Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


සෙල්ලං ගෙවල් හදන සජිත්..!


2019-09-12 2831

(නිමල් අබේසිංහ) 

කැලයේ තිබුණ බෙරයක් දුටු නරියකු මහත් වෙර වෑයමින් එහි හම හපා කෑමෙන් පසුව බෙරකඳ තුළ ඇත්තේ කුහරයක් පමණක් බව දැක “සද්දෙ තිබුණට ඇතුළේ මොකවත් නැහැ”යි කියූ කතාවක් ජනවහරේ වෙයි.

මේ කතාව නැවත සිහිපත් වූයේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘති දෙස දකිද්දීය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිපුරම උදාගම් ඉදිකර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය ආසනය වන තිස්සමහාරාමයේය. ඊට අමතරව හාවා හඳ දකින්නා සේ රටේ වෙනත් ප්‍රදේශවලද ඉඳහිට උදාගමක් ඉදිකරයි. පුවත්පත්හි පළවූ සංඛ්‍යා ලේඛන අනුව 2019 අගෝස්තු 26 වැනිදා වනවිට ඉදිකර ඇති උදාගම්මාන ප්‍රමාණය 278කි. (දිවයින පුවත්පතේ දැන්වීමට අනුව) මේවායින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති උදාගම් ප්‍රමාණය 303කි. විවෘත කර ඇති සංඛ්‍යාව 76කි. එසේ ඉදිකළ උදාගම්මාන එකම ආසන්නයේ ඉදිකර තිබීමද විශේෂ ලක්ෂණයකි. හම්බන්තොට දොදොල් කඩය ඉදිරිපිට උදාගම්මාන පුවරු පහක් එක ළඟම තිබේ. හම්බන්තොට මිරිජ්ජවිල අඩි සීය පාර දෙපස තැනින්තැන එවැනි පුවරු විස්සකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනු දැකිය හැකිය. ඒවායින් එක ළඟම උදාගම් හතරක පුවරු දකින්නට තිබේ.

වැඩ හම්බන්තොට හඬ රට පුරාම

මේ සෑම උදාගමක්ම විවෘත කරද්දී ශ්‍රී ලංකාව පුරාම දැන්වීම් ඇලවීම සහ පුවත්පත්වල පිටු ගණන් පුරා දැන්වීම් ප්‍රසිද්ධ කිරීමද අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පිළිවෙතයි. ගෙවල් විස්සක තිහක උදාගමක් විවෘත කිරීමට ඔහු ලංකාව පුරා දැන්වීම් අලවා ප්‍රසිද්ධ කරයි. එයට අමතරව පුවත්පත්වල දැන්වීම්ද පළකරයි. ඔහු එසේ කරන විට නිවාස වැඩසටහන්හි සැබෑ කතාව දන්නා අයකුට සිහිපත් වනුයේ ජනවහරේ එන ඉහත සඳහන් නරියාගේ කතාවය.

වර්ෂ 2015 සිට 2018 දක්වා සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යාංශයෙන් හම්බන්තොට ඉදිකර ඇති ව්‍යාපෘති ප්‍රමාණය 92කි. මේ ව්‍යාපෘති සඳහා වැයවී ඇති ප්‍රචාරක වියදම රුපියල් පහළොස් කෝටි අටලක්ෂ විසිපන්දහස ඉක්මවා ඇත. මේ සා විශාල ප්‍රචාරක වියදමක් දරනුයේ කුමක් සඳහාද..? ඔහුගේ ප්‍රතිරූපය නංවාගනු පිණිස හැර වෙන කිසිවක් සඳහා නොවේ. එහෙත් මේ මුදල් ඔහුගේ අතින් පයින් වියපැහැදම් කරන ඒවා නම් නොවේ. මේ ජනතාවගේ බදු මුදල්ය. නැතහොත් ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසියම් ජාත්‍යන්තර ආයතනයකින් රට උගසට තබා ගිනි පොලියට ලබාගන්නා මුදල්ය.

