Wednesday 18th of September 2019

English Tamil


රනිල්-සජිත් සාකච්ඡා සාමකාමියි..! හැබැයි අවසන් විසදුමක් නැහැ..!


2019-09-11 8628

"මලික් කබීර් බලහත්කාරයෙන් සාකච්ඡාවට කඩා පැනලා..!

 

එජාපෙ නායකයින්ගේ සහය රැගෙන එන්නැයි රනිල් සජිත්ට කියලා..!

 

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අඟහරුවාදා (10) රාත්‍රියේ පැවති තීරණාත්මක සාකච්ඡාව සාර්ථකව සහ සාමකාමිව පැවති නමුත් අවසන් විසදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමාට අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස  මහතා මේ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ තරයේ සහ ඍජුව ප්‍රකාශ කර තිබෙන අතර ඔහුගේ එම ස්ථාවරය වෙනුවෙන් දැඩි ලෙස කරුණු දක්වමින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතාය.

සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දැනුම් දි තිබෙන්නේ එවැනි අවශ්‍යතාවයක් තිබෙනවා නම් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු පාර්ශවයන් සමග සකච්ඡා කර ඒ අයගේ ස්ථාවරයත් දැන ගෙන ඒ බව තමාට දැනුම් දෙන ලෙසය. එවිට මේ කාරණය සම්බන්ධයෙන් දේශපාලනික සහ සාර්ථක අවසන් විසදුමක් ගත හැකි බව පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාට අවශ්‍ය කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ ජයග්‍රහණය කර වීම යැයි තරයේ අවධාරණය කර ඇත. 

මේ සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් යැයි කියමින් මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් පැමිණ සිටි නමුත් ඒ අය එසේ පැමිණ ඇත්තේ කිසිදු ආරාධනයකින් තොරව බලහත්කාරයෙනි.මේ සාකච්ඡාවට පැමිණීමට පෙර මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී මේ කරුණු කාරණාවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාට මුහුණ දිය යුතු සහ ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කර ඇත. 

මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් අනාරාධිතව මෙසේ පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භයේදීම  සිය විරෝධය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා මේ සාකච්ඡාවට ආරාධනා කළේ දොස්තර රාජිත සේනාරත්න මහතාට පමණක් බව ද  තමා ඔහුට එසේ ආරාධනා කළේ මේ උද්ගත වී තිබෙන තත්ත්වය දේශපාලනිකව තේරුම් ගෙන ඊට දේශපාලනික වශයෙන් සාර්ථක සහ ජයග්‍රාහි විසදුමක් යෝජනා කිරීමේ  හැකියාව ඔහුට තිබෙන නිසා බව ද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ස්ථාවරය පිළිගනිමින් සහ අනුමත කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ද උද්ගත් වී තිබෙන තත්ත්වය සකච්ඡා මාර්ගයෙන් විසදා ගනිමින් සාර්ථක සහ ජයග්‍රාහි විසදුමකට අවතීරණය වීම සඳහා දොස්තර රාජිත සේනාරත්න මහතාගේ භූමිකාව වැදගත් බවය. 

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මේ අවස්ථාවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය උපදේශක දිනෙෂ් වීරක්කොඩි මහතා ද එක්ව සිටි අතර එක්සත් ජාතික පෙරමුණ මැදිහත් වී ගොඩ නැගීමට යන නව සහ පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් ද එහි දී කරුණු සකච්ඡා කෙරිණ. මේ පුළුල් සන්ධානයෙන් තොරව දේශපාලන ජයග්‍රහණයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා එහි දී අවධාරණය කළ අතර සියලු දෙනා ඔහුගේ එම ස්ථාවරය පිළිගත්හ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරමින් සාර්ථක අවසන් විසදුමකට පැමිණීම සඳහා කෙරෙන තවත් විශේෂ සාකච්ඡාවක් බදාදා (11) දහවල් පැවැත් වෙන අතර  එම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී සිදු කෙරේ.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් දොස්තර රාජිත සේනාරත්න මහතා මේ සාකච්ඡාවට එක් වන අතර සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරු ඊට එක් වෙති.