Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


ජනපතිවරණයට එන්න අගමැති තීරණය කරයි..!


2019-09-06 30507

"කවුරු හරි අභියෝග කරනවා නම් කෘත්‍යාධිකාරියේදී බලා ගමු"

 

"ගම් මට්ටමයි බිම් මට්ටමයි එක්ක රට පාලනය කරන්න බැහැ" -ෆීල්ඩ් මාර්ෂල්-

 

"සජිත් අද්දන සෙනගට වඩා දස ගුණයක සෙනගක් අද්දන්න රනිල්ට පුළුවන්" -දයා ගමගේ-

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග අරලිය ගහ මන්දිරයේ  දී සිකුරාදා (06) පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය දැනුම් දෙමින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියා ඇති අතර ඊට කවුරුන් හෝ අභියෝග  කරමින් ඉදිරියට පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගත හැකි බව ද සඳහන් කර තිබේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින් කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පෙන්වා දී තිබෙන්නේ වඩාත් ජනප්‍රිය ම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහුගේ රැස්වීම්වලට ද විශාල ජනකායක් එකට ඒකරාශී වන හෙයින් ඔහු පිළිබඳව වැඩිපුර සිතා බලා තීරණයක් ගත යුතු බවය. 

ඊට ප්‍රතිචාර දක්වමින් දයා ගමගේ මහතා අවධාරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට විශාල ජනකායක් සහභාගී වන්නේ තමා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව තමා ම කියා ගන්නා නිසා වන අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කෙරුණාට පසුව සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට පැමිණෙන ජනතාව වගේ දස ගුණයක් ඔහුගේ රැස්වීම්වලට කැඳවා ගැනීමට පක්ෂයට ශක්තිය තිබෙන බවය. 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහි දී අවධාරණය කර ඇත්තේ ගම් මට්ටමේ සහ බිම් මට්ටටමේ ජනතාව පමණක් මුලික කරගෙන රටක් පාලනය කර නොහැකි අතර ජනාධිපතිවරණය වැනි මුළු රට ම ආවරණය වන අතිශය වැදගත් සහ තීරණාත්මක මැතිවරණයක් ජය ගැනීමට ද නොහැකි බවය. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායකයින්, සිවිල් සමාජය,සුළු ජාතින්,වැඩ කරන ජනතාව,උගතුන්, බුද්ධිමතුන්,ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය,ගම් මට්ටම සහ බිම් මට්ටම ඇතුළු සමස්ත සමාජයේ සියලු පාර්ශවයන් නියෝජනය කළ හැකි පුද්ගලයෙකු වන අතර ඒ සියලු සුදුසුකම් රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බවය. 

Advertiesment