ප්‍රචාරක වියදම සඳහා වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 1508ක් සේ සැලකුවහොත් එයින් ඉදිකළ හැකි නිවාස සංඛ්‍යාව කොපමණද? උදා ගම්මානයක නිවාස ප්‍රතිලාභියකුට ලබාදෙන නිවාස ණය ප්‍රමාණය ලක්ෂ පහක් යැයි කියැවේ. එවිට ලක්ෂ 1508 රුපියල් ලක්ෂ පහෙන් බෙදුවහොත් ලැබෙන පිළිතුර 301කි. තවත් රුපියල් ලක්ෂ තුනකුත් විසිපන් දහසක්ද ඉතිරි වේ. එයද රුපියල් ලක්ෂ පහක් සේ සලකා බැලුවහොත් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය පිම්බීමට වැය කළ මහජන මුදලින් දළ වශයෙන් ඉදිකළ හැකි නිවාස සංඛ්‍යාව 302කි. එක් උදාගමක නිවාස 30ක් ඉදිකරනුයේ යැයි සැලකුවහොත් ප්‍රචාරණ මුදලින් ඉදිකළ හැකි උදාගම්මාන ප්‍රමාණයක 10කි. එවිට කොතරම් මුදලක් සජිත් ප්‍රේමදාස පිම්බීමට වියදම් කර ඇතිදැයි දකින නිවාස අහිමි පුද්ගලයන් කම්පාවට පත්වනු නිසැකය.

සාමාන්‍යයෙන් සෑම උදාගමක් ආරම්භයේදීත් අවසානයේදීත් පුවරු දෙකක් ඉදි කෙරේ. ඒ උදාගම ඉදිකිරීම වෙනුවෙන් ඉදිකෙරෙන ඵලකය සහ විවෘත කිරීමේදී ඉදිකෙරෙන ඵලකයයි. ඊටත් අමතරම සෑම උදාගමක්ම ආසන්න මහා මාර්ගයේද එකී උදාගමේ නම සඳහන් විශාල පුවරුවක් ඉදිකිරීමද සිරිතකි. මේවා වෙනුවෙන් වන වියදම් සහ සංග්‍රහ වියදම් මෙම ප්‍රචාරක වියදමට ඇතුළත්ව නැත. ඒවාද සැලකිල්ලට ගත්විට ප්‍රචාරක වියදම තවත් ඉහළ යනු ඇත.

ආශාවක තරම

ඉදිකර ඇති උදාගම්මාන ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ නංවා රටට පෙන්වීමටද ඇමති සජිත් ප්‍රේමදාසට ඇත්තේ පුදුම ආශාවකි. මේ හේතුව නිසා ඇතැම් උදාගම්හි නිවෙස් දෙක තුනක් ඉදිකළ පසුව වහා විවෘත කිරීමේ උත්සවයක් ගනී. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ බෙලිඅත්ත ඕවිලාන සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගමය. මෙහි නිවාස තුනක් ඉදිකර තිබියදී විවෘත කිරීමේ උත්සවය සිදුකර ඇත. මේ වනවිටද (2019.08.31) ඉතිරි නිවාස ඉදිවෙමින් තිබෙනු අයුරු එහි යන අයකුටද දැකිය හැකිය. මේ විකාරයට එරෙහිව ප්‍රතිචාර දක්වනුවස් කිසියම් පිරිසක් විසින් අරවින්දගම නාමපුරුව කඩා බිඳ දමා ඇති අයුරුද දැකිය හැකිය. මෙහිලා සඳහන් කළයුත්තේ මෙම පුවරුව කඩා බිඳ දමන ලද්දේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පාක්ෂිකයන් නොවන බව එජාපයේ පිරිස්ම අපට අවධාරණය කළහ. මෙවැනි නිවාස විවෘත කිරීම් පිළිබඳ බෙලිඅත්ත ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය සේවිකාවක අපූරු කතාවක් කීවාය.

පියාණෝත් එහෙමයි

“ඕක අරුමයක්යැ. එතුමාගේ පියාණෝත් ඔහොම දේවල්ම තමයි කළේ. ඒ කාලේ සූරියවැව වීරියගම කියල උදාගමක් හැදුව. ඒක හැදුවෙ එයාගෙ පියාණෝ. පාරට පේන්න ගෙවල් ටිකක් හැදුව. මැටිගහල කපරාරු කරල තීන්තත් ගාල උඩින් වැහැව්වා. ඉස්සරහින් බංගලාව. හැබැයි පිටිපස්සෙන් මොකවත් නෑ. උදාගමක් විවෘත කළා කියල රට පුරා මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණා. හැබැයි මේක මවාපෑමක් විතරයි.”

