Monday 14th of October 2019

English Tamil
Advertiesment


භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමේදී දුමින්ද සිල්වාව කොන්දේසි විරහිතව ආරක්ෂා කළා..!


2019-09-15 97818

(රුවන් ලොවිතානගේ)

ගෝඨාභය වගේ  පුද්ගලයන් සමඟ මගේ ගණුදෙනුවක් නෑ. මගේ ගණුදෙනු තිබෙන්නේ රටේ ජනතාව සමඟයි. මම උකුස්සෙකු හෝ රාජාලියෙකු නොවයි. මම සද්ධන්ත කුලයේ ඇතෙක්. බුදු බව ලබන්නත් පෙරුම් පුරන්න සිදු වුණා. සෑම දෙයක් සම්බන්ධයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබවාදී මතයක සිටිනවා. සාකච්ඡා මාර්ගයෙන් සුහදව හොඳ තැනකට පැමිණෙන පුළුවන්

මුළු රටම බලා සිටි සාකච්ඡවක් අවසන් කරමින් එළියට පැමිණි එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා දැඩි විශ්වාසයකින් යුතුව කිව්වේ විපක්ෂ බලවේග හා කල්ලිවල අපේක්ෂාවන් සුන්නද්ධූලි කරමින්. ‘රනිල් - සජිත් සාකච්ඡා බිඳ වැටේ - එජාපය කැඩෙයි’ කියමින් අතේරෝල් ගසමින් සිටින ජාතික තලයේ මාධ්‍යත් සමාජ මාධ්‍යත් සජිත්ගේ මේ ප‍්‍රකාශයෙන් අපේක්ෂාභංගත්වයට පත් වූ බවට කිසිම සැකයක් නැහැ.

මේ ධනාත්මක සාකච්ඡා  වටයෙන් පසුව තව දින කිහිපයකින් පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක සාකච්ඡාවට නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ආරාධනා කර ඇති බව මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. එහිදී ග‍්‍රාම සංවර්ධනය සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස සංකල්පය පක්ෂ නායකයින් හමුවේ තැබීමට සජිත් සූදානමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කළේ.

මේ අනුව පැහැදිලි වන්නේ එජාපය - එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ සියලූ දේ අපේක්ෂා කළ ආකාරයට ම ධනාත්මකව / සුභවාදීව සිදුවන බවයි. ඒ අනුව රනිල් - සජිත්-කරු- ෆොන්සේකා- චම්පික- රාජිත වැනි ජාතික තලයේ අත්දැකීම් බහුල දකුණේ දේශපාලන නායකයින්, හකීම්-මනෝ- රිෂාඞ්-සම්බන්ධන් - දිගම්බරම් යන පුළුල් පිළිගැනීමක් හා එකී ප‍්‍රජාවන් අතර ඇති බහුතර එකඟතාවක් ඇති සුළු ජන පක්ෂ නායකයින් සමග ඇතිවන පුළුල් දේශපාලන සන්ධානය 2015 දී මහා වෙනසක් කළ දේශපාලන සන්ධානයට වඩා අතිශය  ශක්තිමත් හා වර්ණවත් එකක් වනු ඇති බවයි.

නඩු පිට නඩු ගොඩ ගැහෙන හැටි

එක්සත් ජාතික පක්ෂය සිය අභ්‍යන්තර අර්බුදය මනාව කළමනාකරණය කර ගනිමින් මෑත ඉතිහාසයේ වඩාත්ම පුළුල් දේශපාලන හා සමාජ - ආර්ථික වැඩපිළිවෙළක් සහිතව ජනපතිවරණයට ඉදිරිපත් වීමට පිඹුරුපත් සකස් කරද්දී පොහොට්ටුව පාර්ශ්වයෙන් කරළියට එමින් තිබෙන්නේ ‘දිය යට එබු රබර් බෝලයක් සේ’ පසුගිය කාලය පුරාම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම මගින් යටපත් කර ගැනීමට තැත් කළ ‘නඩු රැල්ලයි’

