Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


පොල් මිල දැක්කාම එළොව පොල් පෙනෙන්නේ අයි?


2019-07-02 3010

“පොල් ගස වනා හි තාල වර්ගයට අයත් ගසකි. ලූණු මිශ‍්‍ර වැලි පසේ පොල් ගස සරුවට වැඬේ. අපේ ප‍්‍රධාන අපනයන භෝගයන් වන්නේ තේ, පොල්, රබර් ය.”

 මේ මීට වසර 40 ට 50 කට  පෙර  පාසලේ පන්ති කාමරයේදි සිංහල රචනාවක් ලියන්නට අපට කියා දුන් හැටිය. ඒ කතාව මගේ මතකයට ආවේ මේ දවස්වල දේශපාලන වේදිකාවේද පොල් ගැන නිතර කතාබහ වන බැවිනි.

1977 මැතිවරණ වේදිකාවේ එවකට විපක්ෂයේ සිටි අය පොල් බෑයක් ගෙන ගියේ පොල් මිල ගැන කියන්නටය. අද බෑය වෙනුවට පොල් ගෙඩියේ තරම පුවක් ගෙඩියකට සමාන කරති. මිල රුපියල් එකසීය විස්සද ඉක්මවා ගිය බව කියවේ.

මීට වසර 50 කට පෙර ප‍්‍රධාන අපනයන වෙළද භාණ්ඩයක් වු පොල් අද වනවිට ආනයන භාණ්ඩයක් බවට පත් වෙමින් ඇත. මෙහෙම ගියොත් තවත් ටික කලක් යන විට එදා අපේ ප‍්‍රධාන අපනයනය වු තේ ටික ද පිට රටින් ගෙන්වන්නට සිදුවනු ඇත.

දේශපාලකයන් පුරසාරම් දෙසුවත් රට කරවන්නට ගිය විට ජනතාවට බලපාන ප‍්‍රශ්න පිළිබදව අවබෝධයෙන් කටයුතු නොකිරිම නිසා මේ අභාග්‍යයට මුහුණ දෙන්නට සිදුව ඇත.

නිදහස් ශ්‍රී  ලංකාවේ මුල්ම අගමැතිවරයා වු ඩි.එස්. සේනානායක මැතිතුමා රට කෘෂිකර්මයෙන් දියුණු කිරිමට කටයුතු කළේ විදේශවලට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනිමේ දුරදක්නා නුවණිනි. එදා රට, වී වගාව ප‍්‍රමුඛ ආර්ථික බෝගයන්ගෙන් ස්වයං පෝෂිත විය.

අද සහල් ටිකත් රටින් ගෙන ඒමට සිදුව ඇත. පසුගියදා රටට ලැබිය යුතු තෙල් නැවක ප‍්‍රමාදයෙන් දවස් කිහිපයක් රට අකර්මන්‍ය වන තත්වයට පත් විය. මෙහෙම ගිහින් හාල් නැව් ටිකත් පරක්කු වුණ දවසට රටම හාමතේ තැබෙනු ඇත.

තාක්ෂණික, කාර්මික අංශ දියුණු වන විට අනෙක් අංශ අමතක වී ඇත. පොල් වගාව ගැන පසුගිය කාලයේ ඇමතිවරු රජ කතා දේශනා කළහ. අලූතින් පොල් වගා ආරම්භ කළ බව කීහ.

යථාර්ථය එය නොවේ. අපේ රට විදේශ වෙළද ආධිපත්‍යයට නතු වූ  වු රටකි. එහෙම වෙන කොට දේශිය නිෂ්පාදන වැඩි දියුණු වෙයි ද? ඒ කාලයේ බිබිලේ දොඩම්වලින් රටම ස්වයං පෝෂිත විය. හදුනා නොගත් රෝගයකින් එය විනාශ මුඛයට ගියේය.

