Monday 14th of October 2019

English Tamil
Advertiesment


සෞදි තෙල් ආකර ප‍්‍රහාරය-ඉරානය අතේ මාට්ටු..!


2019-09-20 1533

සෞදි අරාබියේ අරම්කො (Aramco)  රාජ්‍ය  ඛනිජ තෙල් ව්‍යාපාරයට  අයත් ‘අබ්කයික්’  (Abqaiq)   ප්‍රදේශයේ පිහිටි විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය  සහ කුරේෂ් (Khurais)  ඛනිජ තෙල් නිධියට පසුගිය සැප්තැම්බර් 14 වැනිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් එකී තෙල් නිධි ගිනි ගෙන දැවුණාට වඩා වැඩි ගින්නක් මේ වන විට මැදපෙරදිග කලාපය තුළ පැතිරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය කියනවා. 

තෙල් ආකරවලට පහර දුන්නේ ඉරානයේ අධාර සහ අනුබලය ලබන යේමනයේ ‘Houthi group' කැරළිකරුවන් බවට මුලදී වූ විශ්වාසය තමවත් තිබෙන අතර එම විශ්වාසය තහවුරු වන සාක්ෂි ද තමන් සතු බව සෞදි බලධාරීන් සහ ට‍්‍රම්ප් පාලනය කියනවා. මෙම ප‍්‍රහාරය එල්ල කළේ නියමුවන් රහිත යානා හෙවත් ‘ඩ්‍රෝන' DRONE යානා 17ක් යොදා ගෙන බව මුලදීම විශ්වාස කළා. ඒ සමග කෲෂ් මිසයිල (missiles)  7කින් ප‍්‍රහාරයක් ද එල්ල වූ බවයි වාර්තා වුණේ. ප‍්‍රහාරයෙන් මුළු ලෝකයම, විශේෂයෙන් අරාබි ලෝකය කම්පනයට පත් වූ අතර ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැති ආතතිය තවත් වටයකින් ඉහළ දැමීමට මෙම ප‍්‍රහාරය හේතු වුණා. ඒ ඇමෙරිකාව සහ සෞදිය වහාම ප‍්‍රහාරයේ වගකීම ඉරානයට පැටවූ නිසයි. ඇමෙරිකාව සහ සෞදිය වහාම ප‍්‍රකාශ කළේ අදාළ ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප‍්‍රහාර එල්ල වූයේ යේමනය දෙසින් නොව ඉරානය දෙසින් බවයි.

පසුගිය බදාදා (18) සෞදියට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ‘මයික් පොම්පියෝ Secretary of State Mike Pompeo  ‘මේ ප‍්‍රහාරය යුධ ක‍්‍රියාවක්’ නැතහොත් ‘හමුදාමය මැදිහත්වීමක් ’ ලෙස නම් කළා.ඒත් සිදුවිය යුතු ලෙසම ඉරානය චෝදනා ප‍්‍රතික්ෂේප කළ අතර සුපුරුදු උච්ච ස්වරයෙන් ප‍්‍රකාශ ද නිකුත් කළා. එහිදී ඉරානය අනතුරු අඟවමින් කියා සිටියේ ‘අපට එල්ල වන  ඕනෑම ප‍්‍රහාරයක් සඳහා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කනවා’ යනුවෙනුයි. මේ සමග ඉරානය වගකීමෙන් ගළවා ගැනීමට මෙන් හුති කැරළිකරුවන් ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තා.

මෙම ප‍්‍රහාරය සඳහා නියමුවන් නොමැති යානා දහයක්  යොදා ගත් බව ඉරානයේ සහයෝගය ලබන යේමනයේ Houthi Group’ කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක්  කිව්වා යේමනයේ අගනුවර වන ‘බේරුත්’ හි පිහිටි ‘හූති’කැරලිකරුවන්ට අයත් .අල් - මසිරා (al-Masirah TV) රූපවාහිනියට අදහස් දැක්වූ එම හමුදා ප්‍රකාශකයා  කියා සිටියේ ‘ඉදිරිකාලය තුළ තවත්   ප්‍රහාරවලට   ඉඩකඩ ඇති බවයි’මේ අනුව ප‍්‍රහාරයේ වගකීමෙන් පහසුවෙන් බේරී යාමට ඉරානයට අවස්ථාව ලැබුණා.

