Thursday 5th of December 2019

English Tamil
Advertiesment


මාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි..!


2019-08-24 1553

ඓතිහාසික කතා බොහෝ විචාරකයන්ට අප්‍රසන්න යුගයක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීණයෙක් ඩබ්ලව්.ඒ. සිල්වා මහතා විසින් රචිත විජයබා කොල්ලය නවකතාවට ජීවයක්දී එය ප්‍රේම වෘතාන්තයක් බවට පත්කොට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරයි. එහි ප්‍රධාන චරිතයට තෝරාගන්නේ සොනාලි ෆොන්සේකායි. ඇය තොරාගන්නේ කිසිම පෞද්ගලික හැඳුනුම්කමක් මත නොවන බවත් සුනිල් ආරියරත්නයන් මාධ්‍යයට ප්‍රකාශකර තිබුණා. එසේම මෙම කතාව තුළ තවත් අපූරු කතාවක් ඇත. එනම් ඇයට මෙම ආරාධනාව මුල්ම වතාවට කරද්දී ඇය ටෙලිනාට්‍යයකට සම්බන්ධව සිටි නිසාවෙන් මහචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනත් රංගන ශිල්පිනියක සොයා ගියද වසරකට පසුව නැවතත් ඇයගේ දෛවෝපගත ලැබීමක් ලෙස මෙම චරිතය ඇයටම ලැබෙයි.

සෙනාලි අත්දැකීම් බහුල කලා පවුලකින් පැවැත එන්නීය. මාලනි ෆොන්සේකා සහ දමයන්ති ෆොන්සේකා ඇයගේ නැන්දලාය. විජයබා කොල්ලය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන නීලමනිගේ චරිතය තුළින් රසික හදවත් අමන්දානන්දයට පත්කරන ඒ දක්ෂ රංගන ශිල්පිනිය අපත් සමග දොඩමළු වුණේ මේ විදියටයි.

කොහොමද සෙනාලි ජීවිතේ..? මේ දවස්වල විජයබා කොල්ලයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිහිනයක් විජයබා කොල්ලය කියන්නේ. එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ..?

ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. ඔහු පුංචි කාලයේ ඉඳලා ආස නවකතාවක්ලු විජයබා කොල්ලය කියලා කියන්නේ. ඉතින් ඒක කවදා හරි සිනමාවට නඟනවා කියලා ඔහුගේ සිහිනයක් තිබිලා. ඒකේ කොටස්කාරියක් වීමට සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මේ කණ්ඩායමත් එක්ක දායකවෙන්න ලැබීමත් මට සතුටක්. විජයබා කොල්ලය ඔබේ දෙවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටය සිරිපැරකුම්.

මේ අතර වෙනස්කම් මොනවද..?

ගොඩාක් අය හිතනවා ඓතිහාසික චිත්‍රපටවලට විතරක් මම කොටු වෙනවාද කියලා. එහෙම එකක් නැහැ. සිරිපැරකුම් ගත්තාම එහි සිරිමල් එතනාගේ චරිතය ළමා චරිතයක් සහ ළමා චිත්‍රපටයක්. විජයබා කොල්ලයේ නීලමනිගේ චරිතය ගත්තාම පටන්ගන්න කොට තිබුණු චරිතය නෙවෙයි අවසාන වෙනකොට තියෙන්නේ. මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලැබුණා රංගනය පිළිබඳ ඉගෙන ගන්න සහ අනාගතයට අත්දැකීම් ගොඩක් ලැබුණා. මගේ ප්‍රථම ආදර කතාව සහ මම ආදරවන්තියක් ලෙස කරන ප්‍රථම චරිතය තමයි නීලමනිගේ චරිතය.

මේ චිත්‍රපටයට කොහොමද ආරාධනා ලැබෙන්නේ..?

