Friday 23rd of April 2021

English Tamil
Advertiesment


විදේශ මුදල් පොම්ප කරන පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය


2019-07-02 1898

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන ප‍්‍රමිති ගත විය යුතුය

වර්තමාන සම්මුතිවාදි රජය බලයට පත් වු දා සිට සිදු වන උද්ඝෝෂණ අතර “සයිටම්” අර්බුදයට වසරකට ආසන්න කාලයක් ගත වි ඇත. රජයේ වෛද්‍ය විද්‍යාලවල මෙන්ම “සයිටම්” ආයතනයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් විශාල පිරිසකට ගත වු වසරක පමණ කාලය තුළ අධ්‍යාපනය කඩාකප්පල් වි ඇත.

මීට මැදිගත් වි ඇති ප‍්‍රධාන පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතියකට දෙකකට වරක් වැඩ වර්ජනවලට යාම නිසා ප‍්‍රතිකාර සදහා රජයේ රෝහල්වලට පැමිණෙන විශාල පිරිසකට නිසි ප‍්‍රතිකාර නොලැබිමෙන් අපහසුතාවලට පත් වන අවස්ථා බොහොමයකි.

ඇතැම් විට නිසි ප‍්‍රතිකාර නොලැබුනු රෝගීන් අසාධ්‍ය තත්වයට පත්ව මිය යන්නට ද ඇත. වෛද්‍ය සිසු සිසුවියන්ගේ සහ දෙමව්පියන්ගේ කාලය ද  යම් තරමකට මේ සදහා කැප කර ඇත.

මේ සියලූ දේ සමග පොදුවේ මතු වන ගැටලුව අප රටේ තාරුණ්‍යයෙන් වැඩි පිරිසකට නිරපරාදේ සිය  වටිනා කාලය අපතේ හැරීමට සිදු වීමයි. “සයිටම්” විරෝධතාවයේ මුලික ගැටලුව වුයේ නිසි ප‍්‍රමිතියකින් තොරව ආයතනය පවත්වා ගැනිම සහ අවම සුදුසුකම් නොමැති පිරිසක් මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබීමය. මෙම ගැටලුවට විවිධ දේශපාලන බලවේග සිය  දේශපාලන අරමුණු වෙනුවෙන් පෙළ ගැසීම හේතුවෙන්  ගැටලුව විසදීමට ප‍්‍රමාද වූ බව අපගේ විශ්වාසයයි.

නිදහස ලැබීමෙන් පසු රටේ තරුණ පරපුර සිය  අයිතින් වෙනුවෙන් සටන් මගට පිවිසි මුල්ම අවස්ථාව 1971 දි අප විසින් අත්විද ඇත. 1988, 99 කාල වකවානුවත් මීට වඩා වෙනස් මුහුණු වරකින් 1976 සිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල තරුණ නැගිටීමත් සිදුවිය.

මේ සෑම අවස්ථාවකදීම රටට අවශ්‍ය තරුණ ජීවිත රටට අහිමි විය. රටේ දේශපාලන ඉදිරි ගමන සදහා නායකත්වය දිය හැකි විශාල පිරිසක් ද රටට අහිමි විය. වර්තමානයේ ඇතැම් ගැටලු ඔස්සේ රටේ තරුණ ජිවිත බිල්ලට දි හෝ තම දේශපාලන අරමුණු  කරා යාමට උත්සාහ දරන කුහක දේශපාලඥයින් නිසා රටේ මතුවන ගැටලුවලට සාධාරණ විසදුම් ලබා ගැනිම අසීරු කරුණක් වී ඇත.

වර්තමානයේ රටේ තරුණ පිරිස මුහුණ දි සිටින ප‍්‍රධාන ගැටලුවක් වන්නේ උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර ගැනිමට ඇති අයිතිය අහිමිවීමයි. උසස් අධ්‍යාපනයට යොමු වන සීමිත පිරිසට හෝ සිය  අධ්‍යාපනයට සුදුසු රැකියාවක් ලබා ගැනිමට දේශපාලකයා පසුපස යාමට සිදුව ඇත.

වර්තමානයේ උසස් අධ්‍යාපන කඩ ඉම සදහා වසරකට උසස් පෙළට පෙනි සිටින සිසුන් ප‍්‍රමාණය දළ වශයෙන් ලක්ෂ දෙකහමාරක් පමණ වන අතර උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන ප‍්‍රමාණය එක්ලක්ෂ පනස් දහසකට ආසන්න වෙයි.