සාක්ෂි හමුවෙයි එහෙත්  චෝදනා පහසුවෙන් බැහැර කළ නොහැකි, සාක්ෂි සහිත ඒවා බවට පත් වූ බව බී.බී.සීය ප‍්‍රමුඛ බටහිර මාධ්‍ය වාර්තා කළා.  ඊයේ සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී, සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ‘කර්නල් තුර්කි මල්කි(Defence ministry spokesman Col Turki al-Malki)  බදාදා (18) සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රහාරයට සම්බන්ධ වූ බවට හඳුනා ගෙන ඇති විනාශයට පත් ඩ්‍රෝන යානයක ඹ්ඪ (නියමුවන් රහිත යානයක - unmanned aerial vehicle)   සුන්බුන් සහ කෲස් මිසයිල ශේෂ ඉදිරිපත් කළා. ඒ සමග ප‍්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට වන චෝදනාව සෞදි බලධාරීන් විසින් සාක්ෂි සහිතව මාධ්‍ය හමුවේ ඔප්පු කළා. 

මෙහිදී කර්නල් තුරක් අල් මල්කි කියා සිටියේ මෙම ප‍්‍රහාරය යේමනයට විරුද්ධ දිසාවෙන් පිහිටි ‘උතුරු දිසාවෙන්’ එල්ල කර ඇති බවත් ඒ සඳහා ඉරානය විසින් ‘අනුග‍්‍රහය’ දක්වා ඇති බවයි. එහෙත් එය සියයට සියයක් ‘නිවැරදි සහ තහවුරු කළ ප‍්‍රකාශයක්’ බව කියනු වෙනුවට සෞදි මාධ්‍ය ප‍්‍රකාශකයා කියා සිටියේ ‘සෞදිය විසින් තවමත් අදාළ ප‍්‍රහාර දියත් කිරීමේ ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එහිදී සැකයේ වාසිය ඉරානයට නොදීමටත් ඔහු ප‍්‍රවේශම් වුණා.

‘මේ සුන්බුන් අතර ඉරානය විසින් නිෂ්පාදනය කරන ඩ්‍රෝන යානාවල ‘ඩෙල්ටා’ කොටස් ඇතැයි අපි සැකකරනවා. පරිගණකවලින් ලබා ගත් දත්ත අනුව පෙනී යන්නේ ඒවා ඉරාන නිෂ්පාදන බවයි ’ කර්නල් මල්කි කිව්වා

‘නියමුවන් රහිත යානා 18ක් අබ්කායික් තෙල් මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඉලක්ක වෙත කෲස් මිසයිල 07ක් එල්ල කර ඇති බව අපි විශ්වාස කරනවා. කෲස් මිසයිල හතරකින් කුරයිස් තෙල් ලිංවලට ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. අනෙක් තුන අබ්කයික්වලට එල්ල කර තිබෙනවා’ කර්නල් මල්කි විශ්වාසනීය ස්වරයෙන් පැවසුවා. කර්නල් මලකි  පැවසුවේ මිසයිල සියල්ලම ඊසාන දෙසින් පැමිණි බවයි. 

භාර දුන් වීඩියෝවක් සහ හානිය පිළිබඳව සිතියම් සහ ඡායාරුප ඔහු පෙන්වූවා.කුරයිස් ප‍්‍රහාරය ගැන මල්කි පැවසුවේ මෙවැනි කතාවක්, ‘කෲස් මිසයිලවල නිරවද්‍යතාව ඉරාන ඇලියේ හූති කැරලිකාර හමුදාවේ හැකියාවෙන් ඔබ්බට ගිය නිරවද්‍යතාවක් පෙන්නුම් කරනවා. මේවා නිකුත් කළ ස්ථාන පිළිබඳ තොරතුරු තවමත් මාධ්‍ය හමුවේ තැබීමට අපට හැකියාවක් නැහැ. නමුත් ඒවා නිශ්චිතව තහවුරු කරගත් පසුව අපි ඒවා ප‍්‍රසිද්ධ කරනවා’ කර්නල් මල්කි ඉරානයේ සැක සහිත හැසිරීම ගැන සිය අප‍්‍රසාදය පළ කිරීමට ද අමතක කළේ නැහැ.

