Monday 20th of January 2025

English Tamil
Advertiesment


දරුවන් පණ සේ සුරකිමු


2019-07-02 14396

 ‘ළමා අපචාර’ලංකාවේ ජනමධ්‍ය බොහොම ඉහළින් රස කරමින් වාර්තා කරන දෙයක්. කොටදෙණියාවේ ‘සේයා’ ගේ සිට යාපනයේ ‘විද්‍යා’ දක්වා පසුගිය කාලයේ රස කරමින් වාර්තා කළේ මේ ළමා අපචාර. ඒත් මේ වාර්තා කිරීමෙන් පමණක් නොවෙයි ‘ළමා අපචාර’ කියන වචනෙත් බරපතළ ගැටලූවක් තිබෙන බව පේනවා. ඒ කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය මෙන්ම බොහෝ පුද්ගලයින් ‘අපචාර’ හා ‘අපයෝජන’ කියන දෙක පටලවා ගෙන වාර්තා කරනවා. මෙය ඇත්තෙන්ම ගැටලූවක්. ජනතාව නොමග යැවීමක්. අපයෝජනයක් යනු : අපයෝජනයක් කියලා කියන්නේ ‘වැරදි ක්‍රියාවක්’යන තේරුම දෙන වචනයක්. මෙහිදී ළමුන් හා සම්බන්ධ වන විට එය ‘ළමා අපයෝජනයක් ’ බවට පත් වෙනවා. එවිට ‘ළමා අපයෝජනයක් ’ කියලා කියන්නේ, ළමයින්ට එරෙහිව සිදුවන වැරදි ක්‍රියාවක්. අපචාරයක් යනු : අපචාරයක් කියලා කියන්නේ ‘වැරදි හැසිරීම’යන අදහස ගෙන එන වචනයක්. ළමයෙකු වැරදි ලෙස හැසිරෙන්නේ නම් එය ‘ළමා අපචාරයක් ’ යනුවෙන් සඳහන් කළ යුතුයි. නමුත් අප බොහෝ විට දකින්නේ ළමුන් කරන වැරදි මෙන්ම වැඩිහිටියන් ළමයින්ට එරෙහිව කරන වැරදිත් ‘ළමා අපචාර’ යන වචනය පමණක් භාවිත කරමින් වාර්තා කිරීමයි.

ළමයින්ට බලපාන නීති මොනවාද ?

    අපි කුඩා අවධියේ කිසියම් වරදක් කළ විට අම්මා නිතර කිවුව කතාවක් තමයි ‘තවත් ඔය වැඩ කළොත්  මග්ගොන දක්කනවා ’ කියන එක. ඒ පුංචි කාලේ අපි හිතුවේ මග්ගොන කියන්නේ ‘ගොන් කරත්තේ වාගේ දෙයක් ’ කියලා. ඉතිං කවුද කැමැති කරත්ත අදින්න. ඒ නිසා අපි ඒ කතාවට හොඳටම බය වුණා. ගෙදර නීති කැඩූ විට අම්මා - තාත්තගේ කෝටුපාර වැදෙනවා වාගේ පාසලේදී ගුරුවරුන්ගෙන් වේවැල් කසාය ලැබුණා. ඒත් පවුලෙන්/පාසලෙන් ඔබ්බේ තියෙන ලෝකය සංකීර්ණයි. ඒ නිසා ළමයින් කරන වැරදි සම්බන්ධයෙනුත් ආණ්ඩුව නීති හදලා තිබෙනවා. ‘දණ්ඩ නීති සංග්‍රහය’ තමයි ලංකාවේ බොහෝ වැරදි සම්බන්ධයෙන් නීති තියෙන තැන. එහි 75 වන වගන්තිය අනුව අවුරුදු 08 ට වඩා අඩු වයසින් සිටින ළමයෙකු විසින් කරන වරදක්, වරදක් වශයෙන් සලකන්නේ නැහැ. එනම් එය වරදක් නොවෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ 76 වගන්තිය අනුව අවුරුදු 08 - 12 අතර ළමයෙකු කරන වරදක්, වරදක් වෙන්නේ තමාගේ හැසිරීමේ ස්වභාවය හා එහි ප්‍රතිඵලය නිෂ්චය කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් ඇති ළමයෙකුට පමණයි. සාක්ෂි ආඥා පනතට අනුව අවුරුදු 12 කට අඩු ළමයෙකුට ස්ත්‍රී දුෂණයක් කළ නොහැකියි. මෙය සැලකෙන්නේ බිඳහෙළිය නොහැකි පූර්ව නිගමනයක් වශයෙනුයි.

