Thursday 30th of November 2023

English Tamil
Advertiesment


2020ත් මහරාජාගේ රූකඩයක් ද..?


2019-12-01 7740

 

මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැඳවූ හැටි..!

 

මහරාජාගෙන් ගැලවුණු දේශපාලකයන්ට ගිය කල..!

 

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

මෛත්‍රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්‍රකාශයක් කළේය. තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, එජාපයෙන් තරුණ ජවයක් සහිත අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම්, තමන් සහය දක්වන බවත් එම ප්‍රකාශයය. මෛත්‍රීගේ මේ ප්‍රකාශය සමහරු දුටුවේ පාස්කු බෝම්බය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාව අහෝසි කර ගන්න යු.ඇන්.පි.යට දමපු ගුන්ඩුවක් ලෙසය. එහෙත් බලු බැල්මට පේන්නේ මෛත්‍රී තමා තරඟ  නොකරනවා නම් යුඇන්පී ය දිනවන්න තමා කැමති අපේක්ෂකයෙක් යු.ඇන්.පී. යෙන් ඉදිරිපත් කළ යුතුය යන කොන්දේසිය දමන්න ඉව අල්ලන බවය.

ප්‍රශ්නය මෛත්‍රීට ඕනෑ යු.ඇන්.පී.යෙන් මෛත්‍රීට කැමති අපේක්ෂකයෙක්ද, නැත්නම් සිරස අධිපති කිලි මහරාජා නොහොත් මහරාජා කැමති අපේක්ෂකයෙක්ද යන්නය.

2015 ජනාධිපතිවරණයට මහරාජා සිතුවේ යු.ඇන්.පී. යෙන් සජිත් ප්‍රේමදාසව  ඉදිරිපත් කරන්නටය. සජිත් ජනධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඒ  තරම් කැමැත්තක් නොදැක්වූ විට මහරාජා රනිල් ජනාධිපතිවරණයට ඉදිරපත් වෙනවා නම් සජිත්ගේ සහයත් සිරසේ සහයත් අරන් දෙන්න කොන්දේසි  ඉදිරිපත් කළේය. සජිතව එජාපයේ නියෝජ්‍ය නායක කොට අගමැති කිරීම එක කොන්දේසියකි.

අනෙක රනිල්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මහරාජා නම් කරන අයෙක් පත් කිරීමත්, රනිල් ජනාධිපති වූ විට රනිල්ගේ මාධ්‍ය මෙහෙය වීමට මහරාජා  නම්  කරන අයෙකු පත් කිරීමත්ය. මෙය එකල සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පළ විය. රනිල් පළමුව සජිත් නියෝජ්‍ය  නායක ධුරයට පත් කරන කොන්දේසිය ඉටු කළේය. අනෙක් කොන්දේසි රනිල් මග හරියේ නිකම්ම නොවේ. රනිල් පමණක් නොව රණසිංහ ප්‍රේමදාස  ,චන්ද්‍රිකා පවා මහරාජාගෙන් උදව් අරගෙන මහරාජාට ඕනෑ විදිහට නටන්න අකමැති වූ නිසාය.

70-77 කාලයේ ප්‍රේමදාස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ව සිටියදී මහරාජා ඔහුගේ ආයතනයේ සේවය කළ පසුව යු.ඇන්.පී. මහා ලේකම් වූ සෙනරත් කපු කොටුව අතේ සුචරිතයට බුරියානි යැව්වේය.  එකල ප්‍රේමදාසගේ ආසම කෑම එළුමස් බුරියානිය. ප්‍රේමදාසගෙයි , මහරාජාගෙයි යාළුකම පටන් ගත්තේ බුරියානිවලිනි. ඉන්පසු මහරාජා ප්‍රේමදාසට උදව් කළේය.