‘ඉරානය උත්සාහ කරන්නේ මෙය ඔවුන් විසින් හෝ ඔවුන්ගේ අනුග‍්‍රහය මත සිදුවූවක් නොවන බව පෙන්වීමටයි. ඒත් මේ ප‍්‍රහාරය සැලසුම් කිරීමට ඔවුන්ගේ ඇලියට (යේමනය) ඔවුන් දක්වන සහයෝගය නම් පැහැදිලියි. අපි මෙය සලකන්නේ සෞදියට කළ පහරදීමක් ලෙස නොවෙයි එය ‘ජාත්‍යන්තර ප‍්‍රජාවට’ කළ පහරදීමක්. එයට වගකිව යුත්තේ කවුද ඔවුන් එම ක‍්‍රියාවට වගකිව යුතුයි’කර්නල් මල්කි සෞදි ස්ථාවරය (මෙය අමෙරිකාවේ ද ස්ථාවරයයි) පැහැදිලි කරමින් කිව්වා.

අත්‍යවශ්‍ය ප‍්‍රශ්නයට පිළිතුරු නෑ

මේ සම්බන්ධයෙන් බී.බී.සීය විසින් ද විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා. ඒ බී.බී.සීයේ ආරක්ෂක හා රාජ්‍ය තාන්ත‍්‍රික වාර්තාකරු ‘ජොනතන් මාකස්’ විසින්. මාකස් මෙසේ කියනවා,

සෞදි මිලිටරි අංශවලට තමන් සතු සියලූ තොරතුරු සහ එකලස් කරන ලද සුන්බුන් මගින් අත්‍යවශ්‍ය ප‍්‍රශ්නය ගැන ‘එතරම්’ යමක් කිව නොහැකියි. සෞදි තෙල් ආකාරවලට එල්ල කළ ප‍්‍රහාරය සඳහා භාවිත කළ බව කියන ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල සැබවින්ම ඉරාන භූමියේ සිට නිකුත් කර තිනෙවාද ? සෞදි බලධාරීන් (කර්නල් මල්කි) විසින් මාධ්‍ය හමුවේ තැබුවේ ප‍්‍රහාරය සිදු වුණේ ‘උතුරෙන්’ වන බවට ගුප්ත ප‍්‍රකාශයක් පමණයි. ඒත් ආයුධ පිළිබඳව නම් අවශ්‍ය තරම් තොරතුරු ඔවුන් සතුව තිබුණා. සමස්තයක් ලෙස ඩ්‍රෝන යානා 25ක් සමග කෲස් මිසයිල එක් කිරීමක්. ඒවා ඉරානය විසින් නිෂ්පාදනය කළ යානා බව හඳුනා ගෙන තිබෙනවා. ඉරානය මේ සිදුවීම තුළට ගැඹුරින් කිඳා බැස ඇති බව දැකිය හැකි වුවත් එයම ප‍්‍රමාණවත් නැහැ. මේ පිිළිබඳව සෞදිය දිගටම පරීක්ෂණ කරනවා.

මේ සමග බී.බී.සී විශ්ලේෂක මාකස් කියන්නේ සෞදි තෙල් ආකර ප‍්‍රහාරය පිටුපස ඇති ඉරාන ‘ඍජු මැදිහත්වීම’ පිළිබඳව අදහසක් එක්සත් ජනපදයට මේ වන විටත් ඇති බවයි. ‘ඉරානයේ ඍජුව මැදිහත්වීම පිළිබඳව එක්සත් ජනපද නිලධාරීන් දැනටමත් ඒත්තු ගෙන සිටින බව පේනවා. 

ඉතිං මෙතන මොකද වෙන්නේ ? 

න්‍යාය පත‍්‍රය සකස් කරන බව පේනේ සෞදිය විසින්. මෙය ටෙහෙරානයට (ඉරානයට) එරෙහිව තවත් ‘නඩුවක්’ නිර්මාණය කිරීමට ප‍්‍රමාණවත් කාලය ගැනීමේ උත්සාහයක් ද ? නැතහොත් එය අර්බුද කළමනාකරණ ප‍්‍රවේශයක්ද ? අර්බුදය වර්ධනය වීම වළක්වා ගත හැකිය යන ‘බලාපොරොත්තුවෙන්’ මේ දේවල් හෙළි කිරීමට සෞදි බලධාරීන් පියවර ගන්නේ ?’ මාකස් ප‍්‍රශ්න කරනවා.

