Wednesday 18th of September 2019

English Tamil


අහෝ සුසන්තිකා..!


2019-08-15 1259

(ඒ. වික්‍රමසූරිය)

කලකට පසු සුසන්තිකා ජයසිංහ කරළියට පැමිණ ඇත. ඒ මෙරට දක්ෂතා හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ඔලිම්පික් සංගමයට උපකාරී කිරීම පිණිස ඇයට තනතුරක් පිරිනැමීමත් සමගය. තනතුරේ නම ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් දස්කම් අධ්‍යක්ෂිකාවය.

බැලූ බැල්මට මෙය නිකම්ම නිකම් පුස් තනතුරක් බව පැහැදිලිය. මේ සුසන්තිකාට මාසිකව මුදලක් ගෙවීමට ඇටවූ බොරු අටමගලයක් බව අමුතුවෙන් කිව යුතුද නැත. සුසන්තිකා ජයසිංහ යනු මෙරට බිහිකළ සුපිරිතම මලල ක්‍රීඩිකාව බව කිව මනාය. ඒ ගැන තව වසර ගණනාවකටම වෙනස් කළ හැකි දෙයක්ද නොවේ. ඔලිම්පික් පදක්කමක් දිනා මෙරට ක්‍රීඩාවට ආලෝකය එක් කළ ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා ඒ හපන්කම කළ එකම යකඩ ගැහැනියය. ඒ සඳහා ඇයට දිය යුතු සියලු ගෞරව මේ රට දී හමාර බව සහතිකය.

එහෙත් සුසන්තිකා හිඟන්නාගේ තුවාලය මෙන් ඔලිම්පික් පදක්කම පෙන්වමින් කාලෙන් කාලයට ලොකු ජෝගියක් නටා කීයක් හෝ කඩා ගන්නා තත්ත්වයට පත්වීම ඇත්තටම හිරිකිතය. පසුගිය කාලයේ ජීවත් වන්නට විදිහක් නැතැයි කියමින් ඇය ඔලිම්පික් පදක්කම විකුණන බවට තර්ජනය කළාය. රට අතහැර යන බවට කෑමොර දුන්නාය. එහෙත් ඒ සද්දයට හරියන්නට වත්කමක් ලැබුණු කල ඇය නිහඬය. ඔලිම්පික් පදක්කමක් දිනා වැඩි ගෞරව නැතිව වුව ඉතාම ගෞරවාන්විත ජීවිතයක් ගත කළ උදාර මිනිසෙකු වූ ඩන්කන් වයිට් සමග සැසඳීමේදී සුසන්තිකා රිදී නොව බෙලෙක්ක ගාණට වැටෙන බව කිව යුතුය. සුසන්තිකාට තනතුරු දීම ගැන අවුලක් හෝ සුසන්තිකා සමග පෞද්ගලික ආරාවුලක් හෝ අපට නැත. එහෙත් මේ විගඩම කාලෙන් කාලයට කරමින් රවටන්නේ කාවද යන ප්‍රශ්නය අරබයා අපට බරපතළ අවුලක් ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ක්‍රීඩා උපදේශිකාව ලෙස ඉහළ වරප්‍රසාද ලැබූ ඇය අවසානයේ නතර වූයේ දේශපාලනයටද පැමිණය. එකල ඇය උපදේශිකාව ලෙස ජනපති මහින්දගෙන් ඉල්ලා ඇත්තේ තමාගේ බොල්ගොඩ නිවෙස අසල පිට්ටනියක් ඇති බවත් එහි ක්‍රීඩා කරන ළමුන්ගෙන් තමන්ට කරදර බවත් එය ඉවත් කරදෙන ලෙසය. ජනපති මහින්ද සුසන්තිකාට ඉතිහාසය මතක් කොට දී මහින්ද දෙසුමක් පැවැත්වූ බව දන්නෝ දනිති.

ඉන්පසු හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ උපදේශිකාවක් ලෙස සිටි ඇය ක්‍රීඩාවට කළේ කුමක්ද? දයාසිරි ජයසේකර කාලයේ රට පුරා ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගන්නැයි කියා තනතුරක් හදා මාසිකව රුපියල් 60,000ක් පමණ ගෙවන තැනට දයාසිරි සියල්ල සැකසුවේ තමන් ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත් වුවද එය අඛණ්ඩව ඉදිරියට යන ලෙසය. එහෙත් ඒ වැටුපට සරිලන ලෙස සුසන්තිකාගේ සේවයක් සිදු නොවන්නේ යැයි කී සැණින් පරල වූ සුසන්තිකා දයාසිරිගේ රෙදි ගලවන්නට විය. දේශපාලනය පැත්තකින් තැබූ කල එතැනදී දයාසිරිගේ කිසිදු වරදක් නොවීය. ක්‍රීඩා අමාත්‍යාංශය පැත්ත පළාතේ නොයන බව කී සුසන්තිකා දයාසිරි කාලයේම නැවත හොරාට හොරාට ගොස් දීමනාව ලබා ගත්තාය. ඒ සුසන්තිකාගේ හැටිය.

