍රියාත්මක විය යුතු වන, වෙනස් ක්‍රියාවලියන් 02 ක් බව ජෝන් ස්ටුවට්මිල් විශ්වාස කරනු ලැබිය. ධනය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය මැදිහත්වීම අවම විය යුතු නමුත් නිෂ්පාදන බෙදාහැරීමේදී රාජ්‍ය වඩා කාර්යක්ෂම විය යුතු බව ජෝන් ස්ටුවට්මිල්ගේ අදහස හා යෝජනාව විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1960 අවසානයේදී පළමු වරට සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පක්‍ෂය රජයට එක්වීමත් සමග සමාජ වෙළෙදපොළ ආර්ථිකය ජර්මනියේ ජනප්‍රිය විය. ජර්මනියේ ජනප්‍රිය වූ මෙම ආර්ථික ක්‍රමය ක්‍රමිකව වේගයෙන් යුරෝපයේ අනෙකුත් රටවලටද පැතිරී ඇත . ලුඩ්විග් විල්හෙල්ම් අර්හාර්ඩ් Ludwig Wilhelm Erhard නාසි යුගයෙන් පසු පැවත්වූ පළමු නිදහස් මැතිවරණයෙන් බර්ඩන්ට් වර්ටම්බර්ඩ් Baden-Württemberg දිස්ත්‍රික්කයට තරඟ කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ඔහු 1943 -1963 දක්වා ජර්මානු ෆේඩරල් ජනරජයේ මහ ඇමැති නොහොත් චාන්ස්ලර් වරයා වූ කොන්රාඩ් හර්මන් ජෝසෆ් ඇඩනාවර්වගේ Konrad Hermann Joseph Adenauer රජයේ ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් ක්‍රියාත්මක විය.

සමස්ත ආර්ථික ප්‍රවණතා තක්සේරු මණ්ඩලය (The Board of Experts for the Assessment of Overall Economic Trends) 1963 දී ස්ථාපනය කරන ලද අතර එම මණ්ඩලය "ප්‍රඥාවන්ත මිනිසුන් පස් දෙනෙකු" ලෙසින් හඳුන්වනු ලබන අතර, ජාතික ආර්ථික තීරණ ගැනීමේදී සෑම වසරක දී සමස්ත ආර්ථික වර්ධනයන් ඇගයීමට ලක් කරනු ලැබ ඇත .දුර්වලයා වෙළෙදපොළෙන් ඉවත් කරන ධනවාදයේ මාර්ගෝපදේශක මූලධර්මයක් වන නිර්බාධවාදය නොහොත් නිර්බාධ laissez-faire මුලධර්මයෙන් මෙම ආර්ථික ක්‍රමය බැහැර වී ඇත . සමාජවාදී ක්‍රමය ඇතුළත ඇති වෙළෙඳපොළ ආර්ථිකයේ නිෂ්පාදන යාන්ත්‍රනය අකර්මන්‍යවීමේ ගැටළුද විසදාගෙන ඇති සමාජ වෙළෙඳපොළ ආර්ථිකයේ 03 මඟ නොහොත් “තෙවන මඟ” සාර්ථක ප්‍රතිපල ගෙන එනු ලැබීම හේතුවෙන් සැබෑ විශ්වසනීය ආර්ථික ක්‍රමය සමාජ වෙළෙඳපොළ ආර්ථිකය බවට පත්වී ඇත.

එසේ වීම සඳහා බලපෑ හේතු අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර ජර්මනිය අත්පත් කර ගත් ආර්ථික ,සමාජීය ජයග්‍රහණයන් ප්‍රධානය. මානව ඉතිහාසයේ ලෝක යුද්ධය වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති දෙවන ලෝක යුද්ධයට රටවල් 30 ක් පුද්ගලයන් මිලියන 100 ක් ඍජුවම සම්බන්ධ වී ඇති අතර වසර 06කුත් දින 01ක්‌ පුරා යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික්, දකුණු ආසියාව, චීනය, මැදපෙරදිග, මධ්‍යධරණී, උතුරු අප්‍රිකාව, නැගෙනහිර අප්‍රිකාව ,ඕස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව පුරා යුද්ධය ක්‍රියාත්මක විය.

