Friday 23rd of April 2021

English Tamil
Advertiesment


හතළිහකට මරු කැඳවූ බස්-දුම්රිය අනතුර..!


2019-07-02 2736

(ජයකාන්ත ලියනගේ)

අති බිහිසුන අහුන්ගල්ල, දුම්රිය බස්රිය අනතුරට බදාදාට  (17) වසර 29 ක් සපිරිණ . මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.

ශ‍්‍රී ලාංකේය ඉතිහාසය තුල බිහිසුණුම බස්රිය දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 දා අහුන්ගල්ලේදිය. එයින් පාසැල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුළු 40 දෙනෙකු මරුමුවට පත්විය. ඉතිහාසයේ කුමණ හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීම තුල වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරිණි.

අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී අළුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල අහුන්ගල්ල ඌරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස්රථය පමණි. වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස්රථ මෙම මාර්ගයේ ධාවනය වූයේ නැත. පොල්අතුපළාත, ලෑලිහේත්තුව, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප‍්‍රදේශ රැසක පාසැල් සිසු සිසුවියන් අම්බලන්ගොඩ, බළපිටිය, අහුන්ගල්ල ප‍්‍රදේශයන්හි පාසැල් වෙත ආවේගියේද මෙම බස් රථයෙනි. පාසැල නිමවී පොත්මිටි තුරුළු කරන් කුසගින්නේ නිවෙස් බලා එමින් සිටි පාසැල් සිසු සිසුවියන් 38 දෙනෙකු මෙම අනතුරින් මරණයට පත්විය. එදා අහුන්ගල්ල හා අවට ගම්මානයන් එකම මලගෙයක් බවට පත්ව තිබුණි. දෙන්නා තුන්දෙනා මෙන්ම සිව්දෙනා ආදී වශයෙන් එකට වලදැමූ සොහොන්ද ප‍්‍රදේශයේ විය.

එකල අහුන්ගල්ල මෙන්ම දිවයිනේ බොහෝ දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත තත්ත්වයේ තිබුණු ඒවාය. ඒවා කිසිවකට ගේට්ටු සවිකර තිබුණේ නැත. අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගය අසල දුම්ර්ය මාර්ගය ආසන්නයට වන්නම ගොඩනැගිලි ඉදිකර තිබීම හේතුවෙන් දුම්රියේ පැමිණීම දැකගන්නට ලැබෙන්නේ දුම්රිය මාර්ගය අසලටම පැමිණි පසුවය. අහුන්ගල්ලේදී දුම්රියක පැමිණීම බොහෝ වාහන හිමියන්ට එකල දැනුම් දුන්නේ අසල්වැසී කාන්තාවකි. ඇය මේ වන විට මියගොසිනි. මෙදිනද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නත් බස්රථයේ රියදුරා බස්රථය නතර කළේ දුම්රිය මාර්ගය මතටම බස්රථය ගෙන ඒමෙන් පසුවය. දුම්රිය දැකීමෙන් බියට පත්වීම මත බස්රිය දුම්රිය මාර්ගය උඩ තිබියදීම බස්රථයේ එන්ජිම නතර වී තිබුණි.

1980 පෙබරවාරි 08 දින පුහුණු වන දුම්රිය රියදුරෙකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ බළපිටියේ ඒ ආර් ද සිල්වා මහතා මෙම දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු 1985 වසරේ බලවේග කට්ටල දුම්රිය රියදුරෙකු ලෙස පත්වීම් ලැබ වසර 02 ක් කොළඹ බලවේග ධාවනාගාරයේ සේවය කර 1987 දී ස්ථානමාරුවක් ලැබ ගාල්ල ධාවනාගාරයට අනුයුක්තව සේවය කරමින් සිට ඇත. ඔහුට නියමිතව තිබුණේ ගාල්ල - අළුත්ගම මන්දගාමී දුම්රිය ධාවනය කිරීමයි. මෙදින ගාල්ල අළුත්ගම බලවේග කට්ටල දුම්රියේ යම් දෝෂයක් හේතුවෙන් උ 2 වර්ගයේ ජර්මන් එන්ජිමක් සහිත අංක 704 දරණ දුම්රිය ධාවනය කිරීම මොහුට බාරවිය. අළුත්ගමින් ගාල්ල දක්වා ගමන් ආරම්භ කල දුම්රිය ප.ව 2.25 ට කොස්ගොඩ දුම්රිය නැවතුම් පොළේ නවතා 2.30 වන විට අහුන්ගල්ල දුම්රිය නැවතුම් පොළට ලගා වෙමින් තිබූ බවත් එක්වරම දුම්රිය මාර්ගයට ප‍්‍රවිශ්ඨ වූ බස්රිය හා දුම්රිය අතර දුර, ඉතා අඩු වූ හෙයින් කිසිවක් කරකියා ගන්නට නොහැකි වූ බවත් ඒ ආර් ද සිල්වා මහතා සිද්ධිය විමර්ශණය කල ඒක පුද්ගල කොමිසම හමුවේ පසුව ප‍්‍රකාශ කර තිබුණි. දුම්රියේ මැද වැදුන බස්රිය දෙකට කැඞීගිය බවත් සිසුන් රේල්පාර මැදට ටැටීමෙන් දුම්රියට හසුවූ බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබුණි.

එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට ඒක පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. ඒ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඞී ජේ ජයලත් මහතාගේ ප‍්‍රධානත්වයෙනි. දුම්රිය රියදුරුවරයා ඉහත සාක්ෂිය ලබා දුන්නේ මෙම කොමිසම හමුවේය. එයට අමතරව හේමා පේ‍්‍රමදාස ආර්යාව අහුන්ගල්ලට එවා අනතුර පිළිබඳව සොයා බලා එයින් විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් කටයුතු කරන්නටද උපදෙස් ලබා දී තිබුණි. එයින් පසුව රුපියල් 1000/- ක මාසික දීමනාවක් මත ජනසවිලාභීන් යොදවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට උණ බම්බු ගේට්ටු සවි කරන්නටද ජනාධිපති පේ‍්‍රමදාස මහතා පියවර ගත්තේය. දුම්රිය හරස් මාර්ග වලට උණ බම්බු ගේට්ටු වැටුණේ මෙම අනතුර නිසාය.

ලංකා ගමනාගමන මණ්ඩලය අනතුරෙන් මියගිය පුද්ගලයින්ට හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවීය. ඒ මියගිය අයෙකුට රුපියල් 25,000/- ක් වශයෙන් හා තුවාල ලැබූවන්ට රුපියල් 50,000/- සිට 1,00000/- දක්වා ආදි වශයෙනි. නමුත් ජීවිත අහිමි වූවන්ගේ හා තුවාල ලබා ආබාධිත වූවන්ගේ පවුල් ජිවිත ගොඩ ගන්නට එම මුදල් කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරුට එරෙහිව අහුන්ගල්ල පොලිසිය බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබුණි. නඩුව අවසානයේ එහි රියදුරුට වසර 190 ක සිර දඩුවම් නියම කිරිමටත් රියදුරු බලපත‍්‍රය අත් හිටුවීමටත් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුණි.

අනතුරින් මියගිය අය සිහිපත් කිරිම සදහා ස්මාරකයක් ඉදි කිරිමටද එකල කිසියම් වූ සංවිධානයක් මුදල් ලබා දුන්නේය. විපතට පත් පවුල් යලි ගොඩනැගීමටද ඒ අතර මුදල් විය. නමුත් එම මුදලින් ගොඩනැගූ පවුලක්ද නැත. එම මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්නද අදටත් කිසිවෙක් නොදනී. අවසානයේ ආසන්න විහාරස්ථානයකට ප්‍රවිෂ්ට   වීමේ තොරණක් එම මුදලින් ඉදිකිරීමට යම් කණ්ඩායමක් පියවර ගෙන තිබුණි. එම තොරණේ පාමුල අනතුරින් මියගිය සිහිපත් කිරිමට එය ඉදිකල බවද සදහන් කර තිබේ.

අනතුරින් බරපතල තුවාල ලබා තවමත් ආබාධිත තත්ත්වයේ පසුවන කීප දෙනෙකුගේ තොරතුරු සෙවීමට පසුගියදා අපි අහුන්ගල්ල, කටුවිල, නෙල්ලිගොඩ, මරදාන ප‍්‍රදේශයේ සංචාරය කළෙමු. එහිදී හමු වූ කීප දෙනෙක් හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පලකල අදහස් පහත දැක්වේ.

