Monday 19th of April 2021

English Tamil
Advertiesment


අමිර්තලිංගම් කොටි කටට තල්ලු කළ 1981 විශ්වාස භංගය සහ රිෂාඩ්..!


2019-12-01 1619

 

මහින්දලා රිෂාඩ්ට  වෛර කරන්නේ ඇයි..?

 

ප්‍රංශ විදිහට යන ලංකාවේ දේශපාලකයෝ..!

 

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

රිෂාඩ් බදුර්දීන් ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට ආවේ 2001 මහ මැතිවරණයෙන්ය. ඔහු 2001 මහ මැතිවරණය තරඟ කළේ මුස්ලිම් කොංග්‍රසයෙන්ය. මුස්ලිම් කොංග්‍රසය 2001 මැයි වන තෙක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හවුල් පක්ෂයක් විය. 2001 මැයි මුස්ලිම් කොංග්‍රසය චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් විය. ඉවත් වී එජාපයට සහය පළ කළේය. එජාපය සහ මුස්ලිම් කොංග්‍රසය එක් කළ සන්ධානය එක්සත් ජාතික පෙරමුණ විය. රිෂාඩ් පාර්ලිමේන්තුවට ආවේ මේ පෙරමුණු පිහිටුවූ ආණ්ඩු යටතේය.  

2001 බලයට ආ රනිල්ගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේය. සටන් විරාම ගිවිසුම අත්සන් කළාට පසු එවකට ජනාධිපති චන්ද්‍රිකාගේ  සහ ශ්‍රීලනිපය-ජවිපෙ සන්ධානයේ ආශීර්වාදයෙන් මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරු එල්.ටී.ටී.ඊ.   නැගෙනහිර නායක කරුණාට සහ සටන් විරාමයට එරෙහිව කැරැල්ලක් පටන් ගත්හ. චන්ද්‍රිකාත් එවකට විමල් වීරවංශ මෙහෙයවපු ජවිපෙටත් ඕනෑ වුණේ මුස්ලිම් කොංග්‍රසය දෙකට කඩා රනිල්ගේ ආණ්ඩුව වට්ටන්නටය. ඒ සඳහා ඔවුහු නැගෙනහිර දෙමළ විරෝධී මුස්ලිම් ගැටුමක් නිර්මාණය කළහ.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ රිෂාඩ් මෙම කැරැල්ලේ  ප්‍රධාන චරිතයක් විය. රාවුෆ් හකීම් මෙම කැරැල්ලේදී අසරණ විය. රිෂාඩ් චෝදනා කළේ හකීම්, රනිල්ගේ ආණ්ඩුව සමග එක් වී එල්.ටී.ටී.ඊ.යට මුස්ලිම් ජනතාව පාවා දෙනවා යැයි කියාය. අවසානයේ චන්ද්‍රිකාගේ සහ විමල්ගේ ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසය දෙකඩ කර රිෂාඩ්ලා එළියට ගන්න සමත් විය. ඔවුන් පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක් විය. රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න රිෂාඩ්ලා නිර්මාණය කළේ චන්ද්‍රිකා සහ විමල් වීරවංශගේ ජවිපෙයය.

2004 මහින්දට අගමැති ධූරය ගන්න සහය දුන්නෙත් රිෂාඩ් ලා ය. එජාපයට සහය දෙන හකීම් ඉවර කරන්න චන්ද්‍රිකාලා, මහින්දලා , විමල්ලා ,රිෂාඩ්ලා සමස්තලංකා මුස්ලිම් කොංග්‍රසය හදන්න උදව් කළහ. 2005 ජනාධිපතිවරණයේදී විමල්ලා මහින්දව දිනෙවුවේ රිෂාඩ් ලාගේ කරේ අත් දමාගෙනය. මහින්ද රිෂාඩ්ට කැබිනට් ඇමති ධූරයක් දුන්නේ රිෂාඩ්ලා මහින්දට ජනාධිපති වෙන්න මුස්ලිම් ඡන්ද අරන් දුන්න නිසාය. එත් මහින්දලා රිෂාඩ් සහ හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයෙන්  කඩාගෙන ආ තවත් නායකයෙකු වූ හිස්බුල්ලාට නැගෙනහිර පළාතේ මුස්ලිම් රාජ්‍යයක්  හදා ගන්න දුන්නේ 2015 ජනාධිපතිවරණයේදී  ඔවුන් හරහා මුස්ලිම් ඡන්ද දිනා ගන්නටය.

