Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


කාදිනල් හිමි යු.ඇන්.පී අපේක්ෂකයන්ගේ ඡන්ද කඩයිද..?


2019-08-04 3835

"රොෂේන් චානකගේ ඝාතකයන්ට දඩුවම් දෙන්න යැයි කියන්න කාදිනල් හිමිට කොන්දක් තිබුණේ නැද්ද..?”

 

විකිලීක්ස් වෙබ් අඩවිය ලීක් කළ රහස..!

 

(උපුල් ‌ජෝෂප් ප්‍රනාන්දු)

මේ දවස්වල කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ කතා අහල යූ.අන්.පී.කාරයෝ අහන්නේ ඔය ප‍්‍රශ්නයය. මහින්දවාදීන් හිතාගෙන ඉන්නේ කාදිනල් හිමි කතෝලික ඡන්ද කුට්ටිය පිටින් මහින්දගේ ඔඩොක්කුවට දමයි කියාය. කාදිනල් හිමි කතා කරන විදිහෙනුත් පේන්නේ කාදිනල් හිමි මහින්දගේ අපේක්ෂකයාට කතෝලික ඡන්ද ගන්න පෙරමඟ සකස් කරන බවය. නායකයන්ට කොන්ද පණ නැහැ. ආණ්ඩුවයි, ආණ්ඩුවේ නායකයනුත් ඉවත් වෙන්න ඕනෑ කියන කතාවෙන් තේරුම් යන්නේ මහින්දලාව යළි බලයට ගේන්න කියා කාදිනල් හිමි නොකියා කියන බවය. මන්ද ආණ්ඩුවත් නායකයනුත් ඉවත් වුණොත් බලයට එන්නේ වෙන කවුරුවත් නොව මහින්දලාය.

මේ ඔක්කොම කියල කාදිනල් හිමි කියන්නේ තමන් මේවා පාස්කු ප‍්‍රහාරය ගැන හිත් වේදනාවට කියනවා කියාය. පාස්කු ප‍්‍රහාරයට කලින් 2011 ජුනි මාසයේ එවකට බලයේ සිටි මහින්දගේ ආණ්ඩුව ගෙන එන්න පෞද්ගලික අංශයේ විශ‍්‍රාම පනතට එරෙහිව මීගමුව සීදූව ප‍්‍රදේශයේ නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෝ මහා විරෝධතාවක් දියත් කළහ. එම විරෝධතාවයට රාජපක්ෂ ආණ්ඩුව වෙඩි තැබුවේය. එක් වෙඩි පහරකින් රොෂේන් චානක නම් වූ තරුණ සේවකයෙක් ඝාතනය විය. ඔහු කතෝලික තරුණයෙකි. මේ ඝාතනයට එරෙහිව ඒ ප‍්‍රදේශයේ කතෝලිකයන් පමණක් නොව ඒ මීසම්වල පූජකවරුද සංවිධානය වූහ. තරුණයාගේ අවමංගල දිනයේ පල්ලියේ සිට කනත්තට පෙළපාළියෙන් යෑමටත්, එයට පූජකවරු සහභාගි වීමටත් තීරණය විය. ඒත් හරියටම අවමංගල්‍ය දිනට කලින් දින රාත‍්‍රියේ තරුණයාගේ අවමඟුල් කටයුතු සිදු කරන පල්ලියේ පූජකතුමාට පණිවුඩයක් ලැබිණි. එනම් කිසිදු ජන සහභාගිත්වයකින් තොරව තරුණයාගේ අවසන් කටයුතු අප‍්‍රසිද්ධියේ කරන ලෙසය.

එකල වෘත්තීය සමිති චෝදනා කළේ මේ පණිවුඩය එවා පූජකවරු බය කළේ කාදිනල් හිමි කියාය. කාදිනල් හිමි ඒ වැඬේ කළේ රාජපක්ෂ ආණ්ඩුවේ උපදෙස් මත යැයි එවකට විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.යද චෝදනා කළේය. එතැනින්ම රොෂේන් චානකගේ ඝාතනය යටපත් විය. 2018 දී ඔහුගේ මව මානව හිමිකම් කොමිසමට ඇවිත් පැමිණිලි කළේ තම පුතා ඝාතනය කරපු ඝාතකයන්ට දඩුවම් දී යුක්තිය ඉටු කරන්න කියාය. තවමත් ඒ ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා යැයිද ඝාතනය ගැන හොයන්න මහින්දගේ කාලයේම පත්කළ කමිටු වාර්තාවට මොකද වුණේ යැයි ඇය ප‍්‍රශ්න කළාය. රොෂේන් චානකගේ මව මේරි ස්වර්ණකාන්ති 2011 සිට යුක්තිය ඉල්ලනකොට කාදිනල් හිමි මොකද කළේ කියන එක ප‍්‍රශ්නයකි.

