Sunday 22nd of September 2019

English Tamil


සජිත් සම්බන්ධන් හමු වෙයි-TNA සහය ඉල්ලයි..!


2019-08-22 7800

ජනපතිවරණය ආවාම සිය ස්ථාවරය කියන බව සම්බන්ධන් සජිත්ට කියයි..!

 

"සජිත්-සම්බන්ධන්" හමුවුණේ මංගලගේ නිවසේ..!

 

"මලිකුයි-කබිරුයි-රංජිතුයි" හමුවට එක් වෙලා..!

 

TNA පැත්තෙන් "සම්බන්ධනුයි-සුමන්තිරනුයි" විතරයි..! 

 

(සුජිත් මංගල ද සිල්වා) 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් බදාදා (21) රාත්‍රියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේදී සිදුව තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුව මංගල සමරවීර මහතා මැදිහත් වී සංවිධානය කළ මේ හමුවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම. සුමන්තිරන් මහතා ද සහභාගී වී  ඇති අතර සාකච්ඡාවේ මැද භාගයේදී සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරමින් ඊට කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව ඇත. 

දීර්ඝ වශයෙන් දේශපාලන කරුණු සකච්ඡා කෙරුණු මේ හමුව රාත්‍රී 8.00 සිට  මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ඇදී ගොස් තිබෙන අතර, එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් ගොඩ නගන නව දේශපාලන සන්ධානයේ අපේක්ෂකයා ලෙස හෝ පොදු අපේක්ෂකයෙකු ලෙස හෝ තමා ජනාධිපතිවරණයට නියත ලෙස තරංග කිරීමට සුදානමින් සිටින නිසා එහි දී තමාට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය ලබා දෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා මේ සාකච්ඡාවේදී ආර්. සම්බන්ධන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

ඊට පිළිතුරු ලබා දෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබෙන්නේ ඒ සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ හැක්කේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද කියා පැහැදිළිව නම් කළාට පසුව වන බවය. 

මේ සාකච්ඡාවෙන් අනතුරුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රහස්පතින්දා (22) දහවල් මේ පිලිබඳ තොරතුරු විමසා සිටි අවස්ථාවේදී ආර්. සම්බන්ධන් මහතා එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපතිවරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති තත්ත්වය හමුවේ ඒ සම්බන්ධයෙන් කලබල නොවිය යුතු අතර ද්‍රවිඩ ජාතික සන්ධානය  ජනාධිපතිවරණය සහ එහිදී සහය පළ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක්  කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව ය.