Wednesday 18th of September 2019

English Tamil


ශ්‍රී ලංකාව සාර්ථක රාජ්‍යයක් කළ හැක්කේ කෙසේද..?


2019-08-17 2566

මීළඟට එන මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එක ම දේශපාලන පක්ෂයක් විසින්වත් රට සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ග හෝ ප්‍රතිපත්ති ඉදිරිපත්කොට නැත. එබැවින් පහත සඳහන් උපාය මාර්ග හා ප්‍රතිපත්ති මාලාව සැම විසින් මනා ලෙස පරීක්ෂා කර බැලීම හා ක්‍රියාත්මක කිරීම වටියි.

ලෝක බැංකුව අනුව ලංකාවේ දිළිඳු බව මෙසේය.

දිනකට අමෙරිකානු ඩොලර් 2 1/2ට අඩු ආදායමක් උපයන අය- වර්ෂ 2012/13 දී මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 32 පමණ, ගැමි ජන දිළිඳු බව සියයට 85, අති දිළිඳු බව-700,000 පමණ ජනයා, (විශේෂයෙන් වතුකර ජනතාව).

ගෝලීය වශයෙන්ද ලංකාව දුප්පත් යැයි සැළකිය හැකිය. 1970 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 225 ක් විය. එවිට සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 925 ක් විය. එහෙත් 2017 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000 වූ අතර සිංගප්පූරුවේ එය ඩොලර් 58,000 දක්වා ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත.

හේතුව

මීට හේතුව වූයේ 2016 වන විට සිංගප්පූරුවට ගලා ආ විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1,000 ඉක්මවුනු නිසාය. එවිට ලංකාවට ලැබුනේ ඩොලර් බිලියන 10 පමණ වන සුළු ප්‍රමාණයකි.(ඉන් වැඩි ප්‍රමාණයක්, කර්මාන්තවලට නොව ඉදිකිරීම්වලට යොදාගන්නා ලදී). ලංකාවේ ආර්ථිකය වර්ෂයකට 8% ක වේගයෙන් වර්ධනය වීමට නම් වාර්ෂිකව දල ජාතික නිෂ්පාදිතයෙන් 35%-40%ක පමණ ආයෝජනයක් අවශ්‍ය වේ.

එහෙත් අප විසින් වර්ෂයකට ඉතිරි කරන ප්‍රමාණය ඉතා සුළුය. 2018 දී එය 25% ක් පමණ විය. විදේශ ආයෝජන අවශ්‍ය වන්නේ ඒ නිසාය. එම ආයොජන සමග එන දියුණු තාක්ෂණය, කළමණාකාරිත්වය හා ගෝලීය වෙළෙඳ පොළට පිවසීමේ දැනුමද ලාංකික ආයෝජකයින් අතර නොමැති වීම තවත් හේතුවකි.

ලංකාවට ලැබෙන විදේශ ආයෝජන ප්‍රමාණය මද වූයේ කුමක් නිසාද..?

ප්‍රධාන වශයෙන් 1956 න් පසු ලංකාවේ මතුවුනු සිංහල බෞද්ධ අන්තවාදය නිසාය. මේ හේතුවෙන් ඇති වූ 30 අවුරුදු යුද්ධය, ඊට පසු අළුත්ගම, තෙල්දෙනිය, දිගන, අම්පාරේ යන තැන්වල මුස්ලිම්වරුන්ට කළ පහරදීම් නිසාය. මෑතකදී එනම් පාස්කු ඉරිදා මුස්ලිම් වරුන් විසින් තමන්ට කළ පහරදීම්වලට ප්‍රතිප්‍රහාර දෙනු ලැබීය. ප්‍රචණඩත්වය මෙසේ තවත් ප්‍රචණ්ඩත්වය උපද්දවයි. නැවතීමක් නැත. විදේශ ආයෝජකයෝ මෙවැනි ගැටීම් ඇති රටවල් අත් හැර ස්ථාවර දේශපාලන වාතාවරනයක් ඇති රට වලට යති .

