Saturday 14th of December 2019

English Tamil
Advertiesment


සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද..?


2019-08-05 3952

(වික්ටර් අයිවන්)

ලංකාව තිබෙන්නේ පැවැත්ම රැකගැනීම සඳහා ඉක්මන් ශල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය, හොඳටම අසාධ්‍ය තත්ත්වයකය. එහෙත් රටේ සියලු දේශපාලකයන්ගේ අවධානය යොමුවී තිබෙන්නේ රෝගියා හෝ රෝගියාගේ රෝග තත්ත්වය කෙරෙහි නොව, ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහිය. එම තත්ත්වය රෝගියාට ලැබිය යුතුව තිබෙන අවධානය අන් අතකට යොමු කොට, රෝගියාට ලැබිය යුතු අවධානය නැති කොට රෝගියාගේ රෝග තත්ත්වය උත්සන්න කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරණයෙන් ජය ලබන ජයග්‍රාහකයා කවුරුන් වුවද එය රෝගියාගේ රෝග තත්ත්වයට ප්‍රතිකර්මයක් වන්නේ නැත. ජනාධිපතිවරණයෙන් පසුද සියල්ලන්ගේ ප්‍රධාන අවධානය යොමුවනු ඇත්තේ රෝගියා කෙරෙහි නොව, ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහිය. රට පමණක් නොව, රටේ සමස්ත දේශපාලනතන්ත්‍රය තිබෙන්නේ ලිහා ගැනීමට බැරි තරමේ ලොකු අර්බුදයකය.

සාම්ප්‍රදායික දේශපාලන නායකයන්ට තිබුණු මහජන විශ්වාසය වාෂ්පවීමේ ක්‍රියාවලිය නොනැවතී වර්ධනයවෙමින් පවතී. සියලු දේශපාලන නායකයන් කෙරෙහි මහජනයා තුළ ඇත්තේ නොකඩවා ඉහළ යන හාස්‍යයක් හා පිළිකුළකි. එය ලංකාවේ මීට පෙර කිසිදාක දකින්නට නොතිබුණු ඉතාමත් විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. රටේ ආණ්ඩුක්‍රමය තිබෙන්නේද ලිහාගැනීමට බැරි තරමේ මහා අවුලකය. ගුප්ත හා සටකපට ආකාරයකින් සම්මත කරගනු ලැබූ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට තිබූ විධායක බලය අහෝසි කොට එම බලය පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගන්නා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට ලබාදී ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු තත්ත්වයකට පත්කර ඇතත් ඒ බලරහිත ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන මහජන ඡන්දයකිනි. ඒ සඳහා රජයට දරන්නට සිදුවන වියදම අතිවිශාලය. නාමමාත්‍රික ජනාධිපතිවරයකු අතිවිශාල වියදමක් දරා මහජන ඡන්දයකින් තෝරාපත් කරගන්නා එකම රට ලංකාව පමණක් විය හැකිය.

මීළඟ ජනාධිපතිගේ ස්වභාවය

ඊළඟට ජනාධිපතිට තිබෙන බලයේ ප්‍රමාණය ගැන හෝ ඔහුගේ නියම ස්වභාවය ගැන හරි අවබෝධයක් සාමාන්‍ය ඡන්දදායකයන්ට තබා ජනාධිපති අපේක්ෂකයන්ටවත් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයාගේ තත්ත්වය විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගේ තත්ත්වයට බොහෝ දුරට සමාන බව කියන මතය සමාජ ගත කළ පළමු පුද්ගලයා මා ලෙස සැලකිය හැකිය. ඒ 2018 අගෝස්තුවලදීය. මට එසේ කියන්නට වූයේ ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළ කිහිපදෙනකු විසින්ම ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව රට ගලවා ගැනීම සඳහා තමන් කරන්නට යන දේවල් ගැන වහසි බස් දොඩන තත්ත්වයක් තුළ එම කතාවල නියම තත්ත්වය සමාජගත කරන්නට මට අවශ්‍ය වූ නිසාය. ඉන් තවත් බොහෝ කලකට පසුව පසුගිය ජූනි 10 වැනිදා ආචාර්ය නිහාල් ජයවික්‍රම විසින් ඊළඟට පත්වන ජනාධිපතිට හිමි බලතල හා ඔහුගේ නියම තත්ත්වය පිළිබඳව කදිම විවරණයක් ඉදිරිපත් කර තිබුණි. නිහාල් ජයවික්‍රම ව්‍යවස්ථා විෂය පිළිබඳව ලංකාවේ සිටින විශේෂඥ මට්ටමේ දැනුමක් හා පළපුරුද්දක් තිබෙන උගතුන් කිහිපදෙනාගෙන් කෙනකු ලෙස සැලකිය හැකිය. ඔහු එහි කියා ඇත්තේද ඊළඟ ජනාධිපතිවරයාගේ තත්ත්වය ජනාධිපති විලියම් ගොපල්ලවගේ හෝ ඊට පෙර සිටි අග්‍රාණ්ඩුකාරවරයාගේ තත්ත්වයට සමාන බවය.

