Friday 22nd of October 2021

English Tamil
Advertiesment


රුව රැක ගන්නනම් කට රැක ගන්න


2019-07-02 5669

   

පෝෂණය හා සෞඛ්‍ය මිනිස් ජීවිතය රඳා පවතින ප්‍රමුඛ සාධකය වශයෙන් සැලකිය හැකියි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඒ පිළිබඳ නිසි අවබෝධයක් ද ලබා තිබිය යුතුයි. විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමත් සමග මිනිසා විසින් නිර්මාණය කළ විවිධ නවීන යන්ත්‍රෝපකරණ තම එදිනෙදා ක්‍රියාකාරකම් වලට භාවිත කිරීමත් සමග මිනිසුන් යම් තරමකට අලසයින් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය නිසා මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යට සිදුවන බලපෑම සුළු කොට තැකිය නොහැකියි. ඒ වගේම තමයි නිසිපෝෂණයක් නැතිකම , ආහාර විෂවීම, වසංගත රෝග, අපිරිසිදුකම ආදිය නිසා හට ගන්නා රෝගාබාධ නිසා ලොකයේ සෑම රටකම පාහේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ‘ආහාර’ මිනිසාට අතයවශ්‍ය දෙයක්. බොහෝ දෙනෙක් ආහාර සඳහා ප්‍රමුකත්වයක් ද ලබා දෙනවා. ඒත් ආහාර නිසා ලෝකයේ විශාල පිරිසක් දිනපතා  රෝගීන් බවට පත් වෙනවා. ඒත් පුදුමයට කරුණ වන්නේ මේ ගැන බොහෝ දෙනෙක් කිසිම සංවේදීභාවයක් නැහැ. දැනුවත්භාවයක් නැහැ. ආහාර සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කිසිසේත් සතුටුදායක මට්ටමක නැහැ. එයට පප්‍රධාන හේතුව වශයෙන් දැකිය හැක්කේ අනවබෝධය හා නොසැලකිල්ලයි. මේ තත්ත්වය තව දුරටත් උසුලා සිටීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා  සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳව අප වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මිනිසා තම ජීවිත කාලය පුරාම තම සෞඛ්‍ය  හා පෝෂණය පිළිබඳ අවධානයෙන් සිටය යුතුයි. දරුවෙක් කුස පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා සෞඛ්‍ය  හා පෝෂණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත්

සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීමේදී ශරීරයේ අභ්‍යන්තර හා බාහිර තත්ත්වයන් පිළිබඳව ද මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි. අප ගන්නා ආහාර පාන මගින් ශරීරයේ අභ්‍යන්තරයට පෝෂණයක් ලැබෙනවා සේම බාහිරව ද පෝෂණයක් ලැබෙනවා. මීට අමතරව ස්වභාවික බාහිර ආලේපණයන් මගින් ද සමට පෝෂණයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් කාන්තාවන් මෙන්ම පිරිමින්ටත් මනා දැනුමක් මෙන්ම අවබෝධයක් ද තිබිය යුතුයි. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ පිරිසිදුකමයි. අපිරිසිදුකම නිසා සෞඛ්‍ය ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවෙනවා. සුවවන හා සුව නොවන විවිධ ලෙඩ රෝග රැසකම අපිරිසිදුකම නිසා ඇති වෙනවා.

තවද සෞඛ්‍ය ගැටලූ නිසා ජීවිත අවධානම පවා ඇති විය හැකිය. අධික තරබාරුව, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වැනි බෝ නොවන රෝග තත්ත්වයන් ඇති වන්නේ ද පෝෂණය ගැන නිසි අවබෝධයක් නොමැති නිසයි. රුව රැක ගැනීම ගැන මෙන්ම ශරීර සෞඛ්‍ය  රැක ගැනීම ගැනත් අපි බොහෝ විට අවධානය යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කාන්තාවක් පමණක් නොවෙයි පිරිමින් ද වැඩි අවධානයක් යොමු කරනවා නම් එය යහපත් තත්ත්වයක්. ඒත් අපේ කාන්තාවන් තරුණ වියේදී තම රූපය ගැන දක්වන උනන්දුව වයසට යාමත් සමග ක්‍රමයෙන් අත්හරිනවා. එසේ නැත්නම් උත්සවයක් වැනි  අවස්ථාවකදී ආයතනයට ගිහින් ඔවුන්ගේ සේවය ලබා ගන්නවා. ඒත් ආහාර හා තම දෛනික චර්යාවන් මගින්  ඕනෑම කෙනෙකුට පහසුවෙන් තම රුව රැක ගත හැකියි.