‘මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්රාය ප්රරතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පංච පුද්ගල ශ්රේ්ෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ප්‍රතික්ෂේප වන්නේ මේ සිදුවීම් ජාලයට අදාළ එක් සිදුවීමක් පමණයි. පසුගිය 2015 ජනවාරි 09 වැනිදා සිටම විවිධාකායේ අනීතික ක‍්‍රියාවන් වෙනුවෙන් හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයින්ට, විශේෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පවරා තිබූ නඩු විභාගයට ගැනීමට තිබූ නෛතික බාධා ක‍්‍රමයෙන් අවසන් වෙමින් පවතින බවයි ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මගින් ද පැහැදිලි වන්නේ. ඒ අනුව තවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති අනෙක් නඩු (අමෙරිකාවේ ද ඇතුළුව) යම් ආකාරයකින් විභාගයට ගැනීම ආරම්භ කළහොත් රාජපක්ෂ මහතාට සිදුවන්නේ මැතිවරණ වේදිකාවල ‘වැදිබණ’ කීමට නොව අධිකරණයේ විත්තිකූඩුවේ සිට අදාළ චෝදනාවලට උත්තර බැඳීමට බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

‘මේක ඇත්තටම හරිම අපකීර්තිමත් තත්ත්වයක්. පසුගිය කාලයේ කිසිම අවස්ථාවක මේ වගේ අධිකරණය හමුවේ නඩු පිට නඩු තිබෙන කිසිම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයකට තියා ප‍්‍රාදේශී සභා මැතිවරණයකට පවා ඉදිරිපත්ව නැහැ. රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරාම කළේ තමන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන චෝදනාවලට මුහුණ දෙනු වෙනුවට ඒවා මගහැර යාමයි. මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරමින් සිටීමයි. දැන් කාලයත් සමග ඒ සෙල්ලමත් අවසන් වන තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධ නඩුව විභාගයට ගැනීම වළක්වා ගන්න රාජපක්ෂ මහතා ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීම ධනාත්මක තත්ත්වයක්. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරණයක් අතළඟ තියාගෙන මේ ආකාරයට සිදුවන එකයි. අපේ විශ්වාසය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවල කියන ආකාරයට විනයගරුක නම්, නීතියේ ආධිපත්‍ය පිළිගන්නවා නම් මුල සිට කළ යුතුව තිබුණේ ඇත්ත හෝ නැත්ත වේවා, දේශපාලන පළිගැනීම් වේවා තමන්ට විරුද්ධව ගොනු කළ චෝදනාවලට නිර්භීතව වගඋත්තර බැඳීමයි. ඒත් ඒක තමයි සිද්ධ නොවුණේ. දැන් කාට හරි කියන්න පුළුවන් ‘ගෝඨා නිර්දෝෂයි, අධිකරණයෙන් වැරදිකරුවෙක් වුණේ නැහැ කියලා’ ඒත් ඒක ඇත්ත නොමෙයි. අධිකරණය ක‍්‍රියාවලියට මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා බලපෑම් සිදු නොවුණා නම් මේ චිත‍්‍රය මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියන එකයි අපේ අදහස. මෙතන හෘද සාක්ෂිය පිිළිබඳ ගැටලූවකුත් තියෙනවා. ඒක අමතක කරන්න එපා’

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදමුලන නඩුව ගැන දුන් තීන්දුව විග‍්‍රහ කරමින් ප‍්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් සඳහන් කළා. ඔහු ද ඇතුළුව මේ ගැන පොදු විග‍්‍රහයක යෙදෙන මධ්‍යස්ථ මතධාරීන් බහුතරයකගේ අදහස වන්නේ අවුරුදු පහක් තිස්සේ තමන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය හමුවේ ඔප්පු කිරීමට අකමැති වුණ / අවස්ථාව නොදුන් සහ අවස්ථාව ලබා නොගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාජ විනයක් හෝ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමක් අපේක්ෂා කිරීම හාස්‍යයට කරුණක් බවයි.

‘‘තමන්ගේ නඩුව අහන්න කිසිම අවස්ථායක් නොදී කට්ටි පැන්න මිනිහෙක්ගෙන් කොහොම විනයක් බලාපොරොත්තු වෙන්නේ. යුක්තිය බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ තත්ත්වයක් ලෝකේ කිසිම රටක ඇතැයි කියලා අපි හිතන්නේ නැහැ. අවම වශයෙන් අප‍්‍රිකානු - ලතින් ඇමෙරිකානු කලාපයේ රටකවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මේ තරම් නඩු කන්දක් වැටුණු සහ නීතියේ ආධිපත්‍යයට, සමාජ හෘද සාක්ෂියට පිටුපෑ අයෙක් රාජ්‍ය බලය දිනා ගන්න ජනතාව හමුවට ගිහින් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ’’ වැඩි දුරටත් පැහැදිලි කළා.

