(නිලන්ති මානෙල්)
කොළඹ 07 ශ්‍රී බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මඟින් ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ සහයෝගය ඇතිව වාර්ෂිකව සංවිධානය කරන කතරගම පුණ්‍ය අනුමෝදනා මහා පිංකම් මාලාව, 59 වෙනි වතාවටත් අනිද්දා (26) මුළු දවස පුරා කතරගම කිරි වෙහෙර බෝ සමිඳුන් අසල පිහිටි පිරිත් මණ්ඩප ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අපවත් වී වදාළ අති පුජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නා හිමියන් විසින් විසින් මීට වසර 58 කට පෙර ආරම්භ කරනු ලැබූ මේ වාර්ෂික මහා පිංකම් මාලාව එදා මෙදා තුර ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ මඟින් කතරගමදී නොකඩවා සංවිධානය කරන බව එම පෙරමුණේ ගිහි අනුශාසක සුදත් දේවපුර මහතා පැවසීය .
ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මිරිහානේ නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත සංවිධානය කෙරෙන මෙම පිංකම් මාලාව ආවරණය කරමින් හෙට (25) හිමි දිරි උදෑසන බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයෙන් ගමන් අරඹන ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ සැදැහැවතුන් සියලු දෙනා බෙල්ලන්විල විහාරස්තානයේදී සිල්සමාදම් වී අනතුරුව කළුතර බෝ සමිඳුන්, දෙව්නුවර පුජා භුමිය සහ තිස්ස මහාරාම චෛත්‍ය වහන්සේ වැඳ පුදා ගනිමින් සවස් යාමයේ කතරගමට ළඟා වෙති.
කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ සුමදුර ධර්ම දේශනයක් අනිද්දා (26) පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර එදිනම සවස පැවැත්වෙන විශේෂ පෙරහැර කිරිවෙහෙර දක්වා ගමන් කිරීමට නියමිතය. ඊට සමගාමීව කතරගම අෂ්ඨපල බෝ සමිඳුන් අභියසදී විශේෂ බුද්ධ පූජාමය පිංකමක් පැවැත්වෙන අතර ඊට ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රම වාසි ස්වාමීන්වහන්සේලා සිය නමක් වැඩම කරති.
මෙදින රාත්‍රියේ සර්ව රාතී‍්‍රක පිරිත් සජ්ජායනාවක් පැවැත්වෙන අතර පසුදා උදෑසන (27) කිරිවෙහෙර වහන්සේ වෙත කිරිපිඩු පූජාවක් පවත්වා සවස රත්නපුර සමන් දේවාලයේ පැවැත්වෙන පුණ්‍ය අනුමෝදනාවෙන් පිංකම් මාලාව අවසන් වේ.
ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ මහා සභාවාරය මේ අතරතුරම එනම් අනිද්දා (26) පස්වරු 1.00 ට පැවැත්වෙන අතර 2018 ජනවාරි මාසයේදී පැවැත්වෙන සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණයේ දී එහි සභාපති ධූරයට තරඟ වදින සුදත් දේවපුර මහතාට ආශීර්වාද කිරීම ද මේ මහා පුණ්‍ය කර්මයේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම පිංකම් මාලාවට සමගාමීව 2018 ජනවාරි පළමු වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රම භූමියේදී මරණයෙන් මුදවා ගත් කිරි ගවයින් සියයකට වැඩි ප්‍රමාණයකට අභය දානය ලබා දීමේ පිංකමද සිදු කෙරේ.
Lanka Newsweek © 2021