මේක මටම දෛවයෙන් ලැබුණු චරිතයක්. ප්‍රථම අවස්ථාවේ මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙනකොට මම ටෙලිනාට්‍යයක රඟපාමින් හිටියේ. එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා ටෙලිනාට්‍ය රගපාන ජනප්‍රිය අය ගන්න කැමති වුණේ නැහැ. ඊට අවුරුද්දකට පස්සේ විමල් දේශප්‍රිය මහත්මයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඔහු ඇහුවා මේ දවස්වල ලංකාවේ ඉන්නවාද කියලා. මොකක්ද චිත්‍රපටය, කාගේද කියලා කිව්වේ නැහැ. ඔහු දවස් කිහිපයකට පසු කිව්වා සුනිල් සර්ගේම චිත්‍රපටයක් තමයි කියලා.

කොහොමද විජයබා කොල්ලයේ නීලමනීට ප්‍රතිචාර..?

ඇත්තටම හොද’ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බලපු හැමෝම කිව්වේ මගේ රංගන ජීවිතේ රඟපෑ හොදම චරිතයක් කියලා. ඒ කියපු අය අතර ජැක්සන් ඇන්තනී මහත්මයා, රවීන්ද්‍ර රණ්දෙණිය මහත්මයා, මගේ ලොකු නැන්දි මාලනී ෆොන්සේකා මහත්මිය වගේ අය හිටියා. එයාලගෙන් හොඳ අහන්න ලැබුණා වගේම මංගල දර්ශනය ඉවරවෙලා සතුටට මාව සිපගත්තා. ඉතින් මගේ උපරිමයෙන් රඟපෑම කළා. දැන් බලනකොට හිතෙනවා මට ඊට වඩා හොඳට කරන්න තිබුණා කියලා.

මොනවද විශේෂ සිදුවීම් විජයබා කොල්ලය රූගතකිරීමේදී වුණු..?

මට පෞද්ගලිකව අමතක නොවන සිද්ධියක් තමයි අශ්වයාගේ පිටේ ගිහින් වැටුණු එක. මගේ කොන්දට තමයි එකෙන් බලපෑම් වුණේ. නමුත් අපිට රූගතකිරීම් නවත්වන්න කාලයක් තිබුණේ නැහැ. සුනිල් සර් ඇතුළු හැමෝම කිව්වා අපි රූගතකිරීම් නවත්වමු කියලා. ඒත් මම කව්වා මට වැඩකරන්න පුළුවන් කියලා. මම අශ්වයා පදින්න මාස 3ක් 4ක් පුහුණුවීම් කළා. කොන්ද කඩාගෙනත් අශ්වයා පදින ජවනිකාව කළා. අද හැරිලා බලනකොට සතුටක් දැනෙනවා.

හේමාල්ගෙන් සහ අශාන්ගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ..?

ලොකු සහයෝගයක් ලැබුණා දෙදෙනාගෙන්ම. අශාන් අයියාත් එක්ක මම වැඩකරලා තියෙනවා. මම රඟපෑව සිරිපැරකුම් චිත්‍රපටයේ අශාන්ව පෙනුණේ මගේ ලොකු අයියා කෙනෙක් විදියට. නමුත් මෙම චිත්‍රපටයේ පෙම්වතකුගේ චරිතයක් තියෙන්නේ. හේමාලුත් වැඩ කරනකොට උනන්දුවෙන් අවංකව වැඩකරන කෙනෙක්. ජංගම දුරකතන පවා විසන්ධි කරගෙන වැඬේට කැපවෙලා රූගතකිරීම් කළේ. අපි සියල්ලන්ම එහෙමයි.

නීලමනී නිසා අසංගගේ ජීවිතය නැති වෙනවා නේද..?

ඔව්. මම නිසා ඔහු ජීවිතක්ෂයට පත්වෙනවා.

කොහොමද මෙහි සංගීතයට දායක වෙන්නේ..?

