Saturday 16th of November 2019

English Tamil
Advertiesment


සතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න..!


2019-09-03 1448

බංග්ලාදේශයේ කාන්තාවන් විවාහ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රවල තමන් "කන්‍යාවක් ද නැත් ද " යන්න ප්‍රකාශ කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව එරට ඉහළ අධිකරණයක් පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවෙන් තවදුරටත් කියැවුණේ "කන්‍යාභාවය" වෙනුවට "අවිවාහක" ලෙස සඳහන් කරන ලෙසය. විවාහයක් තීන්දු කිරීමේදී කන්‍යාභාවය ප්‍රකාශට පත්කිරීම නින්දිත ක්‍රියාවක් බව එරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් වල තර්කය විණි.

ශ්‍රී ලංකාව තුළ එවැනි නීති ක්‍රියාත්මක නොකෙරුණද සමාජීය වශයෙන් තවමත් කන්‍යාභාවය තීරණාත්මක සාධකයක් ලෙස ගෙන ක්‍රියාත්මක වන අවස්ථා පවතී. කන්‍යාභාවය අහිමිවූ ඇතැම් තරුණියන් කෘතිමව එය සකසා ගැනීමට වෙර දරන තත්ත්වයක් වර්තමානයේ පැවතීම තුළ ම එහි තීරණාත්මක බව පෙන්නුම් කරයි. "සතියකට 10 දෙනෙක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න. සමහරු කැමති යෝනි මාර්ගය පොඩි කර ගන්න. මොකද එතකොට සංසර්ගයේදී ඒක ඉරෙනවා. එවිට සැමියාට හෝ පෙම්වතාට පෙන්වන්න පුළුවන් තමන් මීට පෙර කා සමගවත් ලිංගිකව එක්වෙලා නෑ කියලා"  එසේ පැවසුවේ නම හෙළි කිරීමට අකමැති වූ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.

සමාජයේ පැවති කන්‍යාභාවය පිරික්සීමේ සම්ප්‍රදායට වටිනාකමක් දීමට ඇතැමුන් ක්‍රියා කළද එය ඒ ඒ කාන්තාවගේ ශාරීරික තත්ත්වය ගැන තැකීමකින් තොරව කෙරෙන මානව සබඳතා බිඳ දමන අර්ථ ශුන්‍ය දෙයක් බව ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෛද්‍ය වෘත්තිකයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ද පෙන්වා දෙන කරුණකි. කන්‍යා භාවය ඔප්පු කරගැනීමට නොහැකිව පවුල් ජීවිතය තුළ අසරණ භාවයට පත්වූ කාන්තාවන් බොහොමයක් වෙති.

නම හෙළි කිරීමට අකමැති කාන්තාවන් කිහිප දෙනෙක් සිය අත්දැකීම් මෙලෙස විස්තර කළහ. ඒ අතරින් පෞද්ගලික බැංකු සේවිකාවක සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළාය.

"මම වැඳලා කිව්වා මම පිරිසිදුයි කියලා. වෙන පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරුනේ නෑ කියලා. ඒත් සැමියා පිළිගත්තේ නෑ. එයා එකපාරටම සැක කළේ මගේ කළින් පෙම්වතාව. මොන ප්‍රශ්නයක් ආවත් අන්තිමට නවතින්නේ අනවශ්‍ය හිත රිදවීමකින්. බැරිම තැන මම ගියා ප්‍රසව හා නාරිවේදය පිලිබඳ වෛද්‍යවරියක් මුණගැසෙන්න. ඇය මාව පරීක්ෂා කළා . සැමියත් කැටුව එන්න කිව්වා ඒත් මුළින් එයා බෑ කිව්වා. නමුත් පසුව දෙන්නම වෛද්‍යවරිය මුණගැසුනා. ඇය සැමියාට පැහැදිලි කළා මට කන්‍යා පටලයක් පිහිටා නෑ කියන කාරණය"

මේ අත්දැකීම පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙනි.