රජයේ විශ්ව විද්‍යාලවල හෝ උසස් අධ්‍යාපන  ආයතනවලට ඉඩකඩ සීමිත බැවින් වසරකට බදවා ගන්නා ප‍්‍රමාණය විසි හත් දහසක් පමණ වෙයි. මේ ප්‍රමාණය  ප‍්‍රතිශතයක් වශයෙන් ගත හොත් සමත් වන ප‍්‍රමාණයෙන් 18% පමණ වෙයි. ආසන්න වශයෙන් 20% ගත හොත් 80% පමණ ප‍්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු විමට නොහැකිව විවිධ අංශවලට යොමු වෙයි.

මේ පිරිස වෙනුවෙන් හඬ  නගන සංවිධාන හෝ දේශපාලන පක්ෂ නැති තරම්ය. සයිටම් අර්බුදයේ දි වැඩි නැඹුරුව දැක් වූයේ ප‍්‍රමිතගත අධ්‍යාපනය මිස බහුතරයක අධ්‍යාපන අවස්ථා ආරක්ෂා කර දිම නොවේ. ප‍්‍රමිතිය සකස් කිරිම රජයේ වගකීමකි. ඒ සදහා සුදුසු නියාමනයක් සකස් කර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතුය.

 රටේ අනාගතය පිළිබදව වැඩි වගකීම් පැවරෙන වත්මන් තරුණ පරපුරේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ තරුණ පිරිස් අධ්‍යාපනයෙන් සවිමත් කිරිම සඳහා  හෝ විශේෂ ක‍්‍රමවේදයක් දැනට හදුන්වා දි නොමැති බව පෙනි යයි. මේ නිසාම විවිධ වර්ගයේ අධ්‍යාපන ආයතන විවිධ නම්වලින් රට පුරා ස්ථාපිත වී ඇත. රටට අත්‍යවශ්‍ය අංගයක් වන අධ්‍යාපනයට මීට වඩා අවධානය යොමු කිරිම වර්තමානයේ හෝ ආරම්භ කළ යුතුය.

ඉහතින් සදහන් කළ පරිදි උසස් අධ්‍යාපන වරම් අහිමි වන පිරිසට අධ්‍යාපන අවස්ථා ලබා දිම රජයේ වගකීමකි. වෛද්‍ය අංශය ගත හොත් මේ සදහා අලුතින් වෛද්‍ය විද්‍යාල ඇති කළ යුතුය.එහෙත් වර්තමාන යථාර්ථය දෙස බැලුවහොත් 100% ක මැදිහත්වීම රජයෙන් අපේක්ෂා කළ නොහැක. 1978 සිට රටේ ක‍්‍රියාත්මක වන විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ උසස් අධ්‍යාපන අවස්ථා සදහා මැදිහත්විමට පෞද්ගලික අංශයට ඉඩකඩ ලබා දි ඇත.

එහෙත් වෛද්‍ය අංශය හැර අනෙකුත් අංශවල එවැනි ආයතන ආරම්භ වි ඇත. 1980 දශකයේ ආරම්භ කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ද එදා  මෙවැනිම උද්ඝෝෂණ ඇති විම හේතුවෙන් රජයට පවරා ගැනිමට සිදු විය.

එදා එම තීන්දුව නොගත්තේ නම් අද වන විට රජ්‍ය අංශය මෙන්ම ප‍්‍රමිතිගත උසස් තත්වයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් වර්තමානය වන විට අප රටේ ඇති වෙන්නට ඉඩ තිබුණි.

එදා සිදු කළ ඒ වැරදි සටන් තීරණය නිසා අද වන විට වෛද්‍ය අධ්‍යාපනය ලැබිමට සුදුසුකම් ලබන විශාල පිරිසක් විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනයට යොමු වෙමින් සිටිති. මේ පිරිස රටේ ධනපති දෙමව්පියන්ගේම දරුවන් නොවේ. රාජ්‍ය සේවයේ යෙදෙන මධ්‍යම පන්තික දෙමව්පියන් සිය  දේපල රජයේ  හෝ පෞද්ගලික බැංකුවලට උකස් කර දරු දැරියන්  විදේශවලට යවා ඇත.

රටේ  මේ සදහා පහසුකම් තිබුණේ නම් වසරකට විදේශ විනිමය වශයෙන් පිට රටට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව තිබුණි. වර්තමානයේ ලෝකයේ රටවල්  අධ්‍යාපනය  විදේශ වත්කම් රැස් කිරිමේ මාධ්‍යයක් බවටද පත් කර ගෙන ඇත.