ළමයෙකුට වන ලිංගික අපයෝජනයක් යනු

දණ්ඩ නීති සංග්‍රහය අනුව ළමා ලිංගික අපයෝජනයක් ලෙස සැලකෙන්නේ පහත සඳහන් ඒවායි.

  1. දරුවා ලිංගික අපචාරයට ලක් කිරීමේ අරමුණින් යම් ස්ථානයක රඳවා තැබීම හෝ යම් කිසි ලිංගික ක්‍රියාවක් සඳහා හෝ යම්කිසි අසභ්‍ය නුසුදුසු පරමාදර්ශයක් හෝ දර්ශනයකට සහභාගී කිරීම සඳහා දැනුවත්ව ඉඩ සැලැස්වීම.
  2. ලිංගික සංසර්ගය හෝ වෙනත් ආකාරයක ලිංගික අපචාරයකට ළමයෙකු යෙදවීම සඳහා සපයන්නකු ලෙස ක්‍රියා කිරීම.
  3. ලිංගික සංසර්ගය හෝ වෙනත් ආකාරයක ලිංගික ක්‍රියාවක් සඳහා ළමයෙකුගේ සහයකයෙකු වන ලෙස පුද්ගලයෙකු කැමැති කරවා ගැනීම.
  4. ළමයෙකු සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකුට පවතින පාලනය හෝ ඥාතී සබඳතාව උපකාර කර ගනිමින් ළමයෙකු ලිංගික සංසර්ගය හෝ වෙනත් ආකාරයක ලිංගික සබඳතාවක් සඳහා යොදා ගැනීම.
  5. ලිංගික සංසර්ගය හෝ වෙනත් ආකාරයක ලිංගික අපචාරයක් සඳහා ළමයෙකුට එරෙහිව තර්ජනය හෝ හිංසනය යොදා ගැනීම.
  6. ලිංගික සංසර්ගය හෝ වෙනත් ආකාරයක ලිංගික අපචාරයක් සඳහා ළමයෙකු ලබා ගැනීමේ අභිප්‍රායෙන් දරුවකුට හෝ දරුවාගේ දෙමාපියන්ට මුදල්, භාණ්ඩ හෝ වෙනත් ප්‍රතිලාබ හිමිකර දීම.

බරපතළ ලිංගික අපයෝජන

මනුෂ්‍ය ශරීරයට බලපෑමක් වන අනන්‍ය අපරාධයක් ලෙස බරපතළ ලිංගික අපයෝජන දණ්ඩ නීති සංග්‍රහය (365 (අ) වගන්තිය) විසින් හඳුනා ගෙන තිබෙනවා. එහි අදහස සරල ආකාරයෙන් මෙසේ දැක්විය හැකියි. ‘‘ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා අනෙකාගේ කැමැත්ත නොමැතිව, බලහත්කාරයෙන්, බියගන්වා, තර්ජනය කර කැමැත්ත ලබාගෙන, සිහි විකල්ව සිටියදී මත්ගතිය ඇතිකර කැමැත්ත ලබාගෙන, තවත් තැනැත්තකුගේ ශරීරය යම් කොටසක් පාවිච්චි කිරීම’ බරපතළ ලිංගික අපයෝජනයක් වශයෙන් සැලකිය හැකියි.  

