Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


මාධ්‍යවේදීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි ගෝඨා නාමල්ට නියෝග කරලා..!


2019-08-27 24952

නාමල් නිසා ගෝඨාගේ "රතු කට්ට" පැනලා..!

 

දුම්මල වරම ගෙන වටේටම වනලා..!

 

සියලු සංවිධාන කටයුතු හමුදා නිලධාරීන්ට පැවරීමට ගෝඨා තීරණය කරලා..!

 

නාමල් වෙනුවෙන් ෂෙහාන් සේමසිංහ බෙල්ල දෙයි..!

 

 

කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා  (24) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සමුළුව මාධ්‍ය ආවරණය කිරීමට පැමිණි ජනමාධ්‍යවේදීන්ට එම ශාලවට ඇතුළුවීමට ඉඩ නොදී අපහසුතාවයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය හමුවක් කැඳවා, එම ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට තරයේ නියෝග කර තිබේ.

එම තරුණ සමුළුව අවසන් වූ දිනයේ රාත්‍රියේම  ගෝඨාභය රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතාට මේ නියෝගය කර ඇත්තේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ගණනාවක් ඔහුට සහ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ පැමිණිලි  සැලකිල්ලට ගනිමිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ ස්ථාවරය වී තිබෙන්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු අපහසුතාවයට පත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවය මේ සිද්ධිය ඇති කළේ සැලසුම්සහගතව හිතාමතාම බවය.

කිසිවකුට කිසිවක් සම්බන්ධයෙන් කිසිම වගකීමක් නොමැති බවට චෝදනා එල්ල කරමින්, නාමල් රාජපක්ෂ මහතා වෙත මේ නියෝගය දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා,පවුලේ  සියලු දෙනා හමුවේ අවධාරණය කර ඇත්තේ මේ ආකාරයට වගකීම් විරහිතව ඉදිරියේදී කටයුතු කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි අතර ඉදිරි වැඩ කටයුතු සියල්ල තමා සිය විශ්‍රාමික  හමුදා නිලධාරින් යොදවා ඉතා සංවිධානාත්මක සහ සාර්ථක ලෙස සිදු කිරීමට කටයුතු කරන බවය.

නාමල් රාජපක්ෂ මහතා වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් මේ නියෝගයත් සමග කලබලයට පත් වී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,දෙපාර්ශවය අතර ඇතිවී තිබෙන මේ ප්‍රශ්නයට වහාම මැදිහත් වී ඇති අතර මේ කාරණය සම්බන්ධයෙන් පවුලේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඇත.ඒ අනුව නමල් රාජපක්ෂ මහතා වෙනුවට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් යොදවා ජනමාධ්‍යවේදීන්ගෙන් එම පොදු සමාව අයැදවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ කරවා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කර ඇත. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු තරුණ මන්ත්‍රීවරු පිරිසක් ඉරිදා (25) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්,මේ සිද්ධිය සම්බන්ධයෙන්  ජනමාධ්‍යවේදීන්ට සිය කණගාටුව පළ කර ඒ අයගෙන් පොදුවේ සමාව ඉල්ලා සිටියේ මේ පසුබිම යටතේය.

කෙසේ නමුත් ඇතැම්  අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල මේ සිද්ධියට පරස්පර ප්‍රවෘත්ති පළ කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සමුළුවේදී ජනමාධ්‍යවේදීන් මුහුණ පෑ අසීරුතාවය සම්බන්ධයෙන් එම පෙරමුණ පක්ෂයක් ලෙස එම ජනමාධ්‍යවේදීන්ගේන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවට එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කළ බවය.

මේ ප්‍රවෘත්තිය අන්තර් ජාල වෙබ් අඩවි ඇතුළු සමාජය මාධ්‍ය ජාල ඔස්සේ මෙසේ පැළ කිරීමේ සිද්ධිය (plant)  සම්බන්ධයෙන් ද,  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ විශේෂ අවදානය යොමුව ඇති අතර, ඒ අයගේ ස්ථාවරය වී තිබෙන්නේ නෙළුම් පොකුණ රඟහළේ දී ඇති වූ සිද්ධිය ද නාමල් රාජපක්ෂලා සැලසුම් සහගතව ඇති කළ සිද්ධියක් බව මේ අනුව මනාව පැහැදිළි වන බවය.

