Thursday 22nd of August 2019

English Tamil


හතුරු යන්න..!


2019-08-05 1152

(රජිඳු කාශ්‍යප)

නැවත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරන්නට කරුණු විවර වෙමින් තිබේ. ඒ නිමා වූ බංග්ලාදේශය සමග තරගාවලිය 3-0ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ගැනීමත් සමගිනි. මේ ජයග්‍රහණය ඔවුන් මෙරට දී මාස 44කට පසුව ලැබූ තරගාවලි ජයග්‍රහණයක් ලෙසිනි වාර්තා වන්නේ. එය වසර හතරකට ආසන්න කාලයකි. ඔවුන් අවසන්වරට තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ය. ඒ 2015 වසරේ දී ය.

මේ තරගාවලිය ආරම්භ වෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාවේ උණුසුමත් සමගිනි. තරග ප්‍රතිඵලයත් සමගින් තරගාවලිය කෙරෙහි බොහෝ දෙනෙක්ගේ අවධානයක් නොවුණ ද ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම හේතුකර ගනිමින් තරගාවලිය ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් එය මාතෘකාවක් කර ගත්හ. ලසිත් මාලිංග ගැනත්, නුවන් කුලසේකර ගැනත් අප පසුගිය සතියේ කතා කළෙමු. එබැවින් ඒ ගැන නැවත සටහන් කළ යුතු නැත. එහෙත් නිමා වූ බංග්ලාදේශ තරගාවලිය අපට බොහෝ දේ සිහිපත් කරයි. ඒ අතර ප්‍රමුඛ කාරණය වන්නේ සැබැවින් ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ සුදුසු ම කණ්ඩායම ද යන්නයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ සහ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් ද නම් කළ ක්‍රීඩකයෝ බංග්ලාදේශ සංචිතයට ඇතුළත් නොවූහ. විශේෂයෙන් ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ විශේෂඥ දඟ පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩර්සේ බංග්ලාදේශයට එරෙහි සංචිතයේ නැත. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට ඇතුළත් වූ ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ද බංග්ලාදේශයට එරෙහි සංචිතයේ නැත.

අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් එංගලන්තයේ සංචාරයට එක් කරගත් ඇන්ජලෝ පෙරේරා ද නැත. ඒ වෙනුවට බංග්ලාදේශයට එරෙහිව සටනට පිවිසෙන්නේ අකිල ධනංජය, වනිඳු හසරංග, කසුන් රාජිත, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර ය. මේ තෝරා ගැනීමේ ප්‍රමිතිය කුමක් ද? ලහිරු කුමාර යනු අද දවස වන විට ලසිත් මාලිංගගේ වේගයට සමාන වේගයකින් පන්දු යවන්නා ය. දසුන් ශානක යනු කදිම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. අනාගතයට උපයෝගී කර ගත හැකි කදිම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි, ෂෙහාන් ජයසූරිය. වනිඳු හසරංග සේ ම කසුන් රාජිත ද එසේ ය. එහෙත් අකිල ගැන සැක හැර දැන ගත යුතුය. මන්ද අකිල පන්දුව දමා ගැසීමේ චෝදනාව මත ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් වෙනස් කිරීමත් සමගින් තවමත් නිවැරදි එල්ලයක් නොදකින පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්විය හැකි නිසා ය.

මේ දේවල් ලියන්නෙක්ට තරම් නොවේ. ඒ මේ ක්ෂේත්‍රයේ විද්වතුන් සිටින නිසා ය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නම් කළ දැවැන්තයා වන්නේ අසන්ත ද මෙල් ය. ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මෙන් ම කණ්ඩායමේ කළමනාකරු ද ඔහු ය. වසර ගණනාවක අත්දැකීම් බහුල ක්‍රිකට් පිටියේ සැරිසැරූ වේග පන්දු යවන්නා ඔහු ය. එහෙත් ඒ සියල්ලට ම වඩා, වැදගත් කාර්යභාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදු කරන්නේ යැයි සපථ වී ආ තැනැත්තා ඔහු ය. කණ්ඩායම තේරීමේ අනෙක් විද්වතා වන්නේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ය. අන් කිසි කෙනෙක්ට නොදුන් තේරීම් කමිටු සාමාජික බලතල ලත් එකම පුහුණුකරුවා වන්නේ ඔහුය. මොවුන් දෙදෙනා සතු බලතල සමගින් නම් කරන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ සංචිතයත් බංග්ලාදේශයට එරෙහි සංචිතයත් කිරා මැන බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

