Wednesday 18th of September 2019

English Tamil


පළා බබා ඉවරද..?


2019-09-12 1094

දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණේ 1978 වර්ෂයේ බව කවුරුත් දන්නා කාරණයක්ය. ඒ ව්‍යවස්ථාවට පසුගිය වර්ෂය වනවිට (2018 වනවිට) වසර 40 සම්පූර්ණ වී ඉවරය. මේ හතළිස් වර්ෂයට මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර ඇති බවත් අප හැමෝම දන්නා සත්‍යයකි. මේ වනවිට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී හමාරය. 78 ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් ගෙනෙන ලද එකක් යැයි එජාපයේ අය කීවත් සිදු වී තිබෙන්නේ මේ ව්‍යවස්ථාව නිසාම නැති ප්‍රශ්න ගණනාවක්ම ඇතිවීමය

ඇත්තටම 1978 පසු අපේ රටේ දේශපාලනය කියා කියන්නේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැට ගැසී ඇති ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමය. 1983 සිට උතුරේ මතු වුණු ත්‍රස්තවාදය සහ 1989 දකුණේ මතු වූ කැරැල්ල යන මූලික සිදුවීම් දෙක පමණක් සලකා බැලූවත් මේ කාරණය පැහැදිලිය. විධායක ජනාධිපති ක්‍රමය, මනාප ඡන්ද ක්‍රමය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යනාදිය කියන්නේම විසඳුම් නොව ව්‍යවස්ථාව සමඟ ගැට ගැසුණු නොවිසඳුණු ප්‍රශ්න මාලාවක්ය. මේවා පැමිණියේ රටේ සමහර ගැටලුවලට විසඳුම් ලෙසින් කියා කීවාට ඒවා විසින් සිදු කළේ තිබුණාටත් වඩා බරපතළ ගැටලුකාරිත්වයක් රට තුළ නිර්මාණය කිරීමයි.

මා මේ කාරණය කීවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සිදු කෙරෙන කතාබහට පදනම් වී ඇත්තේත් ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන දෙකක් පිළිබඳව නිසාය. ඒ ව්‍යවස්ථා සංශෝධන දෙක වන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. 13 වන සංශෝධනයෙන් බිහි වූ පළාත් සභාවල ඡන්දය පැවැත්විය හැකි ආකාරයක් ගැන ජනාධිපතිවරයා විසින් පසුගිය සතියක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලද්දේ මේ අර්බුදයේ එක් ප්‍රකාශයක් ලෙසින් වන අතර 19 සංශෝධනයෙන් පසුව මේ රටේ පාලනයේ පවතින්නේ අවිධිමත් බවක් යැයි ජනාධිපතිතුමා කියනු ලැබුවේ මීට ටික කාලයකට කලින්ය. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ 13 වන හා 19 සංශෝධනවල හිරවී සිටින බවය. මේ සතියේ පැවති ශ්‍රීලනිප ජාතික සම්මේලනයේදීත් එතුමා කියා තිබුණේ ජනාධිපති තනතුරට කිසිම බලයක් දැන් නැති බවත් ඒ නිසා තමන්ගේ පක්ෂය හරි අතට තීරණය ගන්නේ අගමැති තනතුර මුල් කරගෙන බවත්ය.

මේ කාරණාවලින් පැහැදිලි වන්නේ අපේ රටේ දේශපාලනය යළිත් වතාවක් ව්‍යවස්ථාවේ ගැට ගැසී අර්බුදජනක තත්ත්වයකට පත්වී ඇති බවය. මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ මේ ගැටලුවේ ප්‍රධාන ප්‍රකාශනයන් වන 13 වන සංශෝධනය ඇති කළ පළාත් සභාවල ඡන්දය කල් දැමීමට ආණ්ඩුව ගන්නා උපාය මාර්ගය පිළිබඳවය. දැනට කල් දමමින් තිබෙන පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණේ පසුගිය සතියේය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි කිරීම වූයේ මේ පළාත් සභා ඡන්ද පැවැත්වීමේ පරණ පනත දැන් නීතියක් නොවන බවත් අලුත් පනතට අනුව එහි ඇති විධි විධානවලට අනුව ඡන්දය පැවැත්විය යුතු බවත්ය. ඒ අලුත් පනතේ විධි විධානවලට අනුව වැදගත් කාරණයක් වන්නේ පළාත් සභා සඳහා කොට්ඨාස නිර්ණය කිරීමය. ඒ වැඬේ වුවමනාවෙන්ම වගේ අවුල් කරනු ලැබුවේ ආණ්ඩුවේ එවකට සිටි එජාපයේ හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් විසින්ය. මේ කාරණය ගැන අපේ රටේ සමහරුන්ගේ මතකය දුර්වල නිසා ප්‍රශ්නය එහාට මෙහාට තල්ලු කරනවා මිස එය හරියට තේරුම් ගැනීමේ උත්සාහයක් ගන්නේ නැත.

