Monday 19th of April 2021

English Tamil
Advertiesment


මෛත්‍රී පහ-හය කර ගන්න යන්නේ ඇයි?


2019-07-02 2061

2003 එවකට අගවිනිසුරු සරත් සිල්වා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් හරහා බෝම්බයක් පත්තු කළේය. චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇගේ නිල කාලයෙන් වසරක් අඩුකර ගත්තේ නැති බවත්, 1999 දිව්රුමට වසරකට පසු ඇය යළි තමා ඉදිරියේ දෙවැනි නිල කාලයට දිව්රුමක් ගත් බවත්ය.එම දිව්රුම ගත් දින ඡායා රූපය මාධ්‍යට නිකුත් කරමින් ඔහු කීවේ  චන්ද්‍රිකාගේ නිල කාලය අවසන් විය යුත්තේ 1999 දිවුරුමට අනුව නොව 2000 දිව්රුමට අනුව යැයි කියාය.1999 දිව්රුමට අනුව චන්ද්‍රිකාගේ නිල කාලය 2005 අවසන් විය යුතුය. 2000 දිව්රුමට අනුව අගේ නිල කාලය 2006යේ අවසන් විය යුතුය.සරත් සිල්වා  කිවේ  ඇයට 2006 තෙක් ජනාධිපති ධුරයේ සිටිය හැකි බවය. සරත් සිල්වා මේ බෝම්බය පත්තු කළේ එවකට බලයේ සිටි එජාප ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් එවකට ජනාධිපති චන්ද්‍රිකාගේ බලය දුර්වල වෙන හැටි දැක කම්පාවෙනි.චන්ද්‍රිකාගේ බලය දුර්වල වූව හොත් තමාටත් යන එන මං නැති වෙන බව සරත් සිල්වා දැන සිටියේය. මේ වන විටත්  රනිල්ගේ ආණ්ඩුව විසුරුවන්නට චන්ද්‍රිකා පිඹුරුපත් සකස් කරමින් සිටි අතර,එය කරවන්නට ඇය ශක්තිමත් කළ යුතු බව සරත් සිල්වා හිතන්නට ඇත. 2005 දී ඇගේ නිල කාලය අවසන් වූ හොත් 2004 වසර වන විට ඇය වසරකින් ගෙදර යන බල රහිත ජනාධිපතිවරයෙකු බවට පත් වි රනිල් ඊළගට ජනාධිපති වන බලවත් අගමැතිවරයෙකු බවට පත්වේ යැයි ඔහු ගණන් හදන්නට ඇත. කොහොම හරි සරත් සිල්වාගේ බෝම්බයෙන් චන්ද්‍රිකාට තටු ලැබිණි. ඇය ඒ හයියෙන් 2004 පාර්ලිමේන්තුව විසුරුවා හරියාය.2004 මහ මැතිවරණයෙන් ඇය ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තාය .

හැබැයි වැඩි කල් ගියේ නැත. ඇයත්, සරත් සිල්වාත් නොහොද නෝක්කාඩු වුහ. මේ දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය කළේ මහින්දය. එතකොට මහින්ද අගමැතිය. ඔහු ජනාධිපති වෙන්නට හින මවමින් සිටියේය. එත් සරත් සිල්වා 2003 පත්තු කළ බෝම්බයට අනුව මහින්දට 2006 තෙක් ඒ සදහා බලා සිටිය යුතුය. මහින්ද සරත් සිල්වා අල්ලා ගෙන එම බෝම්බය නිෂ්ක්‍රිය කරන්නට ගේමක් ගැහුවේය. ඔහු හෙළ උරුමය උසාවියට යැවුවේය. හෙළ උරුමය උසාවි ගියේ චන්ද්‍රිකාගේ දෙවැනි නිලකාලය අවසන් වන්නේ 2005 ද 2006 ද කියා අහන්නටය. මේ වෙන කොටත් එජාපය 2005 ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි කියමින්  දකුණේ සිට කොළඹට ජනබල මෙහෙයුමක් දියත් කොට තිබිණි . චන්ද්‍රිකාගේ සැලසුම යුයේ මහින්දව අගමැති ධුරයෙන් ඉවත් කොට වෙනත් අගමැති වරයෙකු පත් කොට 2006 දක්වා ජනාධිපති ධුරයේ ඉන්නට. මහින්දට 2005ට ජනාධිපතිවරණය ගන්න ඕන වුනේ චන්ද්‍රිකාගේ මේ ගේම් ප්ලෑන් එක පරද්දන්නටය. සරත් සිල්වා ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතු යැයි තීන්දුව දුන්නේය. චන්ද්‍රිකා හතර ගාතයෙන් වැටුණි. රනිල් හිතුවේ තමා දිනන කියාය. හැබැයි මහින්ද කොහොමහරි ජනාධිපතිවරණය දින ගත්තේය.සරත් සිල්වා තීන්දුව දුන්නෙත් මහින්දට දිනන්නටය.