ඊළඟ ජනාධිපතිවරයා පත්වූ දින සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බවට පෙරළෙන බවය. එතැන් පටන් රට පුරා ක්‍රියාත්මකවන්නේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති නොව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළවල් බවය. ඔහු තවදුරටත් පෙන්වා දී තිබෙන ආකාරයට 42 වැනි වගන්තිය අනුව ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම භාරවන්නේ ජනාධිපතිවරයාට නොව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටය. 45 වැනි වගන්තිය අනුව ඇමතිවරයකු වශයෙන් පත් කළ හැක්කේ මන්ත්‍රීවරයකු පමණය. වර්තමාන ජනාධිපතිවරයාට ආරක්ෂක, පරිසරය හා මහවැලි යන අමාත්‍යාංශ තමා භාරයේ තබා ගැනීමට පුළුවන් වූයේ ඔහුට ඔහුගේ මේ ධුර කාලයට පමණක් වලංගු වන ලෙස ඇතුළත් කර තිබුණු සංක්‍රාන්ති විධි විධාන (51 වැනි වගන්තිය) නිසාය.

ඒ අනුව ඊළඟට පත්වන ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක්වත් කිසිම විෂයයන් හෝ කාර්යයක්වත් තමන් වෙත පවරා ගැනීමට අවකාශයක් නැත. අඩුම වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශවත් ඔහු වෙත තබාගත නොහැකිය. ආචාර්ය නිහාල් ජයවික්‍රම තවදුරටත් කියන්නේ ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයකුට හිමි සාම්ප්‍රදායික අයිතීන් පමණක් හිමිවනු ඇති බවය. ඔහු දක්වා තිබෙන උදාහරණ අනුව ජනාධිපතිවරයාට යුද්ධ ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මිනිස් බලය හා අවි ආයුධ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා විසින් සපයන්නේ නම් මිස එම යුද ප්‍රකාශය සක්‍රීය වන්නේ නැත. ජනාධිපතිවරයාට තානාපතිවරුන් පත් කළ හැකි වුවද ඔවුන් අරබයා විදේශ රාජ්‍යයන්ගේ අනුමැතිය විදේශ කටයුතු ඇමතිවරයා විසින් ලබානොගන්නේ නම්, එසේ පත් කරනු ලබන තානාපතිවරුන්ට ඒ රටවලට පය ගැසීමට ඉඩ ලැබෙන්නේ නැත. ජනාධිපතිවරයාට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ හැකි වුවත් එහෙත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව හා වෙනත් සම්පත් ඇමති මණ්ඩලය සම්පාදනය කර නොදෙන්නේ නම් හා එම හදිසි තත්ත්වය පාර්ලිමේන්තුව අනුමත නොකරන්නේ නම් හදිසි තත්ත්වය සක්‍රීය දෙයක් බවට පත්වන්නේ නැත.

