Sunday 22nd of September 2019

English Tamil


දකුණ ද..? වම ද..? ප්‍රජාතන්ත්‍රය ද..? වෙන මොකවත් ද..?


2019-08-24 1204

(අතුලසිරි සමරකෝන්)

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීම උත්කර්ෂවත් අයුරින් සිදුවන පසුබිමක නැවත නැවතත් අප විසින් මතු කළයුතු ප්‍රශ්නයක් වන්නේ පවත්නා දේශපාලනයේ යථාර්ථය තුළ ‘දූෂිත ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක්' නඩත්තු කිරීමේ අර්ථය කුමක් ද..?’ යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසිය වන මැතිවරණ දේශපාලනය යනු එහි වඩාත් ප්‍රාථමිකම කටයුත්ත ද වෙයි. එම මූලික ක්‍රියාව පවා කොතරම් පිරිසිදු ආකාරයකින් සිදුවන්නේ ද යන්න ගැටලුවකි.
 
බහු ධ්‍රැවීකරණය

අනෙක් අතට අපේක්ෂකයන් නම් කිරීම තුළින් ම දැකිය හැකි දැඩි තරගය තුළ බහු ධ්‍රැවීකරණයට හසුවන දේශපාලන අවකාශය පිළිබඳ මනා ඉඟියක් ලැබෙයි. මෙලෙස මෙරට ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලියේ මූලික තරගකරුවන් විසින් ඇති කරන සන්ධානමය සහ දෘෂ්ටිවාදීමය ධ්‍රැවීකරණ නැතිනම් කඳවුරු ගතවීම් තුළින් ප්‍රජාතන්ත්‍රයේ ඉදිරිය සඳහා ආලෝකයක් ලැබෙන්නේ ද..? නැතිනම් එම තරගය තුළ ඇතිවිය හැකි සමාජීය මනෝභාවයන් විසින් නැවතත් පද්ධතිය අවගමනය කරා ගමන් කරවනු ලබන්නේද..? යන්න පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුව පවතී.

දැනට පැහැදිලි වන ආකාරයට මූලික දේශපාලන කඳවුරු හතරක් හෝ පහක් පිළිබඳ අදහසක් ජනාධිපතිවරණ තරගය පසුබිමේදී මතුවෙයි. පළමුව, ජාතිකවාදී නැතිනම් වාර්ගික අනන්‍යතාමය දෘෂ්ටියක් හා රාජ්‍ය බලය සංකේන්ද්‍රණය කිරීම පසුබිම් කරගත් ගෝඨාභයගේ කඳවුරත්, දෙවනුව ආර්ථික විවෘතභාවය, ජාත්‍යන්තරකරණය සහ රාජ්‍ය බලය විකේන්ද්‍රණය පදනම් කරගන්නා එක්සත් ජාතික පක්ෂයද, තෙවනුව ප්‍රජාතන්ත්‍රවාදය, සුභසාධනය සහ සමාජවාදය අතර සංකලනයක් විය හැකි අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය ද ඉතාමත් පැහැදිලිව හඳුනා ගතහැකි කඳවුරු වෙයි. අනෙක් අතට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු කණ්ඩායම් ගණනාවක් ‘පිරිසිදු වමක් නැතිනම් ධනවාදයට විකල්ප කඳවුරක් අවශ්‍ය බව’ කියනු ඇසේ. මේ කඳවුරු සියල්ලක්ම ප්‍රතික්ෂේප කරමින් මතුවිය හැකි නවතම අපේක්ෂක සන්ධානයන් පැවතිය හැක.