අප අසාර්ථක වී ඇත්තේ කොතැනින්දැයි ඔබට ඉතාම ලෙහෙසියෙන් වටහා ගත හැක. ශ්‍රී ලංකා ක්‍රීඩාවේ නිසි බලධාරියා වන හරීන් ප්‍රනාන්දු මේ තත්ත්වය වටහා ගෙන දෝ ඔහු මේ වන විට සටනට පිවිස සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණුකාර මණ්ඩලයත් තේරීම් කමිටුවත් අස්කරන තැනට වැඩ කිරීමට ය. එහෙත් ඊට සෘජුවම නොවුණත් තැන තැන කියැවෙන කතාව වන්නේ චන්දික හතුරුසිංහ ගිවිසුමට පිටින් පැදුර හකුළාගෙන යෑමට සූදානම් නොමැති බවයි. හතුරුසිංහට තවත් මාස 16ක පමණක් කාලයක් ඇති බවකි පැවැසෙන්නේ. එම කාලයට හතුරුසිංහට ලැබෙන මුදල සුළු ප්‍රමාණයක් නොවේ. එබැවින් හතුරුසිංහ එම මුදල අහිමි කර ගැනීමට කිසිදු සූදානම් නැති බැව් සක් සුදක් සේ පැහැදිලිය. අප වුව ද අපට ලැබෙන්නට යමක් තිබෙනවා නම් එය අහිමි කර ගැනීමට කැමැති නැත. අහිමි කරන්නට කැස කවන්නේ නම් නිකං සිටින්නේ ද නැත.

හතුරුසිංහ මෙරටට පිවිසෙන්නේ මුළු මහත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාවගේ ම බලාපොරොත්තුවක් ලෙසය. නමුත් එය ඇසිල්ලකින් විනාශ වෙන්නේය. බංග්ලාදේශයේ දී හතුරුසිංහගෙන් දුටු දක්ෂතා අප මෙරට දී දුටුවේ නැත. කණ්ඩායමේ දුර්වලතා ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩකයන්ට ‘ඇනලයිසින්’ කර පෙන්වන විට අපට තිබුණේ හිස වනා එය අනුමත කිරීම පමණි. අප දන්නා සහ බැලූ ක්‍රිකට්වලින් කතාබහ කළ දේ ඔහු තර්කානුකූලව ඉදිරිපත් කළේය. ඔහු අපේ ක්‍රිකට් බලාපොරොත්තුවලට කිඳා බැස ගත්තේ එසේය. ඔහු අපේ දුර්වල වූ ක්‍රිකට් බලාපොරොත්තුවේ නාඩි හරියටම ඇල්ලූ ක්‍රිකට් වෛද්‍යවරයා විය. එතැන් සිට අප සිතුවේ දැන් නම් ක්‍රිකට් සුව වෙනු ඇත කියා ය. නමුත් සිදු වූ දේ, හතුරුසිංහගේ ‘ඇනලයිසින්වලටත්’ ඩොලර්වලින් ගෙවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදුවීමය. ගිවිසුම් ප්‍රකාරවී ඇත්තේ එලෙස ය.