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම පිටුපස ඇයට යෝධ ශක්තියක් වූ බොහෝ පිරිස් වූහ. එහෙත් අද සුසන්තිකාට ඒ කිසිවකු මතක නැත. එදා මතකද නැත. සුසන්තිකා තරම් ඩර්වින්ට අපහාස කළ අයෙක් නැති තරම්ය. ඒ ඩර්වින් සුසන්තිකාගේ පුහුණුකරුවීම නිසාය. සුසන්තිකා ඇමරිකාවේ නොයන්නට ඔලිම්පික් පදක්කමක් දිනීම හීනයක් වනවා නියතය. එහෙත් ඇමරිකා ගමන ඉබේ ඇති වූවක් නොවේ. එස්.බී. පිස්සු නටද්දී පවා සුසන්තිකාගේ ගමන හදන්නට බොහෝ පිරිස් අප්‍රමාණව වෙහෙසුණෝය. ඒ කිසිවක් ගැන සුසන්තිකාට අද හාන්කවිසියක මතකයක් නැත. ඩන්කන් වයිට් නම් උතුම් මිනිසා සමග ඇරඹි ඩන්කන් වයිට් පදනම එදා ඩන්කන් වයිට් කළ හපන්කම තව කෙනකු කළ යුතු යැයි සිතන තැන සිට සුසන්තිකාට කළ හැකි උපරිම දේ කළාය. ජෙනිෆර් මොරගොඩ එදා ඩන්කන් වයිට් පදනම වෙනුවෙන් සුසන්තිකාට විශාල මුදලක් එකතු කොට ඒ ගිණුමම සුසන්තිකාට බැර කළා මතකය. ඇමරිකාවේ යැවීම, ටෝනි කැම්බල් හොයා ගැනීම ඩන්කන් වයිට් පදනමේ වැඩය. එදා ටෝනි කැම්බල් ඇගේ පුහුණුව සරසවිය ළඟින් ඇයට නවාතැන් සපයන්නැයි ඩන්කන් වයිට් පදනමේ සාමාජිකයකු වූ විජිත ප්‍රනාන්දු මහතාට කී කල එතුමා අතින් වියදම් කොට (ඩොලර් 4500) නවාතැනක් සැපයූ බව සැලය. ඒවා සුසන්තිකා නොදන්නේද..? නොදන්නවා සේ ඉන්නවාද..? ඩන්කන් වයිට් පදනම සුසන්තිකාගේ භාරකාර පදනම ලෙස නොඉන්නට අද සුසන්තිකා ඔලිම්පික් පදක්කම්ලාභිනියක් නොවන්නට ඉඩ තිබුණි. එහෙත් අභාග්‍ය ඒ කිසිවක් නොවේ. ඒ සියල්ල සුසන්තිකාට අමතකවීමය.

ඇය ඇගේ කිසිදු සාකච්ඡාවක ඩන්කන් වයිට් පදනමක් තබා ඩන්කන් වයිට් ගැනවත් කතා නොකරන තැනට තල්ලු වී ඇත. ඇය පුන පුනා ඔප්පු කරනුයේ ඔලිම්පික් පදක්කමක් දිනුවේ තමන් පමණක් බවය. සුසන්තිකාට ඉතිහාසය අමතක කළ හැකි වුවත් ඉතිහාසය වසා දැමිය නොහැකිය. ඉතිහාසය දන්නා අයට මේ හැසිරීම් පිළිකුල්ය.

එදා සුසන්තිකාට ඔලිම්පික් කමිටුව පෙන්නන්නට බැරිය. නයාට අඳු මෙන්ය. එහෙත් අද ඔලිම්පික් කමිටුවේ දස්කම් අධ්‍යක්ෂිකාවය. මේ තනතුරින්ම මෙහි ව්‍යාජය පෙනේ. 2000දී ඔලිම්පික් පදක්කමක් දිනන සුසන්තිකා මේ රටේ දස්කම් සොයන්නට පටන් ගන්නේ වසර 19කට පසුවය.

ඔලිම්පික් දිනූ පලියට ඇහින් බලා දක්ෂයන් හඳුනා ගත හැකිද..?