එසේම, එජාපය සහ ශ්‍රීලනිපය මුහුණ දෙන අර්බුදය විසින් බිහිකළ හැකි ප්‍රේමදාස-සිරිසේන ප්‍රමුඛ කොටගත් තවත් සුබසාධනවාදී සහ දක්ෂිණාංශික කඳවුරක මතුවීමේ සම්භාවිතාව ද යම්තාක් දුරකට පවතී. මේ සියලු ආස්ථානයන් යනු වියහැකි තත්ත්වයන් වන අතර එම සියලු බෙදීම් තුළින් සංඥාර්ථ වන මූලික අදහසක් වන්නේ ‘විකල්පයක්’ සඳහා විශාල අවකාශයක් නිර්මාණය වූ දේශපාලන නිමේෂයක් අප ඉදිරියේ නිර්මාණය වී ඇති බවයි. මේ මොහොත විසින් ඉල්ලා සිටින එම විකල්පය අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඒ සඳහා භාවිත කළ හැකි විවිධ ප්‍රවේශයන් පවතින නමුත් අපට යෝජනා කළහැකි මූලික අදහසක් වන්නේ විකල්පය යනු පවත්නා තත්ත්වයන් තුළ දැනට පවතින අපිළිවෙළ භාවය යම්තාක් දුරකට සමනය කළ හැකි ප්‍රජාතන්ත්‍රීය පිළිවෙළක අවශ්‍යතාව බවයි. එම නිසා එම විකල්පය දෘෂ්ටිවාදීමය ආස්ථානයන්, නැතිනම් වම සහ දකුණ හෝ රැඩිකල් වම හෝ ජාතිවාදය පිළිබඳ බෙදීම් තුළින් පමණක් ගැඹුරින් සලකුණු කර ලනු නොහැකි බව පෙනී යයි. අප මුලින්ද කී පරිදි දූෂිත දේශපාලන යථාර්ථය සුපැහැදිලි කළහැකි වඩාත් ප්‍රජාතන්ත්‍රීය විකල්පය තුළින් ‘ප්‍රජතන්ත්‍රවාදී පද්ධතිය තවදුරටත් අර්ථ දැක්වීම’ අවශ්‍ය ව තිබේ. ඒ සඳහා දැනට අප හමුවට පැමිණ ඇති සහ ඉදිරියේ දී පැමිණිය හැකි බලවේගවල සූදානම කුමක් විය හැකිද?

 

ගෝඨා මිථ්‍යාව

ගෝඨාභය කඳවුර පිළිබඳ පවතින මූලික කියවීම් දෙයාකාරය. ඒවා මූලික මිථ්‍යාමතික ගොඩනැංවීම් වශයෙන් ද හඳුනා ගත හැක.

ගෝඨාභයගේ නායකත්වයේ පවතින දැඩි භාවය හා හොඳින් හෝ නරකින් සංවර්ධන ක්‍රියාදාමය හා පරිපාලනය මෙහෙයවීමට ඔහුට ඇති හැකියාව පිළිබඳ විශාල ප්‍රතිරූපයක් ඔහුට හිතවත් මාධ්‍ය අවකාශය විසින්, ජාතිකවාදී කඳවුර විසින් නිර්මාණය කොට තිබේ. ‘ගෝඨාභය‘ නමැති බ්‍රෑන්ඞ් එක පිළිබඳ දැනටමත් ජනතාව අතර විශාල මිථ්‍යාමතික චිත්‍රයක් පවතී. මිථ්‍යාමතිකය යනු බොරුවක් පිළිබඳ අදහසකට වඩා අපට කිසියම් යථාර්ථයක් වටා ගොඩනඟන ව්‍යාකූල අදහස් පද්ධතියකට සමකළ හැකිවෙයි. එබැවින් ගෝඨාභයගේ ප්‍රතිරූපය, එය සමහරවිට වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක වැඩක් විය හැක, යනු එක අතකින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇතිවී තිබෙන අකාර්යක්ෂම, අපිළිවෙළ සහගත හා අක්‍රීය විමධ්‍යගතකරණයට පිළිතුරක් වශයෙන් නිර්මාණය වන්නකි. ඔහුගේ ආරක්ෂක ලේකම් ප්‍රතිරූපය හා නාගරික සංවර්ධනය තුළ ඉටුකළ කාර්යභාරය පිළිබඳ ඒකපාර්ශ්වීය කියවීමක් පමණක් එම ප්‍රතිරූප ප්‍රවර්ධකයන් විසින් භාවිතාවට ගනු ලැබ තිබේ. අවසන් අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඔහුගේ ඇති නැඹුරුව පිළිබඳ ප්‍රශ්න ඇසීම ඔවුන් විසින් සිදු නොකෙරී තිබේ. එම තත්ත්වය තුළ ‘ගෝඨාභය‘ කඳවුරට වංචාවට, දූෂණයට, බලය අවභාවිත කිරීමට සහ පුද්ගල නිදහස, මාධ්‍ය නිදහස, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ විදේශ ප්‍රතිපත්තියේ පාරදෘශ්‍යභාවය පිළිබඳව ඉදිරිපත් කළ හැකි විකල්පයක් පවතී ද..? එසේ ඉදිරිපත් කළත් ඔහුගේ කඳවුරේ සිටින දුෂිතයන් සමඟ අපට එය පිළිගත හැකිද..?