අහුන්ගල්ල, සී පී ද සිල්වා මාවතේ පදිංචි ඞී සමන් මෙන්ඩිස් (48) මහතා

මම හෑගල්ල මහ විද්‍යාලයෙන් සාපෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න බළපිටිය රේවත විද්‍යාලයට ගියා. 1986 අගෝස්තු වල පංති පටන් ගත්තේ. මාස කීපයයි ඉස්කෝලෙට ගිහින් වෙන්නේ. මම අදටත් බෙහෙත් බොනවා. අත් කකුල් කඩල ගියා. බඬේ පපුවේ සැත්කම් කරල තිබෙනවා. ඒ කාලේ මාස 02 ක් විතර සිහිය නැතුව ඉදල තියෙනවලූ. දැන් ස්නායු ආබාධයක් තියෙනවා. මාසෙකට රුපියල් 1800/- ක් විතර යනවා. අක්කයි නංගියි මමයි අම්මයි ඉන්නේ. මම ලෙඩෙක්. අක්කයි නංගියි මම ගැන වෙහෙසෙනවා. ඒ නිසා කව්රුවත් විවාහ වෙලා නැහැ. තාත්තගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන්නේ. අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපිගැන හොයල බලන්නෙත් නැහැ.

අනතුරෙන් දැඩිලෙස ආබාධිත තත්ත්වයට පත් වු තවත් අයෙක් වන්නේ එවකට අහුන්ගල්ල, පොල්අතුපළාත ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඞී උෂානි ඉමල්කා ද සිල්වා (46) මෙනවියයි. ඇය මේ වන විට සිය නැගණියගේ අහුන්ගල්ල, ගල්වෙහෙර නිවසේ ජීවත් වෙයි. ඇය සම්බන්ධයෙන් නැගණිය කිව්වේ මෙවන් කතාවකි.

පොඩි අක්කා, බළපිටිය රේවත ජාතික පාසැලේ ඉගෙන ගත්තේ. අනතුර සිදුවන විට 10 වන ශ්‍රේණියේ හිටියේ. අනතුරෙන් පොඩි අක්කගේ ඔලූව මොකක හරි වැදිල. දැන් හරියට සිහියක් නැහැ. පොඩි එකෙක් වගෙයි හැසිරෙන්නේ. කන්න දුන්නොත් කනවා. නැත්නම් ඔහේ ඉන්නවා. කොහේවත් එක්ක යන්න බැහැ. බස් දකින විට බයයි. කෑගහනවා. තාත්ත මැරෙන විටත් කිව්වේ පොඩි අක්ක හොදින් බලා ගන්න කියල. අපිත් දුප්පත්. පුළුවන් විදියට උදව් කරනවා. අනතුර නිසා අක්කගේ ජිවිතයම විනාශ වුණා. අපි ඉතින් පින් දහම් කරන ඊලග ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න කියල පින් දෙනවා. මේ ආත්මයේ අක්කගේ ජිවිතේ ඉවරයි. හොදට ඉගෙන ගත්තා. අනතුර නොවුනා නම් අක්ක අද කොහොම ඉදීවිද?

අහුන්ගල්ල, කටුවිල පදිංචි අගම්පොඩි භද්‍රාණි ද සොයිසා (49) හා අගම්පොඩි ස්වර්ණපාලි ද සොයිසා (43) අක්ක නගෝය. ස්වර්ණපාලී ඒ වන විට බළපිටිය රේවත ජාතික පාසැලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ස්වරණපාලී අනතුර සිදුවූ බස් රථයේ පාසැල ඇරී නිවසට පැමිණෙමින් සිටියාය. ඇයගේ මව වන ගීමුණි ලීලාවතී කවිරත්න මහත්මියත්, භද්‍රාණි සොයුරියත් වෙනත් අවශ්‍යතාවයකට අම්බලන්ගොඩ ගොස් ආපසු පැමිණෙමින් සිටියාය.අනතුරෙන් මව මියගිය අතර අක්ක නගෝ බරපතල තුවාල ලැබුවාය. ස්වර්ණපාලිගේ වම් පාදයයේ දණහිසින් පහල කොටස ඉවත් කර තිබේ. ඇය අදටත් ගත කරන්නේ දුක්කිත ජීවිතයකි. ඇය මෙසේ කීවාය.

මට වන්දි හැටියට රුපියල් 75,000/- දුන්නා. අනතුරින් පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඉස්සර දැන්වගේ මේ පාරේ බස් තිබුණේ නැහැ. කිහිලි කරුවෙන් හෝ රෝද පුටුවකින් පාසැල් යන්න බැරි නිසා පාසැල් ගමන නැවතුණා. අනතුරින් පස්සේ පාසැල් ගියේ නැහැ. ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුණෙත් නැහැ. ඉගෙන නොගත් එකේ පාඩුව දැන් තේරෙනව. මම ඒ කාලේ හොදට ඉගෙන ගත්තා. දැන් ඉතින් අපි ගැන කව්රුවත් හොයල බලන්නේ නැහැ. පත්තර වලට විතරයි මෙහෙමවත් අපි මතක් වෙන්නේ. අපිට ඒ කාලේ ගොඩක් උදව් කළේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ. වලගෙදර අමරවංශ හාමුදුරුවෝත් ගොඩාක් උදව් කළා. අර කෝච්චියේ පැටලිලා තිබෙන්නේ අපෙ අම්මගේ සාරියයි. අම්ම මතක් වෙන විට අදටත් විශාල කණගාටුවක් දැනෙනවා.