පළාත් සභා ඡන්දය මේ රටට පැමිණියේ 13 වන සංශෝධනය හරහාය. ඒ මගින් අදහස් කළේ උතුරේ ගැටලුව වැනි ප්‍රශ්නවලට හේතුව වන්නේ අපේ රටේ පරිපාලනය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යාම ගැටලුවක් බවත් ඒ නිසාම පළාත් පාලනයක් ශක්තිමත්ව ස්ථාපිත කළ යුතු බවත්ය. ඒ පළාත් පාලනයට අවශ්‍ය බලතල ලබා දුන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහාය.

මේ වනවිට රටේ පළාත් සභා 9න් 8ක්ම ස්වාභාවිකව විසිරී ගොස් හමාරය. ඒ පළාත් සභා 8ම දැන් පාලනය කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසින් යැයි කීමේ වැරැද්දක් නැත්තේ ඒවායේ බලකාරයන් වන්නේ එතුමන් පත් කළ ආණ්ඩුකාරවරුන් මගින් වීම නිසාය. පළාත් සභාවලට සමහර ක්ෂේත්‍රවල විශාල බලයක් ලබා දී ඇති බවත් සත්‍යයක් වන තත්ත්වයක් තුළ ඒ පළාත්වල සම්පූර්ණ බලය එක තැනකට ඌනනය කර තැබීම බරපතළ ප්‍රශ්නයක් විය හැකි බව මගේ අදහසය. උදාහරණයක් ලෙසින් ගත්විට අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහ ආණ්ඩුව ගාණටම විශාල වපසරියක් පළාත් සභාව වැඩ කරන බව සැබෑවක්ය. මහ ආණ්ඩුවේ පාසල්වලට වඩා විශාල බලපෑමක් පළාත් පාසල්වලින් සිදුවන බව පැහැදිලි කාරණයක්ය. මහ ආණ්ඩුවේ රෝහල්වලට වඩා විශාල බලපෑමක් පළාත් ආණ්ඩුව යටතේ තිබෙන රෝහල්වලින් සිදුවන බව පිළිගැනීමත් ඒ වගේම නිවැරැදිය. දැන් මේ බලතල සියල්ලම ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරන ආණ්ඩුකාරයකු හරහා නිසා රටේ බලයේ තීරණාත්මක කොටසක් අනියම් ආකාරයෙන් ජනාධිපතිවරයා යටතට පත් වී ඇතැයි තර්ක කිරීමේ වැරැද්දක් ද නැත.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් ලැබී නැත්තේ මේ ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හේතුවෙන් මැතිවරණවලින් මිදෙන්නට ඇට වූ උප්පරවැට්ටියක් නිසා බව දැන් හොඳටම පැහැදිලිය. මුලින්ම ඒ අය කීවේ කාන්තා නියෝජනය වැඩි කරන්නට පළාත් සභා ඡන්ද පනත වෙනස් කළ යුතු බවයි. ඒ කාරණය අධිකරණයේ අර්බුදයට යැවුණු නිසා ඒ අය පසුව කියන්නේ මනාප ඡන්ද ක්‍රමය වෙනුවට ඍජු නියෝජන ක්‍රමයක් ගේන්නට අවශ්‍ය නිසා පනත වෙනස් කරනවා කියාය. එහෙම කියා මුල් පළාත් සභාවල ඡන්දය කල් දමා ගත් ආණ්ඩුව ඊළඟට කළේ පළාත් සභා ඡන්දය පවත්වන ආකාරය පිළිබඳව වූ අලුත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන පරණ පනත අවලංගු කිරීමය. දැන් ඒ වැඬේ සිදුකර අලුත් පනතට කථානායක අත්සන් කර හමාරය. එම අලුත් පනතට අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ කොට්ඨාස ක්‍රමයට නිසා ඒ කොට්ඨාසවල සීමා නිර්ණය කරන ඇමුණුම් ලේඛනයක් හදා සම්මත කර ගැනීම මේ වැඩසටහනේ ඊළඟ අවශ්‍යතාව විය. පනතේම ඒ වැඬේ කළ යුත්තේ කෙසේදැයි කියා ඇත.

