Monday 14th of October 2019

English Tamil
Advertiesment


පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 20ක් අවභාවිත කළ විදුහල්පතිට ස්ථාන මාරුවක්..!


2019-09-18 98258

(ජයකාන්ත ලියනගේ) 

ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන මාරු ලබා දී ඇති ඇතැම් විදුහල්පතිවරුන් එම ස්ථාන මාරු අවලංගු කරන ලෙස තම අමාත්‍යංශයට  අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් ඒවා ප්‍රතික්ෂේප කර ඒ බව එම විදුහල්පතිවරුන්ට දන්වා යැවු බවත් දකුණු පළාත්අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා  ප්‍රකාශ කළේය.

අදාළ අභියාචනාවල ඒවා භාර ගැනිමට තරම් කරුණු නොතිබීම මත අභියාචනා ප්‍රතික්ෂේප  කළ බව ප්‍රකාශ  කළ වික්‍රමසිරි මහතා, ලබා දී ස්ථාන මාරුවට අනුව නියමිත පාසල් වල වැඩ භාර ගන්නා ලෙසද ඔවුන්ට දන්වා යැවු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ මෙසේ ස්ථාන මාරුවීම්වලට අදාළව අභියාචනා ඉදිරිපත් කර ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට  සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් දකුණු පළාත්ලේඅධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ඇත්කදුර සීවලි මහා විද්‍යාලයේ මීට වසරකට පමණ ඉහතදී රාජකාරී භාරගත් විදුහල්පතිවරයාට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් වහාම  ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දුන්නා. එය නොසලකා තවමත් ඔහු එම පාසලේ රැදී සිටිම අධ්‍යාපන චක්‍ර ලේඛන උල්ලංඝනය කිරිමක්.

මෙම විදුහල්පතිවරයා මීට වසරකට පමණ පෙර එම විද්‍යාලයට පත්කර තිබෙනවා. ඔහුගේ සේවා දුර්වලතා බහුලව තිබිම නිසයි වහාම  ක්‍රියාත්මක  වන පරිදි 2019 අගෝස්තු 27 වන දින සිට ස්ථාන මාරු කළේ. එම ස්ථාන මාරුව අසාධාරණ නැහැ. ඔහු කලින් සේවය කල පාසලත් වසා දැමීමට තරම් දුර්වලතා තිබුණ. මේ පාසලෙත් පරිපාලන කටයුතු සිසු විනය කටයුතු බරපතල ලෙස පිරිහී තිබෙන බවට මා වෙත කරුණු වාර්තා වී තිබෙනවා. එම විදුහල්පතිවරයා 2019 ජනවාරි 01 වනදා දින සිට ජූලි 31 වන දින දක්වා කාලය තුල කිසිම හේතුවක් නොදක්වා තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා පාසලෙන් බැහැර වී තිබෙනවා. පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් අවභාවිතා කිරිමේ චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා.

ස්ථාන මාරු කර තිබෙන්නේ මෙවැනි අක්‍රමිකතා කරන ලද විදුහල්පතිවරුන් කිහිප දෙනෙක්. ඔවුන්ට බොහෝ සෙයින් මුදල් අක්‍රමිකතා ද  තිබෙනවා.

පාසලක මුදල් ගණුදෙණු වියදම් කිරිමේ දී නිසි ක්‍රමවේදයක්  තිබෙනවා. රජයෙන් ලැබෙන ප්‍රතිපාදන මෙන් ම පාසල් සේවා පහසුකම් ගාස්තු එකතු කළ මුදල් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට අනිවාර්යෙන්ම බැර කර යම් කටයුත්තක් ඊට පසුව මුදල් ලබාගත යුතුයි. පාසලේ අවශ්‍යතාවයකට  මුදල් වියදම් කරන්නේ නම් එම මුදල් බැංකුවෙන් ලබා ගෙන වියදම් කළ ආකාරය බිල්පත් බැංකු රිසිට් නිසි ක්‍රමවේදයක්  අනුව පාසල් සංවර්ධන සමිතියේ ගිණුම් පොතේ තිබිය යුතුයි. මුදල් අවභාවිතයක් එම පාසැල් වල බරපතල ලෙස තිබෙනවා. එසේ චෝදනා තිබෙන මෙම විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු ලබා දී ඇත්තේ කොට්ඨාස හා කලාප පළාත් මට්ටමින් සිදු කරන ලද විගණන පරික්ෂණ වල වාර්තා අනුව බවද වයි.වික්‍රමසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Advertiesment