පියාණෝගෙ වැඩ පුත්‍රයා කළේ නැත්නම් හරි නෑනේ. ඒක වෙන්න ඇති අරවින්දගමත් එහෙම විවෘත කරන්න ඇත්තෙ. මේ ජනාධිපතිවරයකු වීමේ සිහිනයෙන් පෙළෙන නායකයකු රට රවටන හැටිය. කොහොමටත් ආර්. ප්‍රේමදාස හිටපු ජනපතිවරයා සේ ම සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද සෝබන වැඩවලට වියදම් කිරීමටද සමතකු බව පෙනේ.

හම්බන්තොට ඉදිකර ඇති උදාගම්මානවල ඇතැම් නිවෙස්වල මේ වනවිටත් පදිංචිව සිටින්නේ සැබෑ නිවාසලාභීහු නොවෙති. ඇතැම් ඒවා ඉදිකරන අවස්ථාවේ සිටම වෙනත් අයට පවරා තිබේ. එයට හේතුව රුපියල් ලක්ෂ පහකින් නිවෙසක් සෑදීමට නොහැකිවීමය. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් නිවාස ඉදිකරන්නට බලපෑම් කිරීම හේතුවෙන් නිවාස ප්‍රතිලාභීහු දස අතේ ණය වී තම තමන්ගේ නිවාස ඉදිකර ගනිති. ගැටුම නිර්මාණය වන්නේ තමන් ගත් ණය ගෙවාගත නොහැකි වූ විටය. එවිට ඔවුහු සිය නිවාස අන් අයට පවරා මුදල් ගෙන ණය ගෙවා දැමීමට කටයුතු කිරීම නිසා අන්තිමේ ඔවුන්ට කලින් පදිංචිව සිටි පැල්පතද අහිමි වෙයි. මෙවන් සිද්ධීන්ද උදාගම් තුළ දකින්නට තිබේ. අනෙක් කාරණය වන්නේ තමන්ට හිමිවූ උදාගමේ සිට සිය ආදායම් ඉපැයීමේ මාර්ග පිහිටි ස්ථාන දුරස්ථව පිහිටීමය. මේ හේතුව නිසාද ප්‍රතිලාභීන් නිවාස අත්හැර යෑමේ අවස්ථා තිබේ. එයටත් අමතරව තවත් පිරිසක් සිය නිවාසවල පදිංචි නොවී වෙනත් ස්ථානයන්හි පදිංචිව සිට ඉඳහිට පැමිණ ගේ දොර ශුද්ධ පවිත්‍ර කර යති. සැබැවින්ම ඒවායේ ස්ථිර පදිංචියක්ද නැත.

නිවාස සංවර්ධන අධිකාරිය කම්මුතුයි

උදාගම් ඉදිකිරීමට අමතරව තිස්සමහාරාම ආසනය ප්‍රමුඛව හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා නිවාස ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා නිවාස ණය ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ක්‍රියා කර ඇත. මේ ණය ක්‍රමය අදටත් ක්‍රියාත්මක වන්නකි. මේ ණය ක්‍රමයද අරුම පුදුමය. වාරික හතරකින් ගෙවනු ලබන මේ ණය මුදල රුපියල් ලක්ෂ හතරකි. ඒ සඳහා හිමිකම් පත්‍රය සමග රුපියල් විසිදහසක පළමු වාරිකය සහිත චෙක්පත උත්සවයකදී පිරිනමනුයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින්මය. මෙම උත්සවයට සහභාගි වෙන වෙනත් මැති ඇමතිවරයකුට හිමිකම් පත්‍රය පිරිනැමීමට අවස්ථාවක් හිමිකර නොදීමද තවත් විශේෂත්වයකි. සිව්වර්ණ මුද්‍රිත ෆයිල් කවරයට බහා චෙක්පත සමග හිමිකම් පත්‍රයක් පිරිනැමේ. හිමිකම් පත්‍රයේ සඳහන් වනුයේ මෙලෙසය.

හිමිකම් ප්‍රදාන පත්‍රය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මගපෙන්වීමෙන් නිවාස හා ඉදිකරීම් නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමන්ගේ දායකත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක “සැමට සෙවණ” ජාතික වැඩසටහනේ ප්‍රතිලාභියෙකු ලෙස ඔබ තෝරා ගෙන ඇති බව සතුටින් දැනුම් දෙමි යන්නය.

මෙහි අත්සන් කර ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය ය.