රූපගතකිරීම්වලින් මට දායක වෙන්න ලැබුණු ප්‍රථම සින්දුව බවට පත්වෙන්නේ “ඇහි පිල්ලමක්” සින්දුව. රෝහණ සර්ගේ සංගිතයෙන් ඒ සින්දුව ගොඩාක් ලස්සන වුණා. සංඛ අයියා නර්තනයෙන් දායක වුණා.

සෙනාලි චිත්‍රපටවලට විතරද දායක වෙන්නේ..?

මගේ ප්‍රථම ප්‍රේමය චිත්‍රපට. මම ගොඩාක් දායක වෙන්න කැමති චිත්‍රපටවලට. ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට දැකලා තමයි කලාවට ආදරයක් ඇතිවෙන්නේ. ඒත් මේ කාලේ චිත්‍රපට හැදෙනවා අඩුයි. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

මොනවාද අපිට ඉදිරියට බලන්න පුළුවන් නිර්මාණ..?

ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි සොකරි චිත්‍රපටයේ චරිතයකට දායක වුණා. ඒ වාගේම ධනුෂ්ක රේමන් මහතාගේ “පරිස්සමෙන් ඉන්න” කියලා චිත්‍රපටයට දායකවුණා. ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාගේ යාත්‍රා ඉදිරියට එන්න තියෙනවා.

චරිත තෝරා බේරාගෙනද භාරගන්නනේ..?

අනිවාර්යයෙන්ම ඔව්. ඉදිරියේදී මම කැමතියි විවිධාකාර චරිත කරන්න. මට හැඟෙන විදියට දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න විවිධාකාර චරිත කරන්න ඕන.

සෙනාලි තාම ආදරය ගැන හිතලා නැද්ද..?

සැබෑ ජීවිතයේ අපි ආදරය ගැන හිතනවා. එහෙම හිතන්නේ නැතුව ඉන්න බැහැනේ.

කොහොමද සෙනාලි ආදරය අර්ථ දක්වන්නේ..?

අපිට විවිධ විධියට ආදරය ලැබෙනවා. යාහළු යෙහෙළියන්ගෙන්. දෙමාපියන්ගෙන්. ඒ වගේම විශේෂ පුද්ගලයකුගෙනුත් ආදරය බලාපොරොත්තු වෙනවා. මං ගාවට ආදරයට සොයාගෙන එන්න ඉඩදීලා තියෙන්නේ. මම ආදරය සොයාගෙන යන්නේ නැහැ. මම හිතන දෙයක් තමයි ආදරය දියුණුවෙන්න රඳාපවතින්න නම් ආදරයත් එක්ක යාළුකමත් තියෙන්න ඕන කියන එක. ඒ වගේම මාව රැකබලාගන්න පුද්ගලයෙක්ට මම ආසයි. මම ආදරයට ආදරය කරනවා.

සෙනාලි වගේ ලස්සන තරුණියකට ආදරේට ආරාධනා නොලැබෙනවා කියන්න බැහැ නේද..?

ඔව්. අනිවාර්යයෙන්ම ආදරය ලැබිලා තියෙනවා. ආදරෙන් පරාදවෙලත් තියෙනවා.

මවුපියන් මංගල යෝජනා ගේන්නේ නැද්ද..?

නැහැ. එයාලා මට නිදහස දීලා තියෙන්නේ මට කැමති කෙනෙක් සොයාගන්න. එයාලගේ තියෙන්නෙත් ආදර කතාවක් නිසා.

සෙනාලිගේ පවුලේ විස්තර මොනවද..?

මම පවුලෙ එකම දරුවා. අම්මයි තාත්තයි එංගලන්තේ. මම ඉගෙන ගත්තේ මෙහෙ විශාඛා විද්‍යාලයේ. අවුරුදු 8ක් වෙනකන් ඉගෙන ගත්තා. ඊට පස්සේ එංගලන්තයට ගියා කලාවට සම්බන්ධ වෙන්න ආස හින්දා මවුපියන් ඉඩදීලා තියෙන්නේ ලංකාවේ ඉන්න.

 

 

(මව්රට)
Advertiesment