Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


ඔබේ දරුවාත් හිසරදයෙන් පිඩා විඳින්නේ ද..?


2019-09-09 7801

උදෑසන පාසල් යාමට සූදානම් වන ඔබේ දුව හෝ පුතා ‘අනේ අම්මේ අද නම් මට ඉස්කෝලේ යන්න බැහැ. ඔළුව හොඳටම රිදෙනවා’ යැයි බොහෝ විට කියා ඇති. ඒ අවස්ථාවලදී බොහෝ දෙමාපියන්ගේ ක්ෂණික පිළිතුර වන්නේ ‘අනේ බොරු නොකර ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ළමයෝ. ඔයා ඊයෙත් ඔළුව කැක්කුමයි කියලා ඉස්කෝලේ ගියේ නැහැ. අදත් ඒකම කරන්න ද කල්පනාව’ විය හැකියි.

ඒත් පාසල් යන වසසේ පසුවන ඔබේ දුව - පුතා මේ හිසරදයක් ගැන කියන්නේ ඇත්තටම ද..? එහෙම නැත්නම් කම්මැලිකමටද..? වෛද්‍ය විද්‍යාව ගැන අපි බොහෝ දෙනකුට ප‍්‍රමාණවත් තරම් නෙමෙයි අල්ප දැනුමක්වත් නැහැ. ඒ නිසා අපි බොහෝ ගැටලූවලට මුහුණ දෙනවා, ළමයි නිස්කාරණේ පීඩාවට පත් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ ළම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ‘හේෂාන් ජයවීර’ මහතාට අනුව හිසරදයෙන් අධික ලෙස පීඩා විඳින්නේ වසය අවුරුදු 5 ඉක්මව වූ දරුවන් සහ යොවුන් වියේ පසුවන දරුවන්.

‘එසේ වුවත් උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව පවතින අවස්ථාවලදී කුඩා දරුවන් පවා හිසරදයට ගොදුරු විය හැකියි. උණ නිසා පවතින ‘නුරුස්සන ස්වභාවය’ හිසරදය නිසා ද ඇති විය හැකියි’ විශේෂඥ වෛද්‍ය හේෂන් ජයවීර මහාතාට අනුව බොහෝ දරුවන් තුළ හිසරදයට හේතු වන්නේ ‘ආතතිය’ යි. ඊට අමතරව දරුවන් ‘ඉරුවාරදයෙන්’ පීඩා විදිය හැකියි. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ එතැන නොවෙයි මෙවැනි අවස්ථාවලදී බොහෝ මාපියන් සිතන්නේ තම දරුවාගේ මොළය තුළ ගෙඩියක් හෝ පිළිකා තත්ත්වයක් ඇති බවයි. ඒත් එවැනි තත්ත්වයක් නිශ්චිතව සොයා ගන්න පුළුවන් විධිමත් පර්යේෂණයකින් පමණක් බවයි විශේෂඥ වෛද්‍ය හේෂාන් කියන්නේ.

වෛද්‍ය හේෂාන්ට අනුව දරුවන්ට හිසරදය ඇතිවීමට,තවත් හේතු රැසක්

x ඇස් පෙනීමේ දුර්වලතා,

x දීර්ඝ කාලීනව පවතින සුව නෙවන පීනසය,

x ළමා මානසික අවපීඩනය,

x මත්පෙති හා මත්ද්‍රව්‍ය භාවිතය ද දරුවන්ට හිසරදය ඇතිවීමට හේතු විය හැකියි.

වෛද්‍ය හේෂාන් ජයවීරට අනුව ආතතිය නිසා ඇතිවන හිසරදයේ ලක්ෂණ කිහිපයක් තිබෙනවා.

1. හිසරදය හිස ඉදිරිපස නළල ප‍්‍රදේශයේ හෝ පිටුපස ප‍්‍රදේශයට සීමා වේ.

2. ඇතැම් විට මුළු හිස පුරාම හිසරදය පැතිරීමට ඉඩ ඇත.

3. එහි තීව‍්‍රතාවය දවසේ අගභාවය වන විට වැඩි වේ.

4. බොහෝ විට දරුවන් පාසලේදී යහළුවන් සමග හෝ මාපියන් සමග ඇතිකර ගන්නා ගැටලූ හිසරදයට හේතු වේ.

5. හිසරදයට නිතරම මුහුණදීමත් ඇතිවී තිබෙන ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණදීමටත් නොහැකි නිසා දරුවාට තමා කෙරෙහි ඇති ආත්ම විශ්වාසය පවා අඩු විය හැකියි.