ප්‍රේමදාස  අගමැති වූ විට මහාරාජාට උදව්කළේය. ප්‍රේමදාස මහරාජාගේ හැටි දැනගත්තේ ප්‍රේමදාස  ජනාධිපති  වූ පසුවය. තමන්ට ප්‍රේමදාසව නටවන්න බැරි බව තේරුම් ගත් විට මහරාජා තමන්ගේ ව්‍යාපාරික ගෝලයෙක්ව ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ගෙන ආ ලලිත්-ගාමිණී ලගට දැම්මේය. එතැන් සිට ප්‍රේමදාස මහරාජා සමග කතා කිරීමත් නතර කළේය.

ප්‍රේමදාස අගමැති කාලයේ විජය-චන්ද්‍රිකා ශ්‍රීලනිපය කඩා ගෙන ගොස්  මහජන පක්ෂය හැදු විට ප්‍රේමදාසට, විජයට උදව් කරන්න ඕනෑ විය.1984  මින්නේරිය  අතුරු මැතිවරණයේදී විජයට ඡන්ද කරන්න මහරාජා වාහනයක් දුන්නේ ප්‍රේමදාස ගේ කීමටය. ප්‍රේමදාස හරහා විජය සහ චනද්‍රිකා සමග හදා ගත්  සබදතාව පාවිච්චි කොට 1994 චන්ද්‍රිකා රැල්ල හමන විට මහරාජා චන්ද්‍රිකාට කිට්ටු විය. එවකට නියෝජ්‍ය කතානායක වූ ගාමිණී පොන්සේකාව චන්ද්‍රිකාට සෙට් කලේත් මහරාජාය. 1994 ජනධිපතිවරණය ජය ගත් පසු චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් මහරාජා ඉල්ලපු ටෙන්ඩරයක් නොලැබීම නිසා මහරාජා චන්ද්‍රිකා සමග අමනාපයෙන් පසුවන බව රාවය පුවත් පත පොල්ගෙඩි අකුරෙන් වාර්ථා කළේය. මහරාජා කියන විදිහට නටන්න චන්ද්‍රිකා කැමති නොවිය.  එතැන් සිට චන්ද්‍රිකා සහ මහරාජා  හතුරන්  විය.

මහරාජා රනිල්ට සහ මහින්දට සෙට් වෙන්නේ මේ කාලයේය. මහරාජා කාට හෝ නායකයෙකුට සෙට් වන විට ඔහු හෝ ඇය ළඟ තම ඉත්තෙකු තැබීමට අමතක නොකරයි. ප්‍රේමාදාස ළඟ මහරාජා පැල කරපු ඉත්තා  ඔහුගේ අති ජාත මිත්‍ර ගාමිණී පොන්සේකාය. චන්ද්‍රිකා ළගට ඔහු දැම්මෙත් ගාමිණි ෆොන්සේකාවය. එත් චන්ද්‍රිකා ගාමිණි හැලුවාය. රනිල් ළඟට ඔහු දැම්මේය. මිලින්ද මොරගොඩ සහ සෙනරත් කපුකොටුවය. 2005 ජනාධිපතිවරණයේදීත් මහරාජා රනිල්ගෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වන්න දෙන්න යැයි ඉල්ලා සිටියේය.

රනිල් එය දුන්නේ ස්වර්නවහිනියටය.මහරාජා රනිල් එක්ක උරණ විය. ජනාධිපතිවරණ අවසන් දින කිහිපයේ ඔහු සිරස බැලන්ස් කළේය. මහින්ද දින්නාට පසු මහින්ද ළගට මිලින්ද මොරගොඩ යැව්වත් මහින්ද මහරාජාව ගණන් ගත්තේ නැත.  ඔහු මිලින්දව මහින්ද ළගට යැව්වේ මිලින්දට පක්ෂයේ ඉහළ තනතුරක් දෙන ලෙස රනිල්ට ඔහු කොච්චර කීවත් රනිල් ගණන් නොගත් නිසාය. ඔහුගේ තවත් මිත්‍රයෙකු වන සිරිසේන කුරේව යළි යු.ඇන්.පී. මහ ලේකම් කරන්නත් ඔහුට ඕනෑ විය.