ඒ සඳහා හැකි තරම් ස්වභාවික ක්‍රම භාවිත කරනවා නම් එමගින් උසස් ප්‍රතිඵල ලබාගත හැකියි. විශේෂයෙන් ම වස විෂවලින් තොර පලතුරු, එළවළු වැනි දේ ආහාරයට ගැනීම මෙහිදී ඉතා වැදගත්. ‘පළා’ කියන්නේ සම පැහැපත් කිරීමට අගනා ආහාරයක්. පළා වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම මගින් සම පැහැපත් කර ගැනීම හා සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීම කළ හැකියි. වස විෂ නැති පලතුරු හා එළවළු කන්න එහෙත් අප මෙහිදී අප මිලදී ගන්නා හෝ භාවිතයට ගන්නා පළා වර්ග ගැන දැඩි අවධානයක් යොමු කල යුතුයි. ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය ගැන මෙන්ම ඒවා නෙළාගත් ස්ථානය ගැන ද අප අවධානය යොමු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ  ඕනෑම තැනක පළා වර්ග හොඳින් වැඩෙන නිසා ඔබට ඔබේ ගෙවත්තේ හෝ ඉඩකඩ ඇති  ඕනෑම තැනක පළා වර්ග වගා කළ හැකියි. එවැනි විශ්වාසනීය තැනකින් නෙළා ගන්නා පළා වර්ග වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත බව අපට සහතික කළ හැකියි. අද අපේ කාන්තාවන් පමණක් නොවෙයි පිරිමින් පවා අධික තරබාරුව නිසා  සෞඛ්‍ය ගැටලූවලට පමණක් නොවෙයි මානසික ගැටලූවලට පවා ලක්ව සිිටිනවා.අධික තරබාරුව ජීවිත අවධානමක් පමණක් නොවෙය තමන්ගේ පෞරුෂයට පවා හානියක් බව අප වටහා ගත යුතුයි. අප බොහෝ විට ආහාරයට ගන්නා ක්ෂණික ආහාර පාන වර්ග අධික තරබාරුවට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පාන මේ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන බව වෛද්‍යවරු තහවුරු කරලා තිබෙනවා.

ඒ නිසා මෙවැනි ආහාර පාන භාවිතයෙන් අප හැකි තරම්, පුළුවන් නම් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි. මොකද "මාළුවා නහින්නේ කට නිසා" වාගේ අපෙ  බොහෝ දෙනෙකු විවිධ සෞඛ්‍ය ගැටලූ ඇති කර ගන්නේ කට නිසා බව අප කවුරුත් දන්නා නිසයි.  රුව රැක ගැනීම ගැන කතා කරන විට පිරිසිදු ජලය පානය කිරීම ගැන කතා නොකරම බැහැ. පිරිසිදු පානීය ජලය දිව්‍ය ඖෂධයක් වශයෙන් සැලකිය හැකියි. ඒත් අද අපේ තරුණියන් බොහෝ දෙනෙක් ශීත කළ ජලය පානය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බවක් දැකිය හැකියි. එහෙත් එය නැති රෝග අවධානමක් කැන්දා ගැනීමක් වශයෙන් සැලකිය හැකියි.

දිව්‍ය ඖෂධයක් වන් පිරිසිදු පානීය ජලය  සඳහන් කරන ආකාරයට දෛනිකව ප්‍රමාණවත් තරමට  පානය කළ යුතුයි. එය උණුකර නිවාගත් ජලය වුවහොත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් තහවුරු කළ ගත හැකියි. මන්ද ජලය උණුකර නිවාගත් විට එහි සෞඛරක්ෂිතභාවය වඩාත් තහවුරු වන නිසයි. මෙහිදී අප තවත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. අපි බොහෝ දෙනෙක් අද "BED TEA" එකකට හුරුවෙලා සිටිනවා."BED TEA" එක නැතිව ඇදෙන් නැගිටින්න බැරි බොහෝ දෙනෙක් අප අතර සිටිනවා.