ළමා වියේ ඉරුවාරදරයේ ලක්ෂණ

ළමා වියේදී ද ඉරුවාරදය ඇතිවිය හැකි බව වෛද්‍ය හේෂාන් ජයවීර මහතා කියනවා. ඔහුට අනුව ළමා වියේ ඇතිවන ඉරුවාරදය නිසා ඇතිවන හිසරදය ඔළුවේ එක් පැත්තකට පමණක් සීමා වන අතර ඉතාම තදබල ලෙස ඇති වේ. හිසරදයට සමගාමීව වමනය යාම හෝ ඔක්කාර ගතිය පවතිය හැකියි. බොහෝ විට හිසරදය ඇති විට තද ආලෝකය දෙස බැලීම, ශබ්දවලට අකමැති බව දැකගත හැකියි. මෙවැනි තත්ත්වයකදී අඳුරු පරිසරයට ගොස් නිදා ගැනීමෙන් පසුව හිසරදය පහව යවනවා. සුළු පිරිසකට හිසරදයේ මුල් අවස්ථාවේදී ඇස් පෙනීමේ වෙනසක්, ඇස්වල විදුලි බුබුළු දැල්වෙන ස්වභාවයක් හෝ විදුලි ඉරි දිස්වීමට හැකියාවක් තිබෙන බව වෛදඨ හේෂාන් ජයවීර මහතා කියනවා. ඉරුවරදය හා ආතතිය නිසා ඇතිවන හිසරදය අවම කර ගන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන වෛද්‍ය හේෂාන් ජයවීර මහතා කියන්නේ,

x මානසික ආතිතය හා සාංකාව අවම ලෙස ජීවිතය හැඩගස්සා ගැනීම,

x චොක්ලට්, කොකාකෝලා, චීස්, රටකජු, හා අජිනමොටෝ අඩංගු ආහාර ගැනීම අවම කිරීම,

x තද හිරු රශ්මියට නිරාවරණය වීම හා අධික ලෙස සිරුර වෙහෙසට පත් කිරීම අවම කිරීම,

x නිසි අවස්ථාවේ බඩගින්න වැඩිවීමට පෙර ආහාර ගැනීම

ආදියෙන් ඉරුවාරදයෙන් පීඩා විදීම අවම කරගත හැකි බවයි. ‘හිසරදයට කොට්ට මාරු කිරීම’ ගැන අපි ඇතැම් විට කියනවා. ඒත් වෛද්‍ය හේෂාන් කියන්නේ හිසරදයට කොට්ට මාරු කිරීමෙන් ප‍්‍රයෝජනයක් නොවන බවයි. ‘තදබල හිසරදය ඇති විට පැරසිටමෝල් නියමිත මාත‍්‍රාවට භාවිත කළ යුතුයි. ඉරුවාරදය උච්ච වූ විට භාවිත කළ හැකි ඖෂධ තිබෙන අතර ඉරුවාරදය පාලනය කර තබා ගැනීමට දීර්ඝ කාලීනව භාවිත කළ හැකි ඖෂධ වර්ග ද තිබෙනවා’ වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍යද ? පහත සඳහන් රෝග ලක්ෂණ දරුවා තුළින් දැකිය හැකි නම් නො පමාව එම දරුවාව වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේෂාන් ජයවීර මහතා කියන්නේ. එම විශේෂ ලක්ෂණ නම්,

1. හිසරදය හැදෙන වාර ගණන හා එහි තීව‍්‍රරතාව ඉතාමත් ඉක්මනින් වැඩි වන්නේ නම්,

2. උදෑසන අවධි වන විට හිසරදය තිබී දරුවාට වමනය ඇති වන්නේ නම්,

3. දරුවාගේ එදිනෙදා වැඩ කටයුතුවල අඩාලවීමක් හෝ පසුබෑමක් දැනේ නම්,

4. දරුවාගේ හැසිරීම් රටාවේ වෙනසක් පෙනේ නම්,

5. දරුවා හිසරදය නිසා දැඩි සේ පීඩාවට පත් වන්නේ නම්, නොපමාව ඔබේ දරුවා පිළිගත් වෛද්‍යවරයෙක් වෙත පෙන්වා අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතු බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේෂාන් ජයවීර මහතා අවධාරණය කරන්නේ.

 

සටහන - තුෂාධවී
Advertiesment