හෘද සාක්ෂිය ගැන ස්වයං විමසීමක්

ඉහත සඳහන් දේශපාලන නිරීක්ෂණය වැදගත් වන්නේ ඉදිරි ජනපතිවරණයේදී සමාජ යුක්තිය මෙන්ම හෘද සාක්ෂිය ද දැඩිව ප‍්‍රශ්න කිරීමට ලක්වීමට නියමිත නිසයි. උදාහරණයක් ලෙස 2015 ජනපතිවරණයේ සහ අගෝස්තු මහ මැතිවරණයේ ප‍්‍රධාන හා වර්ණවත් මැතිවරණ පොරොන්දු වූ (ඇත්තටම මේවා දීර්ඝ කාලයක් පුරා පැවැති සමාජ අවශ්‍යතා) විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර පාර්ලිමේන්තුවට බලතල ලබා දීම, සමානුපාතික නියෝජනය ක‍්‍රමය වෙනස් කිරීම, ජාතික ගැටලූවට විසඳුමක් ලබාදීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීම සහ බිඳ වැටී තිබූ නීිතියේ ආධිපත්‍ය හා සමාජ යුක්තිය යළි ස්ථාපිත කිරීම, ජනවාර්ගික හා ආගමික සංහිඳියාව නැවත ප‍්‍රතිස්ඨාපනය කිරීම මේ මැතිවරණයේ දී ද පාක්ෂිකයින් නොවන (කැපුවත් ... පාට කියන) නිර්පාක්ෂිකයින්ගේ ද (පාවෙන ඡන්ද) තම ප‍්‍රථම ඡුන්දය භාවිත කරන තරුණ තරුණියන්ගේ ද ප‍්‍රමුඛතා ලැයිස්තුවේ නොතිබෙනු ඇතැයි කියන්න බැහැ. ඊට හේතුව වන්නේ අද පොහොට්ටු කල්ලිය විසින් අතිඋත්කර්ෂයට නංවා තිබෙන ‘ජාතික ආරක්ෂාව’ / ශක්තිමත් පාලනය’ යන්න දේශපාලනමය වශයෙන් සවිඥානික සහ ලෝකය ගැන දන්නා කියන අති බහුතරයකට නොවැදගත් / යල් පැනගිය එක්ක බවට පත්ව තිබෙන නිසයි.

‘අනපේක්ෂිතව සිදු වූ පාස්කු ප‍්‍රහාරයට මේ ආණ්ඩුව සිදුකළ සියලූම ධනාත්මක දේවල් ලඝු කිරීමේ උත්සාහයක් තමයි මේ ‘ජාතික ආරක්ෂාව’ කියන කරුණ පෙරට දා ගෙන කරන්න යන්නේ. රටේ ජාතික ආරක්ෂාව සලසා දෙන්න පුළුවන් පොහොට්ටුවේ අපේක්ෂකයාට නම් ඊට වඩා සිය දහස් ගුණයකින් ඒක ඉටුකරන්න පුළුවන් අත්දැකීම් බහුලම, වැඩිම කැප කිරීමක් කළ කණ්ඩායම ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. උදාහරණයක් විදිහට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට අලඟු තියන්නවත් පුළුවන් ද පොහොට්ටුවේ අපේක්ෂකයාට.

සරත් ෆොන්සේකා කියන්නේ මුළු සේවා කාලය පුරාම අඛණ්ඩ යුද බිමේ හිටිය, ජයග‍්‍රහණය සඳහා සක‍්‍රීයම දායකත්වය දුන්න පුද්ගලයා. පොහොට්ටුවේ අපේක්ෂකයාට තියෙන්නේ හුදු පරිපාලනමය (අමාත්‍යාංශ ලේකම්) කටයුත්තක් පමණයි. අනෙක් අතින් චම්පික රණවක වැනි ජාතිකවාදී නායකයෙක් ගත්තොත් චම්පික මුළු ජීවිත කාලයම කැප කළේ මේ රට වෙනුවෙන්. ඔහු කොතරම් නිර්මාණාත්මක හා පරිණත නායකයෙක් ද කියන එක පසුගිය කාලය පුරාම ඔප්පු කරලා තියෙනවා. ඔහු මහින්ද රාජපක්ෂ යුගයේ සිට වැදගත්ම කැබිනට් ඇමතිකම් දරලා තිබෙනවා. ඒ අතින් ඔහුට ළං වෙන්න පවා සමත් කිසිවෙක් විපක්ෂ වේදිකාව තුළ නැහැ. අගමැති රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය ගත් විටත් තත්ත්වය එසේමයි.

