Saturday 20th of July 2019

English Tamil


රනිල් වික්‍රමසිංහ බහුබූත ප්‍රජාතන්ත්‍රවාදියෙක්..!


2019-02-08 2841

සිය වාසියටයි-පැවැත්මටයි-බලයටයි ඕනෑම මජර වැඩක් කරයි..!

මහ ජන මුදල් හොරා කෑ අගමැතිට එජාප නායකත්වය දරන්න බැහැ..!

(නිලති මානෙල්)

තමාට අවාසි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන අතර තමාට වාසියක් අත් වෙනවා නම් ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහ තමා බහුබූත ප්‍රජාතන්ත්‍රවාදියෙකු හෙවත් ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුර කරුවා බව මුළු රටටම ඔප්පු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයේ බදාදා (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

“2018 ඔක්තෝබර් මස26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුවේදීත් ජනතාව හමුවේත් අධිකරණය හමුවේත් පරාජයට පත් කරන්න හැකි වුණා.

එම කි‍්‍රයාදාමය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ප‍්‍රබල තර්ජනයක් වූ නිසාම එම කුමන්ත්‍රණය පරාජය කළ යුතුව තිබුණා. එම සිදුවීමෙන් පසුව ව්‍යවස්ථාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් මතු වුණා.

එම මොහොත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරකරුවා ලෙස පෙනී සිටියා. නමුත් අප කිව්වා, රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ මුරකරුවා නොව හොර මුරකරුවෙක් කියලා.

ඊනියා ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තමා ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුර කරුවා බව රනිල් වික‍්‍රමසිංහම තහවුරු කොට තිබෙනවා.

තමාට අවාසි නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමත් වාසි නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ව්‍යවස්ථාව රැකීමේ ප‍්‍රවේශයයි.

ඒ වෙනුවෙන් ඔහු  ඕනෑම කැත සහ මජර කි‍්‍රයාවකට සැදී පැහැදී සිටිනවා.ඒ ක්‍රමය හැඳින්විය හැක්කේ රනිල් වික්‍රමසිංහගේ බහුබූත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙසයි. එම ක්‍රියා පිළිවෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කිරීම නොවෙයි.

රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශයක් කළා, ව්‍යවස්ථාවේ 46 වගන්තිය අනුව යමින් කැබිනට් ඇමති ධුර 30 සිට 48 දක්වාත්, රාජ්‍ය නියෝජ්‍ය ඇමතිධුර 40 සිට 45 දක්වාත් වැඩි කර ගගන්නා බව.

මේ වන විටත් ආණ්ඩුව ඇතුළේ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ තේරී පත් වූ එකම මන්ත්‍රීවරයා වන සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා  සමග එක්ව  තවත් ඇමති ධුර 18ක්  නියෝජ්‍ය සහ  රාජ්‍ය ඇමති ධුර 5ක්  වැඩි කර ගන්නේ කොහොමද?

රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාවේ “හිල්” හොයනවා. ඒ විතරක් නොවෙයි, රනිල් වික‍්‍රමසිංහ කියා තිබෙනවා, ස්වාධීන කණ්ඩායමක් ජාතික ආණ්ඩුවට එකතු වෙනවා කියලා.

ඒ ස්වාධීන කණ්ඩායම වෙන්නේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟ හිටපු පිරිසක් වන අතර මේ කියන මාදිලියේ ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ දේශපාලන පක්‍ෂ 6ක් පමණයි.

ඒ නිසා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොටසක් ජාතික ආණ්ඩුවේ හිටපු වෙලාවේ ඒ පක්ෂයට  විපක්‍ෂ නායක ධුරය අහිමි වුණේ.

කවුද මේ ස්වාධීන කණ්ඩායම..? 2018 ඔක්තෝබර් මස 26 වැනිදා  පිහිටවපු කුමන්ත‍්‍රණ ආණ්ඩුවේ ඇමති ධුර දරමින් කුමන්ත‍්‍රණය ආරක්‍ෂා කළ අය අද රනිල් වික‍්‍රමසිංහගේ ජාතික ආණ්ඩුවට එකතු වෙනවා.

