Thursday 22nd of August 2019

English Tamil


ගුවන් තලයේ පර නොවන කුසුම..!


2019-08-05 1101

කුසුම් පීරිස් ‘කුසුම්’ ලොව අලංකාර කරයි. සුවඳවත් කරයි. මේ ‘කුසුම්’ ලක් දෙරණේ පිපුණේ ලොව සුලලිත හඬින් මිහිරි කිරීමටයි. ‘මිහිරි නිරවුල් හඬ’ ඇයගේ ජන්ම දායාදය විය. කුඩා වියේදීම සිතට එන සෑම වදනක්ම එකිනෙක ගළපා උච්චාරණය කිරීමට කුසුම්ට තිබුණේ පුදුම හැකියාවකි.

ඇය පාසල නිම වී නිවෙසට පැමිණි විගස ගුවන් විදුලියට සවන් දීමට පුරුදුව සිටියාය. “අම්මේ මට මාතෘකා ගොඩක් දෙන්නකෝ ගුවන් විදුලියේ යන විදියට කතා කරන්න. ඒ වගේ කතා කරන්න මං හරි ආසයි” ඇය මවට නිතර ඇවිටිලි කළාය. එලෙස කතා කිරීමෙන් ලැබූ පන්නරයෙන් කථික තරගවලින් ප්‍රථමයා වී කුඩා කුසුම් සිය කථන කුසලතාව ප්‍රකට කළාය.

කුසුම් නිවේදන උමතුව නිසා අකරතැබ්බවලට ද මුහුණ දුන්නාය. ගුවන් විදුලි යන්ත්‍රය තිබුණේ පියා නිදා ගන්නා ඇඳ අසල තිබූ අල්මාරිය උඩය. රාත්‍රියට ප්‍රචාරය වූ ‘විශ්ව සාහිත්‍ය’ වැඩ සටහනට ඇය කෙතරම් ඇලුම් කළා ද කිවහොත් පියා නින්දට ගිය විට කුසුම් පුටුවක් උඩට නැඟ ඇසෙන නොඇසෙන ගණනට ගුවන් විදුලි යන්ත්‍රය පණගන්වා ඊට සවන් දුන්නාය. එහෙත් දිනක් ඇය පුටුව පෙරළාගෙන බිම වැටුණු අතර කුසුම් පියාගෙන් ඇති තරම් බැට කෑවාය. පියාගේ දඬුවමත් සමඟ කෙදිනක හෝ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කිරීමට පුංචි කුසුම් අදිටන් කර ගත්තාය. මේ සිදුවීම වන විට ඇයගේ වයස අවුරුදු අටකි.

තාරුණ්‍යයට පත් කුසුම්ගේ සිතේ නිරන්තර රජ කළේ ගුවන් විදුලියට සම්බන්ධවීමේ ආශාවයි. උසස් පෙළ හදාරද්දී ඇය ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පී පරීක්ෂණයකට ඉල්ලුම් කළේ යාළුවකුගේ මාර්ගයෙනි. පියා ඉදිරියේ හඬමින් වැඳ වැටෙමින් ගුවන් විදුලි සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමට අවසර ලබා ගත්තාය. 1964 දී කුසුම් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී ඉන් ඉහළින්ම සමත් වූවාය.

කුසුම් හා හා පුරා කියා හඬ දුන්නේ පී. වැලිකලගේ ‘කුඹුරේගම’ නාට්‍යයේ ‘රන්කෙන්දි’ චරිතයටය. නාට්‍ය මෙන්ම ඇයගේ හඬ ද ජනාදරයට පත් විය. කුසුම් නිවේදිකාවක් ලෙස කළ පළමු වැඩ සටහන ‘ආදර කුසුම් සුහද පැතුම්’ය. කුසුම් නිවේදනය, හඬ කැවීමට අමතරව තවත් බොහෝ හැකියාවන් දායාද කරගෙන උපන්නියකි. වාසනාවකට ඇය ඒ හැකියාවන් හඳුනා ගත්තාය. මුඛරි බව මෙන්ම පෑන ද තමා සතු බව දැනගත් ඕ ‘පහන් තරුව’ නාට්‍ය රචනා කර ‘අචලා’ චරිතයට හඬ දුන්නීය.