අඳුරේ අතපත ගෑම

ඊළඟ ජනාධිපතිවරයාට හිමි බලතල පිළිබඳ යථා තත්ත්වය එය වුවත් සාමාන්‍ය ඡන්දදායකයන්ට පමණක් නොව, ඡනාධිපතිවරණයට තරග කරන්නට යන අපේක්ෂකයන්ටද ඒ ගැන නිසි අවබෝධයක් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දැනුම් තේරුම් ඇති දේශපාලන නායකයන් පවා ඒ ගැන කතා කිරීමෙන් වුවමනාවෙන්ම වැළකී සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඊළඟ ජනාධිපතිවරයා අදාළ යථා තත්ත්වය මහජනයාට තේරුම් කර දෙන තැනකට ගියහොත් මහජන උද්යෝගය බිඳ වැටී මහජනයාගේ ඡන්දය ලබාගැනීම දුෂ්කර විය හැකි යැයි සිතෙන නිසා ඔවුන් එසේ කරනවා විය හැකිය. තරග කරන අපේක්ෂකයන්ටද අනුගාමිකයන්ගේ උද්යෝගීමත් සහභාගිත්වය ආරක්ෂා කරගැනීම සඳහා තනතුරට නැති වැදගත්කමක් ආරෝපණය කිරීමට සිදුවී තිබෙනවා විය හැකිය.

ජනතාව තුළ බොරු බලාපොරොත්තු හා විශ්වාසයක් ඇති කොට බලයට පත්වන ජනාධිපතිවරයෙක් ඉක්මනින් මහජනයාගේ හාස්‍යයට ලක්වන පුද්ගලයකු බවට පත්වනු නොවැළැක්විය හැකිය. තේරී පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය තෙක් දැන් තිබෙන පාර්ලිමේන්තුව සමගද පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් දැන් සිටින අගමැති හා කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිවරයා වැඩ කරනවා හැර ඔහුට කළ හැකි වෙන දෙයක් නැත. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද තේරී පත්වන නව අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය සමග රටේ නාමමාත්‍රික රාජ්‍ය නායකයා වශයෙන් වැඩ කරනවා හැර කළ හැකි අන් විශේෂ කාර්යයක් නැත.

ජනාධිපතිවරණයට තරග කරන්නට අදහස් කරගෙන සිටින හෝ සිහින දකින සියලුම අපේක්ෂකයන් පාහේ කිසියම් ප්‍රමාණයකට හොඳ සිහිය අහිමි කරගෙන සිටින බව පෙනෙන අතර, ඒ සියලුදෙනා අතරින්ද හොඳ සිහිය වැඩියෙන් ම අහිමි කරගෙන සිටින පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ නාගානන්ද කොඩිතුවක්කුය. ඔහු තමන්ගේම ව්‍යවස්ථාවක් හදාගෙන තිබෙන අතර එය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත්, එම ජනාධිපතිවරණයෙන් ඔහු ජයගතහොත් තමන්ගේ ව්‍යවස්ථාවට ජන අනුමැතිය ලැබුණා සේ සලකා ඒ මොහොතේ සිට තමන්ගේ ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව ලෙස සලකා ක්‍රියාකරන බව කියයි. ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එම ධුරවලින් පලවා හරින බවත්, ඊට අතිරේකව උසස් අධිකරණයේද සියලු විනිසුරුවරුන් ඔවුන් හොබවන තනතුරුවලින් පලවා හරින බව කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාවද 60 දක්වා අඩු කරන බවද කියයි.

තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉබේ අවලංගුවන්නේ නැත. එය අවලංගු කළ යුතු විධිමත් ක්‍රමයක් තිබෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත ඇතිව රාජ්‍ය නායකයා තෝරා පත්කර ගන්නා ඡන්දයකට ඉදිරිපත් වී එම පුද්ගලයා ජයගත්තද ඔහු අත තිබෙන ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව බවට පත්වන්නේ නැත. නාගානන්ද තරග කරන්නේද විධායක බලය තිබෙන රාජ්‍ය නායක ධුරයකට නොව විධායක බලයක් නැති නාමමාත්‍රික රාජ්‍ය නායක ධුරයකටය. එය හරියටම රටේ පරණ ආණ්ඩුකාර ධුරයට පත් පුද්ගලයකු තමන් රටේ නායකයා ලෙස සලකනවා වැනිය. මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට හිතන ක්‍රමය සේ ම උසස් අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කිරීමට හිතන ක්‍රමයද විකාරසහගත වනවා පමණක් නොව, සියලු පිළිගත් ධර්මතාවන් නීතියට පටහැනි ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඒකාධිපති වේ. සියලු රජයේ තනතුරු අතරින් ලෝකයේ වැඩිම ආරක්ෂාවක් ලැබී තිබෙන තනතුරු ලෙස සැලකිය හැක්කේ උසස් අධිකරණයේ විනිසුරුවරුන්ගේ තනතුරුය. ඔවුන් තනතුරුවලින් පහකළ හැක්කේ දෝෂාභියෝග යෝජනාවකින් පමණය. ඉන්දියානු මැතිවරණයකට තරග කරන අපේක්ෂකයකු මෙවැනි දේ කීවේ නම් ඉන්දියානු මැතිවරණ කොමිසම එම අපේක්ෂකයාට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු නොවැළැක්විය හැකිය.

ජනාධිපතිවරණයේ අර්බුදය

රට හා රාජ්‍ය පමණක් නොව, ජනාධිපතිවරණය තිබෙන්නේද ලොකු අර්බුදයකය. ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ අර්බුදයක් ප්‍රධාන බල කණ්ඩායම් දෙක තුළම තිබෙන බව දැකිය හැකිය. ජනාධිපති අපේක්ෂකත්වය තමන් වෙත හිමිකර ගැනීමේ ලොකු ව්‍යාපාරයක් ගෝඨාභය විසින් පවත්වාගෙන යමින් තිබුණි. ගෝඨාභය තමන්ගේ සහෝදරයා වුවත් තමන්ට තිබෙන පිළිගැනීම අහිමි කිරීමට හේතුවන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට පොදු ජන පෙරමුණේ නායකයා කැමති නැති බව පෙනෙන්නට තිබෙන අතර නායකයා එවැනි තීරණයක් ගතහොත් හිස නමන්නට කැමති නැති පිරිසක්ද එම පෙරමුණ තුළ සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ඒ ආශ්‍රයෙන් එජාපය තුළද ඇතිවී තිබෙන්නේ ලොකු අවුල්සහගත තත්ත්වයකි. පක්ෂ නායකත්වය සජිත්ට භාර දෙන්නට රනිල් කැමති නැත. එහෙත් පක්ෂයේ දෙවැනි පෙළ නායකයන්ගෙන් වැඩි පිරිසක් සිටින බව පෙනෙන්නේ සජිත් සමගය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද දේශපාලන අපේක්ෂා මුළුමනින් අත්හැර තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ප්‍රධාන බල කණ්ඩායම් දෙක දුබල කොට තමන් රජවීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එජාපය තුළ මතුවී තිබෙන අපේක්ෂකයා පිළිබඳ අර්බුදයට පක්ෂ ව්‍යවස්ථාවද බලපා තිබෙන බව පෙනේ.

ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා වන්නේ ජනාධිපතිවරයාය. ව්‍යවස්ථාවට ඒ කොටස ඇතුළත් කරගන්නේ ජනාධිපති ක්‍රමයකට මාරුවීමෙන් පසුවය. 19 වැනි සංශෝධනයෙන් පසු දැන් තිබෙන්නේ ජනාධිපති ක්‍රමයක් නොවූවත්, බලතල අනුව නාමමාත්‍රික ජනාධිපතිට වඩා අගමැති බලවත් වුවත් ඊට ගැළපෙන ලෙස පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගැනීමක් සිදුවී නැති තත්ත්වය තුළ එම ප්‍රශ්නයද එම පක්ෂය තුළ අවුල් ඇති කරන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. අවිනිශ්චිතතාව හා අරාජිකත්වය ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා කොයි කවුරුන් විය හැකි වුවද ඔහු නාමමාත්‍රික බලයක් පමණක් ඇති පුද්ගලයකු වන නිසා ඊළඟ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කළ නොහැකිය. බලයට පත්වන පුද්ගලයා බලයට පත්වන්නේ ධුරයට නොතිබෙන අමුතු බලයක් ආරෝපණය කරගෙන නම් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා මහජනයා ඉදිරියේ වන හාස්‍යජනක විහිළුකාරයකු බවට පත්වනු නොවැළැක්විය හැකිය.