උක්ත ඓතිහාසික මාරාන්තික යුද්ධය හේතුවෙන් පුද්ගලයන් මිලියන 50 සිට 80 දක්වා පිරිසකට තම ජීවිත අහිමි වී ඇත. එවන් විශාල යුද්ධයක විනාශයෙන් පසුව ජර්මනිය නැවත බලගතු ලෙස දියුණුවුයේ සමාජ වෙළෙදපොළ ආර්ථික ක්‍රමයේ විධිමත් ක්‍රියාජාලය හේතුවෙනි .දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර ජර්මනිය ඇතුළත ඇතිවූ විස්මය දැනවූ ආර්ථික සංවර්ධනයේ පීතෘ වරයා වශයෙන් ගෞරවයට පත් වූයේ ලුඩ්විග් විල්හෙල්ම් අර්හාර්ඩ්ය Ludwig Wilhelm Erhard . දේශපාලනඥයෙකු වශයෙන් සමාජ වෙළෙදපොළ ආර්ථික මුලධර්ම පිළිබදව තිබු විශ්වසනීය අවබෝධය සමගින් සමාජ වෙළෙඳපොළ ආර්ථික මුලධර්ම, සුනුවිසුණු වූ ජර්මානු ජනසමාජයේ අභ්‍යාස කරමින් විශේෂයෙන් දුර්වල ජනතාව ආර්ථික සමාජීය වශයෙන් දියුණුව කරා රැගෙන ඒමට ඔහුට තිබු දැනුම හා ඉවසීම ඉතා විශිෂ්ඨතමය.

ලුඩ්විග් විල්හෙල්ම් අර්හාර්ඩ්ට සමාජ වෙළෙඳපොළ ආර්ථිකය හරහා උක්ත බලගතු ජයග්‍රහණ අත්පත් කර ගැනීම සදහා ඉවහල් වුයේ ජර්මනියේ ෆ්යිබ්ර්ග් විශ්විද්‍යාලයේ University of Freiburg සාර්ව ආර්ථික විද්යාව Macroeconomics නොහොත් පොලී අනුපාතයන් හා ජාතික නිෂ්පාදකත්වය වැනි මහා පරිමාණ හෝ පරිසාමාන්‍යය ආර්ථික සාධක පිළිබද අධ්‍යනයයේ විශිෂ්ඨයෙකු වූ ජර්මන් ආර්ථික විද්‍යාඥ වෝල්ටර් ඉයුකෙන්ගේ Walter Eucken සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කළ යුතු පිළිවෙල පිළිබඳ සකස් කරන ලද විධිමත් විනය නිතී රාමුවය.