නෙළුම් පොකුණ රඟහළේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සමුළු උත්සවයේ සියලු සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂලා මැදිහත් වී භාර දී තිබුණේ "භාතිය-සන්තුෂ්" දෙපලට අයත් "B and S" Event Management සමාගමට වන අතර එම සමාගම මේ උත්සවය වෙනුවෙන් ජනමාධ්‍ය ආයතනවලින් ජනමාධ්‍ය ආවරණයක් නිල වශයෙන් ඉල්ලා නොතිබිණ.

කෙසේ නමුත් කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය මඟින් මේ උත්සවය සඳහා සියලුම ජනමාධ්‍ය ආයතනවලින් නිල ජනමාධ්‍ය ආවරණයක්  ඉල්ලා තිබු අතර ජනමාධ්‍යවේදීන් මේ උත්සවය මාධ්‍ය ආවරණය කිරීම සඳහා එහි පැමිණ තිබෙන්නේ ඒ ලිඛිත ඉල්ලීමට අනුවය.

"භාතිය-සන්තුස්" දෙපලට අයත් "B and S"  Event Management සමාගමේ ක්‍රියාකාරින්ගෙන් සහ  ආරක්ෂක නිලධාරීන් වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීන් මේ අවස්ථාව මධ්‍ය ආවරණය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට අවසර ලබා නොදී ඒ අය මෙසේ අපහසුතාවයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යාලය ජනමාධ්‍යවේදීන්ට එවැනි නිල ආරාධනයක් කර තිබියදීය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ට ඒ අවස්ථාවේදීම පැමිණිලි කළත් ඒ ප්‍රශ්නය විසදීමට ඒ අය අවංක සහ පැහැදිළි උත්සහයක් නොගත් බව එම සිද්ධියට අදාළ රුපරාමුවලින් මනාව පිළිබිඹු වේ.

කෙසේ හෝ සංවිධායකවරුන් සහ ආරක්ෂක නිලධාරින් එක්ක වාද විවාද කරමින් එම උත්සවය මාධ්‍ය ආවරණය කිරීම සඳහා උත්සව ශාලාව ඇතුළට ගිය ජනමාධ්‍යවේදීන්ට සිදුව ඇත්තේ සිය දෙපා වාරුවෙන් හිට ගෙන සිය රාජකාරි කිරීමටය.ඊට හේතු වී ඇත්තේ "බලාට අපි ආරාධනා කළේ නැහැ.පුටු වෙන් කරලත් නැහැ.ඒ නිසා කරන දෙයක් හිට ගෙන කරන්න" කියා කියමින් සංවිධායකවරුන් ඉතා අකාරුණික ලෙස ජනමාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට පුටු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති නිසාය.

මේ සිද්ධියට විරෝධය පළ  කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සමුළුවට කිසිදු ප්‍රචාරයක් ලබා දීමෙන් වැළකි සිටීමට සියලුම ජාතික පුවත්පත් පියවර ගෙන තිබු අතර  ඒ අනුව සදුදා (26) පළවූ කිසිදු ජාතික පුවත්පතක එම උත්සවය සම්බන්ධයෙන් එකම වචනයක් හෝ ඡායාරූපයක් පළ වී නොතිබිණ.

මේ අතර "භාතිය-සන්තුස්" දෙපලගේ "B and S" සමාගම සමග එක්ව නාමල් රාජපක්ෂලා සංවිධානය කර තිබු මේ තරුණ සමුළුවේදී රටේ තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්න, අවශ්‍යතා සහ ඒ සඳහා වන විසදුම් ආදිය  සම්බන්ධයෙන් සකච්ඡා වී නොමැති අතර ඒ වෙනුවට සැණකෙළි ස්වභාවයක් ගෙන තිබු එම සමුළුවේ දී තරුණ තරුණියන්ට විනෝද  වීම සඳහා "3 D-Glass" යොදා ගෙන සෙල්ලම් කරන "Cumputer Games" ඇතුළු විනෝදාත්මක අවස්ථා රැසක් සලසා දී තිබිණ.

 

Advertiesment