”රොෂේන් චානකගේ ඝාතකයන්ට දඩුවම් දෙන්න යැයි කියන්න කාදිනල් හිමිට කොන්දක් තිබුණේ නැද්ද..?”

රොෂාන් චානක පමණක් නොවේ. මහින්දගේ ආණ්ඩු කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය විය. යුද්ධයේදී උතුරේ පූජකයෙක්ද අතුරුදන් විය. පේ‍්‍රමදාස ආණ්ඩු කාලයේ ඝාතනය වූ රිචඞ් ඩි සොයිසා ඝාතනය ජාත්‍යන්තරයට ගෙනයන්න ඔහුගේ මව මනෝරාණි සරවනමුත්තුට හයිය දුන්නේ පල්ලියය. පේ‍්‍රමදාස ආණ්ඩු කාලයේ ඝාතනවලට එරෙහිව නැඟිටින්න පල්ලියට තිබූ කොන්ද මහින්දගේ ආණ්ඩු කාලයේ පල්ලියට නැති වීම කාදිනල් හිමිගේ වරදක්ද නැතිනම් වෙන කාගේවත් වරදක්ද යන්න කියන්න දන්නේ නැත. මහින්දගේ ආණ්ඩුව කතෝලිකයන් මරනකොට හිත් වේදනාවක් නොදැනෙන්නත් මෛත‍්‍රි - රනිල් ආණ්ඩුව යටතේ ත‍්‍රස්තවාදීන් කතෝලිකයන් මරනකොට හිතේ වේදනාව ඇති මෛත‍්‍රි - රනිල් ආණ්ඩුවට දොස් කියන්න කාදිනල් හිමි ඉදිරිපත් වීමත් ප‍්‍රහේලිකාවකි. අනෙක කාදිනල් හිමි මෛත‍්‍රි - රනිල් ආණ්ඩුවට පහර දෙන්න ගත්තේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව හිතේ වේදනාවෙන් නොවේ.

බෞද්ධයා නාලිකාවට අයත් සම්බෝධි විහාරයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ආගමික සමුළුවක් පවත්වා ආණ්ඩුවට එරෙහි සටන පටන් ගන්න විට කාදිනල් හිමිද එහි ගොස් ආණ්ඩුවට හතර අතේ ගැහුවේය. ආණ්ඩුව ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල වුවමනාවන් ඉටු කරනවා යැයි චෝදනා කළේය. මේ ඊයේ පෙරේදාත් කාදිනල් හිමි ඇමෙරිකාව සමඟ අස්සන් කරන්න යන ආරක්ෂක ගිවිසුමට ගැහුවේය. හැබැයි මහින්දගේ ආණ්ඩු කාලයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය මෙවැනිම ආරක්ෂක ගිවිසුමක් ඇමෙරිකාව සමඟ හොර රහසේ අස්සන් කරන විට කාදිනල් හිමි නොදැක්කා සේ සිටියේය. කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය නම් ඒ දවස්වල කීවේ කාදිනල් හිමි මහින්දගේ ආණ්ඩුවේ වැරැුදි නොදකින්නේ කාදිනල් හිමිගේ ඥාති දියණියක් ප‍්‍රංශයේ තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ තනතුරකට මහින්දගේ ආණ්ඩුව විසින් පත්කිරීම නිසා බවය. මෙම පත්වීම කර ඇත්තේ විදේශ සේවයේ බඳවා ගැනීම් පටිපාටි නොතකා බව මෙම වෙබ් අඩවිය වාර්තා කොට තිබිණි. මෙහි ඇත්ත නැත්ත දන්නේ නැත. හැබැයි කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය එම පුවතින් කීවේ මහින්ද හදසි ජනාධිපතිවරණයකට යන්න සූදානම් වන මොහොතක පාප්වහන්සේව ලංකාවට ගෙනැවිත් මහින්දට කතෝලික ඡන්ද දිනා ගන්න කාදිනල් හිමි උදව් කරන්නේ මහින්දගේ උදව්වලට ප‍්‍රතිඋපකාර කිරීමක් ලෙසට යැයි කියාය.

