Wednesday 18th of September 2019

English Tamil


මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්..!


2019-08-22 9840

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකීමෙන් යුතුව එම ප්‍රකාශ  කළ යුතු බවත්, කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ, කොත්මලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් විද්‍යාලෝක පරිවේණාධිපති කහත්තේවෙල චන්ද්‍රජෝති නායක හිමියන් ට අක්තපත්‍ර පිළිගැන්වීම නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, කොත්මලේ රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයක්  අමතමණි.

මෙම අවස්තාව සඳහා ගරු  වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටි  අතර  මෙම පූජෝත්සවය අමතමින් කථානායකවරයා මෙසේ ද පැවසිය.

සිය ජීවිතයම අන් අයගේ ලෝ සසුන් අභිවෘධිය වෙනුවෙන් කැප කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පූජනීය වූ භික්ෂූන් වහන්සේලාටද එතුළින් යම් කැළලක් සිදුවන අතර  ආගම පමණක් නොව ශ්‍රී ලාංකීය සංස්කෘතිය භාෂාව සාහිත්‍ය මෙන්ම හෙළ වෙදකමද අධ්‍යාපනයද පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ මධ්‍යස්ථානය වන්නේ පන්සල බවත් ධර්ම ශාලාවෙන් සහ භික්ෂුන් වහන්සේගේ අවවාද වලින් දුරස් වූ සමාජය අසහනයෙන් පිරී යන බවය.

තව ද වර්ථමානය වනවිට ලොව පුරා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශණය කෙරෙහි විශාල පැහැදීමක් ඇති වී තිබෙන අතර එහිදී මුළු ලෝකයටම දහම් පහස ලබා දීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීමට පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රී ලංකාවට හැකියාව ඇති වී තිබෙන්නේ   දැනුමෙන්  සන්නද්ධ වියත් භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාව තුළ නොඅඩුව වැඩ වසන නිසා බව ද කතා නායකවරයා එහිදී පැවසිය.

 තවඩ්  ආතර් සී ක්ලාක් මහතා මීට දශක 2 කට පෙර පළ කළ අනාවැකිය අනුවද වැඩි කල් නොගොස් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගමික දර්ශණයක් බවට බුදුදහම පත් වන බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, බුදු දහම තුළ අනෙකුත් සියළුම ආගමික දර්ශණයන්ට ගරු කරන ලෙස මග පෙන්වා ඇති බවත් ඒ අනුව කිසිඳු බෞද්ධයෙකුට ආගම්වාදියෙකු හෝ ජාතිවාදියෙකු විය නොහැකි බවත්ය.

උත්සවය අමතමින් කථානායකවරයා මෙසේද පැවසීය, සංඝනායක ධුරයකට හැම අතින්ම සුදුසු සම්භාවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් හැටියට කහතතේවෙල චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මෙම පුජෝත්සවයට මම සහභාගී වෙන්නේ ඉතාමත් කැමැත්තෙන් හා ගෞරවයෙන් ය. උන් වහන්සේ ඉතාමත් ගෞරවනිය සඟ පරපුරක් නියෝජනය කරමින්  තමන්ගේ ගුරු දේවයන් වහන්සේගෙන් පසුව  පිරිවෙන් විහාරස්ථානය දියුණුවෙන් දියුණුවට පත් කරමින් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ධූරය දරමින් අනලස්ව ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන්   කැප වුණා.

ඒ  වගේම අප දන්නවා උන් වහන්සේ විදේශ ගතවත්, මහා බ්‍රිතාන්‍යයේ විශාල ආගමික සේවාවක් ඉටුකළ බව. මේ සේවය නිසාමයි උන් වහන්සේට අද මේ ලැබෙන නායක පදවිය සංඝ සභාව විසින් ඒකමතිකව, සියලු ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය සමඟ ලැබෙන්න කටයුතු යෙදුණේ. විශේෂයෙන්ම සදාචාරසම්පන්න, විනයගරුක සමාජයක් බිහි කිරිමේදි, වර්තමානයේ දැන උගත් භික්ෂුන් වහන්සේලාගේ සේවය, මඟ පෙන්විම සමාජයට අතිශයින් වැදගත් යුගයක්.

භික්ෂුන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලබපු පන්සල ඇසුරෙන් හැදුණු වැඩුණු පුද්ගලයෙක් විදියට මාගේ ජිවිතයේ විශාල ආශිර්වාදයක් එයින් ලැබුණු බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. මේ කොත්මලේ ප්‍රදේශයට එනකොට විශාල ඓතිහාසික පසුබිමක් අපට සිහිපත් වෙනවා. දුටුගැමුණු රජතුමාට රැකවරණය දීපු යෝධ ජාතික සටනකට අවශ්‍ය පන්නරය ලබාදීපු බිමක් මේ. ඒ වගේම විදේශ ආධිපත්‍යයට එරෙහිව කන්ද උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනිම සඳහා, දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා  සටන් වැදුණු ධෛර්ය සම්පන්න නිරිභය මිනිසුන් ඔබේ මුතුන් මිත්තන් හැටියට ඔබට වැදගත් ඉතිහාසයක් නිරිමාණ කර තිබෙනවා.

විශේෂයෙන්ම මෑත ඉතිහාසයේදි කොත්මලේ ජනතාවගේ ශක්තියෙන් නිරිමාණය වුණූ ප්‍රතාපවත් ජාතික නායකයෙක් හැටියට ගාමිණි දිසානායක මැතිතුමා විශාල යුග මෙහෙවරක් ඉටුකර තිබෙනවා. මේ ගහකොළ පිරුණු පරිසරය තුළ සොබාදහමත් එක්ක ජීවත් වන මිනිස්සු තුළ තවමත් නගරයේ නැති දියුණූ බවක්, ආගම දහමත් එක්කලා සමීප බවක්, තිබෙනවා. ඔවුන් හට අයිතිවාසිකම් ගැන පමණක් නෙමෙයි යුතුකම් හා වගකීම් ගැනත්, හැඟිමක් තිබෙනවා. මේ හැඟිම පෝෂණ වුණේ පන්සලෙන්. ඒක තමයි ගමේ ශක්තිය. ඒ නිසා අද දවසේ අපේ නායක ස්වාමින් වහන්සේට මේ පදවිය ලැබුණට පස්සේ ඒ සමාජ මඟ පෙන්විම තව දුරටත් පුළුල්ව ශත්කිමත්ව ඉටු කරන්න හැකිවන බව විශ්වාසයි. ඒ සඳහා උන් වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.