1956 න් පසු පත්වුණු එකම රජයකටවත් මෙම සත්‍යය ජනතාව හට පහදා දීමටවත් රටේ වාර්ගික කණ්ඩායම් අතර සමගියක් ඇතිකොට මෙම ප්‍රශ්නය විසඳීමටවත් නොහැකි විය. තවද විදේශ ආයෝජන ගලා ඒම නැවතීම නිසා රැකියා ඉපදවීමටත්, අපනයන වැඩි කිරීමටත් නොහැකි වුණි. අපනයනය කඩා වැටීම නිසා ලංකාවේ විදේශ ණය ප්‍රමාණය 2018 වනවිට ඩොලර් බිලියන 52 දක්වා ඉහළ ගියේය.

මෙම ණය ගෙවීමට තවත් ඩොලර් ණය ගැනීමට රජයට සිදුවී ඇත. එපමණක්ද නොව 1956 න් පසු බෞද්ධ අන්තවාදය නිසා රටේ ඇතිවූ අවදානම් තත්වය කරණකොට වෘත්තිකයන් හා නොයෙක් කුසලතාවන් ඇති අය දහස් ගණනින් රට හැර යන්නට පටන් ගෙන ඇත. දැනට එවැන්නන් 3,000,000 ක් පමණ රට හැර ගොස් ඇති බව වාර්තාවී ඇත. එනිසා නොයෙක් ව්‍යාපාර හා ආයතනවල රැකියා ඇබෑර්තු 500,000 පමණ ඇතැයි වාර්තාවී ඇත. එබැවින් ලාංකික ව්‍යාපාරිකයින්ද ලංකාවේ නොව බංගලදේශය වැනි වෙනත් ස්ථාවර රටවල ආයෝජනය කරන්නට පටන් ගෙන ඇති බවද වාර්තාවේ.

මේ අන්තවාදය නිසා 1956 න් පසු ඇතිවූ යුද්ධය හා ගැටීම් කරණකොට දහස් ගණනින් මරණයට පත්වූ අය ගැනද, අංග විකලවූ තරුණයින් ගැනද සඳහන් කළ යුතුය. සමහරවිට මෙම අන්තවාදීන් මෙවැනි ක්‍රියාවලට යොමු වූයේ සිංහලයින්ට යහපතක් කිරීමේ අදහසින් වෙන්නට ඇත. එහෙත් ඇත්ත වශයෙන් සිදුවී ඇත්තේ සිංහලයින් (ජන සංඛ්‍යාවෙන් 70%) ඇතුලු මුළු ජනතාවම අන්න දුප්පත් තත්ත්වයකට ඇද වැටීමය.

අති උතුම් බුදුන් වහන්සේ විසින් කරන ලද්දේ මීට ප්‍රතිවිරුද්ධ උගැන්වීමකි. එනම් සැමට එනම් සතුරන්ට වුවන් මෙත්තා, කරුණා, මුදිතා, හා උපේක්ඛා දක්වන ලෙසය. අපගේ සුළු ජාතීන්ටද මෙලෙස සැළකුවේ නම් ලංකාවේ වර්තමාන ආර්ථිකය සිංගප්පූරුවේ තත්ත්වයට නොදෙවැනි වන්නට තිබුණි. සිංහල බෞද්ධ අන්තවාදීන් බුදුන් වහන්සේගේ උපදෙස් අනුගමනය නොකළ හෙයින් අප රට ගමන් කරන්නේ පසු පැත්තටය. සිංහලයින්ට තමන්ගේ රටේවත් සාර්ථක ජීවිතයක් ගතකරන්නට නොහැකිවනු ඇත.

නිවැරදි මගට හැරවීම

දැන් මතුවන ප්‍රශ්නය නම් මේ තත්ත්වය නිවැරදි මගට හරවන්නේ කෙසේද යන්නය.

ඒ ක්‍රියාවලිය මෙසේය:

1. මෙතෙක් බිහිවුණු නායකයින්ට මෙය කළ නොහැකි වූ බැවින් පළමුව අවංක වූද ජනතාවට සේවය කිරීමට මහත් උද්යෝගයක් හෝ ආශාවක් ඇති වූද නායකයකු තෝරාගත යුතුය.

