Thursday 5th of December 2019

English Tamil
Advertiesment


කොළ වියළීමේන් කුඹුරු අක්කර 50ක් විනාශයි


2019-07-02 1887

   

(ජයකාන්ත ලියනගේ )

පැළමැක්කා රෝගයෙන් පසු කොළ වියළීමේ රෝගයට ගොදුරුවීම නිසා අහුන්ගල්ල ගොවිජන බල ප‍්‍රදේශයට අයත් කොස්ගොඩ ප‍්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට (50) වැඩි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.කණකර උගස් තබා ලබාගත් මුදල් වැයකර වගා කරන ලද මෙම කුඹුරු විනාශ වීම හේතුවෙන් ගොවීහු මහත් අසීරුතාවයට පත්ව සිටිති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගොවියකු වන කොස්ගොඩ, වතුරවෙල පුවක්ගහබොක්කේ පදිංචි එච්. ඩබ්ලිව්. යසපාල මහතා (65) මෙසේ පැවසීය.

මම අවුරුදු හතළිහක්, පනහක් තිස්සේ වී ගොවි තැනයි කරන්නේ. අපි, අතේ මිටේ සල්ලි තිබෙන අය නොවෙයි. ඒ නිසා කණකර උගස්කරලයි වගා කරන්නේ. පැළමැක්කා රෝගය ඇති වුණාට පසු ගොයම් කොළ සම්පූර්ණයෙන්ම වේළිලා විනාශ වුණා. මේ පාර වගාකරන්න රුපියල් පනස් දහසකට (50,000) වඩා වැඩි මුදලක් වැය වුණා. ගිය වියදමවත් සොයා ගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. කිසිම වගතුවක් නැහැ. රජයෙන්වත් යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද කීය.

තවත් ගොවියකු වන කොස්ගොඩ වතුරවෙල පදිංචි දර්ශන සපුතන්ත‍්‍රි මහතා (49) පැවසුවේ මෙවැන්නකි.

මමත් අවුරුදු තිහකට (30) ආසන්න කාලයක සිට වී ගොවි තැන්කරනවා. මෙවර කුඹුරු විනාශවීම නිසා අපි නන්නත්තාර වෙලා තිබෙන්නේ. රජයෙන් කිසිම සහනාධාරයක් ලැබෙන්නෙ නැහැ. පුරන්වෙලා තිබූ කුඹුරක් තමයි මීට අවුරුදු කිහිපයකට පෙර සිට වගා කරන්නේ. දැන් පොහොර සහනාධාරය වෙනුවට ලැබෙන්නේ සල්ලි. බිත්තර වී ටිකක්වත් ලැබෙන්නෙ නැහැ. ගිය කන්නයේදිත් මේ ලෙඬේ යාන්තමින් තිබුණා. මේ තරම් උග‍්‍ර වුණේ නැහැ. අහුන්ගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට දැනුම් දුන් පසු ඒ අය ඇවිත් බලල උපදෙස් දීල ගියත් වැඩක් වුණේ නැහැ. ඒ නිසා අපිට ඔළුව උස්ස ගන්න නම් යම් සහන වැඩ පිළිවෙළක් දියත් කරන ලෙස ඉල්ලා සිටින බවත් කීය.

ප‍්‍රදේශයේ ප‍්‍රකට ගොවියකු මෙන්ම කොස්ගොඩ දෙටු ජනපදයේ ගොවි සංවිධානයේ උප සභාපති ඩබ්ලිව්. ඞී. ජයරත්න මහතාගෙන් (43) විමසූවිට මෙසේ කීය.

මම කුඹුරුගොවි තැන් කරන්න පටන්ගෙන දැන් අවුරුදු විසිපහකට වැඩියි. මට අක්කර දෙකයි කාලක් තිබෙනවා. මේ ප‍්‍රදේශයේ වෙල් යායවල් කිහිපයක් එකතු වෙලා තිබෙන්නේ. මේ කුඹුරට කියන්නේ කොස්කැටියවෙල කියලයි. වතුරවෙල, බාන්වැල්දුව, බොරළුකැටිය, වෙලන්ගොඩ, පැලෑගස් පළාත, පුවක්ගහබොක්ක, ජ්‍යෙෂ්ඨ කොළණිය ආදි ප‍්‍රදේශවලට මේ කුඹුරුයාය අයත් වෙනවා.

මෙවර වගාවෙදි පළමුවෙන්ම පැළමැක්කා රෝගය ඇතිවුණා. ඒවට බෙහෙත් ගැව්වට පස්සෙ ගොයම් කොළ වේලෙන්න පටන් ගත්තා. ඒකට තව බෙහෙතක් ගැව්වා. ඒකට හරි ගියෙත් නැහැ. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරි මහත්තයෙක් ඇවිත් කිව්වම තව බෙහෙතක් ගැව්වා. ඒකට හරි ගියෙත් නැහැ. තණ කොළවලටත් එක්ක හතර ගමනක් බෙහෙත් ගැව්වා. කුඹුරු සියල්ලම පිච්චිලා වගෙයි. පීදිගෙන එන විටයි මේ ලෙඩ සියල්ලම ඇති වුණේ. අස්වැන්න ගැන නම් බලාපොරොත්තු තියාගන්න නම් බැහැ.

අපේ කුඹුරුවලට ට‍්‍රැක්ටරයක් බස්සන්න බැහැ. සම්පූර්ණයෙන්ම හැල් තිබෙන්නේ. උදැල්ලෙන්ම කොටන්න  ඕනෑ. දැනටමත් රුපියල් පනස් දහසකට වඩා වැඩි මුදලක් ගිහින් තිබෙනවා. මේ ගැන අවධානය යොමු කරල ගොවි කමට සහනයක් සලසන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා. පොහොර සහනාධාරය වෙනුවෙන් දැන් ලැබෙන්නේ මුදල්. මගේ අක්කර දෙකයි කාලට ලැබෙන්නේ රුපියල් දොළොස් දහස් පන්සීයයි. එකත් කලට වේලාවට ලැබෙන්නෙත් නැහැ. මුදල ප‍්‍රමාණවත් වන්නෙත් නැහැ. මෙයට රජයෙන් යම් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් කීය.

 

Advertiesment