Saturday 20th of July 2019

English Tamil


ඉන්දු-චීන කම්කරුවන් 20,000ක් ශ්‍රී ලංකාවේ රැකියාවල..!


2019-02-26 1859

තවත් කම්කරුවන් ගෙන්වීමට ඕනැලු..!

විදේශික කම්කරුවන් පැය 12ක් එක දිගට වැඩ..!

මේ දිනවල කොළඹ ගාලු මුවදොර අවට ප්‍රදේශය එක ම වැඩබිමක් ලෙස හැඳින්විය හැකිය. ඒ, එම ප්‍රදේශය අවට සිදුවන විවිධ මහා පරිමාණයේ ඉදිකිරීම් හේතුවෙනි.

උදෑසන සහ සවස් කාලයේ සිය ගණන් චීන ජාතිකයන් බස් රථවලින් මෙම වැඩ බිම් කරා පැමිණෙන ආකාරය එම ප්‍රදේශයේ සුලභ දසුනකි.චීන ජාතිකයන් දෙස සැමගේ අවධානය යොමු වුව ද, මෙම ප්‍රදේශයේ කම්කරුවන් ලෙස කටයුතු කරන ඉන්දීය සහ බංගලාදේශ ජාතිකයන් ද සිය ගණනක් සිටිති.පෙනුමෙන් ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් සමාන නිසා ඔවුන් ගැන එතරම් අවධානයක් යොමු නොවේ.

PATHIRANA PRaDEEP

"චීන්නු පිරිලා අයියේ, මෙහෙම ගියොත් අපේ රටේ කෙනෙක්ට රස්සාවක් වත් නැති වෙයි," ගාලු මුවදොර ප්‍රදේශයේ ත්‍රීවීල් රථ රියැදුරෙකු චීන ජාතිකයන් ගැන විමසීමේදී දැක්වූයේ එවන් අදහසකි.

ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම රැකියාවල නිරත විදේශිකයින් වන්නේ, චීන ජාතිකයන් බව සාමාන්‍යයෙන් රට තුළ ඇති මතය වුවත්, ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම රැකියාවල නිරත වන්නේ ඉන්දීය ජාතිකයන්ය.

එසේම ලක්ෂයකට අධික විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වන බවට විවිධ මත පළ වුවත් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි ශ්‍රී ලංකාවේ මේවන විට රැකියාවල නියැළී සිටින්නේ, රටවල් 23ක පුද්ගලයන් 26,434 දෙනෙකු පමණි.

2019 පෙබරවාරි 15 වන දා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ රැකියා සම්බන්ධ නේවාසික වීසා - ප්‍රධාන රටවල් 5 ක තොරතුරු

BOI ව්‍යාපෘති පුද්ගලික අංශය රජයේ ව්‍යාපෘති එකතුව
ඉන්දියානුවන් 5405 4253 1093 10,754
චීන ජාතිකයන් 1648 3259 5391 10,298
බංග්ලාදේශ ජාතිකයින් 463 73 39 575
බ්‍රිතාන්‍ය ජාතිකයින් 272 262 39 573
කොරියානු ජාතිකයින් 258 89 151 498

මෙම නිල සංඛ්‍යා ලේඛනවලට වඩා නීති විරෝධීව ශ්‍රී ලංකාවේ සිටිමින් රැකියා කරන පිරිස් ඇති බවට හොඳ ම සාක්ෂිය වන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ම සිදුකරනු ලබන වැටලීම්වල තොරතුරු මගිනි.

ඉකුත් පෙබරවාරි 2 වන දා මතුගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊට පෙර සතියේ ඉංගිරිය ප්‍රදේශයේ ද කර්මාන්ත ශාලාවල එලෙස සේවය කරමින් සිටි 25 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ආගමන විගමන වීසා පාලක චමින්ද හෙට්ටිආරච්චි බීබීසි සිංහල සේවයට පැවසුවේ, නිරන්තරයෙන් තම දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය විසින් නීති විරෝධිව රැකියාවල නියැළෙන විදේශිකයන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ලබන බවය.

කෙසේ නමුත්, ලක්ෂයකට අධික විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වන බවට මාධ්‍යවල නිතර පළ වන මතය තම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීම සඳහා විදේශිකයන්ට වීසා ලබා දෙන්නේ අංශ 3ක් යටතේය:

    1. වාණිජ මණ්ඩලය හරහා කරන විදේශ අයෝජන ව්‍යාපෘතිවලට යම් සීමාවන් සහිතව එම ආයෝජකයන්ට වීසා සංඛ්‍යාවක් නිකුත් කරයි.

    1. රජයේ ව්‍යාපෘතිවල ඉදිකිරීම් සඳහා සම්බන්ධව සිටින විදේශ සමාගම්වලට ද එවැනි අවස්ථාවක් හිමි වේ.

  1. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියා සඳහා වීසා ලබා දීමක් ද සිදු කෙරේ.

පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා වීසා ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ එම සමාගමේ විෂය පථයට අදාළ අමාත්‍යංශ හරහා අවසර ගැනීම ද සිදුවිය යුතුය. බොහෝ විට එම අවසරය ලබා දෙන්නේ එම ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයන්ගේ හිඟයක් ඇති නම් පමණි.

දැනට ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක් විදේශිකයන් පැමිණ සිටින්නේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහාය.

PATHIRANA PRaDEEP

"මට ලංකාවේ රුපියල් 40,000 විතර ලැබෙනවා. ඊට අමතරව කෑමබීමයි ඉන්න තැනක් දීලා තියෙනවා," කොළඹ කොටුව ප්‍රදේශයේ ඉදිවෙන ඉන්දීය හෝටල් ව්‍යාපෘතියක සේවය කරන ඉන්දීය ජාතිකයෙකු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"වැඩ අමාරුයි තමයි, පැය 12ක් වැඩ. ඉරිදා විතරයි නිවාඩු ඒකත් සමහර සතිවල නැහැ, මොනව කරන්න ද මේ සල්ලි ටික තමයි ගෙදර යවන්නේ," ඔහු කියා සිටියේය.

මෙම ඉන්දීය ජාතිකයා සමග වැඩ බිමේ සිටි රණසිංහ ලෙස තමන් හැඳින්වූ ශ්‍රී ලාංකික කාර්මික ශිල්පියෙකු පැවසුවේ, කම්කරුවන් ලෙස මෙම ඉන්දීය ජාතිකයන් ගෙන්වා ගැනීම ශ්‍රී ලාංකික සේවකයන් යොදා ගැනීමට වඩා වාසිදායක බවය.

"මේ අය නිවාඩු ගන්නේ නැහැ, වෙලාවට වැඩට ගේනවා, ඊට පස්සේ ඉන්න තැනට ගිහින් දානවා. පැය 12ක් වුණත් ඔහේ වැඩ කරනවා. අපේ අය ආවොත් නිවාඩු ඉඳල වෙලාවට වැඩට එන එකේ ඉඳල ප්‍රශ්න. අනික ගමට ගියොත් එන්නේ සතියකින්. මේ ප්‍රශ්න මෙතන නැහැ ඒකයි මේ ආයතන ඒ රටවල කට්ටිය ම ගේන්නේ," ඔහු සඳහන් කළේය.

BBC

මෙවැනි වැඩ බිම් සඳහා ශ්‍රී ලංකික කම්කරුවන් සපයන නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන මොහමඩ් රිනොස් බීබීසි සිංහල සේවයට පැවසුවේ, ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ගැටලු ඇති බව තමන් පිළිගන්නා අතර ඊට විසඳුමක් ලෙස දිගින් දිගට ම විදේශවලින් කම්කරුවන් ආනයනය කිරීම නිසි විසඳුමක් නොවන බවය.

"පිළිගන්නවා අපේ අයගේ නිවාඩු, වැඩ කරන වෙලාව වගේ දේවල්වල ප්‍රශ්න තියෙනවා, නමුත් ඒකට විසඳුම මේ කිසි ම ක්‍රමවේදයක් නැතුව, කම්කරු නීති නැතුව පිටරටින් ගේන එක නෙවෙයි. දවසකට පැය 12ක් - 14ක් වහල්ලු වගේ මේ අයගෙන් වැඩ ගන්නවා. අපේ අය ඉතින් ඒකට එකඟ වෙන්නේ නැහැ.

"අපේ කම්කරුවන්ට මේ තැන්වල රැකියා නැත්තේ ඒකයි. මම දන්නවා මේ ෂැන්ග්‍රිලා හෝටල් ව්‍යාපෘතියේ වැඩ කරපු කම්කරුවෝ දැන් ත්‍රීවිල් දුවනවා. මෙතන හම්බ වෙන්නේ වැඩි ම වුණොත් දවසකට රුපියල් 1,500ක් විතර ඒක ලේසියෙන් ත්‍රිවිල් දුවලා හම්බ කරනවා."

කම්කරුවන් සූරාකෑම වෙනුවට නිසි ක්‍රමවේදයකට මේ තැන්වල රැකියා ලබා දුනහොත් ශ්‍රී ලාංකිකයන් මේ රැකියාවලට යොමු වනු ඇති බව මොහමඩ් රිනොස් කියා සිටියේය.

"චීන ජාතිකයන් ගත්ත ම ඔවුන් කෑම එකේ ඉඳල ගොඩක් ඒ රටෙන් ගේන්නේ. ඉතින් අපේ රටේ ආර්ථිකයට මේගොල්ලෝ මෙහෙ ඉන්න එකෙන් වැඩක් වෙනව ද කියන එක ප්‍රශ්නයක්," ඔහු කියා සිටියේය.

