Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම..!


2019-12-01 7975

කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම ලංකාවේ කාන්තාවන් නීතිය ගැන නොදන්නවා සේම තමන්ගේ අයිතිවාසිකම් ගැනත් දන්නේ බොහොම අඩුවෙන්. ඇත්තම කියනවා නම් ඔවුන් ඒ ගැන නොදන්නා තරම්. මේ නිසා කාන්තාවන් නිවස තුළදී, මගතොටේදී, සේවා ස්ථානයේදී ආදි වශයෙන් සෑම අවස්ථාවකදීම පීඩනයට, හිංසනයට සහ සූරාකෑමට ලක් වෙනවා. ඒ අතර කාන්තාවන් වැඩියෙන්ම හිංසනයට ලක්වන තැනක් තමයි ‘පොදු ප‍්‍රවාහන සේවා’ එතැනදී බොහෝ විට කාන්තාවන් ලක්වන්නේ ‘ලිංගික හිංසනයට’යි.

ලංකාවේ පිරිමි කාන්තාවන්ට දක්වන සැබෑ සැලකිල්ල ගැන පුදුම හිතෙන වාර්තාවක් පසුගිය දා නිකුත් වුණා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2015 වසරේ ලබා ගත් දත්ත අසුරින් එළිදැක්වූ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90ක් විවිධ ලිංගික අතවරයන්ට ලක් වන බව හදුනාගෙන තිබෙනවා.ඒ වැනි නින්දා සහගත තත්ත්වයක් තිබුණත්පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ට වන හිරිහැරවලදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රීලංකාව තුළ පවතින නීති ප්‍රතිපාදන පැහැදිලිව දක්වා නොමැති බව ද මේ වාර්තාවේ දක්වා තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමග එක්ව පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පාලනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම කෙරෙහි ද තම ආයතනය සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා. මේ තත්ත්වය තුළ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය ගැන සහ ඊට එරෙහිව ගත හැකි නෛතික පියවර පිළිබදව සොයා බැලීම වැදගත් වෙනවා.කාන්තාවන් පොදු ප‍්‍රවාහන සේවාවලදී මුහුණ දෙන මේ ලිංගික හිරිහැර කිරීම් ගැන අප සමග අදහස් දැක්වූ නීතිඥ සංජීවන අබේකෝන් මහත්මිය දැක්වූයේ මෙවැනි අදහසක්.

ඇය ‘ලාංකික කාන්තාව නීතියෙන් සවි බලගැන්විය යුත්තේ කෙසේ ද.. ?’ මැයෙන් නීති ආධාර වැඩමුළු මෙහෙයවන නීතිඥවරියකි

‘කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳ ගැනීම, හේත්තු වීම, තට්ටු දැමීම, මිරිකීම විතරක් නොවෙයි කෙනිත්තීමක් වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයක් වශයෙන් අර්ථකථනය කර තිබෙනවා. මෙවැනි වරදකට වැරදිකරු වන පුද්ගලයෙක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව වසර පහක් සිර ගෙට යවන්න පුළුවන්. ඒ, අප්‍රසාදජනක සමීප වීම කියන කරුණ යටතේ’කාන්තාවන්ට ඇගේ කැමැත්තෙන් තොරව සිදුවන මේ ලිංගික හිංසන ගැන විස්තර කළ නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය බොහෝ කාන්තාවන් සිය සේවා ස්ථානය තුළ මුහුණ දෙන සුලභ ලිංගික හිරිහැරවලට එරෙහිව ගත හැකි නීතිමය පියවර පිළිබද මෙසේ සදහන් කළාය.