"සැමියාගේ අම්මත් ආව මධු සමය දවසේ රෑ අපිත් එක්ක. අපි නැවතුන හෝටලයේ යාබද කාමරය ඇයට අවශ්‍ය වුණා. පසුදා උදෑසනම ඇය පැමිණ මගේ කන්‍යා භාවය පරීක්ෂා කළා. මම අපහසුතාවට පත්වුණා. ඇත්තටම විවාහයෙන් අවුරුදු කිහිපයකට පසුව අපි වෙන් වුණා. එත් මෙවැනි සිදුවීම් කාන්තාවකට නොවිය යුතුයි කියලා මම සිතනවා"

කන්‍යාභාවය තහවුරු අපේක්ෂා කළ ඥාති පිරිසක් සිය සැමියා සමග එක්ව නොමග යැවූ කාන්තාවක්ද සිය අත්දැකීම හෙළිකළාය. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි.

"සැමියත් මමත් විශ්ව විද්‍යාල කාලේ සිට ලිංගිකව ඇසුරු කළා. නමුත් විවාහ දිනයේ එයාගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණා මගේ කන්‍යා භාවය බලන්න. අන්තිමේදී අපි දෙන්නම එකතුවෙලා ඒකට ප්‍රයෝගයක් යොදලා දෙමව්පියන් සතුටු කළා"

විවාහයකදී කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ ඉතිහාසය ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොතට අනුව යටත් විජිත සමයට පෙර මේ සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් තිබී නැත. ඉතිහාසයේ ආවාහ විවාහ සිදු කෙරුණේ ප්‍රයෝගික ක්‍රමයකට බව පෙන්වා දෙන ඔහු සරළ ක්‍රම කිහිපයකින් තරුණයා සහ තරුණියගේ දක්ෂතා වැඩිහිටි පරපුර මැන බැලීමකට ලක් කළ බව පෙන්වා දෙයි.

"පුරාණ ගැමියා අතර නෑනා මස්සිනා විවාහය ප්‍රචලිතයි. නෑනා කර කාරේට ගන්න කළින් ඔහුට සිදුවෙනවා කන්න කීපයක් මාමා එක්ක වගා කරන්න. නැන්දත් එහෙමයි. ලේලි එක්ක හරි හරියට ඉවුම් පිහුම් , පන්වියමන් කර බැලුවා ඇගේ දස්කම්. ඒ හැරුනම ජන වහරේ කතන්දරයක හරි ජන කවියක හරි, ප්‍රස්තාව පිරුළක හරි , කන්‍යා භාවයේ වටිනාකම වර්ණනා කර නැහැ" ජනශ්‍රැති පරීක්ෂක වරයා පෙන්වා දෙයි.

ඉතිහාසයේ ඇතැම් රදළ පවුල්වල සිදූවූ විවාහ චාරිත්‍ර වලදී 'රෙදි නැන්දා' නමැති කාන්තාව අලුත ගෙනා මනමාලියගේ කන්‍යාභාවය පරීක්ෂා කර තිබේ. රෙදි නැන්දා චරිතය මුණ ගැසෙන ඉතිහාස කතාවක් ද පවතී. මහා සම්මත රජු දවස සිට පැවත එන බව සඳහන් "රිදී" නමැති කුල පරම්පරාව , පෙර රජ දවස රජු සහ බිසෝවරුන්ගේ සිට සාමාන්‍ය වැසියා දක්වා රෙදිපිළි සැකසීම භාරව සිටි පරපුර වේ. විවාහ, මල්වර වීම වැනි ලිංගිකත්වයට සම්බන්ධ කාරණා වලදී ගැමියන් විවිධ චාරිත්‍ර ඉටුකළ අතර මෙම "රිදී" කුල පරම්පරාවට එහි වගකීම් පැවරිණි. එම කුළ පරම්පරාවේ ගම් ප්‍රධානියා වූ හේනේ මාමා සහ ඔහුගේ බිරිඳ රිදී නැන්දා (පසුකාලීනව රෙදි නන්දා) මේ චාරිත්‍රවල මුල් තැන හෙබවූවෝ වෙති.