දැන් ඔන්න මෛත්‍රිත් තමාගේ නිලකාලය අවසන් වන්නේ පහකින් ද, හයකින් ද කියා අධිකරණයෙන් විමසා තිබේ. සාමානයෙන් මෙරට විධායක ජනාධිපති ධුරයට පත් හැමෝම පළමු නිල කාලයෙන් වසර 6 සම්පුර්ණ වීමට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුහ. පළමු නිල කාලයෙන් වසර හතරකට පසු ජනාධිපතිවරණයකට යන්නට පුළුවන් වෙන විදිහට ව්‍යවස්ථාව වෙනස් කළේ ජේ .ආර් ය.හේතුව අන්තිම වසර තුළ තමන් සහ ආණ්ඩුව අප්‍රසාදයට  පත් වේය යන  බයය.

ප්‍රේමදාස සැලසුම් කොට තිබුණේ නිල කාලය අවසන් වීමට පෙර 1993 ජනධිපතිවරණයකට යන්නටය. චන්ද්‍රිකාත්  පළමු නිලකාලය අවසන් වීමට වසරක් තිබියෙදී ජනාධිපතිවරණයකට ගියේ අවසන් වසරේ රට ආරථික අර්බුදයකට යන බව දැන ගෙනය. මහින්ද 2010 ජනාධිපතිවරණයට ගියේත් නිල කාලය අවසන් වීමට වසරකට පෙරය. ඔහු බය වුයේ යුද ජයග්‍රහණය මිනිසුන්ට අමතක වේ යැයි කියාය. 2010  යළි ජනාධිපති වූ මහින්ද තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි ලෙස ව්‍යවස්ථාව  වෙනස් කර ගත් අතර, 2014දී දෙවැනි නිල කාලය අවසන් වීමට වසරකට පෙර ජනාධිපතිවරණයකට යා හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීය. හේතුව තෙවැනිවර ජනාධිපතිවරණයකට තරග කළ හැකි සේ ව්‍යවස්ථාව වෙනස් කර ගත්තාට දෙවැනි නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයකට යන්න පුළුවන්ද කියන එක ව්‍යවස්ථාවට  ඇතුළත් කර ගන්නට අමතක වූ නිසාය. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිවේ පුළුවන් කියා ය. මහින්දත් හදිසි ජනාධිපතිවරණයකට යන්නට සිතුවේ ළග එන ආර්ථික අර්බුදයට බයෙනි.