පොල් වගාවට ද පසුගිය කාලයේ කෘමි හානියක් සිදු විය. ප‍්‍රතිකර්මය වුයේ දහස් ගණන් පොල් ගස් කපා විනාශ කර දැමීමය. අනෙක් රෝගය මීටත් වඩා දරුණුය. විශාල පොල් ඉඩම් කැබලි කර ඉඩම සංවර්ධනය කිරිමට ගස් ටික කපා පර්චස් ගණනින් වෙන්දේසි කිරිමය. මේ ප්‍රශ්නයෙන්  ගැලවෙන්නට විකල්ප ක‍්‍රමවේදයක් තවමත් කල්පනා කර නැත.

පොල් වගාව වෙනුවෙන් සංස්ථා, දෙපාර්තමේන්තු සහ  නිළධාරින් පොල් ගස් ගණනටත් වඩා සිටිති. රාජකාරියට වඩා වැඩි වැඩ පිළිවෙළක් පෙනෙන්නට නැත. මහ ජනතාවට මෙම ආයතන නඩත්තු කරන ගමන් ඉහළ යන පොල් මිලද දරන්නට සිදුව ඇත.

පොල් ටිකත් පිටරටින් ගෙනෙන එක ගොඩාක් අයට වාසිය. කොමිස් ගැහිල්ල සහ  පගා ගැහිල්ල සමග අතිරේක ලාභයක් ලෙස පොල් පට වන විට කුඩු ටිකකුත් පටවා ගෙන පැමිණිය හැකි බැවිනි.

මේ වෙළද මාෆියාව දුෂණය, වංචාව අවම කළ හොත් දේශිය නිෂ්පාදන ඉහළ නංවා ගත හැකි අතර භාණ්ඩ මිලද සාධාරණ මට්ටමින් පවත්වා ගෙන යාමට හැකි වනු ඇත.

මහ ජනයාට අයත් අක්කර දහස් ගණනක් මේ රටේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට බදු දි ඇත. එවායේ වටිනා ගස් ටික කපා දමා රටට අහිතකර කටුපොල් වගාව ව්‍යාප්ත කරමින් සිටිති.

රටට ප‍්‍රයෝජනවත් පොල් ගස් වගාවටත් තේ සහ  රබර් වගා කළ නොහැකි ඉඩම්වල දේශිය ආහාර බෝග, පළතුරු සහ  අපනයන බෝග වගාවටත් උනන්දු කළ යුතුය.

රටේ තිබෙන ස්භාවික වනාන්තර විනාශ කර පරිසරයට අහිතකර පයිනස්, ඇකේෂියා, ටර්පන්ටයින් වැනි වගාවන් සිදු නොකර කොස් දෙල් පොල් පුවක් වැනි දේශිය වගාවන් සිදු කළ හොත් අනාගතේ දවසක නැව ප‍්‍රමාද වුවත් ජනතාවට කුස ගින්නේ සිටිමට සිදු නොවුනු ඇත.

“ඉස්සර සීයලා අඹ ඇට සිට වුයේ ඔවුන්ට කන්නට නොව අනාගතේ හැදෙන පරපුරට කන්නටය. අද අප කරන්නේ හෙට ගැන නොව අද ගැන පමණක් සිතමින් තිබෙන ටික කාදමන එකය.”

අද වැඩි දෙනෙක් කොස් දෙල් පොල් වගාවට වඩා අගවුට් හෙවත් වල්ලපට්ටා වගාකරන්නට උනන්දු වෙයි. ඒ ඉක්මනින් සල්ලි හොයා ගන්නටය. මෙහෙම ගියොත් අපට වන්නේ රටට අවේනික ගහ කොළ සතා සිව්පාවන් ඇළ දොළ ගංගා විනාශ වි ගොස් හාමතේ සිටින ජාතියක් බවට පත් වන්නටය. එදාට ඔය පුරසාරම්  දොඩන වැඩි දෙනෙකුට කතා කරන්නට දෙයක් ඉතුරු නොවුනු ඇත.

 

(සෝමදාස කන්දෙගේ)

 

Advertiesment