දෙවනුව, දක්ෂිණාංශික ලිබරල් කඳවුරේ රනිල් පිළිබඳව පැවතියේ ද විශාල මිථ්‍යාමතික කියමකි. ඔහු ‘මිස්ටර් ක්ලීන්’ චරිතයක් බවට පත් කිරීම යනු ගෝඨාභය ‘දැඩි’ චරිතයක් වශයෙන් ගැනීම ම වැනි වූ දෙයකි. රනිල් ගේ ප්‍රතිරූපය මහබැංකු බැඳුම්කරයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල කඩා වැටීමකට හසුවිය. දුෂිත කඳවුර ආරක්ෂා කිරීම මිස එයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට රනිල්ට ද නොහැකි වූ වග පසුගිය වසර හතර විසින් මනාව ඔප්පු කර තිබේ. එපරිදිම එජාපයේ සජිත් පිළිබඳව ද මාධ්‍ය අවකාශය විසින් ගොඩ නඟන ප්‍රතිරූපය මිථ්‍යාමතික ය. සිරස මාධ්‍ය ජාලය විසින් ප්‍රේමදාස චරිතය ප්‍රවර්ධනයට විශාල ඉඩක් සපයයි. රනිල්ට සාපේක්ෂව ප්‍රේමදාස ග්‍රාමීය ජනතාව අතර ජනප්‍රිය වෙයි. එසේම ඔහු දරිද්‍රතාව වැනි මූලික ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් ජනප්‍රිය විසඳුම් වන සහනාධාර ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී.

නමුත් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති නැඹුරුව කරු වැනි චරිතයකින් වඩාත් සහයෝගයක් ලබන මුත් සජිත් ද තරමක් දැඩි පාලනයකට ප්‍රිය කරනු දැකිය හැකිවෙයි. මෛත්‍රී සහ ප්‍රේමදාස අතරවන එකඟතාව ගොඩනැඟෙන්නේ එජාපය තුළ පවතින මෙම නායකත්ව අර්බුදය සමඟිනි. කිසියම් අයුරකින් එජාපය දෙකඩව ගියහොත් එහි වැඩි වාසිය ලැබෙනු ඇත්තේ ජවිපෙට ද නැතිනම් ගෝඨාභයට ද..?

ජන බලවේගය

එම ගැටලුවත් සමඟ අපට ජාතික ජන බලවේගයේ ආගමනය පිළිබඳ විමසා බැලීමට සිදුවෙයි. සාම්ප්‍රදායික ව ජවිපෙ පිළිබඳ ගොඩනැඟී ඇති මිථ්‍යාමය ප්‍රවාද කිහිපයකි.

ජවිපෙ ග්‍රාමීය බුද්ධිමතුන්ගේ සහ පහළ පන්තීන්වල නියෝජනයක් පමණක් ය යන්න අද වන විට ඒ අතරින් වලංගු නොවන මිථ්‍යාමතිකයකි. ජවිපෙ වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති අතර සාපේක්ෂව වමේ අවකාශයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ප්‍රවර්ධනයට කැපවී සිටී. එසේ මුත්, සුළුජන කොටස් ජවිපෙ පිළිබඳ තීරණ ගැනීමේ දී අතීතයේ ඔවුන් බලය බෙදීමට සහ යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලිය හැක. සමස්ත වශයෙන් ජවිපෙ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන ධාරාව ගොඩනඟන ප්‍රතිරූපය තුළ පවතින්නේ ජවිපෙ අතීත අරගලමය භාවිතාවේ ආදර්ශය මිස ඔවුන්ගේ වත්මන් පාර්ලිමේන්තු භූමිකාව නොවෙයි.