එසේ නම් හුසේන් බෝල්ට්ට ඇස් පියාගෙනත් දක්ෂයන් ගැන කිවහැකි විය යුතුය. මේවා සුරංගනා කතාය. පුහුණුකරුවකු වන්නට නම් ඊට සුදුසුකම් සපුරාලිය යුතුය. ඒ කිසිවක් නැතිව දක්ෂයින් සොයන්නැයි කීම අන්ධයාගෙන් අලියා ගැන ඇසුවාට වඩා වෙනස් දෙයක් නොවේ.

මීට වසර කිහිපයකට පෙර සුසන්තිකා ‘මගේ කතාව’ කියා තමන් ගැන ලියූ පොත ජනපති සිරිසේනට දී ඔහු පමණක් නොව රටම ඇන්දුවා මතකය. එදා සුසන්තිකා පෙරළුවේ අමුතුම පොතකි. එනම් මෙරට ක්‍රීඩා ඇකඩමියක් හදන බවට ප්‍රතිඥා දීමය. එහිදී එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යාංශ මුදලින් ලක්ෂ 10ක චෙක්පතක්ද ඇයට ලබා දුන්නේය. එයින් නොනැවතී ජනපති කුරුණෑගලින් අක්කර 50ක ඉඩමක් ලබාදීමටද පොරොන්දු විය. සුසන්තිකා වැඬේට මහා පරිමාණයෙන් අත ගැසුවේ විදෙස් ආධාර ලබා ගැනීම තම පුහුණුකරු ටෝනි කැම්බල්ට පවරමිනි. ඔහුද මෙරටට පැමිණ එදා ඒ සියල්ලට කර ගැසුවේය. එසේ නම් අද ඒ ඇකඩමිය හැදෙන්නේද..? එයට ලැබුණු මුදල් කොපමණද..? ඇකඩමිය කියමින් තවමත් මුදල් එකතු වන්නේද..?

එම ගිණුම සුසන්තිකාගේ නමට ඇති බව අපගේ හැඟීමය. මේවා පටන් ගනිද්දිම අප කීවේ මේ බොරු වැඩ බවය. ජාත්‍යන්තර පිට්ටනි සහ ඇකඩමි හැදීම පුද්ගලයකුට හෝ එන්ජීඕ එකකට කළ හැකි දේ නොවේ. එයට රාජ්‍ය මැදිහත්වීම අනුග්‍රහය වුවමනාය. 2015 අග සුසන්තිකා ඇකඩමිය කරට ගත් කළ අප එය දැඩිව විවේචනය කළ විට බොහෝ අය අප සමග උරණ වූවා මතකය. දැන් සැමට ඇකඩමිය අමතකය. සුසන්තිකාට නම් ඒ ගැන කොහෙත්ම මතකයක් තියෙන්නට විදිහක්ද නැත. ඇය අන් අයට වඩා ඉක්මනින් ඒවා අමතක කරන බැවිනි.

මේ අල්ල පනල්ලේ නැවත එදා ක්‍රීඩා අමාත්‍යාංශය ඇයව රට වටේ දක්ෂයින් හඳුනා ගන්නට ගත් පරිදිම ඔලිම්පික් කමිටුව ඇය ප්‍රයෝජනයට ගෙන ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේදී කිසිවක් නොකළ සුසන්තිකා දැන් ඔලිම්පික් කමිටුවේදී දක්ෂයන් හඳුනා ගනු ඇත්ද..? සුසන්තිකාගේ කට වසා තබන්නට මාසිකව කීයක් හෝ දෙන්නේ නම් එය වෙනම කරුණකි. එහෙත් මේ බොරු තනතුරු ඇති කොට බොරු නාඩගම් නටන්නැයි ඔලිම්පික් කමිටුවෙන් අපි ඉල්ලමු.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඔලිම්පික් කමිටුව අතර මේ දිනවල ගැටුම් පවතී. ඒ නිසා සුසන්තිකා ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයට ඇති පදම් දෙහි කපන්නට ඉඩ ඇත. ඒ මේ නව තනතුර නිසාය. මේවා බොහෝ අයට මැජික් වුවද අපිට නම් මැජික් නොවන බව කිව යුතුය.

එක් අතකින් සුසන්තිකා පව්ය. ඒ නිසි කළමනාකරණයක් නොදත් නිසාය. දර්ශා, ශ්‍රියානි, සුගත්ලා අද කාගෙවත් අතකොලු නොවී හොඳින් ඉන්නා කල සුසන්තිකා තවමත් ඔලිම්පික් පදක්කම පෙන්වමින් සූදුවේ යෙදේ. සමහරු සූදුවේ යොදති.

අවුරුදු 19ක්ම එකම සෙල්ලම එක විදිහටම වේ. මේ එහි අවසානය නොව තවත් එක් කොටසක් පමණි. උසස් දස්කම් අධ්‍යක්ෂිකාවට ජය.

 

 

 

(රාවය)