මහින්ද කුමාර දළුපොත "යටත් විජිත සමයෙන් පසු වික්ටෝරියා සුචරිතවාදීන් පිරිසක් බිහිවුණා රටේ. සරළ විවාහයෙන් මිදුණු ගැමියා කපුවා කියන වෘත්තීමය චරිතය හරහා යෝජිත විවාහ ක්‍රමයට හුරු වුණා. කිසිදා නොදුටු , ඇසුරු නොකළ දෙදෙනෙක් අතර විවාහයක් තීන්දු කෙරුනේ කේන්ද්‍රය, දෑවැද්ද මෙන්ම චරිතවත් භාවය මත. "ආණ්ඩුවේ ලොකු ඒජන්තවරු, ඔපීසිවල මහත්වරු චරිතවත් ගෑනු හොයන්න පටන්ගත්තා. කන්‍යාභාවය නමැති සංකල්පය සමාජයේ මුල් බැසගත්තා. මගුල් කපුවෝ සැළකිය යුතු කාර්ය භාරයක් කළා යුවතියකගේ කන්‍යා භාවයට මුල් තැනක් ගෙන එන්න. අන්න එවැනි විවාහයකදී "රිදී" නැන්දා අලුත් මනමාලිගේ කන්‍යා භාවය පරීක්ෂා කරන්න පටන්ගත්තා. පසු කළෙක මේ පරීක්ෂා කිරීම එක කුලයකට පමණක් සීමා නොවී සැමියාගේ මව,පරපුරේ වැඩිහිටි කාන්තාවක හෝ කිහිපදෙනෙකුගේ අධීක්ෂණයට ලක්වීමට පටන්ගත් බව මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේය.

'කන්‍යාභාවය' හා 'පතිභක්තිය' වර්ථමානයේ සිය දියණියට යෝජිත විවාහයක් අපේක්ෂා කරන මව් පියවරු ඒ වෙනුවෙන් පළ කරන පුවත්පත් දැන්වීම් අප කොතෙකුත් දැක තිබේ. ඒ අතරින් ඇතැමෙක් සිය දියණිය හඳුන්වාදීමේ දී "චරිතවත්" යන විශේෂණය යොදති.

එය තම දියණිය වෙනත් කිසිදු පිරිමියෙකු සමග යහන්ගත් නොවූ තැනැත්තියක් බව අර්ථ ගැන්වීමට දරන උත්සහක් බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලේඛක හා මාධ්‍යවේදී රවී සිරිවර්ධන පෙන්වා දෙන්නේ එය සංස්කෘතික සිරගෙයක සිට කටයුතු කිරීමක් යනුවෙනි. "මේක කොදෙව් මානසිකත්වයත් එක්ක එන දෙයක්. තවත් අතකට ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් වූවක්. තමන් හැරෙන්න වෙන මනුස්සයෙක් එක්ක ඒ කාන්තාව ලිංගිකව හැසිරෙන්න බැහැ. එහෙම නම් ඇය අපිරිසිදුයි. මේ ලිංගිකත්වය කියන්නේ කෑම බීම වගේ ශරීරයට අවශ්‍ය දෙයක්. යම් හැගීමක් උද්දීපනයේදී දෙදෙනෙක් අතර සම්බන්ධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ මත ඒ කාන්තාවගේ ජීවිතයට ගල් ගසන්න බෑ. ඇයට අතවර වෙන්න පුළුවන්. බුද්ධ දර්ශනයේවත් නැහැ කන්‍යා භාවය රැකගැනීම මහා පිරිසිදු බවක් කියල. නමුත් පති භක්තිය කියන්නේ වෙනත් දෙයක්. එනම් එක මනුස්සයකුට දක්වන ආදරය සහ දයානුකම්පාව. මේක පටල ගන්න හොඳ නෑ"

නමුත් මේ මතය ප්‍රතික්ෂේප කරන කන්‍යාභාවය තම ස්වාමියාට පුදකිරීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණියෝ ද වර්තමානයේ දක්නට ලැබේ. එලෙස අදහස් දැක්වූ තරුණියක් තමන් මේ පිළිබඳව වෙහෙසීමේ අරමුණ පැහැදිලි කළාය. "මගේ සංස්කෘතිය මට වැදගත්. මම ඉපදුනේ යුරෝපේ නොවෙයි. මගේ කන්‍යා භාවය මට උතුම් වස්තුවක්. මට රැඩිකල් වෙන්න අවශ්‍ය නැහැ" යනුවෙන් පවසන්නීය.