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ තමාට තව වසරක් ඉන්න පුළුවන්ද කියන එකය. හේතුව 19 ව්‍යවස්ථාවෙන් මෛත්‍රීගේ නිළ කාලය වසර පහකට සිමා කිරීමය. නිළ කාලය වසර 05කට සීමා කරන බව දිවුරුම් දී ජාතිය අමතා කිවේ මෛත්‍රිමය. එහෙත් දැන් මෛත්‍රීගේ හිත වෙනස් වි ඇත. මෛත්‍රී නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට හිතන්නට ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කොට නාම මාත්‍ර  ජනාධිපති වන්නට. පසුව ජනාධිපති වී  ශ්‍රීලනිප නායකත්වය ගත්තාට පසු යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නට මෛත්‍රීට වුවමනා වුයේ තමා ශ්‍රීලනිපයේ නායකයා ලෙස තරග කොට දිනා තම ආධාරකරුවන් ආරක්ෂා කරගත යුතු යැයි හිතලා විය හැකිය. ඒත් මෙවර පුංචි ඡන්දයට මහින්ද පිල එකතු කර ගන්නට බැරි වූ විට මෛත්‍රී හිතන්නට ඇත්තේ තමා ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්ද  අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු දමනු ඇතැයි කියාය. මේ පුංචි ඡන්දයෙන් තමාට දෙකවත් වෙන්න බැරි වුණොත් තමා දුර්වල වන බව ඔහු දනී. ඊටත් වඩා ඊළග ජනාධිපතිවරණය දිනන්නට බැරි නම් ජනාධිපතිවරයෙකුගේ නිල කාලයෙන් අවසන් වසර දෙක පැන්ෂන් ගිය පොලිස් කාරයෙකු මෙන් දුර්වල වසර දෙකකි. එම නිසා මේ වසර දෙකේ බලය ආරක්ෂා කර ගන්නට මෛත්‍රී වසර පහ, හය කර ගන්නට යනවා විය හැකිය. සමහර විට චන්ද්‍රිකා 2005 අවසන් වීමට නියමිත නිල කාලය 2006 දක්වා කල් දමා  ගෙන මහින්ද එළවා ගන්නට ගේම සැලසුම් කළා සේ මෛත්‍රීත් රනිල්ව එළවා ගන්නට ගේමක් ගහන්නට කාලය ගන්නවාද දන්නේ නැත.

නිල කාලය වසර 06ක් කර ගන්නට මෛත්‍රීට ලොකුම වූවමනාව වි ඇත්තේ තමා ජනාධිපති ධුරයේ සිටියදී මහ මැතිවරණයක් පැවැත්වීමය. නිල කාලය වසර 05ක් නම් කලින් එන්නේ ජනාධිපතිවරණයය. තමා ජනාධිපති ධූරයේ සිටියදී මහා මැතිවරණයක් පවත්වා මහින්ද පාර්ශවයත් එකතු කර ගෙන  ශ්‍රීලනිපය දිනවා තමන්ට අවශ්‍ය අගමැති කෙනෙකු පත් කර ගෙන ජනාධිපතිවරණයකට යන්නට මෛත්‍රී හිතනවා විය හැකිය.

එවිට මහින්ද කොන් වී  වෙනත් අපේක්ෂකයෙකු දමන්නට බැරි වේ යැයි ද රනිල් පරාජය වී එජාපයේ අර්බුද ඇති වී නායකත්වය වෙනස් වේ යැයි ඔහු හිතනවාද දන්නේ නැත. ඔහු වසර 06ක් ඉන්නට හදන්නේ රනිල්ට පාඩමක් උගන්වන්නටද මහින්දට පාඩමක් උගන්වන්නටද දන්නේ නැත. අනෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2015 දිවුරුම් දීමට අදාළ නොවේ නම් 2015 දිවුරුම දුන්  මෛත්‍රීගේ ධූර කාලයටද අදාළ නොවේ. ඒ කියන්නේ අගමැතිව ඉවත් කිරීමට ජනාධිපතිට ඇති නිල  බලය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය 19න් අවලංගු වී නැතැයි කාට  හෝ උසාවි යා හැකිය. මෛත්‍රීට ඕනෑ යළිත් 78 ව්‍යවස්ථාවේ  මෙන් අගමැති පත් කිරීමේ බලය සහ පාර්ලිමේන්තුව විසරවීමේ බලය සියතට ගන්නටද දන්නේ නැත . හොරාට කලින් මුට්ටිය දමන්නා සේ පහ, හය කර ගන්නට අහන්නේ ඒකද දන්නේ නැත .

  -උපුල් ජෝශප් ප්‍රනාන්දු-

(ජනයුගය)

Advertiesment