දැන් ආණ්ඩුව ඊළඟට කළේ මෙතැනින් රිංගා යමින් ඡන්දය කල් දැමීම අලුත් කර ගැනීමය. මෙතැනදී මේ වැඬේට ආණ්ඩුවේ සිටි එජාපය ශ්‍රීලනිපය පමණක් නොව ආණ්ඩුව එක් නොවී සිටිමින් එය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ජවිපෙ සහ ටීඑන්ඒ යන පක්ෂ දෙකත් එකතු වූ බව අපට මතකය. අලුත් පළාත් සභා තෝරා ගැනීමේ පනතට අනුව සීමා නිර්ණය කරන්නට කමිටුවක් පත් කළ ආණ්ඩුව ඒ කමිටුවෙන් හදා දුන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් පරාජයට පත් කරනු ලැබුවේය. මගේ තේරුම් ගැනීම නම් මේ දේශපාලනය පෙන්නුම් කරන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින සමහර පක්ෂවල ඇති පහත් පෙළ දේශපාලන මානසිකත්වයය. මේ ප්‍රධාන පක්ෂ හතර තමන්ගේ පක්ෂවලට ජනතාව ඉදිරියට යාමේ නොහැකියාව වසන් කිරීමට සීමා නිර්ණය වාර්තාව පරාජයට පත් කරමින් පළාත් සභා ක්‍රමයම බරපතළ අර්බුදයකට තල්ලු කළ බව අප කීවේ ඒ දවස්වලමය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්වචනය අනුව පෙන්නුම් කරන්නේ ඒ කාරණයමය. ඒ කියන්නේ පළාත් සභා ඡන්දය දැන් පරණ පනතින් පැවැත්විය නොහැකිය. මන්ද ඒ පනත දැන් නීතියක් නොවන නිසාය. පළාත් සභා ඡන්දය අලුත් පනතින් ද දැන් පැවැත්විය නොහැකිය. මන්ද ඒ අලුත් පනතේ විධි විධාන ප්‍රකාරව සීමා නිර්ණය වාර්තාව තුනෙන් දෙකකින් පරාජයට පත් කර ඇති නිසාය.

දැන් ඊළඟට පත්වන ආණ්ඩුවකට අලුතින් යමක් සිදුකරන්ට අවශ්‍ය නොවන අතර කළ යුතුව ඇත්තේ මේ ආණ්ඩුව යහපාලන ක්‍රමයට සිදුකළ පළාත් සභා ඡන්ද කල්දැමීමේ ව්‍යවස්ථා ශල්‍යකර්මය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන යන එක යැයි සමහරුන් කියන්නේ මේ තත්ත්වය නිසාය. ජවිපෙ ටීඑන්ඒ වැනි ‘ප්‍රගතිශීලී’ යැයි කියන බලවේග මේ වැඬේට ඡන්දය දුන්නේ 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අහුරා ඇති නිසා 13 වන සංශෝධනය යහපාලන ක්‍රමයට අකුලා දමා ඒ බලය ජනාධිපතිවරයාගේ අලුත් බලයක් බවට පත් කළ යුතු යැයි සිතූ නිසා දැයි මා දන්නේ නැත. එහෙත් මේ පළාත් සභා ඡන්දය තාක්ෂණික ආකාරයකින් කල් දමන්නට උත්සාහ කිරීම පළාත් සභා ඉබේම අහෝසිවීමකට පාර කැපීමක් බවට පත්වුවහොත් එය මේ රටේ දේශපාලනයේ බරපතළම සිද්ධියක් බවට පත්වෙන බව ඉතාමත් පැහැදිලිය. 1989 සිට පළාත් සභා ඉල්ලා උතුර ගිනිබත් කළ දෙමළ දේශපාලනයේ නායකත්වය වන දෙමළ ජාතික සන්ධානයත් 1989 පළාත් සභාවලට එරෙහිව දකුණ ගිනිබත් කළ ජවිපෙත් යන පක්ෂ දෙකේම ඡන්දයෙන්ම මේ වැඬේ කරන්නට පුළුවන් වීම නම් පෙන්නුම් කරන්නේ සාකච්ඡාවෙන් තමන් කැමති කර ගැනීමේ අගමැතිතුමාගේ ලිච්ඡවී ක්‍රමයේ සාර්ථකත්වය යැයි කීමේ වැරැද්දක් නැත

 

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චරිත හේරත්