2. ඔහු හෝ ඇය විසින් ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම සඳහා ස්ථාවර සාමාජික හා දේශපාලන පරිසරයක් සකස් කළ යුතුය. එය කළ හැක්කේ ප්‍රධාන වශයෙන් රටේ නොයෙක් ජාතීන් අතර සමගිය ඇති කිරීමෙනි. මේ සඳහා අවශ්‍ය නීති රීති හා ආයතන පිහිටුවීමට පමණක් නොව පවතින ව්‍යවස්ථාවේ බොහෝ දුර්වලකම් මකා දැමීම සඳහාද නව ව්‍යවස්ථාවක් බිහි කළ යුතුය.

වාර්ගික සමගිය- සිංගප්පූරුව කළ දේ

1964 දී සිංගප්පූරුවේ සිදුවුණු වාර්ගික කෝලහලයට පසු එහි ලී ක්වාන් යු ඇතුළු නායකයින් විසින් ගත් පියවර මේ සඳහා අනුකරණය කළ හැකිය. යම් ජන වර්ගයකට විරුද්ධව සිදුකළ හැකි අසාධරණ වැළැක්වීම සඳහා පිහිටුවන ලද සුළු ජාතීන්ගේ වරප්‍රසාද පිළිබඳ ජනාධිපති කවුන්සලය, 1989 දී සකස් කළ වාර්ගික ඒකීකරණ ප්‍රතිපත්තිය, ආගමික සමගිය ඇතිකිරීම පිළිබඳ නීතිය, ඉංග්‍රීසිය ජාතික බස කිරීමත්, රජයේ ආයතනවල පත්වීම් සුදුසුකම් අනුව පමණක් ලබාදීම සඳහා වගන්ති ව්‍යවස්ථාවේ ඇතුළත් කිරීම වැනි ක්‍රියාවලීන් මීට අන්තර්ගතය. වාර්ගික සමගිය හා ස්ථාවර දේශපාලන පරිසරයක් ඇති කිරීම සඳහා මෙවැනි නීති රීති හා ආයතන ඇතුළත් නව ව්‍යවස්ථාවක් ලංකාවටද අවශ්‍යය. යටත් පිරිසෙයින් ඉංග්‍රීසි බසද ලංකාවේ ජාතික බසක් කළහොත් නොයෙක් වාර්ගික ජනයා (විශේෂයෙන් පාසල් ළමයින්) අතර සංවාදයක් ඇති වී යම් සමගියකට තුඩු දෙනු ඇත.

3. මීළඟට දුප්පත්කම දුරුකිරීම, පුද්ගලික ආදායම් අතර පරතරය හැකි තරම් අඩු කිරීම වැනි අරමුණු ඉටුකරගත යුතුය. මේ සඳහා එක්සත් ජාතීන් විසින් 2015 දී අනුමත කරන ලද තිරසාර සංවර්ධන අරමුණු අනුගමනය කළ හැකිය. 2015 දී එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද තිරසාර සංවර්ධන අරමුණු කරුණු 17කින් සමන්විත වේ.

1.දුප්පත් කමින් තොරවීම,

2.සාගින්නෙන් තොරවීම,

3. ජනයාගේ සෞඛ්‍ය,

4.උසස් ගුණත්වයේ අධ්‍යාපනය,

5. ස්ත්‍රීපුරුෂ සමානත්වය ,

6. පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව,

7. පහසුවෙන් ලබාගතහැකි විදුලි බලය,

8. යහපත් රක්ෂාවන් හා ආර්ථික වර්ධනය,

9.කර්මාන්ත, නවෝත්පාදනය හා යටිතල පහසුකම්,

10. අවම ආදායම් පරතරය,

11.තිරසාර නගර හා ප්‍රජාවන්,

12. වගකිව හැකි පරිභොජනය හා නිෂ්පාදනය,

13. දේශගුණය ගැන සැලකීම,

14.ජලය යට ජීවිතය(මත්ස්‍ය සම්පත ආදී),

15. භූමිය මත ජීවිතය,

16. සාමය, සාධාරණය හා ශක්තිමත් ආයතන,

17.අරමුණුවලට එකමුතුවීම.( උපාය මාර්ග අරමුණු ළඟා කර ගැනීම සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන උපාය මාර්ග සකස් කිරීම ඊළඟ පියවරයි. දීර්ඝකාලීන උපාය මාර්ග නම් :