සජිත් පේ‍්‍රමදාස මහතා පවා කැබිනට් අමාත්‍ය පදවියක් දැරූ මේ යුගයට එහා ගිය දීර්ඝ පොදුජන මෙහෙවරක් ඉටුකළ අයෙක්. විපක්ෂයේ සිටිය දී රාජපක්ෂවරුන්ගේ ගොදුරු බිමේ සිට ප‍්‍රායෝගික දේශපාලනය කළ අයෙක්. ඉතිං මේ වර්ණවත් හවුල නායකත්වය දෙන ආණ්ඩුවකින් මිස හුදු තනි පුද්ගල චරිතයක් විසින් ස්වයංඋත්කර්ෂයට නංවා ගත්ත පක්ෂයක් තුළින් කොහොමද රටට වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. අපක්ෂපාතීව නෙමෙයි පක්ෂපාතීව බැලූවත් එජාපයෙන් ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙක් පොහොට්ටු අපේක්ෂකයාට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නවා. එක තැනකදී හැර. ඒ අන්තවාදින් සමග ගනුදෙනුවේදී හැර’

එජාපයෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි ඕනෑම අපේක්ෂකයෙක් සහ පොහොට්ටුවෙන් ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මේ ලියුම්කරු ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ මේ වන විට විශ‍්‍රාම සුවයෙන් පසුවන දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්.

ඔහු අවධාරණාත්මකව පෙන්වා දෙන්නේ ‘අසමත්ම විකල්පය’ ගෝඨාභය රජපක්ෂ මහතා බවයි. ‘ඔහු නීතියේ ආධිපත්‍ය, විනය ගැන කියනවා. ඒත් ඔහු හොඳටම දන්නවා ඔහු බලය ඇතිවිට හා බලය නැතිවිට කළ කිසිම ක‍්‍රියාවක විනයක් නැතිබව. උදාහරණයක් විදිහට ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී සක‍්‍රීය ආකාරයෙන් දේශපාලනය කළා. ගම්මන්පිල, දුමින්ද සිල්වා ආදීන්ගේ දේශපාලන වේදිකාවලට නැග්ගා.

භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමේදී දුමින්ද සිල්වාව කොන්දේසි විරහිතව ආරක්ෂා කළා. යහපාන ආණ්ඩුව නාව නම් ඔහු අදත් නිදැල්ලේ සිටින පුද්ගලයෙක්. ඉතිං මෙවැනි පුද්ගලයින්ට නෛතික රැුකවරණය දුන් අයෙක්ගෙන් අපි කොහොමද නීතියේ ආධිපත්‍ය බලාපොරොත්ත වෙන්නේ. විනයක් බලාපොරොත්තු වෙන්නේ. මැදමුලන ඞී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඇතුළු බොහෝ සිදුවීම්වලින් අපිට ඔහුගේ විනය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. අනෙක් අතින් රතුපස්වල, වැලකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය ආදිය සමග සාකච්ඡා කරන කොට ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතය ගැන අපිට අලූතින් සිතන්න දෙයක් නැහැ. අලූත්ගම ආදි අපකීර්තිමත් අන්තවාදී ගැටුම්වල මූලබීජ වැඩුණේ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය වුණේ කොහොමද කියන එක මේ වන විට පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා. ඒ අනුව ජනවාර්ගි, ආගමික සහජීවනයක් ගැන අපිට ඔහු යටතේ විශ්වාසය තබන්න බැහැ. ඒ වගේම ඊනියා කොළඹ ලස්සන කිරීම තුළ මුඩුක්කු පැල්පත්වාසීන්ට සිදු වුණ බලහත්කාරය ගැන සිතන කොට සමාජ යුක්තියක් ඉටුවේයැයි අපිට විශ්වාස කරන්න බැහැ. ඒකයි අපි අවධාරණාත්මකව කියන්නේ හෘදසාක්ෂියක් තියෙන සමාජයක් නම් අපිට තියෙන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන වඩාත්ම දුර්වල හා නිරාවරණය වූ අපේක්ෂකයා පොහොට්ටුවේ අපේක්ෂකයායි’ මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කළා.