මේ නායකයෝ සිය බලය වෙනුවෙන්  ඕනෑම කැත සහ මජර වැඩක් කරන්න  සැදී පැහැදී ඉන්නවා. කුමන්ත‍්‍රණය වෙලාවේ මහින්ද රාජපක්‍ෂගේ ඔඩොක්කුවේ හිටපු අය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අය අද රනිල් වික්‍රමසිංහගෙ ඔඩොක්කුවට එනවා. එනිසා මෙම ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කළ යුතුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරුන් ඉහළ නායකයින්ගේ හොරා කෑම පිළිබඳව හොඳින් දන්නවා. මලික් සමරවික‍්‍රමගේ අමාත්‍යාංශයේ වාහන බෙදාදීපු හැටි පසු පෙළ මන්තී‍්‍රවරුන් හොඳින් දන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ඉහළ ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවලින් හිතවතුන්ට රැකියා ලබා දුන්නේ කොහොමද කියලා පසු පෙළ මන්තී‍්‍රවරුන් දන්නවා.

එනිසා අද රනිල් වික‍්‍රමසිංහ සාමාජිකයින්ගේ සහ  පසු පෙළ මන්තී‍්‍රවරුන්ගේ තෙරපුමට ලක් වෙලා. මහජන දේපළ හොරා කෑ සහ  පක්‍ෂ විනය ආරක්ෂා කිරීමට නොහැකි  පුද්ගලයින්ට පක්‍ෂයක නායක ධුරය දරන්න හැකියාවක් නැහැ.

රනිල් වික‍්‍රමසිංහ ඒ පීඩනයට පත්වෙලා ඉවරයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ  තවත් පිරිසකට මහජන මුදල් හොරා කෑමට, මහජන මුදලින් වරදාන සහ  වරප‍්‍රසාද ලබාගැනීමට අවස්ථාව ලබාදීම තමයි මෙම ජාතික ආණ්ඩු යෝජනාවේ එකම අභිප‍්‍රාය වෙලා තිබෙන්නේ.

පාර්ලිමේන්තුවට බ්‍රහස්පතින්දා (07) ඉදිරිපත් කිරීමට තිබූ  එම ජාතික ආණ්ඩු  යෝජනාව අපේ විරෝධය හමුවේ ආණ්ඩුව තාවකාලිකව හකුළා ගත්තා. නමුත් අප පැහැදිළිව කියනවා, ආණ්ඩුව එම යෝජනාව ස්ථිර ලෙසම හකුළා ගත යුතුයි කියලා.

රනිල් වික‍්‍රමසිංහලාගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරන්න අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට කියනවා, තමා වටේ සිටින නඩය ආරක්‍ෂා කර ගන්න කියලා. ඒ වගේම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂට කියනවා, තමාගේ ඊනියා දේශපේ‍්‍රමී කණ්ඩායම ආරක්‍ෂා කර ගන්න කියලා.

ඒ මන්ද මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ  මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම්වල සහාය නොමැතිව රනිල් වික‍්‍රමසිංහට මෙම ජාතික ආණ්ඩු ප්‍රෝඩාව ජයග‍්‍රහණය කිරීමට හැකියාවක් නැහැ.

ඒ වගේම එම ජාතික ආණ්ඩුව යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ඇමතිකම් ලබානොදිය යුතුයි. ජනාධිපතිවරයා නිදහස් උළෙලේදී  කියා තිබුණා, තමා ජාතික ආණ්ඩුවට විරුද්ධයි කියලා.

එනිසා මේ ඊනියා ජාතික ආණ්ඩුව කෙසේ හෝ ඇති කළොත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙනවා, ජාතික ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් ලබා නොදීමට.

සිය  බලය වෙනුවෙන් ව්‍යවස්ථාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමේ රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාදාමය පරාජයට පත්කළ යුතුයි. මෙම ජාතික ආණ්ඩු යෝජනාව වහාම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන්ද ඉල්ලා අස් කර ගත යුතු බවට  ආණඩුවට අප බල  කරනවා.”