Monday 11th of December 2023

English Tamil
Advertiesment


ස්වදේශ කටයුතු ඇමැති හොරු එක්ක හෙළුවෙන්..!


2019-09-07 7757

මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදු කළ සජීව විජේවීර වජිර අබේවර්ධනගේ අනුහසින් නිදැල්ලේ..!

 

පොලිස් පරීක්ෂණ යට ගැසුවේ වජිර අබේවර්ධන ද..?

 

ඇමැති මාධ්‍ය ලේකම් ප්‍රියංකර වික්‍රමසේකරගේ පැටිකිරියත් එළියට..!

 

ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් "ලංකාදීපයට" ලක්ෂ විසිපහක පොල්ලක්..! 

 

(උපුල් බණ්ඩාර) 

රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සහ කූට ලේඛණ සකස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී සිටින ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක සජීව විජේවීර මහතා එම විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පූර්ණ රැකවරණය,ආශීර්වාදය සහ අනුහස යටතේ නිදැල්ලේ සිටින බව වාර්තා වෙයි.

මේ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් විශේෂ සහ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා,සජීව විජේවීරගේ සේවය වහාම අත්හිටුවමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද ඉදරිපත් කර තිබේ.

මේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වජිර අබේවර්ධන මහතාගෙන් ද කරුණු විමසා ඇති අතර ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බරපතළ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සජීව විජේවීර මහතා අත්අඩංගුවට නොගැනේන්නේ වජිර අබේවර්ධන මහතා සිය බලය යොදවා එම පරීක්ෂණ තාවකාලිකව යට ගසා ඇති නිසා විය හැකි බවය.

ඊට හොඳම උදාහරණය වන්නේ මහා පරිමාණ මුල්‍ය වංචාවක් සහ කූට ලේඛණ සකස් කළේ යැයි කියන මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සේවය අත්හිටුවා සිටින සජීව විජේවීර මහතාව,වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මේ වන විට යොදා ගෙන තිබීමය.

සජීව විජේවීර මහතා සිදු කර ඇතැයි කියන මේ මහා පරිමාණ මුල්‍ය සහ කූට ලේඛණ වංචාවේ ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ දක්වා ගණනය කිරීමට නොහැකිව ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීහු මහත් අපහසුතාවයට පත්ව සිටිති.මොහු එම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් වන්නේ 2017 ජුලි මස 19 දිනය. එම දිනයේ සිට මොහුගේ ප්‍රධානම කාර්යය වූයේඅමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ වගකීම් සහ කාර්ය භාරය ඉටු කිරීම නොව, එම තනතුරේ අනුහසින් මුදල් සොරකම් කිරීමය.

තමා සුදු චරිතයක් ලෙස හුවා දැක්වීම

සජීව විජේවීර අමාත්‍යාංශයට පැමිණි දින සිට දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට ද අයුක්තියට සහ අසාධාරණයට විරුද්ධව ද දැඩි ලෙස හඬ නැඟූ අතර ඒ වෙනුවෙන් පෙනී සිටියේය.නැගීය.ඒ අනුව ඔහු සුළු සිද්ධියක් පවා විශාල කර ඇමතිවරයාට වගේම ඉහළ නිලධාරීන්ට පැමිණිලි කළේය.අමාත්‍යාංශයේ නිලධාරීන් නිතරම හමු වන ඔහු “මේ දන්නවාද වැඩක්...අන්න අහවලා අමාත්‍යාංශයෙන් දුන්න “Laptop” එක ගෙදර තියා ගෙන ඉන්නවා.ගෙදර කවුරු පාචිච්චි කරනවාද දන්නේ නෑ...අමාත්‍යාංශයේ “Cab” රථයෙන් අහවලා ගෙදර යනවා.ඒ වුණාට ඔහුට වාහනයක් අනුමත වෙලා නැහැ... “Driver” වැඩ කරන්නේ ඔහුට ඕනෑ හැටියට.මේ දේවල් කොහොමද වෙන්නේ...” මේ සජීව විජේවීරගේ දෙබස්ය.ඒ බව අමාත්‍යංශයේ කවුරුත් දනිති.