2017 නොවැම්බර් මාසයේදී ලබාදී ඇති මෙම නිවාස ණයවලින් කිසිවකුටත් මේ වනතුරුත් මුළු මුදල වන ලක්ෂ හතරක මුදල ගෙවා නැත. සමහරුන්ට ගෙවා ඇත්තේ නිවාස ණයෙන් අඩකට වැඩි ප්‍රමාණයකි. තවත් සමහරකුට අවසන් වාරිකය පමණක් ගෙවීමට තිබේ. මෙයින් අවසන් වාරිකය පමණක් ලබා ගැනීමට සිටින ණය හිමියන් එම ණය මුදල ලබාගැනීමට උත්සාහයක් දරන්නේද නැත. එයට හේතුව එසේ ලබාගතහොත් ණය ආපසු ගෙවන්නට සිදුවන බැවිනි. මුළු ණය මුදල ගෙවා නැති නිසා ණය අයකර ගැනීමේ හැකියාවක්ද නිවාස සංවර්ධන අධිකාරියට නැතැයි මේ අයගෙන් සමහරු පවසති. අමාත්‍ය සජිත් ප්‍රේමදාස සංවිධායක ධුරය දරන තිස්සමහාරාම ආසනය ප්‍රධාන කොට හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම මෙවැනි ණය විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බැවින් නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍යමය වශයෙන් බංකොළොත් වීම නුදුරේදීම සිදුවනු ඇත.

උදාගම් ඉදිකිරීමේදී අදාළ ඉඩම් ශුද්ධ කිරීම වෙනුවෙන් ද විශාල ලෙස මුදල් වියදම් කර ඇති බවට සාධක පැවතීම 2018.01.23 දාතමින් යුතුව චානක කොඩිතුවක්කු නමැත්තකු ගම්මාන ඉදිකිරීම රැකව කහඳමෝදර ඉඩම ශුද්ධ කිරීම වෙනුවෙන් රුපියල් 136250.00 හා සෙමිසිසිගම, සිරිවිමනගම, සිසිරකරගම, සඳලකරගම, සමන්සෙත්ගම ඉඩම් ශුද්ධ කිරීම වෙනුවෙන් රුපියල් 227500ක් ලෙස රුපියල් 363750ක් ඉල්ලා ඇති අතර එයද ගෙවා තිබේ. මේවාද සැකසහිත ගනුදෙනු බව ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන්ගේම මතයය.

යතුරුපැදි ගන්නත් නිවාස ණය

නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ණයදීමේ මුවාවෙන් වෙනත් කටයුතුවලට යොදා ගැනීම සඳහා තම හිතුවතුන්ට හා හිතවතියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය මුදල් ලබාදී ඇති බවට එජාප පාක්ෂිකයෝම චෝදනා නගති. මේ බැව් තහවුරු කරන ලියවිලි දෙකක් ඔවුන්ගෙන් අපට ලැබුණි. පාලගම බෙලිඅත්ත බී.ජී. රාජපක්ෂ මහත්මිය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රාදේශීය සභාවට තරග කර පරාජය වී එහෙත් කාන්තා නියෝජනය වෙනුවෙන් තෝරා පත් කරගත් තැනැත්තියකි. ඇයට යතුරු පැදියක් මිලදී ගැනීමේ අවශ්‍යතාව පැවසූ විට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවා යැයි කියන්නේ ලක්ෂ හතරක නිවාස ප්‍රතිසංස්කරණ ණයක් ලබාගන්න යනුවෙනි. කාරෙකක් ගන්නවා නම් ලක්ෂ හතරේ ණය හතරක් ගන්න යැයිද ඇමතිවරයා පවසා ඇති බවද තවත් කතාවකි. කතාව කෙසේ වුවත් ඇයගේ ණය අයදුම්පත්‍රයේ අවසානයේ කාර්මික වාර්තාව සැකසූ නිලධාරියා ‘කලාප කළමනාකාරතුමියගේ වාචික උපදෙස් පරිදි මෙම කාර්මික වාර්තාව සකස් කරන ලදි.යනුවෙන් පසු සටහනක් යොදා තිබේ. එයින් ඇඟවෙනුයේ කිසිදු නිවෙස් පරීක්ෂාවකින් තොරව රුපියල් ලක්ෂ හතරක නිවාස ණය මුදලක් මෙම මන්ත්‍රීවරියට ලබාගන්නට හැකිවී ඇති බවය. නොඑසේ නම් එවැනි සටහනක් යෙදීමේ විශේෂ හේතුවක් මෙම කාර්මික නිලධාරියාට නොතිබුණ බවය. තංගල්ලේ ඩබ්ලිව්.එච්. සුසන්ති ප්‍රියදර්ශනීගේ නිවාස අයදුම්පත්‍රයේද එවැනිම සටහනක් යොදා තිබීමෙන් පෙනෙනුයේ වෙනත් කාර්යයක් සඳහා ඇය මේ ණය මුදල ලබාගෙන ඇති බවය. ප්‍රදේශවාසීන් පවසනුයේ ඇය ඉදිකර ඇති නිවෙසක් නැති බවය.