රනිල් එයට කැමති වුයේත් නැත. රනිල් එයට අකමැති වූ විට ඔහු සිරිසේන කුරේට පුරවැසි පෙරමුණ නමින් වෙනම පක්ෂයක් හදන්න උදව් කළේය. ඔහු සිතුවේ කුරේ ලොකු යුඇන්පී ඡන්දයක් කඩයි කියාය. එත් එසේත් වුයේ නැත. 2006 පුංචි ඡන්දයේදී ඔහු මිලින්දව පාවිච්චි කොට කුරේව යුඇන්පී කොළඹ නගරාධිපති අපේක්ෂක ධුරයට නම් කර ගන්න සමත් විය. එහෙත් කුරේගේ ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා කුරේට නගරාධිපති විය නොහැකි විය. කොළඹ නගර සභාවේ බලය කුරේට අරන් දෙන්න මහරාජා දිවා රෑ වැඩ කළ නිසා මහින්ද ඔහු සමග වෛර බැද ගත්තේය. මහරාජා මිලින්දව මහින්ද ළගට යැව්වේ ඒ වෛරය නැති කර ගන්නටය. එතැන් පටන් සිරසෙන් රාජපක්ෂලා විවේචනය කරද්දී රාජපක්ෂ පවුලේ නම කියනවිට ඒ නම වාරණයට ලක් විය. සිරස වෙසක් කලාපය වීවෘත කරන්නට ගෝඨාභය රාජපක්ෂ ආවේය. මිලින්ද හරහා ඔහු මහින්ද සහ රාජපක්ෂ පවුල බැලන්ස් කර ගත්තත් රනිල්ව අත හැරියේ නැත. ඔහු රනිල්වඅත හරින්නේ 2010 මහා මැතිවරණයේදී ඔහුගේ මාධ්‍ය ජාලයේ සේවය කළ ශ්‍රී රංගාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දීම  රනිල් ප්‍රතික්ෂේප කල විටදීය.

රනිල් යලිත් මහරාජා සමග සෙට් වෙන්න කැමති වුනත් ඔහු මහරාජාගේ අතීතයට බය විය. ඔහු මහරාජා 2015 ජනාධිපතිවරණයට ඔහුට  සහය දෙන්න ඉදිරිපත් කළ කොන්දේසි මග හැරියේ ඒ නිසාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ආවේ මේ අල්ල පනල්ලේය. මෛත්‍රී ජනාධිපතිවරණයට එන විට  මෛත්‍රීට මාධ්‍යක් තිබුනේ නැත. මහරාජා රනිල්ට දමපු කොන්දේසි මෛත්‍රීට දැම්මේය. මෛත්‍රී ඒවා පිලි ගත්තේය. මෛත්‍රීගේ මාධ්‍ය ඒකකයට මහරාජාගෙන් සේවකයන් පත් වන්නේ ඒ අනුවය.

එතැන් සිට මහරාජා බලන්නේ තම සේවකයා ජාතික ලැයිස්තුවෙන් පත් නොකළ රනිල් සමග ඇති තම වෛරය පිරිමසා ගන්නටය. මෛත්‍රී සහ රනිල් හප්පන්න නිවේදන මාධ්‍යවලට එන්නේ මේ මාධ්‍ය ඒකකයෙන්ය. හොදම නිදසුන 2015 ජනාධිපතිවරණය දිනා දින 100ක් ඇතුලත මහා මැතිවරණය පවත්වන්න මෛත්‍රී මුලුන් එකග වුවත්  රනිල්ගේ නරක කාලය එන තෙක් මහා මැතිවරණය කල් දමන ලෙස  මෛත්‍රීපාලට උපදෙස් දෙන්නේ මහරාජාගේ මාධ්‍ය ඒකකයය. මහා මැතිවරණය දින 100ක් තුළ  පැවැත්වුවා නම් අද මහින්ද කෙනෙක් නැත. පොදුජන පෙරමුනක්ද  නැත. මෛත්‍රී විනාශ වුනේ මහරාජාගේ දිරච්ච ලණු කාලා ය.