බරපතළ ලිංගික අපයෝජනය මගින් කරුණු රැසක් අනාවරණය කරනවා.

අ. ස්ත්‍රී දුෂණය ආ. ලිංගික හිරිහැරය. ඇ. ව්‍යභිචාරය ඈ. නීති විරෝධී සමලිංගික ක්‍රියා. බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ නඩු කටයුක්තකදී සැකකරුවෙක් තමන්ගේ ආරක්ෂණය සඳහා තහවුරු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ ඒ සඳහා (ලිංගික ක්‍රියාව) අනුමැතිය ලැබුණේද ? යන්නයි. එහෙත් බරපතළ ලිංගික අපයෝජනයක වින්දිතයෙකු (ලිංගික අපයෝජනයට ගොදුරු වූ) අ. වයස අවුරුදු 16 ට අඩුවන විට, ආ. මානසික ආබාධයකට ලක්ව සිටින විට, ඇ. අනුමැතිය දෙන අවස්ථාවේදී මත්පැන් හෝ  මත්ද්‍රව්‍ය වල බලපෑම හේතුවෙන් සිහිමඳ තත්ත්වයේ පසුවන විට, ඈ. ක්‍රියාව  කළ පුද්ගලයාගේ නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන භාරකාරත්වයේ පසුවන විට ස්වේච්ඡාවෙන් වලංගු අනුමැතිය ලබාදිය නොහැකියි. මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් ඉහත සඳහන් කාරණ හතරට අදාළ කිසිඳු අවස්ථාවක ලිංගික කාර්යයක් සඳහා අනුමැතිය ලබාදිය නොහැකියි. එවැනි තත්ත්වයක් තුළ ලිංගික අපයෝජනයක් සිදු වුවහොත් එය අපරාධයක් වශයෙන් සැලකිය හැකියි.

ළමා අපයෝජන සහ අපචාරය සඳහා ප්‍රතිකර්ම සැලසීමට අනුගමනය කෙරෙන ක්‍රියාදාමය

  1. ළමා අපයෝජන හා අපචාර ක්‍රියාවක් කර ඇති බවට ඕනෑම පුද්ගලයෙකුට තොරතුරු ලබාදිය හැකියි. උදාහරණ වශයෙන් එබඳු වැරදි සහගත ක්‍රියාවක් සිදුවන බව දන්නා ඕනෑම පුද්ගලයෙකු හෝ එබඳු ශාරීරික ක්‍රියාවකට ලක්වන දරුවකු එබඳු වරදක් වන බවට තොරතුරු ලබා දිය හැකියි.
  2. පොලිස් නිලධාරියෙකුට මෙම තොරතුරු ලබාදිය හැකියි. අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් නොමැති විට එබඳු වරදක් පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත ලබාදිය හැකියි.
  3. මෙම වැරදි සම්බන්ධව පෞද්ගලික තැනැත්තෙකුට ද (පුද්ගලික පැමිණිල්ලක්) වාචිකව හෝ ලිඛිතව ඍජුව මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම් එම පෙත්සම (ලිඛිත ලේඛනය) සකසා ගැනීම සඳහා නීතිඥයෙකුගේ සහාය පැතිය හැකි අතර එය සහතික කරමින් නීතිඥයා සහ පැමිණිලිකරු අත්සන් කළ යුතුයි.
  4. වරදක් පිළිබඳ යම්කිසි තොරතුරක් පහත සඳහන් ආකාරයන්ගෙන් එක් ආකාරයකින් ලබාදිය හැකියි.