මෙවැනි අයදුම්පත්‍ර දෙස බලද්දී බැලූ බැල්මට පෙනීයන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කිසිදු ආකාරයකින් මේ අයථා ක්‍රියාවන්ට දායක වී නැති බවය. මේ කිසිවක් තමන් නොදන්නේ යැයි ඔහුට ලෙහෙසියෙන්ම ගැලවී යාමටද හැකියාවක් තිබේ. එහෙත් නිවාස සංවර්ධන අධිකාරියේ තංගල්ල දිස්ත්‍රික් කළමනාකාරිනිය සාමාන්‍ය නිලධාරිනියක්ව සිටියදී හිටි අඩියේ දිසා කළමනාකාරවරියක් ලෙස උසස්වීමේ රහස කුමක්ද යන්න සොයා බලනවිටත් ඒ සඳහා උපදෙස් හා නිර්දේශ දුන්නේ කවුරුන්ද යන්න සොයා බලන විටත් සැබෑ ඇත්ත හෙළිවනු ඇත.

දෙවිධියක සැලකිල්ලක්

නිවාස සංවර්ධන අධිකාරිය හම්බන්තොටට හා ඉන් පිටස්තර ප්‍රදේශවලට බෙදනුයේ දෙවිධියකටය. හම්බන්තොටින් බැහැර ප්‍රදේශවල නිවෙස් අහිමි ජනතාවට ඇමති සජිත් ප්‍රේමදාස ද සලකනුයේ අතපල්ලෙන් වැටුණු ගාණටය. ඒ බව සනාථවන්නේ හම්බන්තොටට අල්ලපු වැටෙහි තිබෙන කුට්ටිගල ගම් ප්‍රදේශයෙනි. කුට්ටිගල අයත් සබරගමුව පළාතටය. මාර්තු මාසයේදී කුට්ටිගල තෝරගල පැමිණි නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එගම වැසියන්ට නිවාස ණය ලබාදෙන බව පවසා ඉල්ලුම්පත්‍රද හතළිස් දෙනකුට ලබාදී ගොස් ඇත. ඒ නිකම්මත් නොවේ. කුඩා මැටි ගෙවල්වල විසූ ඔවුන්ගේ නිවාස කඩා දමා වහාම නව නිවෙස් ඉදිකිරීම සඳහා අත්තිවාරම්ද දමන ලෙස උපදෙස් දෙමිනි. ඒ පසුගිය මාර්තු මාසයේදීය.

සතුටින් ඉහ වහා ගිය අය තම නිවෙස් කඩා දමා අත්තිවාරම් ඉදිකළහ. එහෙත් ඔවුනට ලැබුණු ණය මුදලක් නැත. කිසියම් මාධ්‍යයක මේ ගැන පළවීමෙන් පසුව විසිදෙනකුට පමණ නිවාස ණයේ මුල් වාරිකය ලැබී තිබුණද තවත් පිරිසකට ණය ලැබෙන පාටක්වත් නොපෙනෙන්නේ විවිධ හේතු කියමින් ණය ලබාදීම නිලධාරීන් ප්‍රමාද කරන නිසාය. තෝරගල ඩී. දිනේෂා ප්‍රියංගනී එලෙස අත්තිවාරම් ඉදිකර ණය මුදල අහිමිව ගිය අයෙකි.

ඇඹිලිපිටිය නිවාස සංවර්ධන අධිකාරියේ මහත්තුරු ඇවිත් නිවාස ණය දෙනව කියල ඉන්න ගේ කඩල අත්තිවාරම් දාන්න කීවා. අපිත් ගේ කඩල පුංචි පැලක් හදාගෙන ඒකට ගිහින් අත්තිවාරම දැම්මා. සල්ලි තිබුණෙ නෑ, බයිසිකලේ උකස් කරල 50,000කුයි, තව ණයට ගත්ත තිස්දාහකුයි අරගෙන තමා අත්තිවාරම දැම්මේ.” අත්තිවාරම දෙස බලමින් දිනේෂා කියන්නීය.