ධන ශේෂ පත‍්‍රය රටට හෙළි කිරීම

ඉහත සඳහන් සියලූ ආකාරයේ අවධාරණයන් සමග යළි තහවුරු වන්නේ වත්මන් ආණ්ඩුවේ ගෙවී ගිය වසර පහක ශේෂ පත‍්‍රය කිසිසේත් විපක්ෂ කල්ලිය කියන ආකාරයේ ‘ඍණ ශේෂපත‍්‍රයක්’ නොවන බවයි.

එහෙත් ආණ්ඩුව ස්වයං තෘප්තියට දෝ වර්ණනා කර ගන්නා ‘ප‍්‍රදර්ශන කාමයෙන් තොර සංවර්ධනය’ යටතේ ආණ්ඩුව සියලූම ආකාරයේ කේෂ්ත‍්‍රයන්වල සිදුකළ (කෘෂිකාර්මික - මොරගහකන්ද ආදි දැවැන්ත ජලාශ) ආර්ථික (ව්‍යවසාය ශ‍්‍රීලංකා* සෞඛය (අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කිරීම, නොමිලේ අක්ෂිකාච බද්ධ කිරීම වැනි) අධයාපන (සුරක්ෂා, ළඟම පාසල හොඳම පාසල) නාගරික සංවර්ධන (මෙගාපොලිස් ව්‍යාපෘති) දේශපාලන ප‍්‍රතිසංස්කරණ (19 වැනි සංශෝධනය, තොරතුරු අයිිතිය) නීතියේ ආධිපත්‍ය (ස්වාධීන කොමිෂන් සභා) ග‍්‍රාමීය සංවර්ධන (සමෘද්ධිය හා ගම්උදාව) ඇතුළු ආණ්ඩුවේ සියලූම ධනාත්මකතා ඊනියා බැඳුම්කර සිදුවීම (2015 මුල සිට 2019 අපේ‍්‍රල් 21 දා දක්වා) සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ යටපත් කර දැමීමට, ඌණනය කිරීමට පොහොට්ටු කල්ලිය (ආරම්භයේදී ඒකාබද්ධ විපක්ෂය) පියවර ගත්තා. ඔවුන් සමග කල්ලි ගැසුණු රෙජිම මාධ්‍ය (ඇමුන්ට අනුව වැලිකඩ දොරවල් ඇරෙන තෙක් බලා සිටින) ආණ්ඩුවේ මේ සියලූ සංවර්ධන ව්‍යාපෘති ජනතාවගේ ඇසෙන් වසං කළා පමණක් නොව ඒ සඳහා විකෘති අර්ථකථනයක් ද ලබා දුන්නා. ඒ අනුව මේ ඊනියා මාධ්‍ය මෙහෙයුම (ගොබෙස්වාදී) ආණ්ඩුව ‘සියඹලා ගෙනාවේම නැති’ තත්ත්වයට ලඝු වුණා.

අද ආණ්ඩුවේ හමුවේ පවතින ක්ෂණික හා වැදගත්ම වගකීම වන්නේ වඩාත් ප‍්‍රබල හා නිර්මාණශීලී සන්නිවේදන (මාධ්‍ය නොවේ) යාන්ත‍්‍රණයක් ඔස්සේ ආණ්ඩුවේ ‘යුග මෙහෙවර’ වඩාත් විධිමත් හා බලපෑම් සහගත ආකාරයෙන් සමාජගත කිරීමයි. ඒ සඳහා යොදාගත හැකි සියලූම මූලාශ‍්‍රයන් නිර්ලොභීව භාවිතයට ගැනීමයි.

ඇල්පිටිය පුංචි ඡන්දය

අනපේක්ෂිතව ඇල්පිටිය පුංචි ඡුන්දය දේශපාලන කරළියට එන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ දේශපාලන හා සමාජ - ආර්ථික ප‍්‍රවණතා රැුසක් මෝදු වෙමින් තිබියදීයි. එනිසා ඇතැමුන් කියන ආකාරයට අද දේශපාලන බප අරගලයේ නිරතව සිටින සියලූ පාර්ශ්වයන්ට ඇල්පිටිය පුංචි ඡුන්දය අනාරාධිතව පැමිණි ආශිර්වාදයක් බවට පත්කර ගත හැකියි. ඒ දෙසැම්බර් ජනාධිපතිවරණයට පෙර ඔක්තෝබරයේ ඇල්පිට හරහා ජනමතය උරගා බැලීමට අවස්ථාවක් උදාව තිබෙන නිසයි.