දමිළ ඡන්ද තමන්ට නොලැබෙන බව දැන මහින්දලා මන්නාරමේ සහ නැගෙනහිර දමිළ ඡන්ද වැඩි ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචිකරන්න, මුස්ලිම් රාජ්‍යයක් හදන්න රිෂාඩ්ලාට, හිස්බුල්ලලාට ලයිසන් දුන්නේය. අනෙක් අතට යුඇන්පියට ඡන්දය දෙන  මුස්ලිම්වරු බය කරන්න අනෙකුත්  පලාත්වල මුස්ලිම් ජනයා බය කරන්න බොදුබල සේනා උසී ගැන්විය. එහි ප්‍රතිඵලය රිෂාඩ්ලාට, හිස්බුල්ලාට මහින්දගේ ආණ්ඩුව තුළ සිටීම මුස්ලිම්  ජනයා ඉදිරියේ සාධාරණිකරණය කරගත නොහැකි තත්වයක් ඇති වීමය. ඔවුන් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලට සහය දක්වන්න එක්සත් ජාතික පෙරමුණට එක්වන්නේ ඒ නිසාය.

2015 ජනාධිපතිවරණය පරාජය වූ දින සිට මහින්දලාත්, විමල්ලා සහ ගම්මන්පිලලාත් රිෂාඩ් ලාට එරෙහිව වචනයක්වත් නොකියන්නේ තීරණාත්මක මොහොතක රිෂාඩ්, මහින්ද ලගට දුවගෙන එයි කියාය. ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයේදී මහින්දලා, විමල්ලා, ගම්මනපිලලා, රිෂාඩ්ලාට එන්න කියා වදින්නේ සල්ලි කොළ පුජා කරමින්ය. එත් රිෂාඩ්ලා ආවේ නැත. මහින්දලා, විමල්ලා, ගම්මන්පිලලා රිෂාඩ් ලාට වෛර කරන්න පටන් ගන්නේ එතැන් සිටය.

“එතකොට මේ රිෂාඩ්ට එරෙහිව විශ්වාස භංගය ඒ වෛරයේ  ප්‍රතිඵලයක්ද..? ඇත්ත කතාව ඒකය.එල්.ටී.ටී.ඊ. ය උතුරේ හොල්මන් කරන්න පටන්ගත් අලුත එවකට බලයේ සිටි ජේ. ආර්.ගේ ආණ්ඩුව ද එවකට විපක්ෂ නායක අමිර්තලින්ගම්ගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට වෛර කරන්න පටන් ගත්තේය. හේතුව ජේ. ආර්.ගේ ආණ්ඩුව විපක්ෂ නායක ලෙස අමිර්තලිංගම්ට කැබිනට් ඇමති ධුරයකට සමාන වරප්‍රසාද දීලාත් අමිර්තලිංගම් බණ්ඩාරනායක මැතිනියට සහ  ශ්‍රීලනිපයට සහය දැක්වීම නිසාය.

1980දි  ජේ.ආර්. ගේ ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවට එරෙහිව හඬ නැගුවේ අමිර්තලින්ගම්ය. 1981 සංවර්ධන සභා ඡන්දය දිනන්න ජේ. ආර්. ගේ ආණ්ඩුව උතුරේ යකා නැටුවත් දින්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න දමිළ ඡන්ද අවශ්‍ය බව දැනගත් ජේ. ආර් ගේ ආණ්ඩුව ඒ සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කළ යුතු බවට ගණන් හැදිය. ජේ. ආර්. ගේ ආණ්ඩුවට බය තිබුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයකදී ශ්‍රීලනිපයට සහය දෙයි කියාය.

ජේ. ආර්. ගේ ආණ්ඩුව 1981 ජූලි ලෝක පාර්ලිමේන්ති ඉතිහාසයේ පළමු වරට විපක්ෂ නායකයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවේ අමිර්තලින්ගම්ගේත්, ද්‍රවිඩ එක්සත් විමික්ති පෙරමුණේත් අඬු කඩන්නටය. ඒ සඳහා ජේ. ආර්. ගේ ආණ්ඩුව ඒ වන විටත් උතුරේ පටන්ගෙන තිබූ එල්.ටී.ටී.ඊ. ය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලිවල බැංකු මංකොල්ලකෑම්, ඝාතන , රාජ්‍ය ආයතන ගිනිතැබීම් පිටුපස අමිර්තලිංගම් ඉන්නවා යැයි චෝදනා කළේය.

ඇත්තටම අමිර්තලිංගම් 1977 මහ මැතිවරණයට පෙර දමිළ ඊළමකට සටන් කරන බව කිවත් විපක්ෂ නායක වූ පසු දමිළ ඊළම අතහැර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු දමිළ ඊළම කරේ තියාගත්තේ ඡන්දෙ දිනන්නටය. ඔහු විපක්ෂ නායක වූ පසු එල්.ටී.ටී.ඊ.ය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලි ඔහුට  චෝදනා කළේ සටන පවා දුන්නා කියාය.