2015 සිට මේ දක්වා රට ආණ්ඩු කලේ මෛත්‍රී නොව මෛත්‍රීගේ මාධ්‍ය  ඒකක ය. මෛත්‍රී- රනිල් ආණ්ඩුව අස්ථාවර කරන්න මෛත්‍රී    අද දැඩි තීන්දුවක් ගන්නවා. හෙට දැඩි තීන්දුවක් ගන්නවා, අමාත්‍ය මණ්ඩල සංශෝදනය කරනවා, රනිල්ව ඉවත් කරනවා, රනිල්ව හිරේට  දමනවා කිය කියා  මාධ්‍ය වල පුවත් පැළ කලේ මේ  මාධ්‍ය ඒකක ය. ඒ  රනිල් ඉවර කොට යුඇන්පී යේ  බලය අල්ලන්න මහරාජාගේ ටීවී එකට බැරිවුණු වැඩේ මෛත්‍රී ලව්වා කර ගන්නටය.

අන්තිමේදී සිදු වුයේ ආණ්ඩුවත් විනාශ වී මෛති‍්‍රත් විනාශ වී, රටත් විනාශ වීමය. මෛත්‍රී සහ රනිල් හප්පවා රනිල් සහ ආණ්ඩුව ආරක්ෂක මණ්ඩලයෙන්, පොලිසියෙන් එලවන තැනට වැඩේ සෙට් කලේ මහරාජාගේ මාධ්‍ය ඒකකය ය. එයින් වුනේ රට අනාරක්ෂිත වී සහරාන්ලා බෝම්බ පිපිර වීමය. මෛත්‍රී ගෝඨා ඝාතනකරලියට ගෙනාවේ රනිල්ව  අත්අඩංගුවට ගෙන  යුඇන්පී නායකත්වය වෙනස් කරන්නටය. සහරාන් අත්අඩංගුවට ගැනීමෙන් බේරුනේ එම ඝාතන කුමන්ත්‍රණයට පිංසිදු වන්නටය.

දැන් යළි මෛත්‍රීව  ජනාධිපති කළ නොහැකි බව මහරාජා දනී. මහරාජා බලන්නේ මෛත්‍රීගේ සහය දෙන කොන්දේසි මත යු.ඇන්.පී අපේක්ෂකයා  නම් කිරී  සියතට  ගෙන පක්ෂයේ බලය අල්ලන්නටය.

මහරාජා  මෛත්‍රීව  ජනාධිපති කොට, මෛත්‍රීව නටවන්න ගොස් මෛත්‍රීත් ආණ්ඩුවත් යුඇන්පීයත් විනාශ කර ඇත. මහරාජා මේ හොයන්නේ යුඇන්පී යේ  රූකඩයක් 2020 ජනාධිපති  කොට තම මාධ්‍ය ඒකකය හරහා රටත් යුඇන්පී යත් පාලනය කරන්නටය.

 

“මෛත්‍රී රැවටුනා වගේ යුඇන්පී යත් රැවටෙයි ද..?”

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මහරාජාගේ සිරස පාර කියන දේශපාලඥයන් කවදාවත්  ගොඩ ඇවිත් නැත. ගාමිණි ෆොන්සේකා , සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා  යන මහරාජා නටවපු දේශපාලඥයන්ට අද යන එන මං නැත. ඒක මහරාජාගේ කරුමයද..? ඔවුන්ගේ කරුමයද..? කියන්න දන්නේ නැත.

මහරාජාගෙන් ගැලවුන චන්ද්‍රිකා සහ මහින්ද වාර දෙකක්  ජනාධිපතිකම් කළහ. මහරාජාගෙන් ගැලවුන රනිල් යළි අගමැති විය. මහරාජාගෙන් ගැලවෙන්න උත්සහ නොකළ එකම නායකයා මෛත්‍රීය. හැමෝම බලාගෙන ඉන්නේ මෛත්‍රීට මොකක්  වෙයිද කියන එකය.

-ගුරුදා විග්‍රහය-
මව්රට
Advertiesment