ආදී සම්භාව්‍යය ලිබරල් චින්තනයට අනුව රජය වෙළෙඳපොළ ඇතුළත “විනුසුරුවරයෙකුගේ’’ රාජකාරිය රඟ දැක්විය යුතු අතර කිසිවිටකත් රජය වෙළෙඳපොළ ඇතුළත ක්‍රීඩකයෙකුගේ “භූමිකාව”රඟ දැක්වීම නොකළ යුතු විය. ආර්ථික විද්‍යාඥ වෝල්ටර් ඉයුකෙන්ට අනුව රජය ආර්ථික රාමුව සැලසුම් කරන නමුත් ආර්ථික ක්‍රියාවලිය පාලනය කිරීමට කටයුතු නොකරයි. මෙහි ඇති වැදගත්කම වන්නේ ආර්ථික රාමුව සහ ක්‍රියාදාමය අතර ඇති වෙනස හොදින් හඳුනා ගෙන ඒ අනුව ක්‍රියාකිරීමත් සහ රජයේ නියාමන ප්‍රතිපත්ති වෙළෙඳපොළ ඇතුළත මිලනියම කිරීම්වලට බලපෑම් නොකිරීමත්ය. වෙළෙද ඒකාධිකාර බිහිකිරීමට සහ අයථා විනිමය පාලනය වැනි කරුණු වලට රජය බලපෑම් නොකිරීමට උක්ත විනය මාලාව අනුව තීරණය වී ඇත . යුරෝපීය මධ්‍යම බැංකුව ( European Central Bank) පිහිටුවා ඩොයිට්ච්මාක් (Deutsche Mark) යුරෝ (Euro) වලින් ප්‍රතිසංවිධානය කරන තුරුම බටහිර ජර්මනියේ ඩොයිට්ච්මාක් බුන්ඩේස් බැංකුව (Deutsche Bundesbank) උක්ත වෝල්ටර් ඉයුකෙන්ගේ ගේ නියාමනයන් පවත්වාගෙන යන ලදී . රජය ගිවිසුම් වලට එලඹීමට සහ වෙළෙඳ කටයුතු සදහා වෙළෙඳපොළ ඇතුළත ඇති නිදහස පිළිගන්නා ලදී .පෞද්ගලික අංශය ආයෝජනය කිරීමේ අවදානමට මුහුණදීමට මැලිවිමට හේතුවන අන්දමේ කප්පාද කිරීම් හා වෙනස්කම් සිදුකිරීමෙන් බැහැර වූ අඛන්ඩභාවයක් ආර්ථික ප්‍රතිපල වල තිබිය යුතු බව අදහස් කළ ආර්ථික විද්‍යාඥ වෝල්ටර් ඉයුකෙන් වෙළෙඳපොළ තරඟකාරිත්වය ඇති කිරීමට හේතුවන අන්දමින් විනය නිතී මගින් වෙළෙදාමට තිබෙන බාධක ඉවත් කරන ලදී .

ආර්ථික විද්‍යාඥ වෝල්ටර් ඉයුකෙන්ගේ ෆ්යිබ්ර්ග් විශ්විද්‍යාලීය සහායක ආර්ථික විද්‍යාඥ නීතිඥ සහ දේශපාලනඥයෙකු වූ ෆ්රාන්ෂ් බොම් Franz Bohme විසින් උක්ත සමාජ වෙළෙඳපොළ ආර්ථිකය තව දුරටත් පෝෂණය කරනු සඳහා නව නෛතික පදනමක් ස්ථාපිත කරන ලදී . ඔහු පුද්ගල නෛතික උපකරණ හඳුන්වා දුන් අතර පුද්ගලයා සතු අනෙකුත් පාර්ශ්ව සමග ගිවිසුම්වලට එලඹිම පිළිබඳව සහ පුද්ගල දේපොළ අයිතීන් සුරැකීම නෛතික උපකරණ මගින් ශක්තිමත් කරන ලදී. මෙවැනි නෛතික උපකරණ නොමැති වීමෙන් වෙළෙඳපොළ හැකිලී යන බව ඔහු විසින් පෙන්වා දී ඇත.

නමුත් 20 වන ශත වර්ෂයේ සිදුවූ රාජ්‍ය නෛතික ප්‍රසාරණය සමග පුද්ගලයාගේ නිතීමය ආවරණයන් පරිපාලන නීති මගින් යටපත් විය. නීතිය ඉදිරියේ සියලු පුද්ගලයන් එක සමාන බව අර්ථශුන්‍ය වන ලෙස රාජ්‍ය මැදිහත්වීම බලවත් විය. ඒ අනුව අවිධිමත් ලෙස නොයෙක් ආකාරයේ සහන සැපයීම,බදු විරාම, මිල ස්ථාවරව පවත්වාගෙන යෑම ආදී ක්‍රමවේද හා ආණ්ඩුවට හිතවත් වෘත්තීන් ආරක්ෂා කිරීමේ අදහසින් තෝරාගත් ව්‍යාපාර සඳහා විශේෂ සහන සැලසීම සහ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සහ වෘත්තීය සමිති ආදියට වාසිදායක තත්ත්වයන් කෘතිමව නිර්මාණය කිරීම බහුලව සිදු කෙරිනි.