අමිර්තලින්ගම්ලා සහ දමිළ සන්නද්ධ කල්ලි අතර ඇයි හොදයියක් නැති බව දැන දැනම ජේ.ආර්. ගේ ආණ්ඩුව අමිර්තලිංගම් කොටියෙක් කියා හංවඩු ගහන්න විශ්වාස භංගය ගෙන ආවේ උතුරේ දමිළ ඡන්ද තමන්ට දිනා ගන්න අසීරු බව දැන ගෙනය.

යෝජනාව ඉදිරිපත් කළේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. 1981 ජූලි 23 සහ 24 එය විවාදයට ගැනුණි. ආණ්ඩුවේ මන්ත්‍රීවරු 31ක් ඊට අත්සන් කර තිබිණි. විශ්වාස භංගය ගැන කතා කරන්නඅමිර්තලිංගම් නැගී සිටියදී එජාපය ඔහුට ද්‍රෝහියා, කොටියා කියා අවමන් කළේය. අමිර්තලිංගම් තමාට ප්‍රකාශයක් කරන්න දෙන ලෙස ඉල්ලා සිටියත් කතානායක එය ප්‍රතික්ෂේප කළේය. ඔහු සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සභාවෙන් නැගිට ගියේ එයට විරෝධය පළ කරමින්ය. ශ්‍රීලනිපය සහ කොමියුනිස්ට් පක්ෂයත් පාර්ලිමේන්තුව වර්ජනය කර නැගිට ගියහ.

ඉන්පසු එජාප මන්ත්‍රීවරු අමිර්තලින්ගම්ව ගෝල්ෆේස්  පිට්ටනියට  ගෙනවිත් හම ගහන්න ඕනෑ යැයි කිහ. අමිර්තලිංගම්ට පක්ෂව කතා කළේ තොන්ඩමන් පමණි. එජාප රාජ්‍ය ඇමති ෂෙල්ටන් රණරාජා විශ්වාස භංගයට ඡන්දය පාවිච්චි කළේ ජේ. ආර්. ගේ ආණ්ඩුව මවිතයට පත් කරවමිනි. ඔහු කිවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටින අමිර්තලින්ගම්ලා වැනි දමිළ නායකයන් ආණ්ඩුව රැක ගත යුතු බවත්, විශ්වාස භංගයෙන් වෙන්නේ ඔවුන් එල්.ටී.ටී.ඊ. ඇතුළු දමිළ සන්නද්ධ කල්ලි ඔඩොක්කුවට තල්ලු කිරීම බවය.

අද මහින්දලා, විමල්ලා, ගම්මන්පිලලා තමන්ට මුස්ලිම් ඡන්ද දිනාගන්න බැරි වෛරයට රිෂාඩ්ලාට එරෙහිව විශ්වාස භංග ගෙන එන්නෙත් රිෂාඩ්ලාව මුස්ලිම අන්තවාදයටත් එහා අයි එස්.අයි.එස්. සංවිධානයේ ඔඩොක්කුවට තල්ලු කරමින්ය. අද ඔවුන් රිෂාඩ්ට නගන චෝදනා එදා ජේ. ආර්. ගේ ආණ්ඩුව අමිර්තලිංගම්ට නගපු චෝදනාවලට සමානය. ජේ. ආර්. ගේ ආණ්ඩුව එදා කිවේ අමිර්තලිංගම් කොටින්ට උදව් කරනවා කියාය.

අද මහින්දලා කියන්නේ රිෂාඩ්ලා අයි.එස්.අයි.එස්. සංවිධානයට උදව් කරනවා කියාය. අමිර්තලින්ගම්ලා වටේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ තරුණයෝ සිටියහ. හැබැයි එයින් කියන්නේ අමිර්තලින්ගම්ලා කෝටි කියා නොවේ. රිෂාඩ්ලා වටේත් අන්තවාදීන් සිටිය හැකිය. අමිර්තලිංගම් දේශපාලනය කළේ කොටි රජ කළ උතුරේය. රිෂාඩ් දේශපාලනය කරන්නේ අන්තවාදීන් රජ කරන නැගෙනහිරය. එත් අමිර්තලිංගම් කොටියෙක් නොවිය. රිෂාඩ් කියන්නෙත් අයි.එස්.අයි.එස්. කාරයෙක් නොවේ.

එදා විශ්වාස භංගයෙන් වුයේ අමිර්තලිංගම්, එල්.ටී.ටී.ඊ. ය ඇතුළු සන්නද්ධ කල්ලිවල කොටි කටට තල්ලු කිරීමය. අද මහින්දලා කරන්න යන්නේ රිෂාඩ්ලා අයි.එස්.අයි.එස්. කටට තල්ලු කිරීමය.

ප්‍රංශයේ බුර්බෝන් රජ පෙළපත මෙන් ලංකාවේ දේශපාලඥ යන්ද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඉගෙනගෙන නැත.    

-ගුරුදා විග්‍රහය-
මව්රට
Advertiesment