BBC

මේ අතර, ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ මෙම විෂය සම්බන්ධ පර්යේෂිකාවක ලෙස කටයුතු කරන බිලීෂා වීරරත්න බීබීසි සිංහල සේවයට පැවසුවේ, ශ්‍රී ලාංකිකයන් රට තුළ කම්කරු වැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරත වීමට දක්වන අඩු කැමැත්ත ද විදේශිකයන් එවැනි රැකියාවලට ගෙන ඒමට හේතු වී ඇති බවය.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ශ්‍රමිකයන්ගේ අඩුවක් තියෙනවා, කෙනෙක්ට කියන්න පුළුවන් රැකියා විරහිත අය ලංකාවේ ගොඩක් ඉන්නවා කියලා, නමුත් ප්‍රශ්නේ ඔවුන් ඉල්ලන රැකියා සහ මෙම තිබෙන රැකියා අතර තිබෙන නොගැළපීම," ඇය පැවසීය.

"අනික් කාරණය තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් ගෘහ සේවය හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරු රැකියාවක් ශ්‍රී ලංකාවේ කරන්න අකමැති වුණාට ඔවුන් ඒක පිටරට කරන්න කැමැත්තක් දක්වනවා, විශේෂයෙන් ම පවුල් පසුබිම, සංස්කෘතික ගැටලු එයට හේතු වෙන්න පුළුවන්."

බොහෝ විට ශ්‍රී ලංකාවේ රැකියා කරන ඉන්දීය, බංගලාදේශ සහ චීන ජාතිකයන් ලබන්නේ ඉතා අඩු වැටුපකි. එවැනි අඩු වැටුපකට රැකියා කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු කවරේ දැයි විමසු විට ඇය කියා සිටියේ, ඔවුන්ට තමන්ගේ රටවල ඊටත් වඩා අඩු පඩියක් හිමි වීම ඊට හේතුව විය හැකි බවය.

"හැම දෙයක් ම සාපේක්ෂව බලන්න ඕනේ, ඉන්දියාවේ කෙනෙක්ට ඒ රටේ ශ්‍රී ලංකාවේ මුදල් රුපියල් 300ක් නම් ලැබෙන්නේ, ඔහු දිනකට රුපියල් 600 පඩියට මෙහෙ එනවා, ශ්‍රී ලාංකිකයන් ඒ පඩියට වැඩ කරන්න සූදානම් නැහැ. මොක ද සාමානයෙන් ඔහුට දිනකට ඊට වඩා වැඩි වැටුපක් ඕනෑ ම ක්ෂේත්‍රයක හිමි වෙනවා."

BBC

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසන්නේ, කර්මාන්ත පවත්වාගෙන යාමට කම්කරුවන් නොමැති වීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවය.

Buddhika Pathirana/Facebook

"ගොඩක් කර්මාන්තවලට අද කම්කරුවෝ නැහැ, දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව අපි ගෙවන්නේ ලොකු පඩියක්, හැබැයි එන්න අය නැහැ. ආවත් වැඩි වෙලාවක් වැඩ කරන්නේ නැහැ, වැඩ නොකර ඉන්නවා. ඒ නිසා කර්මාන්තකරුවෝ අපෙන් ඉල්ලලා තියෙනවා විශේෂයෙන් බංගලාදේශය වගේ රටවලින් ශ්‍රමිකයන් ගේන්න," ඔහු සඳහන් කළේය.

"ලංකාවෙන් හොයා ගන්න ම බැරි නම් අපි උනන්දු කරනවා එහෙම ගේන්න මොකද කර්මාන්තය පවත්වාගෙන යන්න කර්මාන්තකරුට සහාය දෙන්න ඕනේ. අපි යෝජනා කරනවා බංගලාදේශයෙන් නැතුව අපිට විනාඩි 45කින් විතර ගුවනින් යන්න පුළුවන් ඉන්දියාවේ කේරළ වගේ ප්‍රදේශවලින් කම්කරුවන් ගේන්න. ඒ ගෙනාවා කියලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඒ වැඩේ විතරයි. මෙහෙ පදිංචි වෙන්න බැහැ. ආවා වැඩේ කරා, ඒ කාලෙට ගිවිසුම් ගත වුණා, ගියා," කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ කියා සිටියේය.

මෙලෙස විදේශයන්ගෙන් රැකියා සඳහා පුද්ගලයන් විශාල වශයෙන් ගෙන ඒමට පෙර ඒ සඳහා නිසි ප්‍රතිපත්ති සකස් කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂිකා බිලීෂා වීරරත්න අවධාරණය කළාය.

"දැනට මෙය එතරම් ගැටලුවක් වෙලා නැහැ. නමුත් අනාගතයේදී මෙම පිරිස වැඩි වීමේදී අපි අනිත් කරුණු ගැනත් සොයා බලන්න ඕනේ. ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිය මේ රට තුළට ගෙන ඒම සිදු වෙන්න පුළුවන්. කෑම බීම ඉඳලා ඔවුන්ගේ හැසිරීම දක්වා සියලු දේ රට තුළට එනවා. මේක ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයකට අපි සූදානම් විය යුතුයි. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් විය යුතුයි, නිසි මඟ පෙන්වීම් තිබිය යුතුයි," ඇය පැවසුවාය.

-BBC-

සිංහල සේවය