අ. වාචිකව හෝ නැවත ලිඛිතව පොලිස් ස්ථානයට ලබාදීම. ආ. පළමු අවස්ථාවේදීම ලිඛිතව ලබාදීම. ඇ. දුරකථන මගින් දැනුම්දීම ඈ. ලිඛිතව (ලිපි, විදුලි පණිවුඩ, ෆැක්ස්, ඊමේල්)

  1. එවැනි තොරතුරක් ලැබුණු විට පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත යුතුයි.
  2. ළමයින්ට එයින් සිදු කෙරෙන බරපතළ ලිංගික අපචාරයක් හෝ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ වැරදි වලදී (ළමා අසභ්‍ය ප්‍රකාශනයක් යනුවෙන් අදහස් වන්නේ, කුමන අරමුණක් සඳහා හෝ ළමයෙකු සිටින නියමාකාර හෝ ව්‍යාජ වූ නිශ්චිත ලිංගික ක්‍රියා හෝ පහත් ලිංගික පරමාර්ථ සඳහා ළමයෙකුගේ ලිංගික අවයව යොදා ගැනීමෙන් කරවු ලබන ඉදිරිපත් කිරීමක්) පුද්ගලික තැනැත්තෙකුට සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත හැකියි. වරද සිදුවන අවස්ථාවේදී හෝ වරද සිදුකර සුළු කාලයක් තුළදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතුයි. අත්අඩංගුවට ගත් අවස්ථාවකදී අදාළ සැකකරුව පප්‍රමාදයකින් තොරව ආසන්නයේ සිටින පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් ස්ථානයකට භාරදිය යුතුයි.
  3. සාමාන්‍ය මට්ටමේ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලබන්නේ අධිකරණ නිලධාරියෙකු විසින් නිකුත් කරන වරෙන්තුවකට අනුවයි. නමුත් පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් රහිතව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සහ සෝදිසි වරෙන්තුවක් රහිතව යම් ස්ථානයක් පරීක්ෂා කිරීමට හැකියාව වැනි වැරදි ද තිබෙනවා. ඒ අතර බරපතළ ලිංගික අපචාර සහ ළමා අසභ්‍ය ප්‍රකාශන ප්‍රධාන වෙනවා.
  4. අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වූ පසු පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා උසාවිය වෙත චෝදනා පත්‍රයක් ගොනුකළ යුතුයි.
  5. සැකකරු අත්අඩංගුවේ රඳවා තබා ගැනීම පැය 24 ක් නොඉක්මවිය යුතුයි. පැය 24 ක කාලයක් ඇතුළත සැකකරුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණිය විය යුතු අතර වරදේ ස්වභාවය අනුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට ඇප නියම කරන්නේ ද යන්න තීරණය කරනවා.
  6. යම් කිසි හේතුවක් නිසා නඩුවේ අගතියට පත් පාර්ශ්වය පරීක්ෂණ අවසන් කිරීමට හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පමා කරන බව සාධාරණ හේතු ඇතිව විශ්වාස කරන්නේ නම් හෝ අගතියට පත් පාර්ශ්වය විසින් අදාළ කරුණු සහිතව මහේස්ත්‍රාත්වරයා වෙත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකියි.

සැකකරුවකු ඇප මත මුදා හැරීම

සැකකරු විසින් අධිකරණයට පුද්ගලික හෝ සමහර විට මුදල් ඇපකරයක් තැබීමේ පදනම මත අධිකරණය විසින් බරපතළ ලිංගික අපයෝජනය හා සම්බන්ධ පුද්ගලයා මුදා හැරීම ඇප දීමක් වශයෙන් සැලකිය හැකියි. ළමා අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ වැරදිවලට  මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවෙකු ඇප මත මුදා හැරිය හැකියි. එහෙත් ළමා අපචාරය, ළමා ජාවාරම, ළමුන් ලිංගික අපයෝජනයේ යෙදවීම වැනි සමහර වැරදි සඳහා සැකකරුවෙකු ඇප මත මුදා හැරීම  මහේස්ත්‍රාත්වරයාට කළ නොහැකියි. කෙසේ නමුත් එවැදි වැරදි වලදී සැකකරුවෙකු ඇපමත මුදා හැරීමට මහාධිකරණයට බලය තිබෙනවා.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ අධිකරණ ක්‍රියාදාමය