ඊළඟ ජනාධිපතිවරයාට ඇත්තේ නාමමාත්‍රික බලයක් පමණක් බව එළැඹෙන කෙටි කාලය තුළ මහජනයාද තේරුම් ගනු ඇති අතර එය තේරුම් ගන්නා ප්‍රමාණය වැඩිවන තරමට ජනාධිපතිවරණය සඳහා තිබෙන මහජන උද්යෝගයද හීන කිරීමට හේතුවනු ඇත. ලංකාව දැන් තිබෙන්නේ මීට පෙර කවරදාවත් නොතිබුණු වේගයෙන් වෙනස්වන සමාජ දේශපාලන වටපිටාවකි. මීට පෙර ශුද්ධ වූ දේවල් ලෙස සලකන ලද හැම දෙයක්මත් ප්‍රශ්න කිරීමට ලක්වෙමින් තිබෙන අතර සාම්ප්‍රදායික දේශපාලන නායකයන්ට හා පක්ෂවලට තිබුණ පිළිගැනීම වේගයෙන් වාෂ්ප වන තත්ත්වයක් ඇතිවී තිබේ. දැන් අප ජීවත්වෙමින් සිටිනුයේ මිනිසුන් වෙනස් කිරීමට හේතුවන සිදුවීම් බහුලව සිදුවන විශේෂ ඓතිහාසික කාලවකවානුවකය පසුගිය මාස කිහිපය තුළ සිදුවූ සිදුවීම්වල ප්‍රමාණය විශාලය.

රටේ යථා ස්වභාවය නැතහොත් රටේ පවතින නියම තත්ත්වය යථා අවබෝධයක් මහජනයාට ලබාදීමට හේතුවූ අතර නැවත ඒ සිදුවීම් රට අරාජකත්වය කරා යන ගමන වේගවත් කිරීමටද හේතුවිය. සමාජ අභ්‍යන්තරයේ සිදුවන මෙම පරිවර්තන ක්‍රියාවලියට ආවේණික වැදගත්ම ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ හැම වැදගත් අංශයකම පාහේ බොරු නාමධාරීන්ට තිබෙන පිළිගැනීම වාෂ්ප කෙරෙන ධර්මතාවක් ක්‍රියාත්මක වීම සමාජ අභ්‍යන්තරයේ සිදුවීම මෙම පරිවර්තන ක්‍රියාදාමයට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ධම්මික පෙරේරා ඒ තත්ත්වය තේරුම් කරදීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳ නිදර්ශනයකි. ඔහු තමන්ට ලංකාව ගලවා ගැනීමට තිබෙන හැකියාව ගැන කතා කළේය. ඔහුගේ එම කතාවට ජනමාධ්‍ය විසින්ද දැවැන්ත ආවරණයක් ලබාදෙන ලදි. ඒ සමග ඔහු අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාපයෙන් තරග කරන්නට යන ජනාධිපති අපේක්ෂකයා කියන කතාවක්ද පැතිර ගියේය. එසේ ගොඩනැගෙමින් සිටි වීරයාගේ ප්‍රතිරූපය මුළුමනින් බිඳ වැටීමට ගතවූයේ කෙටි කාලයක් පමණය. කුණු කන්ටේනර් සිද්ධිය ඔහුගේ නාමය නැත්තටම නැති කළේය. මෙය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට ආවේණික විශේෂ ධර්මතාවක් ලෙස සැලකිය හැකි අතර එය ධම්මික පෙරේරාට පමණක් නොව ජනාධිපතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ට අදාළය. සමහර අය තරග බිමට එන්නටත් පෙර විශේෂ හේතු නිසා විනාශ විය හැකි අතර තවත් සමහරෙක් තරග බිමට පැමිණි පසුව ඒ චක්‍රයට හසුවනු ඇත. ජයග්‍රාහකයා පවා ජයග්‍රහණයට පෙර මැතිවරණ සටනින් ලොකුවට තුවාල ලබන තුවාලකරුවකු බවට පත්විය හැකිය.