‘සමහර අය කාන්තාවක් කාර්යාලයේ සේවය කරනකොට ඇය අපහසුතාවට පත් කරන්න විවිධ දේ කරන අයුරු අපි නිතරම දකිනවා. පිරිමින් ඇගේ කොණ්ඩේ අදිනවා, ඇඳුමෙන් අදිනවා, බලෙන් පින්තූර ගන්න යනවා. මෙවැනි වැඩ නිසා ඇය ඉන් මානසික පීඩාවට පමණක් නොවෙයි කායිකවත් හිංසනයට ලක් වෙනවා. සමහර පුද්ගලයින් කාන්තාවන් බිය වද්දන්න පුළුවන් කාර්යාලයකදී. ඒකට කියන්නේ අයුතු අවහිරය කියල’මේ අතර කාන්තාවන් නිතර නිතර කරන පැමිණිල්ලක් වන්නේ තමන්ව විවිධාකාරයෙන් ‘වාචික හිංසනයට’ ලක්වන බවයි. මෙය මුුහුණට මුහුණ සිදුවන වාචික හිංසනය වාගෙම, දුරකථනය, ෆේස්බුක්, ට්වීටර් ආදි සමාජ මාධ්‍ය තුළින් ද සිදුවන සුලභ තත්ත්වයක් බවයි ඔවුන් කියන්නේ.

මේ වාචික හිංසනය හා සම්බන්ධ නීතිමය තත්ත්වය නීතිඥ සංජීවනී අබේකෝන් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි.

‘‘වාචික හිංසනය කාන්තාවන් ලක්වන තවත් හිංසන ක‍්‍රමයක්. සමහරු ඇය අපහසුතාවට පත් කරන වචන පාවිච්චි කරනවා. කාර්යාලයේදී වගේ ම මහමගදිත් ‘බඩුව’ ‘ගෙඩිය’ ‘කෑල්ල’ වගේ වචනයක් උණත් කාන්තාවක් අපහසුතාවට පත් වන ආකාරයෙන් යම් පුද්ගලයෙක් පාවිච්චි කළොත් එම පුද්ගලයා නීතිය ඉදිරියට ගෙනියන්න කාන්තාවකට අයිතිය තියනවා. ඒ වගේම සමහරු දුරකතනයෙන් කතා කරලා අසැබි වචනයෙන් විහිළු කරනවා. කාන්තාවක් මේ ක්‍රියා නිසා ලිංගිකව අපහසුතාවට පත් වුණා කියල ඔප්පු වුණොත් දඬුවම් කරන්න පුළුවන්කම තිබෙනවා’‘අභිනය’ මගින් ලිංගික හිංසනයක් සිදුවන බව බොහෝ කාන්තාවන් සේම පුරුෂයින් ද නොදන්නා බවයි නීතිඥ සංජීවනී අබේකෝන් කියන්නේ. එහෙත් අභිනය මගින් කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කිරීමට ද දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ඇය පෙන්වා දෙන්නේ.‘මේක බොහොම සුලභ ලිංගික හිංසනයක් බව අපි දන්නවා. ඒ වැනි අවස්ථාවක් උසාවිය දක්වා ගෙන ගියහොත්, මෙතැනදී මේ අභිනය කරන පුද්ගලයා කාන්තාව ලිංගික වශයෙන් අපහසුතාවට පත් වන ආකාරයෙන් එම අභිනය කළා ද කියල සොයා බැලීමක් කරනවා. ඇඟිලි දික් කිරීම්, දිව දික් කිරීම් වගේ දේවල් වුණත් ප්‍රමාණවත් නීතියෙන් දඬුවම් කරන්න. ඒ වගේම අවයව ප්‍රදර්ශනය කිරීම ද කලක සිට කාන්තාවන් අපහසුතාවට පත් කරන සිදුවීමක් බව අප හදුනාගෙන තිබෙනවා’

කාන්තාවන් පොදු ප‍්‍රවාහනය, සේවා ස්ථානය ආදි තැන්වලදී මුහුණ දෙන ලිංගික හිංසනයට වැට බදින්නේ කෙසේද ? ඔවුන්ට නීතිය ඉදිරියට ගිය විට පිළිසරණක් තිබේද ? එවැනි නෛතික සංස්කෘතියක් හෝ සම්ප‍්‍රදායක් ලංකාව තුළ තිබේද ? අපි ඒ ගැනත් නීතිඥ සංජීවනී අබේකෝන්ගෙන් ප‍්‍රශ්න කළා.