ඒත් මධ්‍යස්ථ මතධාරීන් කියන්නේ ඇල්පිටිය කිසිසේ්ත්ම ජනාධිපතිවරණය තුළ ප‍්‍රකාශ වන පොදු ජනමතයට සැසදීමක් කළ නොහැකි ක්ෂුද්‍ර කටයුත්තක් බවයි. ‘ඇල්පිටිය හරහා කිසිසේත්ම රටේ සමස්ත ජනමතය පිළිබඳ අදහස් ලබා ගන්න බැහැ. ඒක හරියට ආණ්ඩුවේ තේක්ක වගාවකට ගිහින් මේ කැලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ තේක්ක’ කියලා කියන්නා වාගේ බොහොම පටු තත්ත්වයක්. ඒත් මෙහිදී විපක්ෂයට වඩා ආණ්ඩුවට අභියෝගයක් තියෙන බව අපි පිළිගත යුතුයි’ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ඇල්පිටිය ගැන තමන්ගේ අදහස එසේ කැටි කොට දැක්වූවා.

ඒත් ඒ අදහසට අභියෝග කරමින් ආණ්ඩුවේ දකුණේ ප‍්‍රබලයෙක් කියා සිටියේ,

‘2015 ජනාධිපතිවරණය එන කොටත් හැමෝම උපකල්පනය කළේ රාජපක්ෂ ආණ්ඩුව හොල්ලල්නවත් බැහැ කියලා. ඒත් අපි ඒක කළා. ජනමතය ගැන පූර්ව නිගමන ගන්න බැහැ. උදාහරණයක් විදිහට අපි 2014 ඌව පළාත් සභාව දිනුවේ නැති වුණත් ජනාධිපතිවරණය ඉහළින්ම දිනුවා. ඒ වාගේ අතීත මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණ හැම විටම සර්ව සාධාරණ නැහැ. ඒ වාගේ අවස්ථා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා අපට තියෙනවා. අපි හොඳටම දන්නවා පසුගිය කාලේ අපි දුර්වල වුණේ කොහොමද කියලා. ඒ අතරේ ප‍්‍රධාන වුණේ 1994 සිට බලයේ සිටි ආණ්ඩු දැවැන්ත මැතිවරණ භීෂණයක් සහ කොල්ලයක් කළා. වයඹ පළාත් සභාවෙන් පටන් ගත්ත එක 2015 දක්වාම තිබුණා. රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය, ප‍්‍රචණ්ඩත්වය උපරිමයෙන් යොදා ගත්තා. භාණ්ඩාගාරය හිස් කරමින්, අරලියගහ මන්දිරය දන්සලක් කරමින් තමයි මැතිවරණ කළේ. ඒ නිසා 1994 සිට 2015 දක්වා එවකට ආණ්ඩුව ලැබුවේ කෘත‍්‍රීම ඡුන්ද ප‍්‍රමාණයක්. ඒ වගේම අපේ පාක්ෂිකයෝ ඡුන්ද පොළට ගියේ නැහැ. එකක් බයට. අනෙක බලය ලැබෙයි කියලා විශ්වාසයක් නැති නිසා. මේ වෙන කොට ඒ සියල්ල වෙනස් වෙලා. අපේ පාක්ෂිකයෝ සියයට සියයටක්ම ඡුන්ද පොළට යනවා, දූෂණයට, භීෂණයට මේ මැතිවරණයේදී ඉඩක් නැහැ. ඒ නිසා අපි ජනපතිවරණයේ තීරණාත්මක වෙඩි මුරට තබන තැන බවට ඇල්පිටිය පත්කර ගන්නවා’ විශ්වාසයෙන් යුතුව කිව්වා.

ඇත්ත, 1994 සිට 2015 දක්වා පැවැති සියලූම මැතිවරණ දැවැන්ත විකෘතියක් ඇති ඡුන්ද කොල්ල බව පිළිගත නොහැකි වන්නේ දේශපාලන මුඪයෙකුටම පමණයි. රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය සම්පත්, මඩ කඳු පිටින් ගෙන ගිය ඒ මැතිවරණ සැලකිය හැකි වන්නේ ‘හිට්ලර් පන්නේ මැතිවරණ’ (තමන් විසින්ම තරගය ආරම්භ කරන වෙඩිල්ල පත්තු කර ගන්නා) ලෙසම පමණයි. ඒ නිසා ඒ ජනමතය සහ අද ජනමතය අතර පරතරය අහසට පොළව වාගේ බව අප අමතක නොකළ යුතුයි.

සතියේ දේශපාලන විමසුම

 

Advertiesment