Sunday 22nd of September 2019

English Tamil


එක්සත් ජාතික පක්ෂය දෙදරා යයිද..?


2019-08-16 2584

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උග්‍රවෙමින් පැවතීම, අද දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. අභ්‍යන්තර ප්‍රශ්න අද ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ ජනතාව ඉදිරියේ සාකච්ඡා කිරීම දක්වා දරුණු තත්වයකට පැමිණීම එතරම් සුභදායක නොවන්නේ තව මාස කීපයකින් මැතිවරණ කීපයකට මුහුණ දීමට සිදුව ඇති බැවිණි. නොවැම්බර් මස 24 වෙනි දින හෝ ඊට ආසන්න දිනයක දි ජනාධිපතිවරණය පැවැත්වීමත්, සැප්තැම්බර් මස අගභාගයේදී ඒ සදහා නාම යෝජනා බාර දීමත් සිදුවන බැවින්, තව දුරටත් මෙම ගැටුම් සමග ඉදිරියට යෑම අසුභවාදි පෙර නිමිත්තකි.

දැනටමත් පොහොට්ටුව සිය මැතිවරණ ව්‍යාපාරයට පිවිස ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ද තව දින කීපයකින් තම අපේක්ෂකයා නම් කරණු ඇත. එක්සත් ජාතික පාක්ෂිකයා මං මුලා කිරීම කණගාටුදායකය. පසුගිය පලාත් පාළන මැතිවරණයේදි, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 26%කට ආසන්න ප්‍රමාණයකට පහත වැටි ඇති බැවින්, තව දුරටත් සන්ධාන ගත නොවි, තනි පක්ෂයක් ලෙසට ජයග්‍රහණය කල නොහැකි බව මනාව පැහැදිලි වේ.

නමුත් තත්වය එසේ තිබිය දී, කුඩා පක්ෂ කීපයක් සමග සන්ධානයක් ගොඩ නැගිමේදීත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළද , බෙදීමක් සිදුව ඇති නිසා, සන්ධානය හෝ පෙරමුණ පිහිටුවීමද තව තවත් පස්සට යෑම තුළින් ගැටඵව තවත් සංකීර්ණ වී ඇත. මේ වනවිට දෙපාර්ෂවයම පෙරමුණක් පිහිටුවීමට එකගතාවයට පැමිණ තිබීම තාවකාලික අස්වැසිල්ලක් වූවද, එක් පාර්ශවයක් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුවද, අනෙක් පාර්ෂවය අපේක්ෂකයෙකු නම් කිරීමට පෙරද, පෙරමුණ පිහිටුවීමට උත්සාහ කිරීම තුළින් නව අර්බුදය නිර්මාණය වී ඇත.

එක් කණ්ඩායමක් කල්පනා කරන්නේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කලින් නම් කළ හොත් පෙරමුණට සම්බන්ධවන පක්ෂ එම අපේක්ෂකයාට අකමැති නම්, පෙරමුණ පිහිටුවීමට බාධා පැමිනෙණ බැවින්, පෙරමුණේ සියලු පක්ෂවල එකගතාවයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවයි. එසේ නොකළ හොත් සමහර පක්ෂ පෙරමුණට එකතුවීම ප්‍රතික්ෂේප කළ විට එම ඡන්ද තම අපේක්ෂකයාට අහිමිවීම තුළින් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි බවයි.

අනෙක් කණ්ඩායම කල්පනා කරන්නේ පෙරමුණ පිහිටුවීමෙන් අනතුරුව, බහුතර ඡන්ද පදනමක් ඇති එක්සත් ජාතික පක්ෂයෙන් තමන් කැමති අපේක්ෂකයෙකු ඉදිරිපත් කල විට පෙරමුණේ නායකයින් එම අපේක්ෂකයාගේ නම ප්‍රතික්ෂේප කළ හොත් තම අපේක්ෂකයාට ඇති අවස්ථාව මගහැරී යන බැවින්, අපේක්ෂකයා නම් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයටම හිමිවිය යුතු බවකි. එහෙයින් ඔවුන් දරන්නේ අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව පෙරමුණ පිහිටවිය යුතුය යන මතයයි.

මෙම මත ගැටුම තුල කණ්ඩායම් දෙකකටම බෙදි සිටියද, තවමත් අපේක්ෂකයෙකු ද තෝරා ගෙන නැත. එක් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරන අතර, එයට විරුද්ධ පිරිස කිසිදු නමක් යෝජනා නොකරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු තම අපේක්ෂකයගේ නම ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය යැයි පවසමිනි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරය  බලාපොරොත්තුව සිටියද, ජනාධිපති අපේක්ෂකත්වය සදහා කිසිසේත්ම ඉදිරිපත් නොවනු ඇත. කටකථා මගින් කරු ජයසූරිය, චම්පික රණවක මහත්වරුන්ගේ නම් කියවුනද, සජිත් පිලේ මෙන් එම නම් කිසිවෙකුත් ඉදිරියට ගෙනවිත් නැත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු පාර්ශවවල කැමැත්තෙන්, සියලු දෙනාගේ ආශිර්වාදයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත්, තවත් අවුරුදු දහයකට, පහලොවකට විපක්ෂයටම යනු ඇත.

තත්වය මේ තරමටම උණුසුම් නම් අවසානය කුමක් විය හැකිද..?

මෙම දෙපාර්ෂවයටම පොදු එකගතාවයකට පැමිනීමට නොහැකි වුවහොත්, එක් පාර්ශවයකට වෙන්වී යැමට සිදුවිම වැලැක්විය නොහැකිය. දැනට දෙපාර්ශවයම ගමන් ගන්නා දිශාවන්අනුව පැහැදිළිව පෙනි යන්නේ එක්වීමට වඩා, වෙන්වීමට උත්සාහ කිරීම හෝ බලහත්කාරයෙන් යමක් සිදු කිරීමට දෙපාර්ශවයම ගන්නා උත්සාහයකි.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කාලයේ ශාක්‍ය කෝලිය දෙවංශික රජ දරුවන්ගේ කලහයක් මුල් කොට ගෙන ඇති වූ, වාද විවාද නිසා මිනිසුන් පමණක් නොව තිරිසන් ගත සතුන් ද විනාශයට පත්වන බව පෙන්වා දීම සඳහා වටු කුරුලු ජාතක කතාව දේශනා කරන ලදී. එම දේශනාව එක්සත් ජාතික පක්ෂ නායකයින්ට වඩාත් යෝග්‍ය බව මට හැගේ.

එක් වී සැනසෙමුද.. ?

වෙන් වී වැනසෙමුද ..?

මෙහි අවසන් ප්‍රතිඵලය එක් කණ්ඩායමක් ඉවත්වීම නොවේද..? නැතහොත් පක්ෂයේ දෙදරා යෑමක් නොවේද..?

අවසානයේ නැවත වරක් පරාජය වන්නේ පාක්ෂිකයා නොවේද..? අපි මෙහි තීන්දුව කාලයට බාර කරමු.

 

-සුදත් චන්ද්‍රසේකර-
අගමැතිතුමාගේ හිටපු පුද්ගලික ලේකම් සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්