‘ඇත්ත, නීතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සමාජය තුළ නොමැතිකම සහ ඇතැම් වැරදි සම්බන්ධයෙන් පවතින ලිහිල් නීති කාන්තා අපචාර පාලනය කිරීම අපහසු වීමට හේතු වී තිබෙනවා. මේ තත්ත්වය තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පුද්ගලයින් ද පවතින නීති සම්බන්ධයෙන් දැනුවත්වීම ඉතා වැදගත් බව අපිට පිළිගන්න සිදු වෙනවා.‘දැන් සමහර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ගියා ම අසරණ වුණ කාන්තාවක් තවත් අසරණ වෙන්න පුළුවන්. සමහරු හිතනවා එම කාන්තාවට මේක සිද්ධ වුණේ එයාගේ ඇඳුම නිසා කියල. සමහරු සිතනවා මේක මේ විහිළුවට කරපු වැඩක් වෙන්න ඇති කියල. කොල්ලෝ ඔහොම තමයි කියනවා. මේකෙන් වෙන්නේ කාන්තාව තවත් අසරණ වෙන එක. වෙන්න ඕන ආකල්පමය වශයෙන් වෙනසක්. නීතියෙන් ම හැම දේ ම කරන්න බෑ’ ඇය පෙන්වා දෙනවා.නීතියෙන් කළ නොහැකි දේ ආගමෙන් ද කළ නොහැකි බව අපි හොදින් දන්නවා. බෞද්ධ දර්ශනය තුළ පවා කාන්තාවන්ට සැලකිය යුතු ආකාරයට ඉතා පැහැදිලිව දක්වා තිබුණත් ඒවා පොත්වලට පමණක් සීමා වෙලා තිබෙන බවයි අපිට පැහැදිලි වෙන්නේ.

 

එසේ නම් මේ හිංසනය පිටුදැකීමට ගත හැකි පියවර කුමක්ද.. ?අපි මේ ගැන විවිධාකාරයේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ කර ඇති සමාජ විද්‍යා මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගෙන් විමසා සිටියා. එහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ,

වත්මන් සමාජය තුළ කාන්තාවන් කෙරෙහි පවතින සුරක්ෂිතතාව, නීති පැනවීම් තුළින් පමණක් වෙනස් කළ නොහැකි බවයි.ලාංකික ජන සමාජ තුළ එකිනෙකා කෙරෙහි පවතින ගෞරවය ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන මහාචාර්යවරයා පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඇති දුර්වලතා ඊට මූලික හේතුව බව කියනවා.‘අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මුල් වෙලා තිබෙන්නේ සහතිකවලට පමණයි. විභාග පාස් වෙන්න විතරයි ඉගෙන ගන්න ඕන කියල අපි හිතන්නේ. එත් ඒ විදිහ වැරදියි. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්න ඕනි එකිනෙකාට ගරු කරන සමාජයක් ගොඩ නගන්න. කාන්තාව විතරක් නොවේ  කිසි ම මනුස්සයෙක්ට කිසි ම ගරුසරුවක් නැතිව හැසිරෙන්න වෙන සමාජ ක්‍රමයක අපි ජීවත් වන්නේ. ඉතින් කාන්තාවක් මේ ක්‍රමය ඇතුළේ සුරක්ෂිත නෑ. ඒ වගේම තමයි කාන්තාවන්ගේ සුරක්ෂිතතාව කෙරෙහිආකල්පමය වෙනසක් ඇති කිරීමට ජනමාධ්‍යයෙන් ද නිසි මැදිහත් වීමක් ලැබෙන්නේ නැහැ’‘කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා. කාන්තාව දිහා අම්මා කෙනෙක් දුවෙක් විදිහට බලන තත්ත්වයක් සමාජයේනෑ. හැමෝම විවිධ කෝණවලින් ඇය දිහා බලන්නේ. ඉතිං කොහෙ ද ගරු කිරීමක් ? මේකට ජනමාධ්‍යත් වග කියන්න ඕනි. මොක ද මාධ්‍ය ඔස්සේ විකාශය වන සමහර වැඩසටහන්වලට සහභාගි වෙන පුද්ගලයින්ගේ කතා විලාසය බලන්න. කිසි ම ගරුසරුවක් නෑ එකිනෙකා කෙරෙහි. මේවා සමාජගත වුණා ම මේ තත්ත්වය ඔඩු දුවනවා මිස පාලනයක් නෑ’ මහාචාර්ය සිරි හෙට්ටිගේ තම සමාජ විද්‍යාත්මක අත්දැකීම් තුළින්පෙන්වා දෙනවා.