තමා සුදු චරිතයක් ලෙස මවා පෑමට සජීව විජේවීර මේ ආකාරයේ රඟපෑමක් කළේ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඔහු දෙස උකුසු ඇස හෙළන සියලු දෙනා නොමඟ යැවීම සඳහාය. ඒ තරමට ඔහු කපටි විය.මේ හැසිරීම් රටාව මගින් මොහු සිය හොරකම්,වංචා සහ අක්‍රමිකතා සඳහා පාර කපා ගත්තේ සූක්ෂම ලෙසය.

පළමු වංචාව 70 ජාතික නිදහස් පොත

70 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පොතක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කළේය.එම පොත ලිවීම සජීව විජේවීර පැනලා භාර ගත්තේය.ඒ අනුව මොහු ලියූ ජාතික නිදහස් පොත ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අනුදැනුම මත විද්වත් මණ්ඩලයක් වෙත යොමු කෙරුණි. එහිදී එම විද්වත් මණ්ඩලයේ ස්ථාවරය වී තිබුණේ දිවයිනේ ප්‍රකට මහාචාර්යවරයෙකුගේ පොතක් සජීව විජේවීර අමු අමුවේ උපුටා ගෙන ඇති බවය. ඒ පිළිබඳව අදාළ මහාචාර්යවරයාගෙන් සජීව විජේවීර කිසිඳු අවසරයක් ලබා ගෙන තිබුණේද නැත.

මේ පිළිබඳව අදාළ මහාචාර්යවරයා එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැමිණිලි කර තිබුණි. ඒ අනුව ජාතික නිදහස පිළිබඳ පොතෙන් සජීව විජේවීරගේ නම ඉවත් කිරීමට කටයුතු කළේය. එහෙත්, පළමුව මුද්‍රණය කළ ජාතික නිදහස පොතේ සුළු පිටපත් සංඛ්‍යාවකට අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඇස් වසා සංස්කාරක ලෙස සජීව විජේවීර සිය නම ඇතුළත් කර ගත්තේය. එහෙත් දෙවන මුද්‍රණයේදී මොහුගේ නම හැළී ගියේ සජීව විජේවීර කළ පළමු වංචාව හෙළිදරව් කරමින්ය.

ටෙලි ව්‍යාපාරික මිතුරා සහ කූට ලේඛණ සෑදීම

සජීව විජේවීර ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ (Letter Heading) සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන හොරට ගසා කළ මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබේ. සජීව විජේවීර මේ කූට ලේඛණ සකසා රුපියල් කෝටියක මුදල්ක් වංචා කළේ, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන අසාන් කන්නන්ගර මහතාගෙනි.

තමා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක් සිරසට ඔබා ගැනීම සඳහා අසාන් කන්නන්ගර මහතා පසුගිය කාලයේ හැමදාම වගේ සජීව විජේවීර හමු වීමට ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ආවේය.මේ තත්ත්වය අවසානයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවක සේවිකාවන්ට විශාල හිසරදයක් විය.මේ දෙදෙනාගේ රහස් කතා අමාත්‍යාංශයේ සහ අල්ලපු වැටේ ඇති නිදහස් චතුරශ්‍රයේ ඇති අහු මුළුවල සිදු විය. ඒ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි බෝහෝය.

සජීව විජේවීර සහ අසාන් කන්නන්ගර එක්ව කූට ලේඛණ සකස් කළේ එම සිද්ධිය කවදාවත් හෙළි නොවනු ඇතැයි සිතා ගෙනය.නමුත් අවසානයේදී සජීව විජේවීර තමාට පොල්ල තැබූ බව අසාන් කන්නන්ගර මහතාට තේරුම් යන විට පෙරහර ගොස් හමාරය.පසුව අසාන් කන්නන්ගර මහතාගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වමින් සජීව විජේවීර ඔහු සිතාමතාම මඟ හැරියේය. ඒ නිසා ඔහු ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ රස්තියාදු වූ වාර ගණන අපමණය.