 

සාරා සුල්ෆිකාර් නමැති තරුණිය කන්‍යාභාවය පිළිබඳ මුල් අදහසට විරුද්ධ මතයක පසුවන්නීය. සාරා සුල්ෆිකාර් "අපේ ආගමේ කන්‍යාභාවයට යම් ගෞරවයක් දීල තිබෙනවා. නමුත් මම එය දකින්නේ වෙනත් කෝණයකින්. ආදරය සහ ලිංගිකත්වය තුළ කන්‍යාභාවය කියන්නේ අතිශය සරළ දෙයක්. වත්මන් සමාජයේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම කියන්නේ ගෝත්‍රික මානසිකත්වයකින් කටයුතු කිරීමක්"

 

 

කන්‍යා පටලය ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම වෛද්‍ය විද්‍යාවට අනුව බිළිදියක මව් කුසේ සිටියදී මවගේ ගර්භාෂ තරලය එම බිළිදියගේ යෝනි මාර්ගය හරහා ගමන් කිරීම වලකනු පිණිස ආවරණයක් ලෙස පිහිටන පටලය පසු කළෙක කන්‍යා පටලය යනුවෙන් අර්ථ ගැන්වේ. ඇතැම් යුවතියන්ට එය නොපිහිටන අවස්ථා මෙන්ම ඝනව පිහිටන අවස්ථාද පවතින බව ප්‍රසව හා නාරි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ පවසයි. එවැනි ඝනව පිහිටන අවස්ථාවක දී ලිංගික එක්වීම වේදනාකාරී නිසා ශල්‍ය කර්මයකින් එය ඉවත් කිරීමට ද වෛද්‍යවරු කටයුතු කරති. ක්‍රීඩා කිරීමේදී මෙන්ම නර්තනයේ දී ස්වභාවිකව එය බිදීමකට ලක්විය හැකි බවට මතයක් පැවතියද එය එසේ නොවන බව ද විශේෂඥ වෛද්‍ය දොඩම්පහළ පෙන්වා දෙයි.

කන්‍යා පටලය කෘතිමව නැවත සකස් කිරීම රජයේ රෝහල් ආශ්‍රිතව සිදු නොකෙරේ. කෙසේ වෙතත් යම් අවශ්‍යතාවකදී ප්‍රසව සහ නාරි වේදය සම්බන්ධ වෛද්‍යවරයකුට පැයක පමණ කාලයක් ගතවන එවැනි ශල්‍යකර්මයක් කිරීමේ හැකියාව පවතී. ගබ්සා කිරීම වැනි නීතියට පටහැනි ක්‍රියාවක් නොවන නිසා දිවයිනේ ප්‍රදේශ රැසක මෙවැනි සැත්කම් සිදුකරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පැවතියද ප්‍රතිකාර කිරීම යම් රහස්‍ය භාවයකින් යුක්තව සිදුවේ.

"සමහර පාසල් යන වයසේ තරුණ දියණියන් පවා මේ දේට පෙළඹී තිබෙනවා. ඉතින් එහෙම එන අයට අපි නිතර උපදෙස් දෙනව අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ජීවිතයම අඳුරු කරගන්න එපා කියලා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව අපි එය සකස් කර දෙනවා" මෙම සැත්කම් සිදුකරන වෛද්‍යවරයකු පැවසීය.

කෙසේ වෙතත් මෙවැනි සැත්කම්වලින් නිසි ප්‍රථිපල සැමවිටම නොලැබෙන බව ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා පෙන්වා දෙයි. කන්‍යාභාවය මෙන්ම සමාජය තුළ මේ සම්බන්ධයෙන් පවතින මතය පිළිබඳව වෛද්‍යවරයා මෙසේ අදහස් දක්වයි.

" මම වෛද්‍යවරයෙක් විදිහට යුවතියන්ට කියන්නේ නැවත කන්‍යාභාවය කෘතිමව සාදාගන්න තැනකට අපි පත්වන්න අවශ්‍ය නෑ. සමාජයේ දැන් මේ ගැන උනන්දුවක් නෑ. වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් කමක් ඇත්තෙත් නෑ. වඩා වැදගත් වන්නේ අවබෝධයෙන් යුතුව පවුල් ජීවිතය සුරක්ෂිත කර ගැනීම. යම් විදිහකින් ඊට හානි වීමක් වුණානම් එය පෙම්වතා හෝ සැමියා සමග අදහස් හුවමාරුවකින් විසඳා ගන්න. අපි දියුණු ලෝකෙක ජීවත් වන්නේ. කන්‍යා භාවයට වඩා ලිංගික සෞඛ්‍ය මෙන්ම යහපත් පවුල් ජීවිතය වැදගත්" වෛද්‍ය දොඩම්පහල පෙන්වා දෙයි.

 

(BBC සිංහල සේවය)

Advertiesment