මෙහිදී අප විමසා සිටියේ මෙවැනි සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීමට ඇති අභියෝග හෝ සීමා මොනවාද ? යන්නයි.

‘පළමු වැනි දේ තමයි අපි තේරුම් ගන්න ඕනි මෙහෙම ඔඩු දුවපු ප්‍රශ්නයක් අද සමාජය තුළ තිබෙනවා කියල. මේකට සංවේදී ආයතන තියනවා. විශේෂයෙන් ම කාන්තාවන්ට සහ පොදු ප්‍රවාහනයට වග කියන ආයතන මේ ගැටලුවට සංවේදී වෙන්න ඕනි. අපිට අදාළ නෑ කියල ඉන්න බෑ. එහෙම උණොත් මේක තව ඉහළ යනවා. ඒ වගේ ම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනි. මේ අනුව කාන්තාවන්ට ලාංකික සමාජය තුළ සුරක්ෂිතව දිවි ගෙවීමේ වපසරිය නිර්මාණය කිරීමේ වගකීම අඩු වැඩි වශයෙන් සියලු දෙනාට ම පැවරෙන පොදු වගකීමක් බව අප වටහා ගත යුතුයි’ මහාචාර්ය සිරි හෙට්ටිගේ කියනවා.කාන්තාවන් පොදු ප‍්‍රවාහනය ආදි ස්ථානවලදී මුහුණ දෙන ලිංගික හිංසනය ගැන විවිධ පාර්ශ්ව අදහස් දක්වන අතර ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාශීලීව මැදිහත් විය හැකි ආයතන හා පුද්ගලයින් ද බොහෝ පිරිසක් සිටිති.

ඒ අතර කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය ඉදිරියෙන්ම සිටින්නීය. මේ රෝසි සේනානායක මහත්මිය දක්වන අදහස්,

‘යම් කාන්තාවක් තමා ලිංගික හිංසනයට ලක් වූ බව  පැමිණිලි කළ විට තමාට වරද පටවයි කියලා වැරදි ආකල්පයක් අපේ තියෙනවා. තමාට චරිත ඝාතනයකට මුහුණ දෙන්න වෙයි, තමාට කරදරවලට මුහුණ දෙන්න වෙයි කියන කාරණා නිසා බොහෝ දෙනෙක් පැමිණිලි කරන්නේ නැහැ. මෙය දැනුවත් කිරීම් මගින් පමණක් වෙනස් කළ හැකි තත්ත්වයක් නොවෙයි’ ඇය පෙන්වා දෙනවා.කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය සපුරා පිටුදැකිය යුතුයනයන ස්ථාවරයේ මේ ලෝකයේ ශිෂ්ඨ මිනිසුන් සියලු දෙනාම ඉන්නවා. ඒත් ඔවුන් එවැනි තත්ත්වයක් තමා හමුවේ උද්ගත වූ විට පුදුමාකාර නිහැඬියාවක් හෝ උදාසීන ආකල්පයක් දක්වන බව අපි කවුරුත් අත්දැකීම්වලින් දන්නවා. ඒ නිසා මේ මොහොතේ මගේ අම්මා, සහෝදිරියෝ, බිරිද, දියණිය, ඥාති කාන්තාවක් ආදී වශයෙන් තමන්ගේ සමීපතමයිනුත් පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කරද්දී, කාර්යාලයේදී. මගතොටේදී මේ ආකාරයේ ම නින්දා සහගත සිදුවීම්වලට මුහුණ දෙනවා ඇති කියලා පිරිමි හිතුවොත් මේ තත්ත්වය තුරන් කළ හැකි වේවි.

සටහන - තුෂාධවි  
Advertiesment