Tuesday 15th of October 2019

English Tamil
Advertiesment


සැම්සුන් සමාගමේ ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට..!


2019-08-06 1314

සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

එම උපාංගයේ හටගත් යම් දෝෂයක් හේතුවෙන් පෙර සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි විය. සැම්සුන් ගැලැක්සි වර්ගයේ මෙම ජංගම දුරකතනයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා භාවිත කිරීමට ලබා දුන් පුද්ගලයන් එහි තිරය පළුදු වූ බව පැමිණිලි කිරීම හේතුවෙන්, එය අප්‍රේල් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට තිබූ සැලසුම වෙනස් විය.

ඩොලර් 2,000ට ආසන්න මෙම උපාංගය "වැඩිදියුණු" කර ඇති අතර, "තෝරා ගත්" වෙළෙඳපොළ තුළ මෙය විකිණීමට බලාපොරොත්තු වන බව සැම්සුන් සමාගම පවසයි. සිය තරගකාරී සමාගම්වලට පෙර මෙම නම්‍යශීලී ජංගම දුරකතනය වෙළෙඳපොළට නිකුත් කිරීමට සැම්සුන් සමාගමට අවශ්‍ය වී තිබිණි. "කාලය ලබාගෙන මෙම උපාංගය සම්පූර්ණයෙන්ම විමර්ශනය කළා. අවශ්‍ය වැඩිදියුණු කිරීම් කළා, දැඩි පරීක්ෂණවලට ලක් කළා," යැයි සැම්සුන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"තෝරා ගත්" වෙළෙඳපොළක් තුළ මෙය විකිණීමට බලාපොරොත්තු වන බව සැම්සුන් සමාගම පවසයි.

ජංගම දුරකතනයේ තිරයට වැඩි ආරක්ෂාවක් ලබා දීම සඳහා තවත් ස්ථරයක් සවි කර ඇති අතර, එය ගලවා ඉවත් කිරීම නොසුදුසු යැයි සඳහන් කර තිබේ. එමෙන්ම, දුරකතනය නැමෙන ස්ථාන තවත් ශක්තිමත් කිරීමට ද කටයුතු කර තිබේ. සාමාන්‍යයෙන් නව ජංගම දුරකතනයක තිර ආරක්ෂණය ඉවත් කරන ආකාරයටම මෙහි අලවා තිබූ ආරක්ෂණයත් ගලවා ඉවත් කිරීමට සමහරු ක්‍රියා කර තිබිණි. තිරය පළුදු වීමට එය හේතුවක් වූ බව සමාගම පවසයි.

චීනයේ නිෂ්පාදිත හුවාවි ඇතුළු ජංගම දුරකතන ලෝකයේ දැවැන්තයන් කිහිපදෙනෙකු සමග පවතින අතිශය තරගකාරී වාතාවරණයක් තුළ නව ජංගම දුරකතනයේ දෝෂ මතු වීම සැම්සුන් සමාගම දැඩි අපහසුතාවකට ලක් කරයි.

පසුගිය වසරේ දී හුවාවි ලෝකයේ දෙවෙනි විශාලතම ජංගම දුරකතන සමාගම බවට පත් වූ අතර, ඔවුන්ගේ නම්‍යශීලී ජංගම දුරකතනය ද සැප්තැම්බර් මස එළිදැක්වීමට නියමිතය.

හුවාවි සමාගම ද මෙම නව ජංගම දුරකතන වර්ගය එළිදැක්වීම ප්‍රමාද කරමින් සිටින අතර, සැම්සුන් දුරකතනයේ මතු වූ දෝෂ නිසා සිය නිර්මාණය ද තවදුරටත් පරීක්ෂා කරමින් සිටින බව පවසයි. ස්මාර්ට් ජංගම දුරකතනයක් ටැබ්ලට් උපාංගයකට හැරවිය හැකි උපාංගයක් මෙම වසර මුල දී චීනයේ Xiaomi (ෂෝමි) සමාගම එළිදැක්වීය.

 

 

(BBC සිංහල සේවය)

Advertiesment