කසුම් මුලින්ම හඬ මුසු කළ සිනමාපටය වූයේ විමලදාස පෙරේරාගේ ‘සමනල කුමරියෝ’යි. මොණරතැන්නේ ‘සඳා’, සුගන්ධිකා හි ‘සුගන්ධිකා’, මුවන්පැලැස්සේ ‘සපුමලී’, වජිරාහි ‘වජිරා’ ඇයගේ හඬ පෞරුෂයෙන් බැබළෙද්දී ගේය පද හැකියාවෙන් මධුර මමෝහර වූ ගී පද රාශියක්ම බිහි විණි. 1973 වසරේ එක්තරා දිනක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියකට වී පාළුවෙන් තනිකමෙන් සිටි මොහොතක කුසුම් පෑනක් සහ කඩදාසියක් අතට ගත්තාය. ‘නිසංසලේ මා තනියෙන්’ ගී පද අවදි වූයේ ඒ මොහොතේය. රාජකාරි කටයුත්තකට මැදිරියට පැමිණි නිරංජලා සරෝජනී ගී පද ඉල්ලා ගත්තාය. නිරංජලා, අබේවර්ධන බාලසූරිය සමඟ ගී පද සංගීිතයෙන් රසවත් කළේ යුග ගීත අතරට මිහිරිම ගීපද වැලක් එක් කරමිනි.

ඉන් පසු කුසුම් තවත් ඉතා ජනප්‍රිය ගී රැසක් ගීත ලෝකයට එක් කළාය. එඩ්වඩ් ජයකොඩි ගයන ‘සීතල පිණිමත’, ‘ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ’ බණ්ඩාර ආතාවුද, නිරංජලා සමඟ ගයන ‘සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ’, ‘සිතුවිලි සිර වී හදවත පතුලේ’, වික්ටර් රත්නායක ගයන ‘හිත ගාව දඟ කළා’, දයාරත්න පෙරේරා ගයන ‘දිගු නෙත් හසරැල්ලේ’, රූපා ඉන්දුමතී ගයන ‘ලොවක් බලන්නට හිමි වූ දෙනෙතින්’, යමුනා විනෝදනී ගයන ‘අසුරු සැණින් එක මොහොතකදී’ ඒ අතරින් කිහිපයක් පමණි. මේ බොහෝ නිර්මාණවලට පසුබිම් වූ රසවත් ජීවන අත්දැකීමක් ද තිබිණි.

කුසුම්ට සිය සහකරු නෙල්සන් පීරිස් හමු වූයේ ද ගුවන් විදුලි සංස්ථාවේදීය. ගුවනේ රැව් දුන් හඬක් කී සැණින් මතකයට එන නමක් බවට සිය නාමය පත් කළ කුසුම් හතළිස් වසකට ආසන්න ගුවන් විදුලි සේවාවකට හිමිකම් කියා 2001 දී සමු ගත්තේ මහ ගෙදරින් විවාහ වී පිටත් වන දියණියක මෙන් ශෝක බරිතවය.

ඇය හොඳ පවුල් ජීවිතයකට හිමිකම් කී කලා ශිල්පිනියකි. එහෙත් රාජකාරිය ද දේවකාරිය ලෙසින් සැලකූ අයෙකි. ගුවන් විදුලි සේවා කාලයේදී සෑම වසරකම සිංහල අලුත් අවුරුදු දිනයේ මැදිරියේ සිට නැකැත් වේලාවන් කීමට සිදු වූයේ ඇයටය. වැඩිමල් දියණිය වගීෂා තරමක් උස් මහත් වූ පසු පියා සමඟ එක් වී කිරි උතුරවා කිරිබත් පිසීමේ වගකීම ඇයට පවරා කුසුම් සේවා ස්ථානයට පිටත් වූවාය.

කුසුම්ගේ අඩි පාරේ යමින් දෙවැනි දියණිය තමාලි පීරිස් ද කලක් ක්ෂේත්‍රයේ රැඳී සිටියාය. රජිත, කුසුම් සහ නෙල්සන්ගේ එකම පුතුය. මෙලොවට පැමිණි අප කවරදා හෝ යා යුතුය. කුසුම් ගියේ පර නොවන සුවඳක් ශ්‍රී ලාංකේය වාතලයට මුසු කරමිනි.

 

-චම්පික දීපානි-

තරුණි