ඉරානයේ - හූති ප‍්‍රතිචාර

සෞදි ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශකයා ඩ්‍රෝන යානාවල සහ කෲස් මිසයිලවල සුන්බුන් පෙන්වමින් කළ චෝදනාවලට ඉරානය මේ දක්වා ප‍්‍රතිචාර දක්වා නැහැ. ඔවුන් විසින් දක්වා ඇති ‘එකම ප‍්‍රතිචාරය’ වන්නේ සුපුරුදු අභියෝගාත්මක ‘ඉරානයට එරෙහිව කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගනුලැබුවහොත් ඉරානය වහාම ඊට පිළිතුරු දෙනු ඇත’ යන්න පමණයි. මේ අතර ඉරානයේ සිටින ‘රොයිටර්’ වාර්තාකරු ඉරාන ජනපතිවරයාගේ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් වාර්තා කළේ ‘මේ ප‍්‍රහාරය ගැන ඉරානය කිසිවක් ම නොදන්නා බවයි’ ඊට සමගාමීම හූති ප‍්‍රකාශකයෙක් කියා සිටියේ ‘ඔවුන් ඉදිරිපත් කරන්නේ ‘ව්‍යාජ’ ඡුායාරූප. සකස් කළ ඒවා. අපේ ප‍්‍රහාරයෙන් සෞදි තෙල් ආකාරවලට බරපතළ හානියක් සිදුව නැති’ බවයි.

  මීළඟ පියවර කුමක්ද ?

බොහෝ දෙනා අසන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ඇලියේ සන්නද්ධ ක‍්‍රියා මාර්ගයක් ද? බවයි. එහෙත් එය එසේ නොවනු ඇති බවයි මැදපෙරදිග පිළිබඳ විශේෂඥයින් කියන්නේ. ‘මෙම ප‍්‍රහාරය පිටුපස ඉරානය සිටින බව එක්සත් ජනපදය විසින් දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඇමෙරිකානු පාලනය, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ‘සාමාන්‍යයෙන්’ මිලිටරි විසඳුම්වලට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වෙනුවට ඔහු නිතර නිතර භාවිත කරන වඩාත් ‘සිත්ගන්නා සුළු අවිය’ වන සම්බාධක පැනවීමට පියවර ගනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඔහු දැනටමත් ඉරානයට එරෙහිව තවත් සම්බාධක පනවන ලෙස භාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙනවා’ මැදපෙරදිග පිළිබඳ විශ්ලේෂක ජොනතන් මාකස් පවසනවා. නව සම්බාධකවල විෂය පථය ක්ෂිණිකව පැහැදිලි කරගත නොහැකි බවයි ජොනතන් මාකස් කියන්නේ.

‘වර්තමාන සම්බාධක දැනටමත් පුළුල් පරාසයක පවතිනවා. ඉරානයේ තෙල් අපනයනය අඩාල කිරීහ සහ ඔවුන්ගේ ආර්ථිකය අඩපණ කිරීමයි එහි අරමුණ වන්නේ. එමගින් ඇමෙරිකාවට මිලිටරිමය පිරිවැයක් දැරීමට සිදුවන්නේ නැහැ. ඒත් ඉරානයට සිදුවන හානිය විශාලයි’ ඔහු පවසනවා.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඞ් බින් සල්මාන්’ හමුවී මේ ගැන සාකච්ඡුා කිරීමට නියමිත බව ද වාර්තා කියනවා.

මේ ගැන අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශකයෙක් රොයිටර් වෙත පවසා ඇත්තේ, ‘එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සෞදිය වෙත ගොස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් ‘ජාත්‍යන්තර’ පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර පසුගිය දා සෞදි ඔටුන්න හිමි සල්මන් කුමාරයා දකුණු කොරියානු ජනපතිවරයා සමග පැවැති දුරකථන සංවාදයකදී සෞදි තෙල් ආකරවලට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ වහාම ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු බව අවධාරණය කළා.

සෞදි තෙල් ආකරවලට එල්ල වූ ප‍්‍ර‍්‍රහාරයේ බලපෑම මේ වන විට ලෝකයට දැනෙමින් තිබෙනවා. සෞදි තෙල් සැපයුමේ සිදු වූ බිඳ වැටීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය අමෙරිකාවට කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව වැනි රටවලට දැඩි බලපෑමක් කරනවා.

 

සැකසුම-තුෂාල් විතානගේ
Advertiesment