තමාගේ මුදල් ඉල්ලා අසාන් කන්නන්ගර මහතා කරදර කරන විට සජීව විජේවීර කළේ පොඩි සීනි බෝලයක් කවා ඔහු සැනසවීමය. ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සංකීර්ණයේ “නිල මැදුර“ ගොඩනැගිල්ල විවෘත කරන දිනයේ පිළි ගැනීමේ තොරණ ගැසීම ඔහුට භාර කළේ ඒ අනුවය. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ “Invoice” පත පහත ඇත.මේ “Invoice” පත ද සජීව විජේවීරම සකසා අමාත්‍යාංශය වෙත ලබාදුන් එකකි.

සජීව විජේවෙර සහ අසාන් කන්නන්ගර යන අය කළ තවත් බොහෝ දුෂණ,වංචා සහ අක්‍රමිකතා තිබෙන අතර ඒ පිළිබඳව පසුව හෙළි කරන්නෙමු.තමාගේ මුදල් ලක්ෂ ගණනක් අහිමිවීමේ ශෝකයෙන් අදාළ අසාන් කන්නන්ගර මහතා පිස්සකු ලෙස අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට සජීව විජේවීර තමාට තැබූ පොල්ල ගැන පැමිණලි කළේය.

පුවත්පත් දැන්වීම්වල සල්ලිත් ගසා කාලා

ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පළ කළ පුවත්පත්වල දැන්වීම්වලින් මොහු වංචා කළ මුදල රුපියල් ලක්ෂ විසි පහ ඉක්මවයි. ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පළ කෙරුණු පුවත්පත් දැන්වීම සඳහා මුදල් ගෙවීමට තිබෙන බව කියමින් සජීව විජේවීර මහතා එම අමාත්‍යංශය යටතේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදු කළ සමාගම්වලින් රුපියල් ලක්ෂ ගණනින් චෙක්පත් පත් ලබා ගෙන සිය පෞද්ගලික ගිණුමක තැන්පත් කර ගෙන ඇති බවද අමාත්‍යාංශය සිදු කරන පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමට අයත් “ලංකාදීප” පත්‍රයේ පළ කළ වජිර අබේවර්ධන මහතාගේ දැන්වීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් 2,081,500කි.

හෙළි නොවූ සොරකම් සජීව විජේවීර නමැති ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සිය ධූරයට මුවා වී කළ සොරකම් රැසක තොරතුරු පිළිබඳ මේ වන විට අමාත්‍යාංශය සොයා ගෙන යයි. ඒ අතරින් පාලම් විවෘත කිරීම්,මුල් ගල තැබීම් සහ ගොඩනැගිලි විවෘත කිරීම්වලට අදාළ ප්‍රදර්ශන පුවරු සහ සිහිවටන පුවරු (Plaque) ආදිය සකස් කිරීමේ කොන්ත්‍රාත් මොහු සිය හිතවතුන්ට අත්තනෝමතික ලෙස ලබාදී ඒ අයගෙන් මුදල් ගැනීම වගේම ඒ කටයුතුවලදී වංචා කිරීම් ප්‍රධානය.

අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් මාධ්‍ය ආවරණ කටයුතුවලට අවශ්‍ය වියදම් සඳහා ලබා ගන්නා රුපියල් 50,000/-ක සුළු මුදල් අත්තිකාරමෙන් පවා ගසා කෑමට සජීව විජේවීර කටයුතු කර ඇති බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

සේවය අත්හිටෙව්වත් වාහනය භාරදී නෑ

මෙම අධ්‍යක්ෂ මාධ්‍ය පත්වීම වසර දෙකක කොන්ත්‍රාත් කාලයකට සීමා වෙයි. ඒ අනුව සජීව විජේවීරගේ පත්වීම 2019/07/18 වන දින අවසන් විය. තමා සොරා කෑ ප්‍රමාණය හෙළි වුව හොත් කිසිඳු ගැළවීමක් නොමැති බව සිතූ සජීව විජේවීර කෙසේ හෝ සිය කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර දෙන ලෙස ඉල්ලමින් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවේ වැද වැටෙන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස සිදු වූයේ මේ තරම් බරපතළ චෝදනා එල්ල වී තිබියදී සජීව විජේවීරගේ මධ්‍ය අධ්‍යක්ෂ ධූරයට අදාළ පත්වීම කැබිනට් පත්‍රිකාවක් මගින් වසරකින් දීර්ඝ කර දීමට තරම් වජිර අබේවර්ධන මහතා ඔහුට කාරුණික වූයේ තමා හොරු සමග හෙළුවෙන් බව ප්‍රදර්ශනය කරමිනි.

සජීව විජේවීරගේ සේවා කාලය දිගු කර ගැනීම සඳහා ඔහුට උපරිම සහයෝගය දුන්නේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රියංකර වික්‍රමසේකර මහතාය.වජිර අබේවර්ධන මහතාගේ පෞද්ගලික හිතවතෙකු වන ඔහු සිය මාධ්‍ය ලේකම් ධූරයට අදාළ රාජකාරි සහ වගකීම් හැරුණු කොට අනෙකුත් සියල්ල සිදු කරයි. සජීව විජේවීරගේ බෝහෝ නොහොබිනා වැඩ සඳහා ප්‍රියංකර වික්‍රමසේකර පූර්ණ ආරක්ෂාව, ආශිර්වාදය සහ අනුග්‍රහය හිමි වුණි.තවමත් අවිවාහකව මැදි විය පසු කරමින් සිටින ප්‍රියංකර වික්‍රමසේකර මහතා පිළිබඳව ද විශාල තොරතුරු ප්‍රමාණයක් “lankanewsweek” සතුව ඇති අතර ඒ පිළිබඳ තොරතුරු අප ඉදිරියේදී හෙළි කරන්නේ වජිර අබේවර්ධන ඇමතිවරයාට උණ ගැනෙන්නටය.

සජීව විජේවීරගේ සේවය අත්හිටුවා තිබෙන නිසා ඔහු භාවිත කළ “Nissan X Trail- KK 5267” දරන රථය අමාත්‍යාංශය වෙත භාර දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා ඔහුට දැනුම් දී ඇති නමුත් ඔහු වජිර අබේවර්ධන ඇමතිවරයාගේ අනුහසින් එම වාහනය සහ අමාත්‍යංශය සතු “Laptop” ඇතුළු තාක්ෂණික උපකරණ රිසි ලෙස භුක්ති විඳිමින් සිටියි.

එදා දුෂණයට,වංචාවට සහ අක්‍රමිකතාවලට ද,අයුක්තියට සහ අසාධාරණයට ද එරෙහිව දැඩිව හඬ නැගූ සජීව විජේවීරගේ චරිතයේ සැබෑ නිරුවත රටටම හෙළිවීමත් සමග වජිර අබේවර්ධනගේ සායම ද සේදී යාම වේගවත් වී ඇත. වරදාන,වරප්‍රසාද, සල්ලි සහ තනතුරුවලට, බෝහෝ දේ කළ හැකි වුවද, සියලු දේ කළ නොහැකි බව සජීව විජේවීර වගේම ඔහුට උල්පන්දම් දුන් ප්‍රියංකර වික්‍රමසේකර සහ හොරු සමග හෙළුවෙන් සිටිමින් ඔහු ආරක්ෂා කරන ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද තේරුම් ගත යුතුය.

Advertiesment