පුද්ගල ආරක්ෂාව සඳහා සකස් කරන ලද සිවිල් නිතී පද්ධතියක් මගින් පුද්ගලයා බහුතරයේ මෙන්ම සුළුතරයේ වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිපාලන නිතී වලින් ආරක්ෂා කරන ලදී . ආර්ථික විද්‍යාඥ ෆ්රාන්ෂ් බොම්ගේ අදහස වුයේ පුද්ගලයන්ගේ ආරක්ෂාවට ඇති නීති අනෙකුත් නිතී සියල්ල අභිභවා ක්‍රියාත්මක විය යුතු අතර උක්ත නීති සංග්‍රහයන් දේශපාලනයටද වඩා ඉහළින් තිබිය යුතු බවයී. ඔහු පුද්ගල ආරක්ෂාවට ඇති අයිතියේ අධිපත්‍යය තරයේ අවධාරණය කර ඇත. අනෙක් අතට පුද්ගල ආරක්ෂක නෛතික උපකරණ නෛතික පවුරක් ලෙස කටයුතු කරමින් පුද්ගල දේපොළ අයිතිය සහ නොයෙක් විධ නිත්‍යානුකූල ගිවිසුම් වලට ඇතුල්වීමේ නිදහස රාජ්‍ය බලපෑමෙන් නිදහස් විය යුතු බව ෆ්රාන්ෂ් බොම්ගේ ස්ථිර යෝජනාව වී ඇත.

ලුඩ්විග් විල්හෙල්ම් අර්හාර්ඩ්ගේ කණ්ඩායම නියෝජනය කළ ජර්මන් ජාතික ආර්ථික විද්‍යාඥ මහාචාර්ය විල්හෙල්ම් රෙප්කා Wilhelm Röpke සහ ජර්මන් ජාතික සමාජ හා ආර්ථික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් රස්ටෝව් Alexander Rüstow උක්ත විස්තර කරන ලද නෛතික,ආර්ථික වැඩ පිළිවෙළ සමාජ විද්‍යාත්මක හා තියුණු සංස්කෘතික විශ්ලේෂණයකට ලක් කරනු ලැබු අතර ඔවුන්ගේ තීව්‍ර අවධානය යොමු වුයේ ලිබරල් සමාජයේ ආර්ථික නොවන අත්තිවාරම දෙසටය .සැපයුම සහ ඉල්ලුම ට අමතරව ඊට එහාට වීසෘෂිට නොහොත් විහිදුණු කරුණු ඇති බව ඔවුන්ගේ අදහස විය. වෙළෙඳපොළ ඇතුළත විනය හා පිළිවෙළකෙරෙහි බලපෑම් කිරීමට හේතුවන දේශපාලනික ,සමාජයමය සහ සදාචාරාත්මක පැතිකඩවල් දෙසට ඔවුන්ගේ තීව්‍ර අවධානය යොමු කර ඇත. සාර්ථක වෙළෙඳපොළක් සඳහා සකස්විය යුතු පරිසරය ගැන ඔවුන් කරුණු ඉදිරිපත් කර ඇත. laissez-faire ආර්ථික විද්වතුන් උක්ත පැතිකඩයන් නොසලකා හැර ඇති හෙයින් ඔවුන් සමාජ විද්‍යාත්මක වශයෙන් අන්ධභාවයෙන් යුතු වූ පුද්ගලයන් බව මහාචාර්ය විල්හෙල්ම් රෙප්කා සහ ආර්ථික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් රස්ටෝව් පෙන්වා දී ඇත.

Ropke සහ Rustow ශක්තිමත් රජයක අවශ්‍යතාවය පේනවා දෙන ලද අතර ආර්ථික ප්‍රතිපත්ති වලට අයථා බලපෑම් නොකරන, පුද්ගල අභිවෘධිය සඳහා එක් පාර්ශ්වයකට පක්ෂපාතිව ක්‍රියා නොකරන රජයක අවධානය, යොමු විය යුත්තේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට ඉඩ දීම බව පිළිගෙන ඇත. එක් පාර්ශවයකට එසේ නැතහොත් දේශපාලනිකව තමන්ගේ පක්ෂයට සම්බන්ධ ව්‍යාපාර වලට හෝ පුද්ගලයන්ට අනිසි අයථා අයුරින් පක්ෂපාතිව වැඩ නොකරණ රජයක බලවත් අවධානය යොමු විය යුත්තේ තමන්ගේ රටේ බහුතර ජනයාගේ ජීවන ගුණය ඉහළට යන යහපත් ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම බව ලෝකයේ පිළිගැනීමට ලක් වී ඇත.