ඒත් මේක ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් පමණක් නොවෙයි ඔබේ රුව සම්බන්ධයෙන් ද හානිකර දෙයක්. උදෑසන අවධි වූ වහාම උණුකර නිවාගත් පිරිසිදු ජලය වීරුවක් හෝ පානය කළොත් ඔබගේ රුව පමණක් නොවෙයි ජීවිතය පවා ආරක්ෂා වන බව සහතිකයි. උදේට රජෙක් වගේ කන්න ඕනෑ කිව්වත්  අද අප බොහෝ දෙනෙක් අතිශයින් කාර්ය බහුලයි. අතට ගත් බත්පත කන්න පවා වේලාවක් නැහැ. ඒ නිසා අප බොහෝ දෙනා කරන්නේ ක්ෂණික ආහාර වර්ග බහුල වශයෙන් ආහාරයට ගැනීමයි. මේ තත්ත්වය වඩාත් දැකිය හැක්කේ උදෑසන ආහාර වේල සම්බන්ධයෙනුයි.

ඒත් පුරාණ වෛද්‍යවරුන් පවා කීවේ ‘උදේට රජෙක් වගේ කන්න, දවල්ට සිටුවරයෙක් වගේ කන්න, රෑට හිඟන්නෙක් වගේ කන්න’ කියලයි. මේ කතාව අද වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ රුව රැක ගැනීමට කැමැති නම් උදෑසන ආහාර වේල ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කරන්න.  උදෑසන ආහාරය මුළු දවසේම ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධාන අංගය වශයෙන් සැලකිය හැකියි.

ඔබ ඔබේ උදෑසන ආහාර වේල නොසලකා හැරීම මගින් සිදුවන්නේ දිනය ආරම්භ කිරීමට හා දෛනික වැඩ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය නොලැබී යාමය. දවසම අලසව ගත කරීමට සිදුවීමයි. උදෑසන ආහාර වේල කෙටි හෝ ක්ෂණික ආහාර වේලකට සීමා නොකරන්න කියලා කියන්නේ බොහෝ හේතු ඇතුවයි.

ඒ අතර ප්‍රධාන කරුණක් වන්නේ මෙවැනි කෙටි හා ක්ෂණික  ආහාර මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම, කොරොස්ටෝල් මට්ටම ඉහළ යාම වැනි දේ සිදු වීමයි. උදෑසන ආහාර වේල අපේ සම්ප්‍රදායික ආහාරයක් හෝ නොමැතිනම් ධාන්‍ය වර්ගයක් වෙනවා නම් අතිශයින් වැදගත්. එමෙනම් ස්වාභාවික පලතරු යුෂ වීදුරුවක් හෝ පානය කළ හැකි නම් තවත් වැදගත්. තරුණ මෙන්ම නොයෙක්  තරාතිරමේ කාන්තාවන් විශාල පිරිසකට දෛනිකව රූපාලාවන්‍ය උපදෙස් ලබා දෙන හා ඔවුන් සමග බොහෝ කාලයක් වැඩ කර පළපුරුද්ද ඇති රුපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ඔබට ලබාදිය හැකි අගනාම උපදේශය වන්නේ හැකි තරම් වස විෂවලින් තොර ආහාර අනුභව කරමින්, ක්ෂණික හා කෙටි කෑම වලින් ඉවත් වෙමින් වඩාත් කාර්යශීලී ජීවන රටාවකට හුරුවන ලෙසයි. නිසි ආහාර හා පාන වර්ග මෙන්ම මානසික හා කායික විවේකය මෙන්ම ක‍ර්යශීලි ජීවන චර්යාවක් ද ඔබගේ රුව රැක ගැනීමට අතිශයින් වැදගත්.

 

ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පිනී

(දර්ශි මාතොටආරච්චි)

 

 

Advertiesment