ලියනගේ ජානක පුෂ්ප කුමාර (42) අනතුරුන් බරපතල තුවාල ලැබූ අයෙකි. අහුන්ගල්ල, මරදානේ පදිංචි ඔහු මෙසේ කිය.

මම රේවත ජාතික පාසැලේ 08 වන ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. මම සාමාන්‍යයෙන් මේ බස් එකේ එන්නේ නැහැ. කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ල හන්දියෙන් බැහැල පයින් ගෙදර එන්නේ. එදාත් මම කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ලෙන් බැස්සා. හොදටම වහිනවා. වැස්ස පායනකම් බස් හෝල්ටි එකේ ඉන්න විට ඌරගහ බස් එක ආවා. ඉතිරි ටික දුර යන්නයි මේ බස් එකට නැග්ගේ. මට බරපතල තුවාල වුණා. ශරීරයේ වම් පැත්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. වම් අත, වම් කකුල කීප තැනකින් කැඩිල තිබුණා. වම් ඇහැටත් තුවාල වෙලා තිබුණා. දැනටත් වම් අත නවන්න දිග අරින්න බැහැ. බඬේ පපුවේ ලොකු ඔපරේෂන් දෙකක් කරල තිබෙනවා. ඉස්කෝල අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මාස 04 ක් විතර ගාල්ලේත් කොළඹත් ඉස්පිරිතාලවල හිටියා. දැන් ඉතින් වෙල්ඩින් වැඩ කරනවා. වැඩිම තුවාල වුණේ මටයි කියලයි කියන්නේ. අපි ගැන රජය සැලකිල්ලක් දක්වන්න  ඕනෑ.

අනතුරෙන් විපතට පත් වූවන් තවත් බොහෝය. මේ සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කරන්නේ නම් ඒ සදහා උදව් කල හැකිය. මියගිය අයද බොහෝය. දරුවන් අහිමි වීමෙන් අසරණ වූ දෙමාපියන්ද සිටිති. ගල්වෙහෙර උපුල්, නෙල්ලිගොඩ දුලීකා, චම්පා ද සොයිසා සහ නන්දනී ද සොයිසා දෙසොහොරියන්, සුනන්දලතා ද සිල්වා, සම්පත් සංජීව, නිරෝෂා කුමාරී, ප‍්‍රදීපා ද සිල්වා, රසිකලතා ද සිල්වා, මෙන්ම ආදම්බාවා අසානී උම්මා ගුරුවරියද මියගිය අය අතර සිටිති. අසානි උම්මා සමන්තුරේ තරුණියකි. ඇය බළපිටියේ අසාහිර් මොහොමඞ් ලෙබ්බේ හා පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගා ගන්නේ ඔවුන් 1974 දී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදිය. බළපිටිය මුස්ලිම් විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතව සිටි ඇය පාසැල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්විය.

මියගිය උපුල්ගේ මව එම් බී යසවතී (76) මහත්මිය අදටත් සිටින්නේ හැඩූ කඳුලිනි. එම අනතුරින් උපුල්ගේ ඥාති නැගණියක වන චින්තා ප‍්‍රියදර්ශණීද (එවකට 12) බරපතල තුවාල ලැබුවාය. මෙන්ම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යන්නට උපකාර කල අහුන්ගල්ල මිද්දරමුල්ලේ බන්දුසිරි (65) මෙන්ම බෝගහපිටියේ උපාලි ද සිල්වාගේ මතකයන්ද අති බිහිසුණුය. ඔවුන් ප‍්‍රකාශ කරන්නේ මියගිය හා තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන යන්නට මහත් කැපවීමකින් කටයුතු කල බවයි. මොවුන් පිළිබඳවද මතකය අවදි කරන්නේ අනතුරට වසර 29 ක් පිරෙන මොහොතේ අසරණ වූ පවුල් වලට යම් සාධාරණයක් ඉටු කිරිම සදහා බළධාරීන් අවදි කරන්නටය.

               

Advertiesment