(අශන්ති වර්ණසුරිය)
මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වළක්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සිදු කළ කපටි රංගනයේ දෙවැනි අදියර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද ක්‍රියාවට නංවා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාම සහ මැතිවරණ වේදිකාවල දී එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම යනාදිය එම රංගනයේ උච්ඡතම අවස්ථා බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමටත් වඩා එක්සත් ජාතික පක්ෂය දිනවා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීමට යැයි ද චෝදනා කළේය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ අවස්ථාවටත් සහභාගී වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ පක්ෂයත් අපේක්ෂකයාත් පාක්ෂිකයනුත් අතහැරලා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.
2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපති පුටුවේ ඉඳ ගත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ට හිතවත් ඇමැතිවරුන් ලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඩැහැ ගත්තා. ඒ නිසා 2015 අගෝස්තු මාසේ පැවැති මහ මැතිවරණය වෙන කොට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිනවද කියන ගැටලුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට තිබුණා.
නමුත් ඒ වෙලාවේ ශ්‍රී නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ කිහිපදෙනකුගේ වුවමනාවට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවය සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. පක්ෂයේ නායකකම ජනාධිපතිවරයා දැරුවත් මැතිවරණ ව්‍යාපාරය කේන්ද්‍ර වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉලක්ක කර ගෙනයි.
මැතිවරණ පැවැත් වෙන්න දින තුන හතරක් කිට්ටු වෙන කොට සියලු සමීක්ෂණ වාර්තා කියලා තිබුණේ මේ මැතිවරණයේ දි සන්ධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි. මේ වාර්තා දැක්ක ගමන් ජනාධිපතිවරයාට තරු විසි වුණා. එතුමා මුල ඉඳන් කල්පනා කළේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම සහ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ ඇමැතිකම් ආරක්ෂා කර ගන්න හැටි මිසක් පක්ෂයේ ජයග්‍රහණය ගැන නොවෙයි.
ඒ නිසා අපේ අතේ තිබුණු ජයග්‍රහණය උදුර ගන්න ජනාධිපතිවරයා නොයෙකුත් බාල වැඩ කළා. සන්ධානය දිනුවත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියෙම කිව්වා. ඊළඟට ඡන්දයට ඔන්න මෙන්න තියලා සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා අයින් කරලා දැම්මා.
එහෙම කරලා සන්ධානයේ පාක්ෂිකයන් අධෛර්යමත් කරලා තමයි ආයෙමත් වතාවක් රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න අවස්ථාව සලසලා දුන්නේ. දැන් මේ මැතිවරණයේදිත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මහ මැතිවරණයේ දී කරපු කුමන්ත්රණයේ දෙවෙනි කොටස කරන්නයි. ජනාධිපතිවරයා ඉන්නේ රටට මොනා වුණත් කමක් නැහැ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ කියන මතයෙයි.
ඒ හින්දානේ කියන්නේ බැඳුම්කර කොමිසම ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයට ගහන්න නෙමෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නද? ඕකද ඔය මහ ලොකුවට වේදිකාවල ගිරිය කඩන් කෑ ගහන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. ඕක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නෙමෙයි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රතිපත්තිය.
අද වෙන කොට පැහැදිලිව පේන්න තියෙන දේ තමයි පොහොට්ටුවට මේ මැතිවරණයේ දී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව. අපේ ජයග්‍රහණය දැන් තහවුරු වෙලා ඉවරයි. අගමැතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට වගේම ජනාධිපතිවරයා ප්රමුඛ නිදහස් පක්ෂයටත් අපේ මේ ජයග්‍රහණය ඉවසා ගන්න බැරිව ගිහින් තියෙනවා.
මේ දෙගොල්ලොම හොඳටම දන්නවා මේ ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට ඇඩ්රස් නැතිව යන බව. දැන් බලන්නේ හොඳින් හෝ නරකින් අපේ ජයග්‍රහණය වළක්වන්නයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාමත් ඒ කූට වැඩ පිළිවෙළේ එක් අදියරක් විතරයි. ජනාධිපතිවරයා මේ රඟපාන මේ නාට්‍ය අගමැතිවරයා විසින් පිටපත ලියලා අධ්‍යක්ෂණය කරපු එකක්.
ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙන්නේ තමා එක්සත් ජාතික පක්ෂය සමග ඇයි හොඳයියක් නැහැ කියලා පෙන්නලා ඡන්ද ගොඩ වැඩි කර ගන්න විතරයි. ඒ හින්දා තමයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී බොරු සිංහ වෙස් අර ගෙන කෑ ගහන්නේ. ඕවට ජනතාවට රැවටුණු කාලේ ගියා.
ජනාධිපතිවරයා ඇවිත් කියනවා කැබිනට් එකේදි එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට බැන්නා කියලා. හැබැයි ජනාධිපතිගේ අගසව්වා වෙච්ච රාජිත සේනාරත්න කියනවා ජනාධිපති නැගිටලා ගියේ මුත්‍රා කරන්න කියලා. රාජිත සේනාරත්න හිතන් ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන් මෝඩයෝ කියලා වෙන්නැති.
අනෙක් පැත්තෙන් අගමැතිවරයා තව නාඩගමක් නටනවා. තමන්ගේ පක්ෂයේ ඉන්න බිලි බෝයිලා ටික දාලා ජනාධිපතිවරයාට අපහාස කරවනවා. අපහාස කරවන්න කලින් ජනාධිපතිවරයාට කියනවා ගණන් ගන්න එපා අපි ටිකක් බනිනවා කියලා. මිනිස්සු බොරුවට අප්පුඩි ගහනවා අපේ මන්ත්‍රීවරුන් දැන් ජනාධිපතිටත් බනිනවා කියලා.
මේ වගේ බොළඳ රගපෑම්වලින් ජනතාව රවට්ටන්න ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පුළුවන්කමක් නැහැ. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් බව පෙබරවාරි 10 වැනි දා තියෙන මැතිවරණ ප්‍රතිඵලයෙන් ලෝකෙටම ඔප්පු වෙනවා. එදාට මේ ආණ්ඩුවට අකුලගෙන යන්න වෙනවා.
මිනිස්සු මෝඩයාට අන්දන්න හදන රාජිත සේනාරත්නලා ඇතුළු සියලු දේශපාලනඥයන්ට සිද්ධ වෙන්නේ උසාවිවල රස්තියාදු වෙන්න තමයි. මොන සෙල්ලම් දැම්මත් ලබන අවුරුද්දෙන් මේ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉවරයි. මේ මැතිවරණයෙන් පටන් ගන්න විජයග්‍රාහී රැල්ල අපි 2019 ජනාධිපතිවරණයේ දී අවසන් කරන්නේ ජනතාවාදී ජනාධිපතිවරයකු පත්කරලයි.
Lanka Newsweek © 2024