අ.) අපනයනයට යොමුවූ (විදේශ) ආයෝජන ආකර්ශනය කර ගැනීම,

ආ.) ඵලදායිතාව/කාර්යක්ෂමතාව දියුණුකිරීම,

ඇ.). භාණ්ඩ හා සේවාවල ගෝලීය තරගකාරිත්වය උපරිම කිරීම. මේ සඳහා මෙතෙක් මෙරටේ දේශීය ව්‍යාපාර ආරක්ෂාකිරීම පමණක් බෙහෙවින් අසාර්ථක වී ඇති නිසා වෙනත් දියුණු රටවල් මෙන් සමාජවාදයේද, ධනවාදයේද මිශ්‍රණයක් වන සමාජ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමය අනුගමනය කිරීම වැදගත්ය.

ඈ.) කෘෂි ඵලදායිතාව/ ග්‍රාමීය ආදායම් වැඩිකිරීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. පහත සඳහන් රූප සටහනෙන් මේවා පැහැදිලි වේ. ඊට පසු තවත් උපාය මාර්ග 2 ක් ක්‍රියාත්මක කළ යුතුය.

උ.) නායකයින් හා වෙනත් ජන නායකයින් , භික්ෂූන් වහන්සේලා හා වෘත්තිකයන් විසින් මෙම උපාය මාර්ග සියල්ල මහ ජනයාට හා අදාළ ආයතනවලට සරලව සිංහල හා දෙමළ බසින් පහදාදී සම්මුතියක් ඇති කිරීම.

ඌ.) සෑම පුරවැසියකු විසින්ම මෙම වගකීම නායකයින්ටම නොපවරා සෑම දිනකම රට වෙනුවෙන් මේ උපාය මාර්ග ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කිරීම හා පුද්ගලිකව යමක් කිරීම.

අප රටේ නායකයින් දීර්ඝ කාලීන උපාය මාර්ගවලට දැඩි කැමැත්තක් දක්වන්නේ එහිදී කොමිස් උපයා ගත හැකි ව්‍යාපෘති ක්‍රියාකාරීමට හැකි නිසාය. එහෙත් ග්‍රාමීය ජනයාට පිරිසිදු බීමේ ජලය, නිවාස, මාර්ග, කෘෂිකර්මය සඳහා ජලය, ගබඩා පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය හා නිෂ්පාදනයන් අලෙවිය සඳහා පහසුකම් සැපයීම වැනි කෙටි කාලීන උපාය මාර්ගද ඉතා වැදගත්ය. මේවා ක්‍රියාත්මක කිරීමෙන් රජයකට ජනයාගේ විශ්වාසය දිනාගත හැකිය. 

නිගමනය

රට සමෘද්ධිය කරා ගෙනයෑමට 1948 සිට ලංකාවේ නායකයින් අසමත්වී ඇති නමුත් කුඩා නැගෙනහිර ආසියානු රටවල් බොහොමයක නායකයින් ඊට සමත්කම් දක්වා ඇත. ප්‍රධාන හේතුව ලංකාවට අපනයනයට යොමු වූ විදේශ ආයෝජන නොලැබීමය, ආයෝජනයට සුදුසු ස්ථාවර වාතාවරණයක් සකස් කිරීමට නොහැකිවීමය. මීළඟ මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එකම දේශපාලන පක්ෂයකටවත් මෙම ප්‍රශ්නය විසඳීමට සුදුසු ප්‍රතිපත්ති නැති බවක් පෙනේ.

එබැවින් මහජනයා විසින් කළ යුත්තේ ඉහත සඳහන් උපාය මාර්ග අනුගමනය කරන දේශපාලන පක්ෂයකට/අපේක්ෂකයින්ට පමණක් තම ඡන්දය දෙන බව දැන්වීමය.

 

 

 

-සංවර්ධන ආර්ථික විද්‍යාඥ ලොයිඞ් යාපා-
රාවය