විය හැක්කේ කුමක්ද..?

තේරුම්ගත යුතුව තිබෙන වැදගත්ම දේ ලංකාවේ අප ගතකරමින් සිටින්නේ සාමාන්‍ය කාලයක නොව මහා පරිවර්තනයකට පෙර ඇතිවන මහා අර්බුද කාලයක වන බවය. එම අර්බුදය රටේ හැම වැදගත් අංශයක්මත් වෙලාගෙන තිබෙන අර්බුදයක් වන අතර එකට එකක් පසු සිදුවන සිදුවීම්වලින් පිරුණු හා සමහරවිට ලොකු සිදුවීම් ගණනාවක් එකට එකතුවීම තුළ මහා පිපිරීමක් ඇතිවිය හැකි ඓතිහාසික අවස්ථාවක බවය. ඒ මහා පිපිරීම ජනාධිපතිවරණයට පසුව හෝ සමහරවිට ඊට පෙරද සිදුවිය හැකිය. එය සමස්ත ක්‍රමයේ බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවන මහා පිපිරුමක්ද විය හැකිය. තවත් සමහරවිට ජනාධිපතිවරණය රටේ පවතින දුෂ්ට හා දූෂිත ක්‍රමයට එරෙහිව හමන ජනතා සුළි සුළඟක් බවටද පත්විය හැකිය. ඒ කිසිවක් සිදු නොවී ජනාධිපතිවරණයක් පවත්වන්නට ලැබී අලුත් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමට හැකි වුවද එය ලංකාවේ අර්බුදයේ අවසානය නොවනු ඇති අතර ප්‍රමාද නොවී රට ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීමට අසමත්වෙතොත් සමස්ත ක්‍රමයේ මහා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

ලංකාව මේ සා කාලකණ්ණි තත්ත්වයකට පත්ව තිබෙනුයේ බරපතළ වරදක් දුටු විට එය ගල් ගැසෙන්නට ඉඩ නොදී නිවැරදි කරන ප්‍රවේශයක් දේශපාලනතන්ත්‍රයට නොතිබීම නිසාය. අනෙක් අතට රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ගරා හැලීමක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට වූ පසුත් එම තත්ත්වය යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණවලින් වැළකී සිටීම නිසාය. නිදහස ලැබීමත් සමග ජාතිය ගොඩනගා ගැනීමක් හෝ බි්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණු රාජ්‍යයට ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගැනීමක් සිදු නොවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් ප්‍රචණ්ඩ අරගලවලින් හා ලේ වැගිරීම්වලින් යුතු අශීලාචාර වටපිටාවක කල් ගෙවන්නට ලංකාවට සිදුවිය. එම අශීලාචාර වටපිටාව විසින් රාජ්‍යය හා සමාජය පමණක් නොව අන් හැම දෙයක්මත් දූෂ්‍ය කොට විකෘති කළේය.

අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු ආපසු හැරී බලන තැනකට යමින් රාජ්‍ය හා සමාජය යළි ප්‍රතිසංස්කරණය කරන තැනකට යායුතුව තිබුණි. එහෙත් අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා එසේ නොකළා සේ ම ඔහු පරාජයට පත් කොට බලයට පැමිණි යහපාලන නායකයෝද එසේ නොකොළෝය. රටේ ඇතිවී තිබෙන කුණුවීම එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. පාස්කු ඉරිදා ඇතිවූ ඛේදවාචකයෙන් පසුවවත් අපේ රටේ මෝඩ හා ආත්මාර්ථකාමී දේශපාලන තන්ත්‍රයට ඇස් ඇරුණේ නැත.

Advertiesment