Ropke සහ Rustow කුඩා නමුත් ශක්තිමත් ලෙස ලිබරල් ආර්ථික නියාමන නොහොත් අගතීන්ගෙන් තොර නියාමන නිතී ක්‍රියාත්මක කරන රාජ්‍යයන් සෑම කටයුක්තක දීම බලපෑම් ඇති කිරීම සඳහා මැදිහත්වන විශාල රාජ්‍යයන් සමග සංසන්ධනය කර අවසානයේදී පුද්ගල නිදහසට හේතුවන ලිබරල් වාදී නොහොත් අගතීන්ගෙන් තොර ප්‍රතිපත්ති ,විනය හා කාර්යපටිපාටිය ඒ අයුරින්ම පවත්වාගෙන යන කොන්සර්වටිව් conservative නොහොත් කඩිනම් වෙනස්කම්වලට අකමැති අදහස් සමග මිශ්‍ර කිරීමට කටයුතු කර ඇත. මුල්‍ය විනය ප්‍රධානව සහ පොදුවේ සියලු අංශ වල විනය හා කාර්‍යපටිපාටියෙන් තොර නිදහස් ආර්ථිකය, නිදහස් මතධාරී සෙල්ලක්කාර සමාජයක් නිර්මාණය කරන අතර විනය හා කාර්‍යපටිපාටිය ආරක්ෂා කිරීමේ නාමයෙන් ගින්දර යටපත් වී යන බව අවබෝධ විය.

ඒ අනුව ලිබරල් - කොන්සර්වටිව් එසේ නැතහොත් අගතීන්ගෙන් තොර - කඩිනම් වෙනස්කම්වලට අකමැති දෙපාර්ශ්වය අතර සංකලනයක් ඉතා යෝග්‍යබව පිළිගන්නා ලදී. උක්ත සංකලනය සමාජ ප්‍රජතන්ත්‍රවාදී චින්තනයෙන් බැහැර වී නැත. සමාජ වෙළෙදපොළ ආර්ථිකය සමාජවාදය හා ධනවාදය අතර මැද මාවතක ක්‍රියාත්මක වෙමින් ධරණිය සංවර්ධනය නොහොත් තිරසර ආර්ථික ක්‍රමය අනුව ක්‍රියාත්මක වන ඉහළ ආර්ථික වර්ධන ප්‍රතිශතයක් සහ උද්ධමනය පාලනය සදහා කෙටි කාලීන හා දිගුකාලීන රාජ්‍ය මැදිහත්වීමද ඒ අතරේම ක්‍රියාකාරී වීම විශේෂත්වයකි .ඊට සමගාමිව විරැකියාව අවම කිරීම රැකියාවන්හි තත්ත්වය නව්‍ය ආකාරයට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ඇත. එමෙන්ම සමාජ සුභසාධනයන් සහ මහජන සේවාවන් අතර තුලනයක් රදා ගැනීම කෙරෙහිද සමාජ වෙළෙද පොළ ආර්ථිකය ක්‍රියාත්මකය.

උක්ත ක්‍රියාවන් තිරසරව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය මැදිහත්වීම ප්‍රයෝජනයට ගනී. සමාජ වෙළෙදපොළ ආර්ථිකයේ මුලධර්ම ආර්ථික යුක්තිය,සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රභූ පැලැන්තියේ ඒකාධිකාරයක් නොමැත. (There is no monopoly on elitism) ආර්ථික හා සමාජීය දියුණුව මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ජනයා අතර සාධාරණ අයුරින් බෙදී යාමේ අවශ්‍යතාවය පිළිබදව සමාජ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමය තීව්‍රව අවධානය යොමු කරනු ලැබේ .

 

Advertiesment