2014 පාප් වහන්සේ්ට ලංකාවේ සංචාරය කරන්න එන ලෙස කාදිනල් හිමි ආරාධනා කළේ මහින්ද හදිසි ජනාධිපතිවරණයකට යන්න ඇඟිලි ගනිද්දීය. කාදිනල් හිමිගේ මැදිහත් වීමෙන් මහින්ද පෞද්ගලිකවම පාප් වහන්සේ හමුවී ආරාධනාව කළේය. එහෙත් මහින්ද හදිසි ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කළ විට කතෝලික රදගුරු මණ්ඩලය සහ පූජකවරු පාප් වහන්සේගේ සංචාරය කල්දැමිය යුතු යැයි හ`ඩ නඟන්න පටන් ගත්තේ මහින්ද කතෝලික ඡුන්ද ටිකට ඉව අල්ලන බව දැනගෙනය. ඔවුන්ගේ හ`ඩ මැද්දේත් කාදිනල් හිමි එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභයව පාප් වහන්සේ බැහැදැකීමට යැව්වේ කලින් යොදාගත් පරිදි ජනාධිපතිවරණ කාලය තුළ පාප් වහන්සේට ලංකාවට එන ලෙස ආරාධනා කිරීමටය. එහෙත් රදගුරු මණ්ඩලයෙන් සහ පල්ලියේ විරෝධතාවයට කන්දී පාප් වහන්සේගේ සංචාරය කල් දැමීය. 2015 ජනාධිපතිවරණයේදී කාදිනල් හිමි මහින්දට කතෝලික ඡන්ද දිනා දෙන්න පාප් වහන්සේගේ සංචාරය සංවිධානය කළාය කියන චෝදනාව මෙරට මාධ්‍යවල ලොකු කතාබහකට ලක්විය. හැබැයි කාදිනල් හිමිට පාප් වහන්සේව ජනාධිපතිවරණයට පෙර ලංකාවට ගෙන ඒමටත් නොහැකි විය. මහින්දට පක්ෂව කතෝලික ඡන්ද හරවන්නටත් නොහැකි විය. කතෝලික ඡන්ද දිනාගත්තේ මෛත‍්‍රිපාලය.

”ඉතින් කාදිනල් හිමිට ඊළඟ ඡුන්දෙදි යූ.ඇන්.පී. ඡන්ද කඩන්න පුළුවන්ද?”

ලේසි නැත. පාස්කු ප‍්‍රහාරය ගැන කතෝලිකයන් ඉන්නේ කම්පනයෙන්ය. ආණ්ඩුවට එය වළක්වාගත හැකිව තිබුණ බවත් ඔවුන් දනී. ඒත් කතෝලික යූ.ඇන්.පී.කාරයා ප‍්‍රහාරයේ වගකීම ආණ්ඩුවට දානවාට කැමති නැත. කතෝලික මහින්දවාදියා ප‍්‍රහාරයේ වගකීම ආණ්ඩුවට දමනවාට කැමතිය. දැන් කතෝලික ජනතාව පක්ෂ අනුව බෙදී අවසන්ය. හැමදාම යූ.ඇන්.පී.යට ඡන්දය දෙන කතෝලික යූ.ඇන්.පී.කාරයාගේ හිත වෙනස් කරන්න කාදිනල් හිමිට බැරිය. කාදිනල් හිමි මහින්දට අදිනවා යැයි කතෝලික යූ.ඇන්.පී.කාරයන් අතර පොදු මතයක් තිබේ. ඔවුන් අතර කාදිනල් හිමි ජනප‍්‍රිය චරිතයක් නොවේ. පාස්කු ප‍්‍රහාරයෙන් පසු කාදිනල් හිමි ජනප‍්‍රිය වී ඇත්තේ ආණ්ඩු විරෝධී බෞද්ධයන් අතරය. කාදිනල් හිමි ආණ්ඩුවට බනින්න බනින්න මහින්දවාදී මාධ්‍ය කාදිනල් හිමිව වීරයෙක් කරයි. ඉතින් ආණ්ඩු විරෝධීන්ගේ වීරයා කාදිනල් හිමිය. අනෙක කාදිනල් හිමි මහින්දගේ පැත්තට බරයි කියන්න වෙන සාක්ෂි අවශ්ය නැත. එය ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විකිලීක්ස් කේබල් පණිවුඩයකින්ම හෙළි විය.