එම නිසා ජාතික ජන බලය වශයෙන් ජවිපෙ ප්‍රමුඛව ගොඩනැඟෙන කඳවුර විසින් දැනට ජවිපෙ සම්බන්ධව ඇති මිථ්‍යාමතිකයන් ආමන්ත්‍රණය වීමක් ද අපේක්ෂා විය හැක. මේ මොහොත තුළ ජවිපෙ ප්‍රධාන ජන බලවේගයේ ප්‍රධාන විවේචකයා වන්නේ ඉහත දැක්වූ හා මතුවෙමින් පවතින රැඩිකල් වාමාංශික පිරිස්ය. ඔවුන් විසින් ගෙනෙනු ලබන මූලික තර්කයක් වන්නේ ‘මතුවෙමින් පවතින දේශපාලන අවකාශය වඩාත් රැඩිකල් ලෙස වාමාංශිකව ආක්‍රමණය කිරීමට’ ජන බලවේගය ක්‍රියාත්මක නොවන බවයි. ජන බලවේගය විසින් පෙන්වනු ලබන ප්‍රජාතන්ත්‍රීය නැඹුරුව හා එමඟින් වාමාංශික ඇජෙන්ඩාවක් නිරූපණය නොවීම නැතිනම් ධනවාදයට එරෙහි විකල්පයක් බවට පත්වීම ඔවුන්ගේ විවේචනයට ලක්වෙයි. නමුත් ජනබලවේගය වටා ගොනුවෙන පිරිස්වල අපේක්ෂාව වාමාංශික න්‍යාය පත්‍රයකට වඩා ප්‍රජාත්නත්‍රවාදී නිදහස සහ සමානාත්මතාව පිළිබඳව වූවක් වෙයි. ජාතිවාදයට එරෙහිවීම සහ ආර්ථික යුක්තිය වශයෙන් පමණක් අපට එම කඳවුරේ දේශපාලන සටන් පාඨය දැනට හඳුනා ගත හැක. පවත්නා තරගය තුළ නවතම අපේක්ෂකයන් පමණක් ඉදිරිපත් කිරීමෙන් කිසිදු ගැටලුවකට විසඳුම් ලැබිය නොහැක්කේ එහි පවතින ප්‍රායෝගික විරහිතභාවය නිසාය.

එම නිසා අප දැනට ඒ පිළිබඳ කතා නොකරමු. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතිවියහැකි භාවය ප්‍රතික්ෂේප නොකරමු. අපට අවශ්‍ය විකල්පය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික දේශපාලන, සමාජීය සහ සංස්කෘතික අවකාශය තුළ තවදුරටත් පළල් කිරීමට කැපවන එකකි. ගෝඨාභය කඳවුර එයට සූදානම් නැත. එය විසින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලනු ඇත. විසඳුම ඇත්තේ නැවතත් ලිබරල් සහ මාධ්‍ය වාමාංශික කඳවුරකය. ඒ කඳවුර තවමත් හරියටම බිහිවී නැත. ජාතික ජන බලවේගය සහ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි එජාප, ශ්‍රීලනිප සහ අනෙකුත් බලවේගයන්ගෙන් එම කඳවුර නිර්මාණය විය යුතුය. එහිදී මුලික කොන්දේසි විය යුත්තේ දුෂණ විරෝධය, සුභසාධනය, විධායකය අහෝසි කිරීම සහ සුළුජන අයිතීන් ය. එජාපය සහ ගෝඨාභය අතර වන ධ්‍රැවීකරණයට වඩා ඉතා විශාල අවකාශයක් එම තෙවැනි කඳවුරට හිමිවෙයි.

ඉදිරියේ දී ජාතික ජන බලවේගය ගමන් කළයුත්තේ වඩාත් පුළුල් එම අවකාශය දෙසටය. වාමාංශික අවකාශය පිළිබඳව දැනට අනවශ්‍ය බලාපොරොත්තු හෝ බියක් ඇතිකර ගත යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් වමට හැරවිය හැක. වමෙන් එය කළ නොහැක.

 

(රාවය)