පුහුණුකරුවෙක් දෙන වාර්තාවකට ලොව මුදල් ගෙවන එක ම ක්‍රීඩා ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් පමණක් ම විය හැකිය. ඒ ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන තරමේ මාසික වැටුපක් සේ ම වෙනත් පහසුකම් ද සලසන ගමන් ය. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු කැස කවන්නේ ඒ දේ නතර කිරීමට ය. අතිවිශාල මුදල් කන්දරාවක් ගෙවා ලබා දෙන පුහුණුකාරීත්වයේ ඇද පළුදු වී නම් ඒවා සැකසීමට ය. ඔහු පවසන පරිදි මේ වන විට විදෙස් පුහුණුකරුවන් තිදෙනෙක් කෙරෙහි තම අවධානය යොමුව ඇති බවය. හතුරුසිංහට මාසිකව ගෙවනු ලබන වැටුපට විදෙස් පුහුණුකරුවෝ දෙදෙනෙක් ලබාගත හැකි බවට ද හරීන් ප්‍රනන්දු පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට හරීන් ප්‍රනාන්දුගේ ද අවධාරණය මත ශ්‍රී ලංකා ක්‍රිකට්හී ද මේ වනවිට බලාපොරොත්තුව වී ඇත්තේ චන්දික හතුරුසිංහ තනතුරින් නෙරපීමය, නොමැති නම් වෙනත් සුදුසු තනතුරක් ප්‍රදානය කිරීම ය. ඒ කුමන තීරණයක් ගත්ත ද එහි ප්‍රමුඛතාව හිමි වෙන්නේ හතුරුසිංහ වෙත ය. මන්ද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් හා එකඟ වූ ගිවිසුම අන් හැම දේකට ම වඩා ප්‍රබල වන බැවිනි. හතුරුසිංහ බංග්ලාදේශය සමග හතුරු වී කළු වහගෙන සුදු ඇඳගෙන මෙරට පැමිණ ඇත්තේ මීය කඩා අත ලෙවකන්නට නොවන බැව් පැහැදිලිය. ඔහු මෙතැනින් ඉවත් වන්නේ තවත් තැනකට සැක හැර පය තැබීමට හැකි තැනක් ලැබූ පසුය. ඔහු ශ්‍රී ලංකාවට පිවිසෙන්නේ ද ඒ අනුව ය.

බංග්ලාදේශයට වඩා වැඩි පඩි, වැඩි පහසුකම් සහ වැඩි බලතල සහිතවය. මේ සියල්ල එකල වූ වාතාවරණය සමග ක්‍රිකට් බලධාරීන් ද ඔහුට ලබා දෙන්නට එකඟ වන්නට ඇත. ක්‍රිකට් බලධාරීන්ට ද ඊට වඩා දෙයක් කරන්නට එකල නොවුණි. මේ බැව් අන් කාටත් වඩා හතුරුසිංහ තේරුම් ගන්නට ඇත. තමන්ගේ ක්‍රිකට් පුහුණුකාර දිවියේ සුවිශේෂී ම අවස්ථාවකට සහභාගී වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉඩ නොදුන් විට තමන්ගේ අභිමතය අනුව තනතුරු හැර ගිය හතුරුසිංහ එතැන් සිට තම වටිනාකම ලොවට විදහා පෑවේය. ඔහු අන් අයගේ අවධානය දිනා ගත්තේ වසර ගණනාවක් පුරා කළ කැපවීම් හේතුවෙනි. ඒ නිසා ම ලැබූ දෙයක් කෙනෙක් දෙදෙනෙක්ගේ කීම අනුව අතහැර දැමීමට හතුරුසිංහ කැමැති නොවනු ඇත.

අනෙක් අතට එසේ විය යුතුයැයි කියා නියමක් ද නැත. එහෙත් මේ අවස්ථාවේ හතුරුසිංහ ද අසමත් බැව් වෙනත් කෙනෙක් කියනවාට වඩා ප්‍රථමයෙන් තමන් ම සපථ කර ගත යුතුය. එසේ නොමැති නම් තමන්ට සාර්ථක නොවන්නට ඉඩ නොදුන් යම් බාධාවක් වී නම් ඒ කුමක්දැයි හෝ කවුරුන්දැයි පැවැසීම ඔහුගේ යුතුකමකි. මක්නිසාද මේ හේදී යන්නේ හතුරුසිංහගේ ම සායම වන බැවිනි.

 

 

(රාවය)