Saturday 14th of December 2019

English Tamil
Advertiesment


තවත් ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් ගැන ගෙන යන ප්‍රචාර බොරු..!


2019-08-05 21397

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු පුරවැසියන් වෙනුවෙන්  අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් 2019 අගෝස්තු 02 දින නිකුත් කෙරුණු  සංචාරක උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී ඇතැයි යනුවෙන්  ගෙන යන  ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය  බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු පුරවැසියන්ට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් 2019 අගෝස්තු 02 දින නිකුත් කළ සංචාරක උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී ඇතැයි ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රචාරයක් බව අවධාරණය කරමු.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති ඇලයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය ද සිය ට්විටර් ගිණුමේ කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක උපදේශනය නිතර නිකුත් කරන සාමාන්‍ය නිවේදනයක් බවයි.

අමෙරිකානු තානාපතිවරිය එම පණිවුඩයේ මෙසේ දක්වා ඇත. “මට තේරෙනවා මාධ්‍ය සහ අනෙක් අය ශ්‍රී ලංකාව සඳහා වන අපගේ ආරක්ෂක දැන්වීම කෙරෙහි අවධානය යොමු කරන බව. සැලකිය යුතු නිවාඩු සහ විශේෂ පොදු ක්‍රියාකාරකම් වලට අපගේ පුරවැසියන් සහභාගී වීමේදී අපි සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස ඔවුනට මතක් කරනවා” අගෝස්තු 02 දින නිකුත් කළ සංචාරක උපදේශනය මගින් එදිනට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ආරක්ෂක මට්ටමේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.

ඒ අනුව දැනට “දෙවන මට්ටමේ” ආරක්ෂක තත්ත්වයක් ශ්‍රීලංකාවේ පවතින බව එම උපදේශනය මගින් දක්වා ඇත. අමෙරිකානු සංචාරක උපදේශනවල දක්වන ආරක්ෂක මට්ටම් පහත පරිදි වේ.

අංක 1 මට්ටම - සංචාරය කිරිම්දී සාමාන්‍ය සැලකිල්ලක් දැක්විය යුතුය.

අංක 2 මට්ටම - සංචාරය කිරිම්දී වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර වට පිටාව සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් විය යුතුය. එමෙන්ම තර්ජනයට ලක්විය හැකියයි හඳුනාගත් ස්ථාන වලට යාමෙන් වැළකිය යුතුය. නැතහොත් ප්‍රවේසම් විය යුතුය.

අංක 3 මට්ටම - සංචාරය කරන්නේ නම් නැවත සලකා බැලිය යුතු අතර හදිසියේවත් සංචාරය කරන්නේ නම් රටට ඇතුළු වීමේදී ඉතා විමසිලිමත් විය යුතුය. එමෙන්ම සංචාරය කරන්නේ නම් ආරක්ෂක පියවර දැඩිව අනුගමනය කළ යුතුය.

අංක 4 මට්ටම - කිසිසේත් සංචාරය නොකළ යුතුය.

ශ්‍රී ලංකාවට අමතරව “දෙවන මට්ටමේ” ආරක්ෂක තත්ත්වයක් ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, චීනය, බුරුමය සහ ඉන්දුනීසියාව වැනි රටවල් සම්බන්ධයෙන් ද නිකුත් කර ඇති අතර, පාකිස්ථානය “තුන්වන මට්ටමේ”ත්, ඇෆ්ගනිථානය, ඉරානය සහ වෙනිසියුලාව “හතරවන මට්ටමේ”ත් පවතින බව අමෙරිකාව නිවේදනය කර ඇත.

Advertiesment