නිලධාරීන් තවමත් අයදුම්පත්‍රයේ විවිධ අඩුපාඩු දක්වමින් ණය මුදල ප්‍රමාද කරන බවද ඇය කියන්නීය. දැන් අපට හිටපු ගෙදරත් නෑ. ගත්තු ණය ගෙවාගන්න විදියකුත් නෑ. මේව කියන්න කෙනෙකුත් නෑ.” දිනේෂා කියන්නීය. ඒ හම්බන්තොටින් අල්ලපු වැටේ නිවාස ණය ප්‍රදානයේ එක් කතාවතක් පමණි.

රටක් පාලනය කිරීමේ ප්‍රධාන භූමිකාව අත්පත් කරගැනීමට කෙළ හලමින් සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස හම්බන්තොට සිදුකර තිබෙන අනෙකුත් සංවර්ධන කටයුතුද හාස්‍යජනක බව එජාප පාක්ෂිකයන්ගේ අදහසය. ඔවුන් ඊට සාධක සපයන්නේ රුපියල් කෝටි තුනක් සහ ලක්ෂ 33ක් පමණ වියදම් කර හම්බන්තොට රෝහල පිටුපස නිවෙස් තුන හතරකට යාමට පාලමක්ද එමෙන්ම බටයායේ එක් නිවෙසකට රුපියල් ලක්ෂ 101ක් වියදම් කර පාලමක් තැනීම වැනි සංවර්ධන වැඩ ඔහුගේ දැනුමේ තරම පෙන්නුම් කරන සාධක බවය. කියනකොට එහෙමයි. කරනකොට එහෙමයි න්‍යායේ සිටින සජිත් ප්‍රේමදාස වැනි මාධ්‍ය වීරයන්ට මුළු රටක් භාර දුන්නොත් කෙලෙස සිටීවිද?

මේ සම්බන්ධයෙන් විමසීමට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

මම කිසිම කෙනකුට වාචික උපදෙස් දීල නෑ

නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කළමනාකාරිනී ගීතිකා ප්‍රියදර්ශනී

"වීරකැටිය කලාපයට කොට්ඨාස 8ක් තිබෙනවා. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මේ වනවිට උදාගම් 29ක් හදල තිබෙනවා. මගේ කලාපය තුළ උදාගම් 91ක් හදල තිබෙනවා".

සමහර නිවාස ණය අයදුම්පත්‍රවල කලාප කළමනාකාරතුමියගේ, බලවත් ඉල්ලීම සහ උපදෙස් පිට කාර්මික ඇස්තමේන්තුව සකස් කළ බවට එය සකස් කළ කාර්මික නිලධාරියා සටහන් කර තිබෙනවා නේද?

"මගේ ළඟට ෆයිල් දාස් ගණනක් එනව. එවැනි සටහන් තිබේද කියා මම බලන්නේ නැහැ. අනෙක මම එහෙම උපදෙස් දීලත් නැහැ. මම අත්සන් කළාට පසුව ඒ අය සටහනක් දාලා පස්සේ ෆොටෝ කොපි ගහගන්නවා. එහෙම ඒවා ඔබටත් ලැබිල ඇති."

2017දී අනුමත කළ නිවාස ණය තවමත් සම්පූර්ණයෙන් ගෙවා නැහැ. ණය ආධාර ගෙවන්න එපමණ කාලයක් යන්නේ ඇයි?

"අපි කාර්මික වාර්තාවේ විදියට වැඩ කරල තිබෙනව නම් අනුමත ණය ගෙවල තිබෙන්නේ මුල් වාරිකය වන රුපියල් 20,000 අරගෙන කිසිම වැඩක් නොකළ අයත් ඉන්නවා. එවැනි අයට අපි ඊළඟ ණය ආධාරය ගෙවන්නේ නැහැ."

උදාගම්වල නිවාස ලබා දුන් අයත් එහෙම අතරමග නතර කරල තිබෙනවද..?

ඔව්. ඒවායෙත් එහෙම අය ඉන්නවා. එවැනි සමහරක් අය ඇවිල්ලම කියනව නිවාසෙ හදාගන්න අමාරුයි කියල. එවැනි අවස්ථාවල අපි කරන්නේ නාමලේඛනයේ ඊළඟට ඉන්න කොට එම නිවෙස හදාගන්න කටයුතු කරදීමයි. ඒත් මුලින් ණය ගත්ත කෙනාට තමන් ගත් ණය මුදල වාරික වශයෙන් ගෙවන්න වෙනව.

 

 


(රාවය)
Advertiesment