ලිංගික අපයෝජන සම්බන්ධ නඩු කටයුතු පවත්වා ගෙන යාමට මහේස්ත්‍රාත් අධිකරණයට නොහැකියි. මහේස්ත්‍රාත්වරයා  විසින් එම නඩු කටයුතු නීතිපතිවරයා වෙත යොමු කළ හැකි අතර අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියාට වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස ද නියෝග කළ හැකියි. පහත සඳහන් කොන්දේසි සපුරා ඇති විටෙක, දරුවා පරිවාස භාර නිලධාරියෙකුගේ හෝ අධිකරණය පත් කරන වෙනත් පුද්ගලයෙකුගේ අධීක්ෂණය යටතේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක තබන ලෙසට මහේස්ත්‍රාත්වරයාට නියෝග කළ හැකියි.

  1. වින්දිතයා ළමයෙකු නම් සහ මවුපියෙකු (දෙමාපියන්) හෝ භාරකරුවකු නොමැතිනම්)
  2. මවුපියන්ට හෝ භාරකරුට/භාරකරුවන්ට රැකවරණය සහ ආරක්ෂණය ලබාදීමට නොහැකි නම් හෝ නිසි රැකවරණය සහ ආරක්ෂණය ලබා නොදෙයි නම්,
  3. වින්දිතයා වීදි දරුවෙකු නම්
  4. සැකකරු දරුවාගේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරු නම්.

මෙම ලිපිය මගින් සාකච්ඡාකරන බරපතළ  ලිංගික අපයෝජන සම්බන්ධ නඩු මෙහෙවනු ලබන්නේ මහාධිකරණය විසිනුයි. සැකකරුවකු තමා වරදකරු බව පිළිගන්නේ නම් , මහාධිකරණය විසින් නඩු විභාගයක් පැවැත්විය යුතුයි. එම නඩු විභාගයෙන් පසුව චූදිතයා වරදකරු හෝ නිවැරදිකරු කළ හැකියි. සැකකරු වරදකරු බව පිළිගනී නම්, පහත සංෂිප්තව දක්වා ඇති ආකාරයට මහාධිකරණයට දඬුවම් නියම කළ හැකියි. නඩු කටයුතු පවත්වා ගෙන යන අතරතුරේදී, වෙනත් නියෝගයක් නිකුත් කිරීමට මහාධිකරණයට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට දරුවා පරිවාස භාර නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳී සිටීනම්, එම දරුවාට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා උපදෙස් දීමට සහාය වීමෙන් නිසි පියවර ගැනීමට පරිවාස භාර නිලධාරියාට බලය පවරා තිබෙනවා. එවැනි දෙයක් කිරීම සඳහා පරිවාස භාර නිලධාරියා විසින් දරුවා අධිකරණය හමුවට පැමිණවිය යුතු අතර අනතුරුව එබඳු රැකියාවක දරුවා නිරත කරන ලෙස නියෝග කළ හැකියි.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ වරදකරුවෙකු දෙනු ලබන දඬුවම්

ලිංගික අපයෝජනය: බන්ධනාගාරගත කිරීම (අවම වසර පහත කාලයක් සහ උපරිම වසර 20 ක් දක්වා) සමහර අවස්ථාවලදී දඩයක් නියම කිරීම. බරපතළ ලිංගික අපචාර : අවම වසර 10 ක කාලයක් හා උපරිම වසර 20 ක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීම. එසේම දඩ නියම කිරීම. ළමා අසභ්‍ය ප්‍රකාශන : අවම වසර 02 ක කාලයක් හා උපරිම වසර 10 ක් දක්වා බන්ධනාගාර ගත කිරීම/දඩයක් ද නියම කළ හැකියි. ළමා ජාවාරම : අවම වසර 05 ක් සහ උපරිම වසර 20 ක් දක්වා සහ දඩයක් ද නියම කළ හැකියි.

(තුෂාල් විතානගේ)

                     

Advertiesment