2011 සැප්තැම්බර් 24 සන්ඬේ ලීඩර් පුවත්පත සහ කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය මෙම කේබලය පළ කළේ මෙසේය. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විකිලීක්ස් කේබල් පණිවුඩයකින් අනාවරණය වී ඇත්තේ කාදිනල් මැල්කම් රංජිත් හිමි මහින්දට එරෙහි යුද අපරාධ චෝදනා යට ගහන්න මෙරට ඇමෙරිකානු තානාපති පැටී‍්‍රෂියා බි‍්‍රට්නීස් හමුවී සාකච්ඡුා කළ බවය. එහි මෙසේද සඳහන් වේ. කාදිනල් හිමි හිතන්නේ මහින්ද රාජපක්ෂ හොඳ මනුස්සයෙක් කියාය. මහින්ද විපක්ෂයේ සිටි කාලයේම මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ අයෙක් යැයි කාදිනල් හිමි සඳහන් කළේය. ජාත්‍යන්තරය ජනාධිපති මහින්දට යම් දෙයක් කළොත් මහා විනාශයක් රට තුළ වේ යැයි කාදිනල් හිමි කීවේය. රාජපක්ෂලාව දුර්වල කිරීම ජාත්‍යන්තරයට පාරාවළල්ලක් වනු ඇතැයි කී කාදිනල් හිමි ජී.එස්.පී. ප්ලස් ලංකාවට අහිමි කළොත් හමුදා කැරැල්ලක් එතැයි සැක පහළ කළේය.

මේ එවකට ඇමෙරිකානු තානාපතිනි පැටී‍්‍රෂියා විසින් තමා හමුවූ කාදිනල් හිමිගේ සාකච්ඡුාව ගැන යවපු කේබල් වාර්තාවකි. මෙය පසුව විකිලීක්ස් ලීක් කර තිබිණි. එහි කවරයේ ඇය කාදිනල් හිමිව හඳුන්වන්නේ මහින්දට හිතවත් අයකු ලෙසය.

”ඉතින් ඒත් ඇයි කාදිනල් හිමිට 2015 මහින්දට කතෝලික ඡන්ද කුට්ටියම දිනා දෙන්න බැරි වුණේ?”

පල්ලිය කී විට කතෝලිකයන් ඡුන්ද පාවිච්චි කළේ ඉස්සරය. 2005 ජනාධිපතිවරණයේදීත් අද වගේ අර්බුදයකට පල්ලිය මුහුණ දුන්නේය. 2004 සහ 2005 කාලයේ ලංකාවේ පල්ලිවලට පහර දෙන රැල්ලක් ඇති විය. ඒ සෝම හිමි අපවත් වීමෙන් පසු නැඟී ආ අන්තවාදී සංවිධාන නිසාය. එවකට අගරදගුරු ඔස්වල්ඞ් ගෝමිස් හිමි මේ ගැන කම්පාවෙන් සිටියේය. පල්ලිවලට පහර දෙන සංවිධාන මහින්දට සහාය දෙන බව අගරදගුරු හිමි පමණක් නොව රටම දැන සිටියහ. පල්ලිවලට පහරදෙන සංවිධානවල සහාය දෙන අපේක්ෂකයන් දිනවන්න එපා යැයි අගරදගුරු හිමි නිවේදනයක් කළේය. රනිල්ට සහාය දුන් ලලිත් කොතලාවල ඔහුගේ සංවිධානයකින් එම නිවේදනය සියලූම මාධ්‍යවල දැන්වීමක් සේ පළ කළේය. යූ.ඇන්.පී.ය හිතුවේ කතෝලික ඡන්ද කුට්ටියම තමන්ට ලැබෙයි කියාය. යූ.ඇන්.පී.ය කතෝලික ප‍්‍රදේශ දින්නේය. ඒ හැමදාම දිනන ඡන්ද ගණනකි. මහින්දටත් ලොකු ඡන්දයක් ගියේය.

ඒ කියන්නේ මහින්දට සහාය පළ කරන සංවිධාන පල්ලිවලට ගැහුවත් මහින්දට කැමැති කතෝලිකයන් මහින්දට කැමතිය. කාදිනල් හිමි මොනවා කීවත් 2020 වෙන්නේත් ඒකමය. ඒ නිසා මහින්දවාදීන් කාදිනල් හිමිගෙන් ඡන්ද කුට්ටියම බලාගෙන ඉන්නවා නම් ඒක වෙන්නේ නැත. 

Advertiesment