අප රටේත් එවැනි ප‍්‍රමිතිගත ආයතන තිබුණේ නම් විදේශිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මේ ආයතනවලට යොමු වනු ඇත. පටු දේශපාලන ආකල්ප හෝ සිය  ක්ෂේත‍්‍රයේ ඒකාධිකාරය පවත්වා ගෙන යාම සදහා පමණක් අරමුණු කර ගනිමින් මෙවැනි ගැටලු දෙස බැලීම සාධාරණ නොවේ.

මේ සදහා සුභවාදි ප‍්‍රවේශයකට එළඹෙමින් මහින්ද රාජපක්ෂ  රජය විසින් “සයිටම්” ආයතනය පිහිටුවීමට අවශ්‍ය පහසුකම් ලබා දිම පැසසිය යුතු කරුණකි. වසර ගණනාවකින් පසුව අවසන් වසර සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීමට සුදානම් වන විට ඒ ප‍්‍රමිතිය හෝ පහසුකම් පිළිබදව සොයා බැලිම විහිඵවට කරුණකි.

වෛද්‍ය අධ්‍යාපනය නිසි ප‍්‍රමිතියක් සදහා සත්‍ය ලෙසම උනන්දු වේ නම් ඒ පිළිබදව මග පෙන්වීම් සහ නියාමනයන් සිදු කළ යුතුව තිබුණේ මීට වසර කිහිපයකට පෙරය. දරුවා ලැබීමට අවශ්‍ය වින්නඹුකම කර දරුවා ලැබුණු පසු ඔහුව නොසලකා හැර  මරා දැමීම ශිෂ්ඨ සාමාජයකට ඔබින ක්‍රියාවක්  නොවේ.

මේ පිළිබදව උනන්දු වන පිරිස් කළ යුතුව තිබුණේ උසස් අධ්‍යාපනයට යොමු වන තරුණ තරුණියන්ට  ඒ සදහා අවස්ථාව ලබා දි උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව වැඩි කිරිමත් ඒවා නිසි නියාමනයකට ලක් කළ හැකි ආයතන බල ගැන්වීමට රජයට බල කිරිමත්ය.

වසර ගණනාවකින් සිය  පත්වීම් ප‍්‍රමාද වන විට අධ්‍යාපනය අඩාල වන විට ඒ ගැටලුවලට මුහුණ දිය යුත්තේ ද ,තරුණ වයස අකාලයේ වියැකීමට ඉඩ දි කල් මැරීමෙන්  සිදු වන හානිය අත් විදිය යුත්තේ ද මේ   ශිෂ්‍ය ප‍්‍රජාවමය.

මේ ප්‍රශ්නවලට විසදුම් ලබා දිමට සටනේ සිටින එකම සංවිධානයක්වත් මැදිහත් නොවන බව නිදහසින් පසු මේ රටේ සිදු වු වෘත්තීය අරගලවල ඉතිහාසය දෙස බැලිමෙන් පැහැදිලි වන කරුණකි.

ඉතිහාසයේ වැරදි  නිවැරදි  කර ගැනීමට එළඹෙන සෑම අවස්ථාවකදීම ක්‍රියා කළ  යුතුය. රටේ ආර්ථික සංවර්ධනය සදහා පෞද්ගලික ආයෝජකයන් සදහා රජය ආරාධනය කරයි. රජය විසින්ම රටක් දියුණු කිරිමට හැකියාව නොමැති නම් විදේශ ආයෝජන හෝ දේශිය පෞද්ගලික ආයෝජන ලබා ගැනිමට සිදු වෙයි. රජයම පවසන පරිදි විශාල ණය බරකට සිර වි සිටින රටකට පෞද්ගලික ආයෝජන දිරි ගැන්වීම සදහා සුදුසු වතාවරණයක් ඇති කළ යුතුය.

පෞද්ගලික ආයෝජන කළ ව්‍යාපාර යම් මට්ටමකට ගොඩ නැගුණු පසු ඒවා අහෝසි කිරිම හෝ රජයට පවරා ගැනිමට බලපෑම් කරන්නේ නම් එවැනි රටක ආයෝජන සදහා අයෝජකයන්ට දෙවරක් සිතන්නට සිදු වෙයි. එවැනි තත්වයන් තව දුරටත් වර්ධනය වන්නට ඉඩ නොදි සිය  පෞද්ගලික න්‍යාය පත‍්‍ර හෝ දේශපාලන අරමුණු පසෙක තබා  රට සංවර්ධනය කිරිම සදහා සියලු අංශ ඒකරාශි කිරිම යුගයේ අවශ්‍යතාවයකි.

(සෝමදාස කන්දෙගේ)

   

Advertiesment